වෙද නලාවෙන් පෑනට බට ඇන්ටන් චෙකොෆ් (චරිත)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලෝක සාහිත්යය සැලකීමේ දී රුසියානු සාහිත්යය ඉතා ඉදිරියෙන් තිබෙන්නක්. රුසියානුවන් අතින් ලොව විශිෂ්ටතම ගද්ය, පද්ය පමණක් නොව ලොවක් වසඟ කළ නවකතා, කෙටිකතා මෙන්ම නාට්යයන් පවා බිහි වී තිබෙනවා. මක්සිම් ගෝර්කි, ෆියදෝර් දොස්තයෙව්ස්කි, නිකොලොයි ගොගොල් වැනි සාහිත්ය ලෝකයේ පතාක යෝධයින් රුසියානු භූමියේ උප්පත්තිය ලද අයයි.
දහනව වන සියවසෙහි අවසාන භාගයේ රුසියානු සාහිත්ය නිර්මාණ ගැන කතා කිරීමේ දී ඇන්ටන් චෙකොෆ් නාමය සඳහන් නොකළහොත් එය ඉතා බරපතල අඩුවක්. ජීවත් වූයේ වසර 44ක් වැනි කෙටි කලක් පමණක් වූවත් ඔහු විසින් ලොවට ඉදිරිපත් කළ නිර්මාණ ගොන්න සුළුපටු නැහැ. සාහිත්යධරයෙක් වශයෙන් සිය උපරිමයට පැමිණෙමින් සිටිය දී ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගැනීමට සිදු වූවත් එතෙක් සිදු කළ නිර්මාණ වල විශිෂ්ටත්වය නිසාම සිය නාමය ඉනික්බිති වසර සිය ගණනක් රැව් පිළිරැව් දෙන තත්ත්වයක් උදා කර ගැනීමට ඔහු සමත් වුණා.
චෙකොෆ්ගේ උපත හා අධ්යාපනය
ඇන්ටන් පැවලොවිච් චෙකොෆ් උප්පත්තිය ලබන්නේ ක්රි.ව 1860 ජනවාරි මස 29 වනදා රුසියාවේ තගන්රොග් හීදීයි. කුඩා වෙළඳසැළක් පවත්වාගෙන ගිය ඔහුගේ පියා පාවෙල් නිතරම පාහේ මුදල් අඟහිඟකම් වලින් පිරුණු තැනැත්තෙක් වුණා. ඔහුගේ මව වන යෙව්ගිනියා කුඩා ඇන්ටන් හා ඔහුගේ සහෝදර සහෝදරියන් පස් දෙනා වටකරගෙන විවිධ කතාන්දර කියාදීම පුරුද්දක් කරගෙන තිබුණා. ඇන්ටන්ගේ නිසඟ රචක හැකියාවට අවශ්ය පරිචය ලැබුණේ මෙමඟින් බව කිව හැකියි.
ක්රි.ව 1875 දී, එනම්, ඇන්ටන් චෙකොෆ්ට යාන්තම් වයස අවුරුදු 15ක් පමණ වන විට දී ඔහුගේ පියාගේ වෙළඳ ව්යාපාරය බිඳවැටෙනවා. මේ නිසා ඔහු සිය ගම්බිම් අතහැර, දරුමල්ලන්ද කැටුව මොස්කව් නුවරට සංක්රමණය වීමට තීරණය කරනවා. ඒ, වෙනත් රැකියාවක් සොයාගැනීමේ අපේක්ෂාවෙන්. කෙසේ වෙතත් මේ වන විට හොඳින් අධ්යාපනය හදාරමින් සිටි ඇන්ටන් තගන්රොග්හි ඔහුට හුරුපුරුදු පරිසරයේ නවත්වායාමට පාවෙල් තීරණය කරනවා. ඉතාම හොඳින් අධ්යාපනය හදාරන දීප්තිමත් සිසුවෙකු වූ ඇන්ටන් ක්රි.ව 1879 වසරේ දී සිය මූලික අධ්යාපනය හමාර කොට සිය පවුල හා එක්වන්නේ වෛද්ය විද්යාලයට තේරී පත්වීමෙන් අනතුරුවයි. කෙසේ නමුත් ඉන් ඇන්ටන් චෙකොෆ්ගේ ජීවන අරගලය නිමා වෙන්නේ නැහැ. මූලික අධ්යාපනය ලබන සමයේ දී ඊට අවශ්ය මුදල් තනිවම සොයාගත් ඔහුට වෛද්ය විද්යාලයට තේරී පත් වූ පසු ද එසේ කිරීමට සිදුවන්නේ සිය පවුලට ද ආර්ථික වශයෙන් උපකාර කරන අතරේ යි. ඔහු මේවාට අවැසි මුදල් සොයාගත්තේ ඉගැන්වීම් කටයුතු වලින් හා නිදහස් රචකයෙකු ලෙස කෙටි කතා, චිත්ර කතා වැනි දේ ලිවීමෙනුයි.
