පේරාදෙණිය ස්ටේෂන් එකේ කා පාක් එකට මං වාහනේ දානකොටත් රෑ දහයාමාරට විතර ඇති…
සෙනසුරාදා නිසාද මන්දා මුලු ස්ටේෂන් එකම පාලු වෙලා ගිහිල්ලා…පාක් එකේ එකම එක වාහනයක්වත් තිබුනෙ නෑ…අඩුම ගානේ ත්රීවීලර් පාක් එකේ ත්රීවිලර් එකක්වත් නෑ…
වාහනේ ලොක් කරලා යතුරත් අතට අරගෙන ටිකට් කවුන්ටර් එක අයිනේ තිබ්බ යකඩ බාර් එකට හේත්තු වෙලා මම අත් දෙක බැඳගත්තා…
අද මේ වෙලාවට මං ස්ටේෂන් එකට ආවේ මගේ වන් ඇන්ඩ් ඔන්ලි බ්රදර් ඒ කියන්නෙ එක කුස උපන් මගේ එකම අයියව ගෙදර අරගෙන යන්න…
කොලඹ ප්රධාන පෙලේ රාජ්ය බැංකුවක නීති නිලධාරියෙක් විදියට වැඩ කරපු අයියා එයාගෙ වාහනේ තරමක ලොකු රෙපෙයාර් එකකට ගැරජ් එකට දාලා අද ට්රේන් එකේ තමයි ගෙදර එන්නේ…එයාව අරගෙන යන්න තමයි මං ස්ටේෂන් එකට ආවේ…
අත් දෙකත් බැඳගෙන හිටපු මගෙ ඇස් දෙක සීතල හුලං පාරේ සනීපෙට පියවෙන්න ගත්තා…
විනාඩි පහක් දහයක් යන්න ඇති…
“සවන් දෙන්න”
එක පාරටම කණ ලඟින්ම හෙන ගහන්නා වගේ ඇහුන සද්දෙට
ඇස් දෙක පියාගෙන හිටපු මං උඩ ගිහිල්ලා බිම වැටුණා…
“කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය අද දින විනාඩි 30ක් පමණ ප්රමාද වන බව මගීන් කරුණාවෙන් සලකන්න”
යකෝ…
මූට මේක හෙමින් කියන්න තිබ්බෙ නැද්ද…
දහ දෙනෙක්වත් නැති ස්ටේෂන් එකේ එනවුන්ස්මන්ට් එක අහල ගම් හතටම ඇහෙන්න දුන්නා…අනික ඕක වෙලාවට ආවොත් නේ එනවුන්ස් කරලා කියන්න ඕන…හැමදාම පරක්කු වෙනවනෙ…
මං ඇඟමැලි කඩලා වට පිට බැලුවා…වෙලාවට මං ගැස්සිලා ඇහැරෙනවා කවුරුවත් දැකලා තිබ්බෙ නෑ…දකින්න කවුරුවත් අහල පහල හිටියෙ නෑ…
ඇස් දෙක පියාගෙන හිටිය වෙලේ අලුතෙන් කියලා වෙලා තිබ්බේ පාක් එක ඉස්සරහා තියෙන සිපෙට්කෝ එකට ආව බවුසර් දෙකක් එක පේලියට නවත්තලා තිබ්බ එක විතරයි…
දැන් ඉතින් තව වෙලා ස්ටේෂන් එකට වෙලා ඉන්න එපැයි කියලා හිතුව මං තව හරි බරි ගැහිලා යකඩ බාර් එකට හේත්තු වෙලා ආපහු ඇස් දෙක පියාගත්තා…
විනාඩි විස්සක් යන්න ඇති…
අහලා පුරුදු මියුසික් එකක් හෙමීට පටන් අරගෙන ටික ටික වැඩි වෙන්න ගත්තා.මාත් ඇස් දෙක පියාගෙනම අහගෙන හිටියා…
හොඳට පුරුදු මියුසික් එකක්…
හම්මට…
මේ මගෙ වාහනේ සිකුරුටි එලාම් එක නේද.හැරෙන පරක්කුවට මං වාහනේ ගාවට දිව්වා…
වාහනේ ගාව හිටියේ අපිරිසිදු ඉරිච්ච ඇඳුම් ඇඳගත්ත අවුරුදු එකොලහක විතර කොලු ගැටයෙක්…මට ඉස්සර වෙලාම ඔලුවට ආවේ මේ අර වාහන වල සයිඩ් කන්නාඩි වීල් කප් ගලවලා හොරෙන් උස්සන එකෙක්ද දන්නෑ කියලා…
“මොකද”
මං සැරෙන් පොඩි එකාගෙන් ඇහුවා…
“ම… මහත්තයා…”
පොඩි එකා කතා කරන්න ගත්තේ තවත් තප්පර ගානක් වාහනේ දිහා බලන් හිටියට පස්සේ…
“ම…මහත්තයගෙද මේ කාර් එක…???”
