වසර 70 000 කට පෙර පහළ වුන ලංකාවේ අදටත් ඇතයි සිතන නිට්ටෑවන්ගේ ඉතිහාසය (ලෝක ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සිංහල අපේ ජන කතාවල විවිධ යකුන්, දෙවියන්, භූතයෝ, යෝධයන් සහ රජවරු ගොඩක් ප්‍රධාන චරිත විදියට කියවෙනවා.ඒ වගේම අපේ වැදි ජනතාවගේ කතාන්දරවලත් නිතර කියවෙන ප්‍රධාන චරිතයක් තමයි නිට්ටෑවන්. ඒ වගේම කාලෙන් කාලෙට කරළියට එන තවත් ප්‍රස්තුතයක් තමයි මේ නිට්ටෑවන්.නිට්ටෑවන් ගැන බොහෝ විද්වතුන් පර්යේෂණ ගණනාවක් කරලා තියෙනවා. ඒ වගේම නිට්ටෑවන් ගැන මත විශාල ප්‍රමාණයක් සමාජගත වෙලත් තියෙනවා. මේ නිට්ටෑවන් කියන ජීවී කොට්ඨාසය සත්ත්වයන් විශේෂයක් ද නැත්නම් මනුෂ්‍යයෙක් ද.

ජනප්‍රවාදයේ කියවෙන විදියට නිට්ටඹුව නම හැදුණෙත් මේ නිට්ටෑවන් පාදක කරගෙනලු.නිට්ටෑවන්ට ගෑනු උදවිය අඩු නිසා ගම්වලින් ගෑනු දැරිවියෝ අඹුකමට ගන්න අරගෙන යනවලු.මේ අය කැමැත්තෙන් නෙවෙයිනේ නිට්ටෑවෝ එක්ක යන්නේ. ඒත් ඉතින් එක් දැරිවියෙක් නිට්ටෑවගේ අඹුව වෙන්න කැමති වුණාලු.ඒ නිට්ටෑවයි අඹුවයි වාසය කරපු ගම පස්සෙ කාලෙක නිට්ටෑඅඹුව වෙලා නිට්ටඹුව වුණාලු.ඒ කතා කොහොම වුණත් බලමුකෝ නිට්ටෑවන් ගැන තියෙන වෙනත් තොරතුරු මොනව ද කියලා.

නිට්ටෑවන් පිළිබඳව මුලින්ම අදහස් දක්වලා තියෙන්නේ ප්ලිනි විසින්.ඔහු කියන විදියට ලංකාවේ වාසය කරන නිට්ටෑවන් වඳුරන්ට සමාන මිනිස් හැඩය ගත් කුරුමිටි විශේෂයක්.පිරිමි නිට්ටෑවන් අඩි 4ක් පමණ උස් වූ බවත් ඔවුන්ට වලිගයක් නොමැති බවත් ඔහු දක්වා තියෙනවා.ඔහු මේ බව කියන්නේ මීට සියවස් විස්සකට පෙර. ඉතින් ඔහු කියන දුඹුරු ලෝම සමක් ඇති මේ නිට්ටෑවන් ලංකාවට ආවේණික ජීවීන් කොටසක්.

දේවානම් පියතිස්ස රජුගේ කාලයේදීත් මේ නිට්ටෑවා මෙරට වාසය කරන ලද බව කියවෙනවා. මහලේනම,විල්ලුව, තමන්කඩුව, තන්තිරිමලේ ,කුඩුම්බිගල නිට්ටෑවන් වාසය කර තියෙන බව පැවසෙනවා. ඇතැමුන්ට අනුව නම් මේ ජීවි කොට්ඨාසය දිගු නිය ඇති සත්ත්වයෙක් නිසා නිට්ටෑවන් කියලා හදුන්වනවා. ලේනම සහ කුඩුම්බිගල වනාන්තරවල වාසය කරපු නිට්ටෑවන් මීට වසර 150කට 200කට එහා කාලයක දී සංහාරයට ලක්වුණු බවට මතයක් පවතිනවා. ඒ නිසා නිට්ටාවටම නැත්නම් ස්ථිර වශයෙන් විනාශ කළා කියන අදහසින් නිට්ටෑවන් විදියට හඳුන්වන බවත් පැවසෙනවා.ඒ සංහාරය කළ බවට සැලකෙන්නේ වැදි ජනතාව විසින්.එහි සත්‍ය  අසත්‍යතාවය නම් ගැටළු සහගතයි .

