වයස 80 යි අවුරුදු 64 කින් නාපු නැති ආමෝ හජි (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

පිරිසිදු බව කියන්නේ සෑම මනුස්සයෙක්ටම අත්‍යවශ්‍ය දෙයක්. මොකද ශරීරය නීරෝගිමත්ව තබා ගන්නට පිරිසිදුකම ඉතාමත් වැදගත් වෙනවා. නාන්නේ නැතුව දවසක් දෙකක්වත් ඉන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. ඒත් ඉතින් මේ වගේ මිනිස්සුත් ලෝකයේ ජීවත් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 64 ක් විතර නාන්නෙ නැතිව ජීවත් වෙන මිනිසෙක් ලෝකයේ ඉන්නවා. වැදගත්ම කාරණේ කියන්නේ ඔහුට කිසිම ලෙඩකුත් නැහැලු. ඔහු ලෙඩවෙන්නේ නෑවොත්ලු. මේ පුදුම මිනිසා හමුවෙන්නේ ඉරානයෙන්.

ඉරාන ජාතික ඔහු නමින් ආමෝ හජි( Amou Haji). ඔහු 1936 දී උපත ලැබූ අයෙක්.දැනට ඔහු අවුරුදු 84 ඉක්මවා තියෙනවා.ඔහුට නෑදෑයෙක්, යාළුවෙක්,හිතවතෙක් කවුරුත්ම නැහැ.ඔහු තනිකඩයි. ඒත් එයා ආදරයක් බලපොරොත්තුවෙන් ඉන්නේ. ඒ හමුවෙන කෙනාටත් ඉතින් ඔහුගේ ජීවිතයට හැඩ ගැහෙන්නත් වෙනවා. කොහොමවුණත් හජී අවුරුදු 60 කින් විතර පිරිසිදුවෙලා නැහැ. දැන් හජීට වයස අවුරුදු 80 කටත් වැඩියි. ඔහු වයස වුරුදු 20 දී පිරිසිදු වුණාට පස්සේ තාමත් ඔහු  පිරිසිදුවෙලා නැහැ. ඉතින් මේ කතාව අදහන්නත් අමාරුයි.

ඉතින් හජීට අනුව නම් එයා පිරිසිදු වුණොත් එය ලෙඩ වෙනවා. ඒ වගේම වතුර ඔලුවට දා ගනිද්දි දැඩි හිසරදයක් ඇති වෙන බවත් ඔහු පවසා තියෙනවා. ඉතින් ඇත්තටම නාන්නට පිරිසිදුව ඉන්නට වාසනාව නැති මේ පුද්ගලයා සැබැවින්ම අවාසනාවන්ත අයෙක් කියලා තමයි බොහෝ අය නම් පවසන්නේ.

නමුත් ඔහුට ඉතින් කිසිම කරදරයක් නැහැ. වගකීම් නැහැ. කාගෙන්වත් බලපෑම් නැහැ. ඔහු නිදහසේ ජීවත් වෙනවා. හජීට දුක් වෙන්නට කිසිම හේතුවක් නැහැ. ඔහුට නැති වෙන්නට කිසිම දෙයක් නැහැ. ඉතින් ඔහු නිදහස් පුද්ගලයෙක්.

කොහොමනමුත් මේ අපිරිසිදු මිනිසාට ජීවත් වෙන්නට නිවසක් නැහැ. ඒ නිසා ඔහු ජීවත් වෙන්නේ හිස් භූමි ප්‍රදේශයක. ඔහු නිදාගන්නේ බිම හාරාගත් වලක. ඉතින් සීත කාලයට ඔහු සීතෙන් ආරක්ෂා වෙන්න ඔහු ළඟ තියෙන අපිරිසිදු රෙදි කැබලිවලින් ඇඟ වසාගෙන කම්කරුවන් පළඳින හිස් වැසුමක් දාගන්නවා. හිසට ගඩොල් කැට කිහිපයක් තබාගෙන ඔහු නිදාගන්නවා. ඉන්පස්සේ ඔහු අර වල තුළට වෙලා කාලය ගත කරනවා.වැසි දවස්වලට ඔහු වෙනම ආවරණයක් තියෙන තැනකට යන බවයි පැවසෙන්නේ. වරක් ඔහුට දොර ජනෙල් නැති නිවසක් පවා නිර්මාණය කරදුන්නත් එහි වාසය කරන්නට හජී වැඩි  කැමැත්තක් දක්වලා නැහැ.ඉතින් ඔහු එවැනි ජීවිතේ සැබැවින්ම අප්‍රසන්න එකක් බව නම් පැහැදිලියි.

මේ හජී වැඩියෙන්ම ප්‍රිය කරපු දෙයක් තමයි දුම් පානය. ඒ නිසා දුම් පානයට වෙනම දුම් පයිප්පයකුත් ඔහු යොදා ගන්නවා. නමුත් සාමාන්‍යයෙන් දුම් බොන අය වගේ මොහු දුම්කොළ භාවිතා කරන අයෙක් නම් නෙවෙයි. ඒ සඳහා ඔහු යොදා ගන්නේ සතුන්ගේ මළ ද්‍රව්‍ය. ඒවා වේලා අරගෙන ඒ මළ කොටස් තමයි දුම් විදියට භාවිතා කරන්නේ.  ඒ විතරක් නොවෙයි හජීට හොඳ දුම්වැටි හෙම ලැබුණොත් ඔහු එක වරකට  දුම්වැටි 5 ක් 6 ක් දල්වා ගෙන පානය කරනවා.

