වරක් වැන්දොත් කැළණියේ….. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ ආත්තම්මාට නිරන්තරයෙන් පන්සල් යෑමට සිත් පහල වේ. තවද ඈට කැළණි පන්සලටම යා යුතුය. වරක් වැන්දොත් ඇති බව කියමින් ඈ සෑම විටකම එහි යන්නීය. ඈ එහි රැගෙන යන්නේ මා ය. සෙනඟ අඩු නිදහස් වේලාවක් තෝරා ගන්නේ මගේ කැමැත්තටය. ඈ එහි බෝ මළුව තුළ වාඩිවී සිහින් සරින් බෝධි වන්දනාව කරන්නීය. එය මිහිරිය. මා එය ඇසෙන මානයේ සිටිනමුත් කිසිදින ඊට සම්බන්ධ නොවේ.
මම මේ මළුවට එනවා.. යනවා..
බෝ මුල් බෝ පත් මට පෑගෙනවා..
සමාව දී මගෙ පව් අරවනවා..
බෝ රදුනේ මට අවසර දෙනවා..
ඈ ගයන්නීය.
මෙය මට නිරන්තරයෙන් ඇසෙන්නකි. නමුත් අද එය මට ගෙන ආවේ කුකුසකි. බෞද්ධයන් වූ අපට බෝධිය විශේෂ වෘක්ෂයකි. ඒ ගැන ගැටළුවක් මට නැත. නමුත් එහි මුල්, හැලුණ කොළ අනන්තවත් මට පෑගෙන්නට ඇත. ඒ සත්භාවයෙන් මෙහි එන නිසාය. ඉන් පව් සිදුවන්නේ කෙසේද? මෙය ධර්මයේ මූලික අර්ථ සමඟ පරස්පර නොවේද?
මට ඇත්තේ හැඟීම් සැඟවිය නොහැකි මුහුණකි. මගේ සිතෙහි නැඟි නැඟී මට වද දෙමින් ඇති ගැටළු පෙළ මුහුණෙහිද සටහන් වූ බව පෙන්වමින් මා අසලින් ගමන් ගත් ස්වාමීන්වහන්සේ නමක් මා අසල නැවතුණහ. උන්වහන්සේ මෙවන් වේලාවන්හි නිතර දකිනමුත් අප අතර කතාබහක් සිදුව තිබුණේ නැත.
“මම මේ මහත්තය නිතරම දකිනවා..”
මම හිඳවුන් තැනිත් වහා නැඟී සිටියෙමි.
“ආත්තම්මා එක්කන් එනවා හාමුදුරුවනේ..”
මා කියන්නේ මඳක් ඈතින් නිවීසැනසිල්ලේ වඳින ඇය දක්වමිනි.
“හොඳමයි.. හොඳමයි.. ඒත් මම බැලුවා බර කල්පනාවකද කියල”
මගේ හිතේ ඇත්තේ දෙගිඩියාවකි. කියම්දෝ නොකියම්දෝ.. අවසානයේ තීරණය කීම වූයෙන් මෙසේ කියා ගතිමි.
“බෝධි පූජා කවියක් ගැන කල්පනාවක හිටියෙ..”
“කියමු බලන්න කාරණාව..”
මම මගේ සිතේ නැඟි සියලු ගැටළු එකිනෙක කියාගෙන ගියෙමි.
“මේකනෙ මහත්තයා බෝධිය කිව්වහැකි මේ පෙනෙන බෝධියටත්. ඒත් ඔය කියන්නේ වෙනම කාරණයක්. සම්මා සම්බෝධි, පච්චේක බෝධි, අරහත් බෝධි කියල අපි නිවන් පූර්ණ කරන තුන්තරා බෝධියම බෝධි තමයි. ඉතින් මේ බෝධීන් වහන්සේලා වැඩවසන භූමිය තමයි බුද්ධ සාසනය නැතුව මේ වැලි මළුව නෙවෙයි.”
එහෙනම් අපි මේ වඳින්නේ බුදු, පසේ බුදු, මහ රහත් උතුමන්ටයි. මගේ සිත ප්රීතියකින් කරනමක් ගැසුවේය.
“මහත්තයාට වැටහුණාද?”
“එහෙමයි..”
“දැන් ඔය මහත්තයා කීව කවිය ගත්තොත්, ඕකෙ කියවෙන්නෙ, ධර්මය නොදන්නා පෘතග්ජන පින්වතුන් මේ සංසාර ගමනෙදී විවිධ වූ හේතූන් නිසා මේ බුද්ධ භූමියට එනවා. හැබැයි නැවතීමක් නැහැ. නැවත යන්න යනවා. එ්ක තමයි ඔය සරලව කියන්නේ. මම මේ මළුවට එනවා.. යනවා.. කියල.”
“එහෙමයි.”