ලේඛක දිවියේ මුල් අවධිය
ක්රි.ව 1880 දශකයේ මුල් භාගයේ දී ඇන්ටන් චෙකොෆ් වෛද්යවරයෙකු ලෙස සේවය කිරීමට පටන් ගත් අතර ඒ කාලයේදීම සිය සාහිත්ය නිර්මාණ කිහිපයක්ම එළිදැක්වීමට යෙදුණා. මෙතෙක්කල් ආරූඪ නාමයකින් සිය නිර්මාණ ඉදිරිපත් කළ ඔහු සිය නමින්ම නිර්මාණ පලකිරීමට පටන් ගත්තා.
ඔහුගේ නිර්මාණ පුවත්පත්වල පල වුණු අතර බොහොමයක් ඒවා පාඨකයින් විසින් වැළඳගත්තා. විශේෂයෙන්ම ඔහුගේ Motley Stories (1886) හා The Steppe යන නිර්මාණ අතිසාර්ථක වූ අතර 1888 වසරේ දී සාහිත්ය නිර්මාණ සඳහා පිදෙන පුෂ්කින් ත්යාගය පවා පිරිණැමුණේ The Steppe වෙනුවෙනුයි. මුල් කාලයෙහි ඇන්ටන් චෙකොෆ්ගේ සාහිත්ය නිර්මාණ වල, 19වන සියවසේ සත්යවාදී කතා ශෛලිය අනුගමනය කරමින් කෘති රචනා කළ ලියෝ තෝල්ස්තෝයි හා ෆියදෝර් දොස්තයෙව්ස්කි වැන්නවුන්ගෙන් ගත් ආභාෂය කැපී පෙණුනා.
මේ කාලයේ වේදිකා නාට්යය වෙනුවෙනුත් චෙකොෆ් විසින් තිර පිටපත් ලිවීම සිදු කළා. මුලදී කළ නිර්මාණ ඒ තරම් සාර්ථක නොවුණ ද, ඔහු විසින් තමන්ට අනන්ය වූ ශෛලියක් ගොඩනඟාගැනීම ඉක්මණින්ම සිදු කළා. විශේෂයෙන් ඔහුගේ නිර්මාණ වල හාස්යය හා දුක යන භාවයන් දෙකම ඉතා අපූර්ව සංකලනයකින් යුතුව ගැබ්ව තිබුණා. එසේම ඔහු විසින් රුසියානු ඉහළ පැලැන්තියෙහි දුර්වලතා හා අනර්ථකාරී ක්රියා සිය නිර්මාණ වලින් හොඳින් විවේචනය කර තිබුණා. Ivanov (1887) හා The Wood Demon (1889) යන ඔහුගේ මුල් කාලීන නිර්මාණයන් දෙකෙහි, අධ්යාපනය ලද ඉහළ පන්තියේ රුසියානු මිනිසුන් ණය, රෝගාබාධ, හා දුක්ඛ දෝමනස්සයන් සමඟ ගනුදෙනු කරන ආකාරය හොඳින් සාකච්ඡාවට බඳුන් කර තිබුණා.
ඇන්ටන් චෙකොෆ් ගේ සුවිශේෂී නිර්මාණ
ක්රි.ව 1890 සිට සිය දිවිය නිමාවන තුරුම ඇන්ටන් චෙකොෆ් විශිෂ්ට සාහිත්ය නිර්මාණ රාශියක්ම ලොවට දායාද කරනවා. විශේෂයෙන්ම ඔහු විසින් රචිත කෙටි කතා කිහිපයක්ම පාඨක ප්රසාදයට ලක් වෙනවා. “Ward No. 6” සහ “The Lady with the Dog,” යන කෙටි කතා වලින් මනුෂ්යභාවයන් ගැඹුරු ලෙස විදහා පෑමටත් සාමාන්ය සිද්ධීන් ඔස්සේ ඉතා ගැඹුරු සාමාජීය පැතිකඩ සාර්ථකව සාකච්ඡා කිරීමටත් ඔහු සමත් වී තිබෙනවා.
