වාසනාවේ ජයමල්ල (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අතීත මතක අවුස්සන්න ජීවිත පොතේ පිටු එකිනෙක අපිළිවෙලට පෙරලද්දි සමහර පිටු තිබුණා සුදෝ සුදුවට හිස්වට.
ඉරලවත් විසිකරලා හිස්තැන් වහන්න නොහිතුණ හිස් පිටුවක නොලියපු කතාවක පසුතැවීම් මහ ගොඩක් හැංඟිලා වැලලිලාම ගිහින් තිබ්බා.
ඒ අතරින් එහෙට මෙහෙට මතක පාකරලා එක සිදුවීමක් ලියලා තියන්න හැදුවත් දැන් හැමදේටම පරක්කුයි. ඔන්න ඔහේ ඒ පිටු හිස්වටම තිබ්බදෙන්.
පිටුව හිස් වුනාට ඒ අස්සෙන් ඉහළට එසවෙන මූණක් හිත උඩ නයි කොච්චි දැවිල්ලක් ගේනවා.
මීට වසරකට පමණ පෙරයි මා ඇයව දකින්නේ. ඇය නමින් නන්දාවතීය.
බස් නැවතුමේ කොනට වන්නට ටකරං සෙවිල්ලකින් සෙවිලිවූ ලොතරැයි කූඩුවේ සියලු දුක් වසාගත් අවිහිංසක හිනාවකින් කාටත් එකලෙස සංග්රහ කරනා ඇය ජීවන අරඟලයෙන්ද, කාලයාගේ ඇවෑමෙන්ද අබල දුබල වුවත් සිත ශක්තිමත් ගැහැණියකි.
එදවස මා ඇයගෙන් ලොතරැයි මිලදී ගන්නවා විනා කිසිදු පෞද්ගලික කතා බහකට ඉඩක් වෙන්කරගෙනම නැත.
එහෙත් ඇය වටා දිවෙන්නාවූ එක් දර්ශණයක් බසය පැමිණෙන තුරු රැඳී සිටින කාලසීමාවේදී මම ආසාවෙන්ම නරඹනවා. ඒ ඇගේ සැමියා ඇගේ අත අත්නොහැර ලොතරැයි කූඩුව අසලම රෝද පුටුව මත ඇයට තනිරකිනා දර්ශණය.
කසාදය ඇත්තේ දරුවන් වැදීමට, හැදීමට, උන්ගේ බැලමෙහෙවරකම් කිරීමට නොව අල්ලාගත් අතක අවසන් හුස්ම තෙක් රැඳී සිටීමට යැයි වයෝවෘද්ධ ඔවුන් දෙස බලමින් වරින් වර මම මටම සපථ කරගන්නට හුරුවී සිටි ඒ සෑම දිනකම මා තුළ ජීවත්වූ දයාබර සැමියා අවදි කරගෙනම නිවසට පියවර තබන්නට හැකි වුනා.
එහෙත් අද ලොතරැයි කූඩුවත් ඇත ඇයත් ඇත ලොතරැයිද ඇත ඇගේ සිනහවද ශෝකීව නමුදු කහ පැහැ දසන් විහිදා එසේම ඇත. ඔහු පමණක්ම නැත. ඇය හා ඇගේ තනි මැකූ ඔහු අද එහි නැත.
මම ලොතරැයි කූඩුව අසළටම ගොස් වාසනාවේ ජයමල්ලක් මිලට ගනිද්දී ඇය වෙනදා මෙන්ම දෙතොල් පියවා වේදනාව සඟවා සිනාවක් නැගීය.
ලොතරැයිපත කමිස සාක්කුවට බහාගන්නට ප්රථම ලොතරැයි කූඩුවේ වම් පස ඔහු සිටි ස්ථානය දෙස බැලුවේ පුරුද්දට මෙන්.
“ඉපදෙද්දි අපි අඬාගෙන ඉපදෙනවා. මැරෙද්දි අපි වටේ ඉන්න අයව අඬවාගෙන මැරෙනවා. ඕක තමයි මහත්තයා ජීවිතේ”
ගිණි කාෂ්ඨකේට රත්වුන ගෙන්දම් පොළොවෙන් උඩට නැගෙන රස්නෙන් විතරක් නෙමෙයි අහසට අරක්ගත් ඉර වළාකුළුත් විසික් කරන් හිස මතටම එල්ල කරන ගිනි සැරෙනුත් පිච්චෙන නන්දාවතී දුක දෙන හේතුවලින්ම දුක නසාගන්න වෙහෙසෙනවා.
ඒ වචන අස්සේ මං දැක්කේ දුකින් දුක නසාගත් නන්දාවතියෙක්වම තමයි. ප්රේමණීයව ඇගේ සැමියා එදා හිඳ උන් ඉසව්ව බලාගෙනම ඇය තවමත් මද හිනාවකින් ඉන්නේ.