එහි කියවෙන ජනප්‍රවාදයට අනුව නම් නිට්ටෑවන් රංචු විදියට සැරිසරමින් දඩයමේ යන වැද්දන්ට පහර දී වැද්දන් පුලුස්සා තියෙන මස් සොරාගැනීම කළා.ගල්බෙනවල මී පැණි දමා මී ඉටිවලින් වසා දැමූ වැද්දන්ගේ ගබඩා කරන ලද අමු මස් ආදිය කඩාගෙන කෑවා.මේ  නිසා වැද්දන් බොහෝ කරදරවලට මුහුණ දුන්නා. ඒ වගේම රාත්‍රියේ දී වැද්දන් නිදා සිටින විට සෙමින් ඔවුන්ට ළංවෙන නිට්ටෑවන් නින්දේදී ම වැද්දන්ව ගෙන ගොස් මරා කන බවයි පැවසෙන්නේ.නිට්ටෑවන්ගේ ආක්‍රමණශීලී තර්ජන නිසා වැද්දන් සියලු දෙනාම සංවිධානය වී වැද්දන් විසින් නිට්ටෑවන් පසුපස පන්නා ගොස් ගල් ගුහාවකට කොටු කොර එහි කටට ලී සහ ගල් යොදා දින තුනක් පුරා ගල්ලෙන ගිනි තබා නිට්ටෑවන් ඝාතනය කළ බව කියවේ.මෙතනින් පණ බේරාගෙන නිට්ටෑවන් දෙදෙනෙක් දිවගොස් ඕකන්ද කුලු  කියන කඳු මුදුනේ ටික කලක් වාසය කර සිටිද්දී ගම්මු අතින් මැරුම් කෑවලු.

මේ නිට්ටෑවා වැදි ජනතාවගේ පරම හතුරෙක්ලු. ඒත් වර්තමාන වැදි පරපුරේ නායක වන්නිල ඇත්තෝ නම් ඒ මතය බැහැර කරනවා. නිට්ටෑවන් එක් තැනකට කොටු කරලා සමූල ඝාතනය කළ බව හෝ නිට්ටෑවන් වැදි දරුවන් කෑ නිසා නිට්ටෑවන් විනාශ කළ බව ඔහු බැහැර කරනවා.මේ වගේ සිදුවීමක් ඌරුවරිගෙ වන්නිල ඇත්තන්ගේ මුතුන් මිත්තන්ගෙන් කිසිදිනෙක අහන්නටවත් නොලැබුණු බව ඔහු කියනවා.ඔහු කියන විදියට මේ නිට්ටෑවන් කියලා කොටසක් එදා වාසය කළා නම් එක්කෙනෙක් දෙන්නෙක් නොවෙයි කට්ටියක්ම ඉන්න ඕන. අනික ඒ අයගේ පරම්පරාවක් තියෙන්නත් ඕන.කොහොම වුණත් වැදිනායක වන්නිල ඇත්තො ලංකාවේ නිට්ටෑවන් කොටසක් සිටින්නට ඇති බව නම් විශ්වාස කරනවා.

මේ නිට්ටෑවන් ගැන බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙක් වුණු  හියු නෙවිල් විස්තර කර තිබෙන්නේ සතුන් මරා කන,කැළෑවේ වෙසෙන නපුරු  මානව විශේෂයක් විදියට. රංචු විදියට ජීවත් වෙන ඔවුන්ගේ සෑම රංචුවකටම නායකයෙක් ඉන්නවා.මේ වැඩිහිටි නිට්ටෑවන් දරුවන් උකුළේ හෝ උරයේ තබාගෙන ගමන් ගියාලු. ඔහු මේ සඳහා තොරතුරු ලබාගෙන තියෙන්නේ නම් පානම වැද්දන්ගෙනි.

