මේ සිදුවීම වෙන්න හරියටම 1989 ජූලි 09 වෙනිදා. මං එතකොට හිටියෙ මගේ තරුණම වයසෙ. වයස 25යි. මට ඉක්මනට කේන්ති යන ගතියක් පොඩිකාලෙ ඉඳලම තිබුණා. කොහොමත් ඒ කාලෙ රටේ තිබුණ සමාජ ආර්ථික දේශපාලන ප්රශ්න නිසා තරුණයො ගොඩක් ආවේගශීලියි. මමත් රැඩිකල් අදහස් දරපු , සිස්ටම් චේන්ජ් එකක සිහිනයක් වෙනුවෙන් විප්ලවයෙ හිටපු කොල්ලෙක්. මට ගෙදර මිනිස්සු මගේ ළඟම ආදරණීය අය මගහැරුණ.
එදා මං ගෙදර ඉස්තෝප්පු කාමරේ වැල් ඇඳේ නිදාගෙන හිටියෙ. ජනක සහෝදරයා එවපු පණිවිඩේට දෙපාරක් නොහිත කඩිමුඩියේ එලියට බැස්සෙ අතට අහුවෙච්ච ඇඳුමත් ඇඟට දාගන්න ගමන්.
ඒක මහ මූසල දර්ශනයක් කියල ඒ දවස්වල නොතේරුණෙ ඊට වඩා මූසල දේවල් තාප්ප උඩ , ලයිට් කණුවල, මහපාරෙ ගිනිගන්න ටයර් අස්සෙ තිබුණ නිසා. ගෙදර හිටපු කලු පූසා දොරකඩම මැරිල හිටියත් ඒක නොදැක්ක ගාණට මං ගමන ගියා.
ජනක කියන්නෙ අපිත් එක්ක එකට විප්ලවේ හිටපු සගයෙක්. උස මහත, හැඩි දැඩි පෞරුෂයක් තියෙන කෙනෙක්. කාටවත් බෑ මිනිහ එක්ක ඔට්ටු වෙන්න.
දෙවැට මැද්දෙන් ඇල පාර දිගේ ගිහින් ජනක එන්න කියපු තැනට මං ගියා. පුදුමයි.
එතන කවුරුවත් හිටියෙ නෑ. අපේ එක සහෝදරයෙක්වත් පේන්න හිටියෙ නෑ.
මං ටිකක් බලන් හිටිය. ලොකු වෙලාවක් නෙවෙයි. තත්පර 10 ක් විතර යන්න ඇති. මට මාවම පේන්න පටන් ගත්ත.
හැබැයි මම හිටියෙ බිම වැටිල. මට කොහොමද මාව පේන්නෙ. මට දැනෙනව මාව පාවෙනව වගේ. ඒත් මම දැකපු මම හිටියෙ බිම වැටිල. ඔලුවෙන් ලේත් එනවා. වෙඩි තියලද?
ඔව්. කවුරු හරි මට වෙඩි තියල. ඒත් කෝ ජනක ? සහෝදරවරු ?
විනාඩි තුන හතරකින් කට්ටියක් එතනට ආවා. ජනකත් එතන හිටියා. ජනක විප්ලවය පාවා දීල. මට ඒක තේරුණා. අනිත් අය අපේ අය නෙවෙයි.
ඔහොම ටික කාලයක් ගියා. ඊට පස්සෙ මං හිටියෙ ගෙදර ඉස්තෝප්පු කාමරේමයි. ඒත් කවුරුවත් ඒක දැන ගෙන හිටියෙ නෑ.
ඩේවිඩ් සීයා කියන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. අලි මන්තරේ ඉඳන් යක්කු බැඳන් වැඩගන්න පුලුවන් මට්ටමේ පොරක්.
මිනිහ අපේ ගෙදර ආවෙ මට වෙඩි වැදිල සතියකට විතර පස්සෙ. ඒ ඇවිත් ගෙදර අය එක්ක කයියක් ගහගෙන ඉන්නව වගේ පෙනුනට මිනිහ බැලුවෙම මගේ දිහා. හරියට මාව එක්කන් යන්න ආව වගේ.
