” වැස්සක් එන්නයි හදන්නේ…ලොකු දුවේ.. ඔය රෙදි ටික ගත්තනම්.”
අඹ ගහ යටට වෙලා බර කල්පනාවක සිටි මං අහස දෙස බැලුවේ අම්මාගේ හඩිනි.අදුරු වුනු අහසත් මං වගෙයි කියලා මට හිතුනා.
රෙදි ටික අතේ දවටගෙන ගේ ඇතුලට යන කොට අම්මයි නංගීයි ලොකු කතාවක. ඒ දෙන්නට ඇත්තටම මං එන බව නොඇසුනා ද නැතිනම් හිතාමතා ඒ කතාබහ කලාද කියන එකනම් මට පැහැදිලි නෑ.
” දැන් අම්මලා මොකද අක්කට කරන්නේ”
” මං කියලා මොනවා කරන්නද.. තාත්තනම් කැමැත්තක් නෑ අක්කව ආයේ එහෙ යවන්න”
“ඒක මාර කතාවක්නේ.. මං කොහොමද සුපුන්ලගේ අම්මලට කියන්නේ අක්කා ගෙදර ඇවිත් කියලා.. අනික වටේ මිනිස්සු අපිට හිනාවෙයි..ලබන මාසේ සුපුන්ලගේ අම්මලා මෙහෙ එයි..ඔන්න මං දන්නෑ..”
එසේ කියූ නංගී රෙදි ගොඩත් සමග ඉන්න මා දුටු සැනින් රවා ගෙන ගොස් කාමරේ දොර මහ හඩින් වැසුවේ මට ගහන්නට බැරි නිසායයි මට සිතුනි.
හිතට ලොකු වේදනාවක් දැනුනත් ඒ බව නොපෙන්වා අම්මා ලගට ගියේ උදව්වක් කරන අටියෙනි.
” පොල් ගාන්නද අම්මේ ..” ආයාසයෙන් මම ඇසුවෙමි.
” ඕන නෑ නංගී ගෑවා..” ඒ පිලිතුරේ වූයේ නොපහන් බවකි. මං ආපසු හැරුනේ කාමරයට යාමටයි.
” ලොකු දුව මොකක්ද දැන් තීරණේ.. වටේ පිටේ මිනිස්සු අපට හිනාවෙයි… ගොඩින් බේරගන්න පුලුවන් දේවල් නේ… අර ළමයා කතා කලාද? “
කිසිත් නොකියු මම ඇදේ වැතිරුනෙමි. ඊයේ දිනය උදානොවුනානම් යැයි සිතිනි. මගේ මහ ගෙදරට අද මා ආගන්තුකයකු වී ඇත. වසර තිස්තුනක් මට සෙවන දුන් නිවසට අද මා බරක් වී ඇත. අක්කේ කියමින් මගේ තුරුලේ හැදුනු හැමදේම බෙදාහදාගත් නංගීට ද අද මාව වදයක් වී ඇත. වෙනදාට මායි ඇයයි බෙදාගත් ඇද අද මාගේ බර දැරීමට සූදානම් නැත. ගෙදරින් පිටව සිටි මාස නවයට අමුත්තන්ට දෙන කාමරය මට හිමි වීම ගැන එක් අතකින් පුදුම විය යුතුද නැත.
ආලෝක මට මුණගැහුනේ අම්මලා ගෙනාව යෝජනාවකින්. පෙනුමෙන් හා සිතුවිලි වලින් ඔහු මට පෑහෙන බවක් පෙනුනු නියාවෙන් ඔහු සමග ඉතිරි ජීවිතය ගත කිරීමට මා ද කැමති විය. නමුත් හිතුව තරම් එය පහසු නොවූයේ ඔහුගේ මහගෙදරට යාමත් සමගය. ඔහු මා ඉදිරියේ කර තිබුනේ රගපෑමකි. ඔහු මා හා විවාහ වී තිබුනේ අම්මාගේ බලකිරීමට මිස මා පිලිබද කැමැත්තකින් නොවන වග රණ්ඩුවක් පටන්ගත් දිනක ඔහු කිවේය.ඔහුගේ අක්කාගේත් අම්මාගේත් ආදරය කරුණාව නොලැබෙන්නට මා මේ තීරණය ගන්නේ මීට පෙරය. අම්මාගේ අදහස වූයේ දරුවකු සිටියා නම් ඔහු හික්මිය හැකි බවය. අකමැත්තෙන් වුවත් මාද ඊට ඉඩදුන්නේ ආලෝක මගේ ප්රථම හා එකම ආදරය වූ බැවින් මට ඔහු සමග සතුටින් ගත කිරීමට තිබූ ආශාව නිසාවෙනි. නමුත් සිදුවූයේ මා කබලින් ලිපට වැටීමක් පමණි. සුභ ආරංචිය සතුටින් පිලිගන්නවා වෙනුවට ඔහු කලේ මා සැක කිරීමය. කෙතරම් නින්දා ඉවසුවත් ඊයේ ඔහු කල යෝජනාව මට මතක් වනවිටත් ගෙන එන්නේ බියකි.