“කෝටි ගාණක හීනයක් මේ නෝනා මහත්තුරු අරන් යනවා. මම මේ ටික විජහට විකුණන් ගෙදර යන්න හීන දකිනවා”
කළබලෙන් විත් කෝටියේ ජයමල්ලක් ගෙන පරිස්සමට එය කලිසම් සාක්කුවේ නැතිනම් අත් බෑගයේ බහාගෙන දුවන අය දෙස බලා නන්දාවතී මුවින් සහ හිතින් දුක අනුභව කරමින්ම ඇස් වලින් ඔවුන්ට ආශීර්වාද කරනවා. ඇත්තටම නන්දාවතී වැනි ගැහැණුන්ට මුළු සරුවාංගෙන්ම තව කෙනෙක්ට ආශීර්වාද කරන්නත්, ආශීර්වාදයක් වෙන්නටත් පුලුවන්.
“තාත්තේ යං මාත් ගෙදර යන්නේ දැන්”
වේගයෙන් ඇවිත් ලොතරැයි කූඩුව ඉදිරියේම නැවතුණ බයික් එක එක්ක කලබල මම බැලුවේ නන්දාවතීගේ මූණ දිහා.
“මහත්තයාගේ පුතාද?”
පෙර හිනාවෙන්ම අවිහිංසක විදියට අහපු නන්දාවතී මගේ හිත සන්සුන් කරා. ඇයගේ වයස එක්ක ඇය මාව හඳුනගන්නෙත් හුරු පුරුදු ඉවකින් මිස පැහැදිලි දැක්මකින් නෙමෙයි.
නන්දාවතීට පිළිතුරු මුවින් දෙන්නට වුවමනා වුවත් හිස සෙලවුනා විනා වෙන කිසිදු වචනයක් පිටවුනේ නැහැ.
ඉක්මනින් පිටුපසින් අසුන් ගෙන පුතාම දුන් හිස් ආවරණය පැළඳගෙන අවසන්වී හිසින්ම යන බව නන්දාවතීට අඟවා පුතාගේ උරහිසක් තදින් අල්වා ගත්තා.
“පරිස්සමින් යන්න මහත්තයලා”
කනටවත් නෑසෙන කෙඳිරියක් ලෙස නන්දාවතී කියූ වචන මගේ දෙසවනේම දෝංකාර දුන් හේතුවක් මටවත් හිතාගන්නට බැහැ.
ප්රධාන පාරෙන් නිවසට යන අතුරු පාරට හැරෙන ස්ථානයේ අලුතෙන් සවිකල cctv කැමරාව දෙස බැලුවේ දිගු සුසුමක් පිටකරන්.
එකවරම ඒ අසළ ඇති පාර මාරුවෙන සුදු ඉරි මත රෝද ඇඳවී තැලී විසිවුණ රෝද පුටුවත් මහ හඬින් කෑගසමින් උදව් ඉල්ලා අඬා වැලපෙන නන්දාවතිත් අළු පැහැ සරම ලෙයින් තෙත් කරගෙන සුදු ඉරි මතම වැටී සිටිනා නන්දාවතීගේ සැමියාත් සිනමා පටයක් මෙන් පෙනී නොපෙනී ගියා.
නන්දාවතීගේ ජීවන අත්වැල නිහඬවූ ඒ රාත්රියේ මමත් ඒ කහ ඉරමත පාර මාරුවෙන්නට බලා සිටියා. සෙනඟ එතරම් නොගැවසෙන මෙම ස්ථානය රාත්රී 7න් පසු නම් අධික පාළු බවක් උසුලනවා.
නන්දාවතී මට ඉදිරියෙන් ඇගේ පෙම්බර සැමියාගේ රෝද පුටුව තල්ලු කරන් අඩි කිහිපයක් යන්නට ඇති.
දඩාං හඬත් ඉන්පසු නැඟි විලාපයත් පසෙකලා මම උපරිම වේගයෙන් කඩා පැන්නේ අනතුරට මීටර් කිහිපයක් එහා නැවතුන ඒ විනාශය සිදුකල බයික් හිමිකරුවා අසළ.
දත් කූරු කමින්ම ආවේගයෙන් ඔහුගේ කමිස කොළරයෙන් අල්වාගෙන පැන යාමට ඉඩක් නොදීම හිස් ආවරණය ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී සෙමින් යම් වදනක් මිමිණුනා.
“තා…ත්..තේ”
තදින් අල්වා සිටි කමිස කොළරය අතහැරෙන්නටත් කේන්තියෙන් නැටවුන මස්පිඬු ලිහිල්වී බඩ බොක්කත් කකියවා දාඩිය වැක්කෙරෙන්නටත් ගතවුනේ නිමේශයක්.
සෙනඟ එකා දෙන්නා ලංවද්දි අඩියෙන් අඩිය ඔහුව අතහැර පස්සට විසිවුනේ ඔහුගේ හිස් ආවරණයෙන් නිරාවරණයවූ කවදත් මාව අසරණ කරපු ඇස් දෙසම බලාගෙන.
මහ රැයක දුටු නපුරු හීනයක් තරම්ම අමිහිරි ඒ දවසේ නන්දාවතීගේ වාසනාවේ ජයමල්ල සුදු ඉරි මත නිහඬවද්දි මගේ වාසනාවේ ජයමල්ල පසුතැවීමේ මතක පිටුවක් මටදී රෝද දෙක උඩ නැගී වේගයෙන් ඉඟිළී ගියා.
නිමි
ස්තූතියි
උපුටා ගැනීම: – දෝන ත්රීමා-
                     Dona Thrima

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!