ඉතින් හජී කොතරම් අපිරිසිදු වුණත් ඔහු තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වෙනවා. කොණ්ඩය වගේම රැවුලත් වැඩියෙන් වැවුණාම ගිනි ගොඩක් පත්තු කරලා එයින් පන්දමක් පත්තු කරගෙන වැඩි කොණ්ඩය රැවුල හෙම පුළුස්සා ගන්නවා. ඒ සඳහා ඔහු ළඟ කුඩා කණ්නාඩියකුත් තබාගෙන සිටිනවා.

නමුත් වසර ගණනාවකින් පිරිසිදු වෙලා නැති නිසා ඔහුගේ සමත් බොහෝ ගොරෝසු වී ඇති බව සඳහන් වෙනවා.ඉතින් දවසක් තරුණ ළමයි පිරිසක් හජීව සොයාගෙන ආවේ එයාට පිරිසිදු වෙන්න හොඳ අවස්ථාවක් හදලා දෙන්න. ඒත් ඉතින් නාන්න අකමැති හජී එතැනින් හෙමින් සීරුවේ මාරුවෙලා ගියාලු. කොහොමහරි ඉරාන මාධ්‍ය වාර්තා කරන විදියට නම් හජී තරුණ කාලයේ ඉතාමත් දුක්ඛිත තත්ත්වයකට මුහුණ දෙන්නට ඇති කියලයි වාර්තා වෙන්නේ. ඒ හේතුව නිසාම ඔහු මෙවැනි අපිරිසිදු ජීවිතයක් ගත කරන බව විශ්වාස කරනවා.

නමුත් හජී ගැන වාර්තා වෙන තොරතුරුවලට අනුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යන්නට ඔහු දවසකට ජලය ලීටර් 5 පමණ පානය කරනවා. නමුත් ඔහු වතුර පානය කරන්න භාවිතා කරන්නේ නම් ඉතා අපිරිසිදු මල බැඳුණු ටින් බෙලෙක්කයක් වැනි දෙයක්.ඒ වතුරත් අපිරිසිදු බොරවුණු ඒවා බවයි වාර්තා වෙන්නේ. ඔහු ආහාරයට ගන්නේ මැරුණු සතුන්ගේ කුණු වූ මස් .විශේෂයෙන්ම ඉත්තෑවන්ගේ කුණු වුණු මස්වලට වගේම උරුලෑවන්ගේ කුණු වූ මස්වලටයි ඔහු වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ. පිරිසිදු කිසිම දේකට ඔහු කැමති නැහැ.

ඉතින් හජී ගැන කියවද්දි ඔබට සිතෙනවා ඇති ඔහුට යම්කිසි මානසික රෝගයක් තියෙනවා කියලා. නමුත් හජීට එවැනි කිසිම මානසික රෝගයක් හෝ වෙනත් කිසිම රෝගයක් ඔහුට නැති බව සඳහන්  වෙනවා. නමුත් ඔහු අතීතයේ ජීවත් වුණු විදිය මතක් කරද්දි ගොඩක් හැඟීම්බර වෙන කෙනෙක්. ඒ වගේම ඔහු බොහෝ කරුණාවන්ත අයෙක් කියලත් බොහෝ අය පවසනවා.බොහෝ අය කියන විදියට ඔහු තරුණ කාලයේ ආදරයෙන් පරාජය වීම නිසා මේ තත්ත්වයට පත්ව තියෙනවා.

ඉතින් වසර 64 ක් පිරිසිදුවෙලා නැතිව හජී තියපු වාර්තාව නිසා ඊට පෙර ඉන්දියානු ජාතිකයෙක් වුණු කාලිෂ් සිංග්ගේ වාර්තාව බිඳ වැටුණා. මොකද කාලිෂ් වසර 38 ක් පිරිසිදු වුණේ නැතිව තියපු වාර්තාව හජී අවුරුදු 64 ක් පිරිසිදු නොවී බිඳ දැම්මා. ඒ 1954 ඉඳලම නාන්නේ නැතිව ජීවත් වෙමින්.

ඉතින් ඔහු වසර 64 කින් පිරිසිදු නොවී ජීවත් වුණාට කිසිම අයෙක්ට ඔහුගෙන් කරදරයක් නම් නැහැ. ඔහු සතුටින් නිතරම සිටින කෙනෙක්. ඉතින් ලෝක වාර්තාවකුත් තියපු මේ ආමෝ හජී ලෝකයේ අපිරිසිදුම මිනිසා වුණාට ඔහුගේ හදවතේ කාටවත් නොකියූ රහසක් සැඟවී තියෙන්නටත් පුළුවන්.මොකද සාමාන්‍ය මනුස්සයෙක් මේ තරම් කාලයක් අපිරිසිදුව ඉන්නට කුමක් හෝ හේතුවක් තියෙන්නට ඕන නේ. නමුත්  හජී කියන්නේ මානසික ආබාධයක් ඇති කෙනෙකුත් නොවෙයි. කොහොමහරි ඔහු අදටත් සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම නිදහස් ජීවිතයක් ගෙවමින්. ඔහු පරිසරයටම අනුගතව ගෙවන ජීවිතය නිසාම වෙන්න ඇති ඔහුට කිසිම ලෙඩක් රෝගයක් නැති නීරෝගී ජීවිතයක් හිමිවෙලා තියෙන්නෙත්.

 

උපුටා ගැනීම: VOICE Official Lanka Post Blog

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!