ඇන්ටන් චෙකොෆ් නාට්ය රචකයෙකු ලෙස උපරිමයටම පැමිණි සමයේ ඔහු විශේෂයෙන්ම සිය නිර්මාණයන් කේන්ද්රගත කරන්නේ මානව හැඟීම් හා චරිත ඔස්සේයි. ඔහුගේ බොහෝ නිර්මාණවල චරිතයන් විශාල ගලායෑම් පෙන්නුම් නොකළත්, ඒ තුළින් ඉතා දැඩි ලෙස එම චරිතය නියෝජනය කරන සමාජ තලයේ අභ්යන්තරික ගැටුම් ගෙනහැර පෑමට ඔහු මොනවට සමත් වී තිබෙනවා. විශේෂයෙන්ම ඔහුගේ මේ නිර්මාණ පූර්ව-විප්ලවීය රුසියාවේ සමාජක්රමයේ දුර්වලතා හොඳින් උළුප්පවා පෙන්වීමට සමත්ව තිබෙනවා.
මේ කාලයේ දී ඇන්ටන් චෙකොෆ් නාට්යවේදී කොන්ස්ටන්ටීන් ස්ටැනිස්ලව්ස්කි හා මොස්කව් රංගශාලාව හා එක්ව ඉතා විශිෂ්ට නාට්ය නිර්මාණ කිහිපයක්ම කරනවා. The Seagull (1895), Uncle Vanya (1897), The Three Sisters (1901), සහ The Cherry Orchard (1904) ඉන් සාර්ථකම කිහිපයක් වෙනවා. පසුකලෙක නාට්යවේදී රංජිත් ධර්මකීර්ති විසින් “චෙරි උයන” යන නමින් ශ්රී ලාංකික වේදිකාවට ගෙන ආවේ මේ “The Cherry Orchard” නම් නාට්යය යි.
ජීවිතයේ අවසාන අවධිය හා අකල් මරණය
ක්රි.ව 1901 දී චෙකොෆ් ඔල්ගා නිපර් නම් රංගන ශිල්පිනිය හා විවාහ වෙනවා. කෙසේ නමුත් මේ වන විටත් ඔහුට ක්ෂයරෝගය වැළඳී තිබුණු අතර එකල ඊට සාර්ථක ප්රතිකාර නොතිබුණු නිසා සෑහෙන තරම් සෞඛ්යයෙන් පිරිහී ගොස් තිබුණා. සිය දිවියේ අවසාන කාලය ජර්මනියේ සාත්තු නිවාසයක ගෙවා දැමූ මේ අසහාය සාහිත්යධරයා ක්රි.ව 1904 ජූලි මස 15 වනදා දිනය උදාවත්ම මෙලොවින් සමුගන්නවා.
ඇන්ටන් චෙකොෆ් ඔහුගේ යුගයේ ලොව පහළ වූ විශිෂ්ටතම සාහිත්යධරයෙකු ලෙස පිළිගැනෙනවා. තවමත් ඔහුගේ නාට්ය නිර්මාණ ලොව පුරා වේදිකා ගත වන අතර පසු කාලීන සාහිත්යකරුවන් රාශියක් ඔහුගේ නිර්මාණ වලින් ආභාෂය ලබා තිබෙනවා. අර්නස්ට් හෙමින්ග්වේ හා ටෙනිසි විලියම්ස් ඉන් දෙදෙනෙකු පමණයි
ඇන්ටන් චෙකොෆ් ලංකාවෙන් ගෙනගිය මුගටියන්……
ඇන්ටන් චෙකොෆ් නම් මහා ගත්කරුවාණන් නාට්ය සහ කෙටිකතා ලොවට අලුත් මානයක් එක් කල මහ ගත්කරුවෙකි. ඔහු ජීවත් වූ අවුරුදු 41ක් තරම් වූ කෙටිකාලය තුල ඔහු විසින් ලියන්නට යෙදුන කෙටිකතා ලොව වැඩිම භාෂා සංඛ්යාවකට පරිවර්තනය වූ කතාවෝ වෙති. භාෂා සියයකටත් අධික සංඛ්යාවකට ඇන්තන් චෙකොෆ්ගේ කෙටිකතා පරිවර්ථනයවී ඇත.
ඇන්ටන් චෙකොෆ් ආසියාවේ ශාස්ත්රාලය බඳු ඉන්දියාවට කෙදිනකවත් ගොස් නැත. එහෙත් අප මෙම පුණ භූමිය වන ලංකා පොලවට චෙකොෆ් ගොඩබැස එහි සුව විදගත් සැටි ඔහුගේ ජීවන වෘත්තාන්තයේ පැහැදිලිව දක්වා තිබේ. චෙකොෆ් ලංකාවේ වාසය කලේ දින තුන හතරකි. ඒ ගැන ඔහුගේ පසුකාලීන වාර්තා වල දැක්වෙන්නේ ද ඉතා අඩුවෙනි. එහෙත් නිසැක වශයෙන්ම ඔහු ලංකාවට ආ බැව් ඔහු ලංකාවෙන් ගෙනගිය මුගටින් සහ කැටයම් ආශ්රයෙන් නිගමනය කළ හැක.