” ළමයෝ කෑම කන්න… වැස්සට සීතල වෙනවා කෑම.. මටත් මහන්සියි ඉක්මනට නිදාගන්න ඕන” අම්මා උලුවස්සේ සිට කතාකරන හඩින් මම තිගැස්සීමි.
“යං මං එන්නම්…” කියමින් මං යනවිට නංගී අවසන් නොකල කෑම පිගානත් ගෙන නැගිට්ටේ මාගේ මූණවත් නොබලමිනි. අම්මා උයා තිබුනේ මා කන්නට අකමැතිම ජාතිය.එය පල නොකියා පලා බෙදීමක් වැනි විය. එහෙත් මාගේ දරුවා වෙනුවෙන් ආයාසයෙන් වුවත් කෑම ගැනීම සදහා මා සුදානම් විය. ගෙදරට ඇවිත් පැය ගානටම තාත්තා හැර වෙන කිසිවෙකු මා සමග පැහැදීමකින් කතා නොකලහ. ඉතින් මටත් දරුවාටත් සරණක් මොවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි බව මට තේරුම් ගැනීමට අපහසු නොවීය.
දුවෙක් විදිහට ඉපිද හැකි පමණ අම්මටයි තාත්තටයි වගකීම් වලට උර දෙමින් ගෙවූ කාලය මතක් වීමෙන් මගේ දෑස තෙත් වූයේ දුකත් සතුටත් සම්මිශ්රව ඇතිවූ වේදනාවට විය යුතුය. හිරිමල් වයසේ හටගන්නා හැගීම් උපන්ගෙයිම වලදමා ජීවන බර සමග ඔට්ටු වූයේ නංගීට ලස්සන හෙටක් උදාකරලීම සදහාය. ඒත් අද, ඇගේ හෙට දවසට මා බරක් වී ඇත.
කාමරයේ ජනේලය විවෘත කල විට ගත දැවටුන සුලගින් මා ගත සීතල විය. අදින් පසුව මා ගත සනසන්න උණුසුමක් නැති බව මා තේරුම්ගෙන සිටිමි.ගැහැනියක් ස්වභාවයෙන්ම සුමටයි.නමුත් ඇයට අවශ්ය වුවහොත් යකඩයක් මෙන් රළු විය හැකි බවද මම දනිමි. . ආලෝක ගැනවත්, අම්මා නංගී ගැනවත් කිසිදු කහටක් මා සිත තුල නැත. නමුත් ආගන්තුක අසරණකමක් සිතේ ඇත.
මා මෙතුවක් කල් වෙහෙසුනේ මගේම අයගේ යහපත උදෙසාය. හෙට සිට මාගේ කුසෙහි වැඩෙන මාගේ ආදරයේ සංකේතය වෙනුවෙන් මා වෙහෙසිය යුතුය.එය දැන් මා ජීවත්කරවන එකම බලාපොරොත්තුව ද වී ඇත. ගැහැනු ළමයෙක් පිට ගෙදරක ඉන්දපු මල් පැලයක් වගේ කියලා කියමනක් තිබ්බත් සමහර මල්පැල මහවැසි ඉඩෝරවලට අහුවෙන බව සදහන් නැති එක ලොකු අඩුවක්.මාත් එලෙසම මහ වැස්සකට මුලින්ම ඉදිරිලා ආපූ පීදෙන්න කිට්ටු පැලයක්.වැස්සේම වුවත් මා අද එලියට බැස්සේ පැලයට හිමිකම් නොදරන තැනක මුල් ඇදගැන්මට සිතාගෙනය.
නිමි…..
උපුටා ගැනීම: Waruni Kanchana Mahaliyanage