ඊජිප්තුවේ ලක්සූර් හි සොහොන් ගැබකින් යොවුන් මනාලියකගේ වටිනා විසිතුරු මාල, අරුන්ගල් ඇතුළු කනකර අබරණ සහිත මංගල ඇඳුම් කට්ටලයක් හා නව යොවුන් දැරියකගේ මමියක් සොයා ගැනීමට ස්පාඤ්ඤ පුරාවිද්යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා.
ඇය මිය යන අවස්ථාවේ දී 15 හෝ 16 හැවිරිදිව සිටින්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. ඇය සමග ඇති කනකර අබරණ ඇය විවාහයට පත් වන අවස්ථාවේ දී දායාද වශයෙන් දෙන ඇඳුම් කට්ටලයට අයත් ඒවා ලෙස සැලකෙනවා.
මේ යොවුන් දැරියගේ දෙකන්වල සර්පිලාකාර අරුංගල් දෙකක් පැලඳ සිටි අතර ඉන් එකක් තඹ ආලේප කර තිබූ බවක් පෙනෙනවා. ඇඟිලිවල මුදු දෙකක් දමා තිබුණා. ඇගේ ගෙල වටා කීප වටයක් ඔතා පලඳින මාලයක් ද ඔවුන්ට එහි තිබී හමු වුණා. ඒ සමග ඉතා සුරක්ෂිතව පැවති සමින් නිම කළ කාන්තා පාවහන් යුගලක් ද හමු වී තියෙනවා.
වටිනා අබරණවලින් සැරසුණු මේ යොවුන් දැරිය ජීවත්ව සිට ඇත්තේ ක්රිස්තු පූර්ව 1580ත් 1550ත් අතර මිසරයේ 17 වැනි ඩිනස්ටිය පැවති සමයේදියි. එනම් මීට වසර 3600කට පමණ පෙරයි.
මේවා හමු වී ඇත්තේ ඊජිප්පතුවේ ලක්සූර් අසල කැණීම් කරද්දීයි. අඩි 5 අඟල් 1ක් පමණ උස ඇති මෙම දැරියගේ සිරුර කපු පොරෝනයකින් ඔතා තැන්පත් කර තිබුණේ අඩි 5 අඟල් 7ක් දිග දැවයෙන් නිම කරන ලද පෙට්ටියකයි. විද්යාඥ පිරිස කියන්නේ ඒ මමිය හොඳින් සංරක්ෂණය කර නොතිබූ බවයි. එහෙත් මිනී පෙට්ටිය ඉතා හොඳ තත්වයෙන් තිබුණු බව ඔවුන් පවසනවා. සිකැමෝ ගසක දැවයෙන් නිම කළ ඒ මිනී පෙට්ටිය සුදු හුණු ගා රතු පැහැයෙන් ආලේප කර තිබූ බව පර්යේෂකයන් කියනවා.
මේ දැරියගේ සොහොන තිබී ඇත්තේ ලක්සූර් බටහිර ඉවුරේ ඩ්රා අබුල් නාගා සෙහොන් බිමෙහියි. එහි මිනිය දිරාපත් වී තිබුණද ඇය පැලඳ සිටි අබරණ ඉතා හොඳින් සුරැකිව පැවතීම විද්යඥයන්ගේ මවිතයට හේතු වුණා.
ඇගේ එක් ඇඟිල්ලක වූ මුදුවක් ඇට කැබල්ලකින් නිර්මාණය කළ එකක් වූ අතර අනෙක් මුදුව ලෝහයෙන් නිමා කොට නිල් ගලක් අල්ලා තිබුණා. ගෙල දමා තිබුණු මාල හතර සෙරමික්වලින් නිමවූ ඔබ මට්ටම් කළ අමුණනයකින් එක්කොට තිබුණා. මාල හතර එකකට එකක් නොපරදින තරමේ අලංකාරයකින් ද දිගින් අඟල් 27.5ත් 24ත් අතර ප්රමාණයෙන් ද යුක්ත වුණා. එක මාලයක් වටකුරු සුමට පබළු අමුණා, ඒවා අතරට ලා නිල් හා තද නිල් පබළු සිටින සේ සකසා තිබුණා. තවත් මාලයක් කොළ හා වීදුරු පබළුවලින් නිමවා තිබුණා. තුන්වැන්න අසාමාන්ය ලෙස විචිත්ර මාලයක් ලෙස ඔවුන් හඳුන්වනවා. සිව්වැන්න වට කීපයකින් පැලඳිය හැකි දිගු මාලයක් වූ අතර එහි දෙකොන අමුණා තිබුණේ පලමුදුවකින්.
ඇගේ මිනී පෙට්ටිය තුළ මමිය පසෙකින් මැටියෙන් තැනූ කුඩා ‘මිනී පෙට්ටියක්’ තැන්පත් කර තිබුණා. ඒ තුළ ලිනන් රෙද්දකින් එතූ උෂාබ්ටි (ushabti) දැව පිළිරුවක් තිබුණා. පැරණි මිසර මිනී පෙට්ටි තුළ මෙන් ම සොහොන් ගැබ් තුළ මෙවැනි පිළිරූ තැන්පත් කිරීම එකල පැවති චාරිත්රයක්.
මේ දැරියගේ මිනීපෙට්ටිය තවත් මෙවැනි මිනීපෙට්ටි රාශියක් සමග කැණීම් කළ සොහොන් බිමක අතහැර දමාගොස් තිබුණා. ‘ඒක සාමාන්ය දෙයක් නිදන් වස්තු කොල්ලකරුවන්ගේ වැඩ ගැන බලන කොට. ඔවුන් සොයන්නේ පුරාවස්තු නොවෙයි. රත්තරන්, මුතුමැණික් වටිනා ලෝහ ආදියයි. මේ තියෙන ඒවත් ඔවුන්ට වටිනවා. ඒත් මේ ස්ථානයේ අඳුරු ස්වභාවයත්, ඔවුන්ගේ කඩිමුඩියත් නිසා මේවා ඔවුන් දැක නැහැ. එක මිනියක කල්පැවැත්ම සඳහා යොදා තිබුණු හෝරස් ඇසක රුවක් කෙටූ ටින් තහඩුවක් පවා ඔවුන් ගෙන ගොස් නැහැ. කුමන හෝ හේතුවක් නිසා ඔවුන් එතැනින් ඉක්මනින් ඉවත් වී තියෙනවා. ටින් ඒ කාලේ ඉතා දුර්ලභ වටිනා ලෝහයක්. මෙවැනි දේවල් කොල්ලකරුවන්ට අසු නොවී තිබීම මවිතයට කරුණක්.’ ගලාන් නම් පුරාවිද්යාඥයා ඒ ගැන වැඩිදුරටත් කරුණු පැහැදිලි කර තිබෙනවා…
උපුටා ගැනීම: රාම් වණා