බෙහෙත් විදින්න ගිහින් ගෙදර ඇවිත් ඇදුම් මාරු කරා විතරයි අම්මා පොඩ්ඩව මට භාර දීලා කුස්සියට ගියා. මම හින්දා දවල්ට කෑම හදන්නත් පරක්කු වෙච්ච බව හිතල මට පොඩි දුකකුත් ඇති උනා. කුස්සියට එබෙන කොට අම්මා බිත්තර ගහමින් වටලප්පන් හදන්න සූදානම් වෙනවා.
” අනේ අර මනුස්සයා තකහනියක්ම ඇවිත් හකුරු ටිකත් දීලා ගියා. රෑ වෙලා කිව්වා යන්නෙ. අරය හැදුවොත් ඕක ගෙනියන්න වෙන්නෙ නෑ කිව්වා. අක්කගෙ රසට හදන්නත් බෑ කිව්වා” බාප්පා ඇවිත් හකුරුත් , බිත්තරත් දීල ගිහින් තිබ්බා දානෙකටද කොහෙද ගෙනියන්න. අරයා කිව්වෙ අපේ ලොකු පුංචිට. මාගේ අදහසව වූයේ පුංචිලාට සාදන තැටියෙන් වටලප්පන් කෑල්ලක් කෑමටයි. නමුත් අම්මා අමතර හකුරු හා බිත්තර එක්කොට ගෙදර අයටද වටලප්පන් සාදා තිබුනා.
අපේ අම්මා හදන වටලප්පන් පවුලේ අය අතර බොහොම ජනප්‍රිය කෑමක්. ඕනම විශේෂ අවස්තාවකදි අම්මාගෙ වටලප්පන් වරදින්නෙ නෑ.
අපේ ගෙවල් වල වටලප්පන් හදන්න ගන්නෙ කිතුල් හකුරු. හොදින් ගසා ගත් බිත්තර වලට ලියා ගත් හකුරු එකතු කරන අම්මා හොදින් හකුරු දිය වනතුරු මිශ්‍ර කර ගන්නවා. ඉන් පසු එයට වැනිලා , සුවද කුඩු හා පොල් කිරි එකතු කර හොදින් මිශ්‍ර කර ගන්නවා. පොල් කිරි වෙනුවට පිටි කිරි හෝ ෆ්‍රෙශ් මිල්ක් යොදා ගන්නා වෙලාවල්ද තිබෙනවා . විශේෂ අවස්තා වලදී මිල්ක්මේඩ්ද යොදා ගන්නවා. අවසානයේ මිශ්‍රණය පෙරා ගන්නා අම්මා එය පෝරණුවට දමා ගන්නවා.
අම්මා වටලප්පන් සෑදීම ආච්චිගෙන් පුරුදු වූවක් නොවේ. ආච්චි බිත්තර පිලී ගද එනවායැයි පවසා කිසිදා වටලප්පන් කන්නේ නෑ. ඒ කාලයේ අම්මාගේ බාප්පාගේ නිවසේ වාර්ශිකව පවත්වන දානයට කෑම සාදන්නේ කෝකියන් විසින්. ඉතින් මේ වටලප්පන් සෑදිල්ල අම්මා ඉගෙන ගෙන තිබුනේ දානයට කෝකියන් විසින් සාදනු බලා හිද බවයි අම්මා පවසන්නේ.
අප කුඩා කල අම්මා වටලප්පන් සාදන දිනයේ එලියේ ලොකු ලිපක් බැද විශාල සාස්පනකට වතුර කාලක් පමණ පුරවා එහි මැද ගඩොල් කැට දෙකක් තබනවා. ඒ මත සාදාගන්නා ලද වටලප්පන් මිශ්‍රණය දමා ගත් කුඩා සාස්පාන තබා පියනින් වසා වතුර නොයාමට බරක් තබනවා. ලිප ගිනි මොලවා ලොකු සාස්පානද පියනින් වසා උඩින් ගලක් තබනවා. පැයක් පමණ ගතවූ පසු අම්මා පියන හැර වටලප්පන් මිශ්‍රණය මැදට ඉරටුවක් ගසා තැම්බී ඇත්දැයි පරීක්ෂා කරනවා. මුල් දින වලදී වටලප්පම තුලට වතුර ගොස් රස වෙනස් වුන අවස්තාද නොතිබුනා නොවේ. ඒත් අපි කිසිදා ඒවා ඉවත දමා නැහැ.
පරිස්සමින් ලිපෙන් සාස්පාන ඉවතට ගන්නා අම්මා ඉස්තෝප්පුවෙ වාඩිවී කෙල හලමින් සිටින මල්ලීටත් මටත් උණු උණුවේම වටලප්පන් බෙදා දෙනවා. මතකයේ හැටියට නංගී වටලප්පන් කෑවේ නෑ. ඒ කාලයේ කෑමට පසු අතුරුපසක් ලෙස මේවා කෑ යුතුයැයි අපිට නියමයක් තිබුනේ නෑ. ඕනෑම කෑමක් බඩේ ඉඩ තිබේ නම් අම්මා දෙනවා නම් කුණුකෙල පිටින් හෝ කෑමට අපි සැදී පැහැදී සිටියා. හොද පුරුදු රැකගෙන හොද දරුවන් ලෙස කෑම කෑවේ තාත්තා නිවසේ සිටින වෙලාවට පමණයි.