1. චැකොෆ්ගේ සක්හලින් දූපත් සවාරිය සහ ආසියා ගමන
දැනට ලෝකයේද ඇති දීර්ඝතම දුම්රිය මග වන්නේ ට්රාන්ස් සයිබීරියානු දුම්රිය මගයි. මොස්කව් සිට ට්රාන්ස් සයිබීරියානු දුම්රිය මග ඔස්සේ ජපාන අන්තයට පැමිණෙන චෙකොෆ් එකල ඒ ගමන වෙනුවෙන් මසකවත් කලක් ගත කරන්නට ඇත. අදද ඒ දුම්රිය ගමනට සතියකට වඩා කාලයක් ගත වේ. රුසියාවට අයිති සක්හලින් දූපත අද සරුසාර දිවයිනකි. එහෙත් එදා චෙකොෆ් ගිය සක්හලින් දූපත මහ අපායෙකි. එහි සිරකරුවෝ පිරි සිටි අතර දුප්පත්කමින් මිනිස්සු තෙරපී වැටී දිවි ගෙවූහ. මේ සක්හලින් හි පිඩිත ජීවිත දුටු චෙකොෆ් සතර පෙර නිමිති වල මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් දුටු සිද්ධාර්ථ මෙන් ජීවිතය ගැන අලුත් දැක්මක් සොයන්නට පටන් ගත්තේය. පැහැදිලිව ම ඉන් පසුකාලීනව චෙකොෆ්ගේ කතා වල පෙරට වඩා ගැඹුරක් ඇතැයි සාහිත්ය විචාරකයෝද පවසති.
2. සිංගප්පූරුව සහ ලංකාව
අද කාලයේ නම් අවිවාදයෙන්ම සිංගප්පූරුව ලංකාවට වඩා දියුණු රටකි. එහෙත් ඒ 1959 කාලයේදී සිංගප්පූරුව යනු එතරම් දියුණු තැනක් නොවේ. ඒ ගැන වැඩි මතයක් ගෙන හැර පා නොමැති චෙකොෆ් ලංකාවට ආසන්න ඉන්දියන් සාගරයට පිවිසෙත්ම එහි ගිලී නාන්නට පටන් ගත් බව දැක්වේ. නාන අතර චෙකොෆ්ට ඈතින් සිට පීනන මෝරුන් දිස් වූ හෙයින් හනි හනික නැවත නැවට ගොඩ වූ බවක්ද ඔහුගේ වාර්තාදියේ දැක්වේ. ඒ අතර චෙකොෆ්ගේ හද කකියෙන තවත් සිදුවීමක් විය. එනම් නැවේදී මියගිය දෙදෙනෙක් රුවල් රෙදි වල ඔතා මුහුදට දැමීමයි. සැතපුම් ගණනාවක් ගැඹුරු මුහුද පත්ලට ඒ රුවල් රෙදි වලින් එතූ මිනී ගිලී යන අන්දම චෙකොෆ් නැව් තට්ටුවට වී සෝ බර මුහුණින් බලා සිටින්නට ඇත.
චෙකොෆ් ලංකාවේදී ලියන්නට පටන් ගෙන රුසියාවේදී හමාර කල ගුසෙෆ් නම් කෙටිකතාව පාදක වන්නේ ඒ නැව් තට්ටුවේ දී මිය ගිය මිනී දෙක වටාය. එය සත්යම කතාව නොවුණද එහි ආභාෂය මැනවින් කතාවට වැටී ඇත. ඒ ගමනේදී කතා කිහිපයක්ම පටන් ගෙන තිබෙන මුත් ඔහු ඒවා අවසාන කොට ඇත්තේ මොස්කව් වලදීය.
3. ලංකාවේ ආශ්චර්යය
කලින් සක්හලින් දූව නම් මිහිබට අපායක් බදු තැනකට ගොස් ඒ දිවිය ගැන කලකිරී ඊලගට දින ගනනාවක දීරඝ මුහුදු ගමනකින් ලංකාවට ගොඩබැසගත් නිසාදෝ ලංකාව පාරාදීසයේ දිවයින යැයි චෙකොෆ් විසින් හදුන්වා දී තිබේ. එකල ලංකාවට පැමිණි බොහෝ විදේශිකයෝ මෙය කදිම සුරපුරයකැයි ඔවුන්ගේම අකුරින් ලියා තිබෙනු පැරණි වාර්තා බැලූ විට පෙනී යයි.