තේ බීල තාත්ත බුලත් හෙප්පුව ගේන්න ඇතුලට ගිය ටිකට ඩේවිඩ් උන්නැහෙ ඉනේ තිබ්බ මොකක්දෝ එකක් එලියට අරගෙන ඒකට කොඳුරල කටේ නූලක් ගැට ගැහුව.
මගේ ඇඟ පිච්චිලා යනව වගේ මට දැනුණා. මාව කවුරු හරි ඇදගෙන යන්න හදනවා වගේ. එක පාරක් වෙඩි වැදුණ නිසා මං දැන් බයයි. මං තාත්තට කතා කරා. තුන් පාරක් කතා කරා. ඒත් තාත්තට ඇහුණෙ නෑ. ටිකකින් මට පෙනුණෙ කළුම කළු පාටක් විතරයි.
ටික දවසක් එහෙම ගෙවුණා. එළියක් දකින්න ලැබෙන එකක් නෑ කියලයි මං හිතුවෙ. ඒත් එක දවසක් මට ඇඟට මාර පණක් ආවා. කොහෙන්ද මන්ද බෙර සද්දයක් ඇහෙනවා. තව දුමකුත් එනවා මට ඉවසගෙන ඉන්න බෑ.
මට කතා කරනවා. එන්න කියනවා. මං එලියක් දැක්කා. ඩේවිඩ් උන්නැහෙ මට එන්න කියනවා. මං ඉක්මනටම ගියා. රතු පාට නිල් පාට සුදු පාට ලස්සන තැනක මං හිටියෙ. බෙර සද්දෙත් ලස්සනයි. දුමත් හරි සනීපයි. ගෑණු දෙන්නෙක් වැඳගෙන ඉන්නවා මං දැක්කා. ඩේවිඩ් උන්නැහෙ මට උපදෙස් දෙනවා කරන්න ඕන දේවල් ගැන. මං බෑ කිවුවා. මට තර්ජනය කරා. මාව හිර කරනවා කිවුවා. මං ආයෙත් බය වුණා. මට වෙඩි වැදුණ නිසා මං දැන් බයයි. මං කියපු දේ කරා.
තාමත් ඩේවිඩ් උන්නැහෙ මට කියල වැඩ කරව ගන්නවා. හැබැයි මං වෙලාවක ඩේවිඩ්ටත් හොඳ වැඩක් කරනවා. ඒක මං හිතාගෙනම තමයි හිටියේ. දවසක් ජනක දේවාලෙට ආවා.
මොකක් හරි වැඩක් කරගන්න.
මාව මරපු මිනිහ මගෙන් උදවු ගන්න ඇවිත්. ඒක උඹේ වෙලාව. හැබැයි ජනක මේක මගේ වෙලාව.
මං ඩේවිඩ්ට බොරුවක් කරා. ඩේවිඩ් දන්නෙ නෑ ජනකට මං කරන්න යන දේ මොකක්ද කියලා. ජනක වැඳගෙන ඔලුව පාත් කරගෙන ඉන්නවා. මගේ ආයුධ යහන උඩ තියෙනවා. මං පොඩි දෙයයි කරේ. ඩේවිඩ් ගෙ ඇඟට ඇතුළු වෙන්න කාලයක් තිස්සේ මං බලන් හිටියා. එදා තමයි හරිම දවස. මං ඩේවිඩ්ටත් හොරා ඩේවිඩ්ව පාලනය කරා. යහනෙ තිබුණ ආයුධක් අරගෙන ජනකගෙ ඔලුවට ඒකෙන් ඇන්නා. ඩේවිඩ් මාව නවත්තන්න හදනවා. ඒත් බෑ. මං ශක්තිමත් කියල මට තේරුණා. විසි පස් පාරක් මං ඇන්නා. ජනක බිම වැටිලා හුස්ම ඇද ඇද අමාරුවෙන් විඳවනවා දැකලා මට හිනා ගියා.
දැන් මං ආයෙත් ඉපදිලා. මාව මරපු උන් එක එකා හොයාගෙන යන්න වෙලාව හරි. මං ආයුධත් අරන් ඩේවිඩ්වත් අරන් එලියට ආවා.
උපුටා ගැනීම: Samith Thanuja