වැද්දන්ගේ ගම්මානවලට වැදී වැදි දරුවන්,ස්ත්‍රින් වගේම දුබල අයත් පැහැරගෙන එන, දඩයමේ තනිව ගිය වැද්දන්  ඝාතනය කරන ජීවි කොටසක් ලෙස නිට්ටෑවන් හදුන්වා තියෙනවා.ඒත් ඔහු කියන විදියට මිනිසුන්  මරා කෑවත් නිට්ටෑවන්ගේ ආහාරවේල අල ,පලතුරු, ඉබ්බන්,මී මින්නන්, පළගැටියන්, මී පැණි වුණු බව නෙවිල් දක්වා තියෙනවා. මී පැණිවලට වැද්දන් හා නිට්ටෑවන් අතර නිතර ගැටුම් ඇතිවුණු බවත් වැද්දාගේ පරම හතුරා නිට්ටෑවන් බවත් ඔහු විස්තර කර තියෙනවා.

නිට්ටෑවන් ගැන අදහස් දක්වා ඇති ලුවිස්ගේ වාර්තාවලට අනුව නම් නිට්ටෑවන්ගේ ආහාරය ඉබ්බන්,හාවන් හා ලේනුන්. මොවුන් ඉබ්බන් කෑමට ඉතා ප්‍රිය කොටසක් වූ අතර ඉබ්බෙකු අල්ලගෙන ඔවුන්ගේ දිගු නියපොතුවලින් කටුව නොපලා ඉබි මස් ආහාරයට ගත් බව සඳහන්.නිට්ටෑවන්ට ඉතා ශක්තිමත් දෑත් දෙපා තිබී ඇති නිසා ඔවුන් විශාල සත්වයෙක් නම් ගල් ගසා මරා දමා නියපොතු සහ උල් ලී කැබලි ආධාරයෙන් උදරය පලා ලේ බිවු බවයි සඳහන් වෙන්නේ.නිට්ටෑවා අඩි 3ක් ද නිට්ටෑ ගැහැණිය අඩි දෙක හමාරක් පමණ උස බවට සලකනු ලබනවා.

වැද්දන් වගේ ඔවුන් ආයුධ භාවිතා කරලා නැහැ. ඔවුන් ආයුධ වෙනුවට ඔවුන්ගේ ශක්තිමත් බාහු සහ උල් නිය සහිත ඇඟිලි භාවිතා කරන්නට ඇති බව සිතන්න හැකියි. වැද්දන්ගේ වගේ ගින්දර භාවිතයක් මොවුන් සතු නොවූ නිසා නිට්ටෑවන් අමුවෙන්  මස් අනුභව කළා.වැද්දන් සතුන්ගේ ගාත් කපා ගන්නේ සතාගේ ප්‍රාණය නිරුද්ද වුණු පසුව වුණත් මේ නිට්ටෑවන් පණ පිටින්ම සතුන්ගේ හා මිනිසුන්ගේ අත් පා සහ මස් කඩා ගෙන කාපු කෘර ජීවි කොටසක්. නමුත් තම වර්ගයාගේ මස් ඔවුන් නොකෑ බවයි සඳහන් වෙන්නේ.

නිට්ටෑවන් ඇදුම් ඇද නොසිටි නමුත් ඇතැම් අයට අනුව නම් ඔවුන් වැද්දන් මෙන් කොළ අතුවලින් විලි වසාගෙන සිටි බව කියනවා. හියු නෙවිල් දක්වා ඇත්තේ නිට්ටෑවන් විසූ ප්‍රකට ගුහාව ලේනම ගුහාව බවයි. ලුවිස් කියන ආකාරයට නිට්ටෑවන් දහටවන සියවසේ අග භාගය තෙක්ම මෙරට කැලෑවල වාසය කර තිබෙනවා.