“ඔය කියන ඇසුරු නිසුරු කිරීම් වලදී බෝධියේ මූලය, පැවැත්ම එහෙමත් නැතිනම් බෝධියේ මුල් උන සත්ධර්මයත්.. ඊලඟට ඔය බෝ පත් කියන්නෙ බෝධියට පත් ආර්යයන් වහන්සේලාත්.. නොදන්න නිසාම අඳුර ගන්න බැරිකම නිසාම මේ පෘතග්ජන පිංවතුන් අතින් පරිභවයටත් ගැටීමටත් කරුණු සිද්ධ වෙනවා. ඒ කාරණාව තමයි ඔය බෝ මුල් බෝ පත් මට පෑගෙනවා.. කියල කියන්නෙ.”
මා ඉන් පැටලී ගියේය.
“මේ සංසාරෙ පුරාවට අපෙ අතිනුත් ඕන තරම් ඔය වගේ වැරදි වෙලා ඇතිනෙ හාමුදුරුවනේ.”
ඒවා එහෙම තමයි මහත්තයා. සෝතාපන්න වෙන්න කලින් සත්ධර්මය මොකක්ද කියල තේරුමක් නැහැ නෙව. ඉතින් ධර්මය වැටහෙනකන් ආර්යයන් වහන්සේලා අඳුරගන්නත් බැහැ. ඇහැට පේනව කියලයැ. බුදුහාමුදුරුවො උනත් බුදුවෙලා එද්දි පස්වග මහනුන්ට ඒ වගක් පෙනුනෙ නැහැනෙ.”
“ඒකත් ඇත්ත.”
“ඉතින් මෙව්වා මහා පරිමාණ පාප කර්ම උනත් ආනන්තරීය පව් නෙවෙයිනෙ මහත්තයා. ආර්ය උපවාද කමා කරගත හැකියි.”
“ආ..” එහෙනම් කමක් නෑ මගේ සිතද කීවේය.
“ඔව්. එහෙට පලයන් මහණ, මෙහෙට වරෙන් මහණ, කියල තෙවරක් බුදුහාමුදුරුවොන්ටම කීව ආලවකත් සෝතාපන්න උනානෙ.”
“ඒ කියන්නෙ කමා කරගත්තොත් හරි.” දැන් එය ප්රත්යක්ෂය.
“එ්ක තමයි ඔය අවසාන පද දෙකෙන් අපූරුවට කරන්නේ. සමාව දී මගෙ පව් අරවනවා. බෝ රදුනේ මට අවසර දෙනවා. ඒ කම්මාවරණයෙන් මිදිල නිවන් මඟට පිළිපැනීමට තමයි අවසර ඉල්ලන්නෙ.”
ස්වාමීන්වහන්සේ කියන්නේ මුහුණෙහි වූ මඳ සිනහවක්ද සමඟිනි. ඒ මා ගැන උපන් අප්රමාණ දයානුකම්පාවෙන් බව මට පෙනේ.
“ඉතින් හාමුදුරුවනේ.. ඔය ගහකින් සමාව ගන්නව කියල හිතා හිතා ඕක කොයිතරං කීවත් ඕන දේ වෙන්නෙ නෑ නෙ.”
මම ඇසුවේ දහස්වර මෙකී කවිය කියා ඇති මගේ අහිංසක අත්තම්මා ගැන ඇතිවූ මහා කනගාටුවෙන් ඈ වෙත යොමුවූ දෙනෙත් ඇතිවය.
“ඒක හැබෑව මහත්තයා. ආර්ය අර්ථය කියාදෙන්න කල්යාණ මිත්රයෙක් ඉන්න එපායැ. මඟ කියාදෙන්න හැකි කල්යාණ මිත්රයෙක් වෙන්නෙ මඟඵල ලැබූ අයෙක්. දැන් මහත්තයාට පුළුවන් මහත්තයාගෙ අත්තම්මටත් ඔය අහල දැනගත්ත කාරණාව කියා දෙන්න.”
“එහෙමයි.”
අත්තම්මා වැඳ අවසානයේ නැඟි සිටියාය. ඈ අප වෙත ආවාය. මා දැන් යා යුතුය. මම වැටහුණ දෙයින් නැඟි ප්රීතියද ඇතිව ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද සිටියෙමි. ඇයද මා අනුගමනය කළාය.
අත්තම්මා අතකින් අල්ලාගත් මා ඇයට පඩිපෙල බැසීමට උපකාර කලෙමි.
“මේ කැලණි පිං බිමට එන්නෙ මගෙ මේ දරුවට පිං සිද්ද වෙන්න. වරක් වැන්දත් ඇති කියනවානෙ අපෙ හාමුදුරුවනේ..” ඈ සිනාවෙන් මුව පුරවා සුපුරුදු ලෙස කියයි.
“ඒක හරි. කල්යාණ භූමියට ආවොත් ආයෙ කවමදාවත් සිව් අපායෙ වැටෙන්නෙ නෑ. ඕන වෙලාවක මහත්තයාට එන්න පුළුවන්. ගේට්ටු ඇරලා තියෙන්නෙ..”
“මේ පන්සල් භූමියේ?”
“නෑ මහත්තයා.. කල්යාණ භූමියේ..”
……….~……….
උපුටා ගැනීම: Samurdhi Baduge

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!