සාස්පානේ සාදන වටලප්පන් හා පෝරණුවේ සාදන වටලප්පන් අතර රසයේද වෙනසක් ඇති බවයි මගේ හැගීම. පෝරණුවේ සාදන වටලප්පන් මදක් තද ගතියෙන් යුක්ත වන අතර පැණි රසින්ද වැඩිය. ඒවා දෙවනි වර කෝප්පයට බෙදීමක් ගැන සිතා ගන්නට බැරි වෙන්නේ වැඩිපුර කෑ විට මත් වෙන නිසායි. සාස්පානේ සාදන වටලප්පන් මෘදු බවින් යුක්තයි. මම නම් තවමත් කැමති සාස්පානේ සාදන වටලප්පන් රසයටයි. සාස්පාන වෙනුවට රයිස් කුකරයේ ස්ටීමර් කොටසේ තබා වටලප්පන් සාදා ගැනීමටයි මා පුරුදු වී සිටින්නේ.
වරක් මා හට තීන්දු වූ මගුලක මනමාලයෙක් දවල් කෑම මේසයේදී ඇසූවේ මේ වටලප්පමට කජු කෝ කියාය. නිකන් දුන් වටලප්පමේ කජු හොයන්නේ කුමටදැයි අසන්නට මට ඕනෑ වූ නමුත් ඕවා ඇසීම සිරිත් විරිත් වලට පටහැනි වූ නිසා මම කට පියා සිටියෙමි. වටලප්පන් නම් කජු ඕනමයැයි ඔහු පැවසූවේ උපන් දා සිට වටලප්පන් සෑදූ කෙනෙකු මෙනි. මනමාල මහතා සිතුවේ එය සෑදුවේ මා බවයි. එදින ඔහු කෑම මේසයේදී වටලප්පන් විවේචනය කිරීම නිසා නැන්දම්මාගෙන් හිමි වන ලකුණු සියල්ල අහිමි කර ගත් අතර මනමාලයා චෙෆ් කෙනෙක්වූ නිසා එසේ අසන්නට ඇති බව පුංචි පැවසූවා. මාද පෝර දමමින් පැවසූවේ ඔහුගේ මැනර්ස් නොමැති බවයි. ඔය මගුල වූවා නම් නැන්දම්මාත් බෑණාත් අතරත් දුවත් බෑණාත් අතරත් නිතර කෑම ඝට්ටන ඇති වන බව නුවණින් වටහාගත් අපේ තාත්තා මනමාලයාගේ ගෙදරට යන්න හරියට පාරක් නැති බව පවසා ඒ මගුල අවසන් කර දැමුවා.
නිවසේ බොහෝ දෙනෙක් සහභාගී වන දාන, විශේෂ උත්සව වලදී කෑම සෑදීමට එන අයියා වටලප්පන් සෑදීමේදී තද පාටක් ගැනීම සදහා කොකෝ පවුඩර් යොදනවා. ඔහු පවසන්නේ වටලප්පන් සෑදීමට සීනි මිශ්‍ර කිතුල් හකුරු වුවත් කම් නෑ කියායි. ඔහු හකුරු ලියා ඒවා උණු කර නිවුනු පසු බිත්තර හා පොල් කිරි එකතු කර අම්මා නම් ඔහුට පවසන්නේ කොකෝ පවුඩර් නොමැතිව වටලප්පන් සාදන ලෙසයි.
අපේ ලොකු නෑනා සීනි කර කර පැණි සාදා වටලප්පන් සෑදූ බව පසුගිය දිනක රාජගිරියෙ අම්මා පැවසූවා. දවසක මාත් සිතා සිටින්නේ කිතුල් පැනි වලින් වටලප්පන් සාදා බැලීමටයි.
රැකියාවට ගිය කාලයේ එහි කොන්ත්‍රාත් වැඩ කල වසීම් මහතා බොහෝ අවුරුදු වල රාමසාන් කාලයේදී අපිට වටලප්පන් රැගෙන එනවා. ලොක්කන්ට වෙනමත් පොඩ්ඩන්ට වෙනමත් භාජන කිහිපයකට වෙන වෙනම රැගෙන එන වටලප්පන් බෙදා හරින්නේ කාර්යාලයේ සිටි ප්‍රේමසිරි විසින්. සර්ලාට ගේන වටලප්පන් ගෙදර ගෙනයාමට ඔවුන්ගේ වාහනවලට දමන ප්‍රේමසිරි අපේ වටලප්පන් වලින් සර්ලාට වටලප්පන් බෙදා ඉතිරිවූ ඒවා අපට ලබා දෙනවා.
මා පාසැල් යන කාලයේ නිවාඩුවට අපේ ගෙදර බොහෝ යෙහෙලියන් පැමිනෙන්නේ ආච්චිගේ කැවිලි හා අම්මාගේ වටලප්පන් කෑමටයි. බොහෝ අය දැනුදු දුරකතනයෙන් ඇමතූවත් මතක් කර සිටින්නේ අම්මා සාදන පැණි බේරෙන වටලප්පන් ගැනයි.
පාසැලෙන් සමුගෙන බොහෝ කල් ගත වූවත් අපේ යාලුකම් එදාමෙන්ම අදත් නොනැසී පවතිනවා. නිතර හමුවන දුරක සිටියත් , සයුරෙන් එහා දුරක සිටියත්, පාසලේ මිතුරන් වුවත්, කාර්යාලයේ මිතුරන් වුවත් , සැබෑ යහලුවන් කියන්නෙ ඕනම කෙනෙකුගෙ ජීවිතයට ලැබෙන අමතර බෝනස් එකක්. හරියට හොද කෑම වේලක් තවත් රස කරන්න හොද අතුරුපසක් ලැබෙනවා වගේ. මං කියන්නෙ වටලප්පන් වගේ.
පින්තූරය – නංගීගේ පෝරණුවේ සෑදූ වටලප්පන්
උපුටා ගැනීම: Buddhika Abeysundara