ලංකාවේ මේ නිට්ටෑවන් ඇත්තටම වඳ වී ගොස් නැති බව මේ මෑතක දී අම්පාරේ ප්‍රදේශ රැසකින් හමු වූ කුරු ජීවීන්ගෙන් අනුමාන කළ හැකියි.බොහෝ පිරිස් දැක ඇති ආකාරයට අඩි තුනක් තුන හමාරක් උස, කොණ්ඩය පිට හරියට වගේ වැවුණු කට රතු කුඩා මිනිසෙක්.නමුත් මෙසේ නිට්ටෑවන් දැකි බව පට්ටපල් බොරුවක් බවයි ඇතැම් පිරිස් පවසන්නේ.

කුටුම්බිගල කැණීම් කරද්දී එහි ගල් බෙනයක තිබී හමුව ඇති පාෂාණ භූත කුඩා මිනිස් හිස්කබල නිට්ටෑවෙකුගේ බව ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ අදහසයි.ඒ සාධකයට අනුව නම් ලංකාවේ වාසය කරපු ආදී වාසී ජනතාව වුණු වැද්දන් වගේම තවත් ජන කොටසක් මේ රටේ ඉඳලා තියෙනවා.

2004 දෙසැම්බර් 26 ඇති වූ සුනාමියට දින කිහිපයකට පෙර ලංකාවේ කුටුම්බිගල ආරණ්‍ය සේනාසනයේ සැරිසැරූ ස්පාඤ්ඤ ජාතික මහාචාර්ය සැල්වදෝර් මාටිනස් මේ නිට්ටෑවෙකුගේ ස්වරූපයට සමාන රුවක් සහිත ජීවියෙක් දුටු බව සඳහන්. එදින ඇති වූ හදිසි වැස්සෙන් බේරීමට ගල් ගුහාවකට ගිය ඔහු දැක ඇත්තේ වැස්සෙන් බේරීමට ගුහාව දෙසට එන අඩි 3ක් උස නිරුවත් අර්ධ මනුෂ්‍ය පෙනුමක් ඇති ජීවියෙක්. මාටිනස් සිටි බව ඉවෙන් වගේ දැනගත් ඒ ජීවියා වැස්සෙම නැවත හැරී ගිය බවයි සඳහන් වෙන්නේ.ඉතින් ඔහු දුටු මේ ජීවියා ලංකාවෙන් වඳවී ඇති නිට්ටෑවෙකු බවටයි විශ්වාස කරන්නේ.

මේ ලෝකයේ ප්‍රාථමික මනුෂ්‍ය වර්ගයන් ගැන පර්යේෂණ කරපු තවත් එක් පර්යේෂකයෙක් වුණු ඔස්හිල් ලංකාවට පැමිණ නිට්ටෑවන් සම්බන්ධයෙන් ද පර්යේෂණ සිදු කළා.ඒ අනුව ඔහු පෙන්වා දුන් අදහස වුණේ නිට්ටෑවන් මීට වසර ලක්ෂ 19 කට පෙර ලෝකයේ පහළ වෙලා වසර 70 000 කට පෙර මිහිමතින් වඳව ගියපු හෝමෝ ඉරෙක්ටස්ගේ වඳ නොවී ඉතිරි වුණු අර්ධ මනුෂ්‍ය කොටසක් බවයි.

අද වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කුරු මිනිසුන් දුටු බවට රාවයන්  පැතිර යන නමුත් ඒ සැබෑ ලෙසම මීට වසර ගණනාවකට පෙර ජීවත් වුණු නිට්ටෑවන් ද යන්න නිශ්චිත නැහැ. ඒත් බොහෝ අයගේ මතයට අනුව වඳ වී ගිය බවට විශ්වාස කළත් අදටත් ඔවුන්ගෙන් කිහිපදෙනෙක්වත් වනය තුළ ජීවත් වන බවට ඔවුන් අනුමාන කරනවා.

 

උපුටා ගැනීම: Hela Rahas

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!