මිස් මහත්තයාගේ නම මොකක්ද?
කේ. පී. චන්දන පුෂ්ප කුමාර
එයාගේ වයස කීයද මිස්?
මා ඔහුගේ මුහුණ බලන ගමන් තිස් කියනවත් සමග මත්තයා අවුරුදු විසි නවයයි කීය.
මා හිතෙන් වයස හදන ගමන් මට වැරදිලාද කියා සිතුවෙමි. නැත මට වැරදී නැත. එයාට වැරදෙන්න ඇති කියා හිත හදාගන්න හැදුවත් මාගේ වයස තිහයි කියා හමාරය. ඒ කුලියාපිටියේ එක්තරා පුද්ගලික රෝහලක්ය. අපි දෙදෙනාම බෙහෙත් ගන්න එහි ගියෙමු. මට පළමු දරුවා ලැබෙන්න සිටිය නිසාත් ඔහුගේ හිසරදයටත් බෙහෙත් ගන්නට එහි ගියෙමු.මන් ඉතින් දැන් බාල වයස් කරුවෙකු හා විවාහ වී ඇතැයි මෙතන ඉන්න කෙල්ලෝ ටික සිතනවා ඇති. යමන්කෝ ගෙදර කිය කියා සිටිය මා ඔහුගේ අත හෙමින් කොනිත්තන ගමන් වයස ඇහුවෙමි. මනමාලකමට සිනාසෙන ඔහු දහ අටයි කීය.
ඉතින් දවසක් බෙහෙත් ගන්න ගියාම දොස්තර මහත්තයා කියාපි අයිඩින්ටිය අලුතෙන් හදලා ඕ ලෙවෙල් ලියන්න කියලා. මාගේ ස්වාමිපුරුෂයාගේ කට පුරා හිනාය. ඉතින් මේ පුංචි කොලු ගැටයා වගේ පේන එකට මොනාම හරි දෙයක් කල යුතුය කියා මාගේ හිත් පොජ්ජ නිතරම කිරී ගැහෙන නිසා මා ඔහුට රැවුල වැවීමට යෝජනා කලෙමි. ඉතින් දැන් ඔහු රැවුල වවාගෙනය. ටිකක් කොලු ගැටයෙක් වගේ ගතිය ගොසින්ය.
ඔන්න ඉතින් දවසක් දරුවෝ දෙන්නම අරගෙන අපි ළමා සායනයට ගිය අතර මා අප්පච්චි කියා ඔහුට ආමන්ත්රණය කලෙමි. මා ඔහුට අයියේ කියන අතර දවසක් ඩොක්ටර් කෙනෙකුගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගත් නිසා එදායින් පසු පිට තැනකදී අයියේ නොකිවෙමි . ගෙදර ඉද්දිනම් මන් චන්දරේ මගෙ හන්දියේ කියා අමතන විට ඒ ඔහුට කියා දැනගත්තත් අල්ලපු ගෙදර කෙනාට කථා කරනවා වගේ ඔහු සද්ද නැතිව හිදී .ඉතින් මා අප්පච්චි කියා ඇමතුව පසුව ඔහු ආ අතර එතන හිටිය අපේ මිඩ් වයිෆ් මිස් කියාපි මන් බැලුවා මේ ඉස්කෝලේ යන ළමයෙක්ද කියලා මාස් එක හින්දා රැවුල පෙනුනේ නෑනේ කියා. අපේ මනුස්සයට ඉතින් අවුරුදු නිකනුත් හිනා. මට ඉතින් යකා. මේ සෙනග මැද්දේ මන් නොන්ඩි වෙන්න ඕනෑය මාත් සද්දෙන්ම ඔහොම හිටියට අවුරුදු තිස් හතරක දෙදරු පියෙක් කියලා කියපු ගමන් මිඩ් වයිෆ් මිස්ටත් හිනා.
අපි දෙන්නා යාලු වෙලා ඉන්න කාලෙත් මෙහෙමය. දවසක් කුලියාපිටියේ එක්තරා ප්රසිද්ධ ෆාමසියකට ගිය අතර ඔයා ඔතන ඉන්නවද ඇතුලට එනවද කියා මගෙන් ඇසු අතර හැමදාම එළියේ විනාඩි විස්සක් විතර මා මුර කරන අතරඑදා කම්මැලි සිතී ඔහු සමග ඇතුලට ගොස් සෙනග වැඩි නිසා මා වාඩි වී සිටියෙමි. ආ ගොඩ කාලෙකින් නේද අයියේ දැන් මෙහෙ නෙමේද වැඩ කියා යන යන ෆාමසියේ කෙල්ලෝ මල් හිනාය. හිටපන්කෝ කිය කියා මා හිදගෙන සිටි අතර බැරිම තැන ගොස් ඔහුගේ ඇගේ ගැවී නොගැවී ළඟටම වී සිටියෙමි. කෙල්ලන්ගේ මුණ ඇදවෙනු මා දැක්ක අතර මෙතනත් ඇවිත් මනමාලකම් කර ඇති බවනම් පසක් විය. ඒකෙම බුක්ෂොප් එකට ගිය වෙලේද කෙල්ලෝ ටික හොදට කයිය අන්තිමට මේ ඔයාගේ අක්කද කියලත් උන් අහපි. අද ඉතින් යම යුද්දේ තමයි කියා සිතා සිටි මා ඒවායින් බැස එලියට එන විටම වැඩ පටන් ගතිමි.
ඉතින් වයසට වඩා බාල පෙනුමක් මහත්තයට තියෙන නිසා රැවුල වවලා මදියි කිය කියා සිතමින් සිටින මට ඒ වෙනුවෙන් ඔහුගේ පෙනුම වැඩි දියුණු කිරීමට එක අදහසක් තිබේ. ඒ කොණ්ඩෙට සුදු පාට ඩයි එකක් ගෑමය. කොයි වෙලේක හරි ආයේ වයස වැරදියට කිව්වොත්නම් ඒ ටික සිදුවනු නොඅනුමානයි.
උපුටා ගැනීම: Nadeeka Liyanage