චෙකොෆ්ට ගැහැනු වශී වූවාද චෙකොෆ් ගැහැණුන් පිටුපස ගියාද යන්න පැහැදිලි නැති මුත් චොකොෆ්ගේ දිවියට ගැහැණුන්ගෙන් මදි පාඩුවක් නම් වී නොමැති බැව් ඔහුගේ දිවිගමන නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. තාල වර්ගයේ පොල් ගසින් සැදි බිම මතින් ඇදෙන දුම්රිය. සෞම්ය කාලගුණයක් සහිත නුවර පරිසරය ගැන සඳහන් කර ඇති චෙකොෆ් කදිම දුඹුරු පැහැති කාන්තාවන්ද ලංකාවේ සිටි බැව් කියා තිබේ. ඇතැම් විට නුවර ගිය ගමන ඇවිදින්නට ගිය ගමන් චෙකොෆ් කාන්තාවක් කැටුව යන්නටද අමතක නොකරන්නට ඇත. චෙකොෆ් නුවරදී දමිල ක්රිස්තියානි අයගේ පෙරහැරක් දැක ඇති අතර එය වතුකම්කරුවන්ගේ පෙරහැරක් වියහැකි යැයි මාර්ටින් වික්රමසිංහ සිය චෙකොෆ් හා ලංකාව පොතේ කියා තිබේ.
4. මතක සටහන්
කොළඹ කොටුවේ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ලංකාවේ ඇති පැරණිතම හෝටල වලින් එකකි. එහි 1889 නොවැම්බර් මස චෙකොෆ් විසූ බවට වාර්තා වේ. එහි සිට එලියට බැස ඇවිදන චෙකොෆ්ට මග තැනක නයි නැටවීමක් දකින්නට ලැබී තිෙබ්. ඉන් අනතුරුව නයි මුගටි හටනක්ද තිබූ අතර එහිදී මුගටියාට චෙකොෆ්ගේ සිත ගියේය. ඔහු ලංකාවෙන් මුගටින් දෙතුන් දෙනෙකු නැවෙන් රැගෙන ගිය අතර ඔවුන් අරාබිය සූවස් ඇල මධ්යධරණී මුහුද හරහා මොස්කව් දක්වා ගමන් කලෝය. මුගටි පැටවුන්ට සමකාලීන සාහිත්යකරුවන්ගේ නම් දමන්නටද චෙකොෆ් උත්සාහ ගත් නමුත් නැවේ ගිය සේවකයින් උන්ට ඒ වනවිටත් නම තබා තිබූ බැවින් චෙකොෆ්ගේ නම් තැබීම පලක් නොවීය.
පසුකලෙක ඊට වසර 3-4කට පසු මෙම මුගටින් මොස්කව් සත්වෝද්යානයට බාර දීමට සත්වෝද්යානයට චෙකොෆ් විසින් ලියා ඇතිමුත් ඒ සතුන් මොස්කව් සත්වෝද්යානයේ සිටියේදැයි පැහැදිලි සටහනක් නැත. 1959 දී චෙකොෆ්ගේ ක්රිමියාවේ නිවස වෙත ගිය මාර්ටින් වික්රමසිංහ එහි ලංකාවෙන් ගෙනගිය ඇත් රූප එහි ඇතැයි සඳහන් කොට තිබේ. සමහර විට අදද ක්රිමියාවේ යාල්ටා හි චෙකොෆ්ගේ පැරණි නිවසේ වූ කෞතුකාගාරයේ ලංකාවෙන් ගෙන ගිය ඇත් රූප තිබෙනවා වන්නට ඇත. සෝවියට් මතය ලොව ප්රචලිත කිරීමේ එක් උපායක් ලෙස එකල සෝවියට් දේශය හරහා පොත පත සාපේක්ෂව ඉතා අඩුමිලට පරිවර්තනය වී ලංකා වෙළඳපොලට නිකුත් විය. එම පොත් හරහා රුසියානු සාහිත්යය රස වැටුණු ලාංකිකයින්ට චෙකොෆ් යනු අමුත්තකු නොවේ. අප කුඩා දිවයිනට දින තුනකට හෝ එම මහා ගත්කරු පැමිණ තිබීම අපගේ ගෞරවාදරයට හේතු වේ…
………….අන්තර්ජාලය ඇසුරෙනි……….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!