පොඩි එකා ඇහුවේ වචන ගලප ගලප…
“ඔව් මේක මගේ”
මං උත්තර දුන්නේ තරමක් සැරෙන්…
“කී…කීයද මහත්තයා මේ කාර් එක”
මං සැරෙන් කතා කරත් මං පෙන්නන තරම් සැර නෑ කියලා පොඩි එකාට ඒ වෙනකොටත් තේරිලා තිබුණා…
ඒ වගේම තමයි…
මේ වාහනේ කෑලි ගලවන්න ආව පොඩි එකෙක් නෙවෙයි කියලත් මං ඒ වෙනකොට තේරුම් අරන් තිබ්බා…
“මං මේ කාර් එක සල්ලි දීලා ගත්තෙ නෑ”
“මේක මට මගේ අයියා මගේ උපන්දිනේට දුන්නේ”
“තෑග්ගක් විදියට”
පලවෙනි පාරට වාහනේ දිහා බලනවා වගේ මගෙ ටොයෝටා කැම්රි එක දිහා බලාගෙන මං උත්තර දුන්නා…
බොඩි කිට් එකක් ගහලා ස්පොයිලර් එකකුත් ගහලා වැඩ කෑලි ටිකක් දාලා තිබ්බ නිසා ඇත්තටම වාහනේ දකින කෙනෙක් දෙපාරක් හැරිලා බලන තරමට ස්පෝට්ස් ලුක් එකක් වාහනේ තිබුණා…
ඒ උත්තර දෙන විනාඩියට අයියා මට කාර් එක දුන්න ඒ වෙලාව මගෙ ඉස්සරහා ෆිල්ම් එකක් වගේ මැවුණා…මගේ මූණට මටත් නොදැනීම හිනාවක් ආවා…
මං ආපහු පොඩි එකා දිහා බැලුවා…
පොඩි එකාගේ ඇස් දෙක නළලේ…කටත් බාගෙට ඇරිලා…ඇස් බෝල දෙක දැන් බිම වැටෙයිවත්ද මන්දා…මට හිතුනා…
“අ…අනේ…”
පොඩි එකා කතා කරන්න ගත්තා…
“අ…අනේ… ම…මටත්…”
පොඩි එකාට ගොත ගැහෙනවා…පොඩි එකා කියන්න ගිය දේ මට හිතා ගන්න අමාරු උනේ නෑ…
“අනේ මටත් ඒ වගේ අයියා කෙනෙක් හිටියා නම්”
පොඩි එකා කියන්න ගියේ ඒක…
ඒත්…
ඊලඟට පොඩි එකා කිව්ව දෙයින් මගෙ මුලු ආත්මෙම සීතල වෙලා ගියා…ඇස් දෙකට කඳුලු ආවේ කොහොමද කියන්න මමවත් දන්නෙ නැ…පිට කොන්ද සීතල වෙලා යනවා දැනුනා…
“අ…අනේ ම…මටත් ඒ වගේ අයියා කෙනෙක් වෙන්න තිබුණා නම්…”
පොඩි එකා කිව්වේ එහෙම…
මගේ මුලු ආත්මෙම එලියට ඇවිල්ලා මීදුමක් වගේ මගෙ වටේ කැරකෙනවා දැනෙනකොට මං අමාරුවෙන් වචන එලියට දාන්න ට්රයි කරා…
“ඔ…ඔයාටත් ම…මල්ලි කෙනෙක් ඉන්නවද…???”
කොච්චර සාමාන්ය විදියට කතා කරන්න ට්රයි කරත් මගෙ කටහඬ මටත් නොදැනීම බිඳිලා තිබ්බා…
“ඔව් අර”
පොඩි එකා අත දික් කරලා පෙන්නුවේ ස්ටේෂන් එකේ ඈත අඳුරු මුල්ල…
පොඩි එකෙකුත් තුරුල් කරන් දිරලා තිබ්බ ටකරමට හේත්තු වෙලා ඉඳගෙන නිදිකිරා වැටෙන ගෑණු කෙනෙක්ව මං මලානික වෙලා තිබ්බ වොට් හතලිහේ කහ පාට බල්බ් එලියෙන් දැක්කා..
“මගෙ මල්ලිට ඇදුම මහත්තයා”
“හැම වෙලේම කහිනවා”
“එයා තව වැඩිකල් ජීවත් වෙන එකක් නෑලු”
“අම්මා තමයි කිව්වේ”
පොඩි එකා ඈත මුල්ල දිහා බලාගෙන කියවගෙන ගියා…
“මං ආසයි මගෙ මල්ලිටත් මේ වගේ කාර් එකක් අරන් දෙන්න”
“ඒත් එයා ජීවත් වෙන එකක් නෑ”
පොඩි එකා කිව්වේ මගෙ වාහනේ දිහා බලලා හෙමීට වාහනේ බොනට් එක උඩින් අත තියන ගමන්…
වාහනේට ලඟ තිබ්බ ලයිට් කනුවේ ගැහි ගැහී තිබ්බ ෆ්ලොරසන්ට් බල්බ් එලිය බොනට් එක උඩට වැටිලා ඒ එලිය පොඩි එකාගේ මූණට පරාවර්තනය වෙලා තිබුණා…ඒ එලියෙන් මං ඒ මූණේ දැක්කේ අන්ත අසරණ පරාජිත බවක්…
ඒ වෙනකොට මගෙ කම්මුල් දිගේ ගලපු කඳුලු වේලිලා තිබුණා.කඳුලු පිහදගන්නවත් මට උවමනාවක් තිබුණෙ නෑ…
“පුතේ”
පර්ස් එකත් අතට අරන් පොඩි එකා ගාව මං බිමට නැවිලා වාඩි උනා…
“මේ සල්ලි වලින් ඔයාගෙ මල්ලිට බෙහෙත් අරන් දෙන්න”
රුපියල් 5000 කොලයක් අරං පොඩි එකාගෙ අතේ ගුලි කරලා මං කිව්වා…
පර්ස් එකේ තිබුනෙම ඒ 5000 කොලේ විතරමයි.ඒක මං තියාගෙන හිටියේ අයියගෙ උපන්දිනේට මොනවා හරි අරගෙන දෙන්න…
ඒත් මට දුකක් දැනුනේ නෑ…
පන්දාහත් ගත්ත පොඩි එකා රුං ගාලා දුවලා ගියේ අර ගෑණු කෙනා ගාවට…පොඩි එකා ඒ ගෑණු කෙනාව ඇහැරවන්න ට්රයි කරනවා මං දැක්කා…
මං බලාගෙනම හිටියා…
“මල්ලි… “
කාගෙදෝ කටහඬක් හීනෙන් වගේ ඇහෙනවත් එක්කම බර අතක් මගෙ උරහිසට වැටුනා…
“උඹ මොන ලෝකෙද බං ඉන්නෙ”
“මං කී පාරක් කතා කරාද”
ඒ මගෙ අයියා…
ට්රේන් එක එන සද්දෙවත් මට ඇහුනෙ නෑ…
දඩ බඩ ගාලා වැලමිටෙන් කම්මුල් දෙක පිහිදගත්ත මං තද කරලා මගෙ අයියව බදාගත්තා…
“ඒ…හ් මේ…හ් මො…කද යකෝ මේ උඹට පිස්සුද…”
“මොනවද බං උඹ එන ගමන් කෑවේ”
අමනාපෙන් වගේ කිව්වත් අයියා මාව එහාට කරන්න ට්රයි කරේ නෑ…
අයියටත් ඒ වෙනකොට මොනවා හරි තේරිලා තිබුණත් හැමදාම වගේ මමම කියනකං අයියා මගෙන් ඒ ගැන අහන්නැති බව මං දැනගෙන හිටියා…
අයියගෙ බෑග් එකත් ඩිකියට දාලා මගේ පැත්තෙ දොර අරින ගමන් මං ස්ටේෂන් එකේ අඳුරු මුල්ල දිහා ආපහු බැලුවා…
මං දැක්කේ හරිම බැගෑපත්ව මං දිහා බලන් ඉන්න ඒ ගැණු කෙනාවයි අර පොඩි එකාවයි…
වාහනේ හෙඩ් ලයිට් එලියෙන් ඒ තුන් දෙනාව මගේ ඇස් මායිමෙන් මැකිලා යනවත් එක්කම අයියා මගේ දණහිසට තට්ටුවක් දාද්දි මං අයියා දිහා බැලුවේ මේ ලෝකේ ඉන්න වාසනාවන්තම මල්ලි මම නේද කියලා හිතාගෙන…
උපුටා ගැනීම: Nuwan Weerasinghe