“බඩගිනි “
“හොයාගෙන කන්න පුරුදු වෙයන් “
“අම්මා “
“කියුවනේ එක සැරයක් හොදට කාලා උබේ ඇග හැදුනොත් ඉල්ලන හිගමනයක් වත් උබට හම්බෙන්නේ නැ “
“අනේ අම්මා “
පොඩි එකී ඔහේ පාරේ එහාට මෙහාට ඇවිදි සෙල්ලම් බඩු පිරුණු කඩවල් වල ලස්සන අබිබවා ඇගේ ගේ ඇස් කෑම සුවද පිරුණු කඩ දෙසට දිව යනු පෙනේ .විවිධ පාට පාටින් විවිධ අලංකාර ස්වරුපයෙන් සුවද විහිදෙන කෑම පොඩි එකී ගේ මුහුණ තවත් ඇබුල්වේ .විදියේ කොනක ඇය හිදගෙන වටපිට බැලුවේ අම්මා කොහෙද කියා වන්නට ඇත .
“බබා බබාගේ අම්මා කෝ “
“යමු යමු දිනිති “
“ඉන්නකෝ සුපුන් චුට්ටක් “
අසරණව පොඩි එකී මා දෙස බැලුවය .
“බබාට බඩගිනිද ?”
අසරණය හිස වැනුවාය.
“මොනාහරි අරන් දෙන්නද ?”
පොඩි එකී ගේ ඇස් දිලිසුණි කාලෙකින් මැද නැති කහට වුත් මැලියම් බැදුණු දත් පෙන්නා ඇය සිනවිය .
“දිනිති මට ලේට් වෙනවා “
“පොඩ්ඩක් ඉන්නකෝ අනේ “
සුපුන් සුසුමක් හෙලා අත් ඔරලෝසුව දෙස බැලුවේය .මම කඩයට ගොඩ වී සැර නැති බනිස් ගෙඩියක් ද බොන්නට සිත්ගන්නා කිරි පැකට්ටුවක් ද ගත් මම එන්නට එලියට එනවිට හිත ගියේ රසවත් ලෙස සැකසු කේක් පෙත්තකි එයද රැගත් මම පොඩි එකා වෙත ගියාය .මහත් හදිසියකින් මගේ අතින් කෑම පෙට්ටිය උදුරගත්තද තවමත් අවුරුදු තුනක් පමණ වූ ඇයට පෙට්ටියක දමා තිබු කෑම එක අරගැනීමට අපහසුව වටපිට බැලුවාය .
“ඇයි අරින්න බැරිද දෙන්නකෝ “
“දිනිති …..”
“ඔයාට කෑෂ් ගන්න ඕනේ කියුවනේ ඔයා අරගෙන එන්න මම ඉන්නම් මෙතන “
“ඔයාට පිස්සුද ?”
“යන්නකෝ හොද ළමයා වගේ මම ඉන්නම්”
“ඕන මගුලක් ශි විකාර වැඩ ” සුපුන් කේන්තියෙන් යන්න ගියේ මුදල් ගැනීමට ඒටිඑම් යන්ත්රයක් සොයාගෙනයි .දැන් වේලාව නමයටත් ලගයි පාරේ වැඩි සෙනගක් නැත .මමද හෙමින් පදික වේදිකාවේ හිදගත්තය .පෙට්ටිය හැර කෑම එක නැවත ඇගේ අතට දුන්නාය .නුවර සාමාන්ය පවුලක හැදුනු මට නුවර පදික වේදිකාවේ බිමින් හිදාගැනීම අරුමයක් නොවේ පුංචි කාලයේ හිද පෙරහැර බලන්නට හිදගත් මේ විදිය නුවර එකෙකුට අරුමයක් නොවේ . ඇය එය ගිල දමන විදිහටම ඇගේ කුසගින්න කොතෙක්දැයි වැටහේ .
“මොකද්ද නම “
“උබ “
“උබ ? “
“ඔව් අම්මා කියන්නේ එහෙමනේ “
“හ්ම්ම්ම් වයස කියාද ?”
“දන්නේ නැහැ ” කෑම පුරවා ගත් කටින් ඇය කියයි .මගෙත් මෝඩ කම මෙතරම් කුඩා දරුවෙකු තමන්ගේ වයස නොදැන සිටීම එතරම් දෙයක් නොවේ එහෙත් නම නොදනිමනම් අරුමයක් .
“කොහෙද බබා දොය්යගන්නේ “
“මෙතන “
“මෙතන මොකක් මෙතන බබා දොය්යගන්නේ මෙතනද ? මහා රෑ “
ඇය හිස වනයි .ඇගේ පෙනුම හුරුබුටි වේ දුහුවිලි අළු ගසා දැමුවොත් ඇයනම් අපුරු කෙල්ලෙකු වේවි .මගේ මුහුණට සිනාවක් නැගුනය . එත් ඒ එක්කම මගේ හිත වේදනාවෙන් පිරුනාය. මෙතරම් කුඩා ගැහැණු දරුවෙකුගේ ඉරණම ගැන කුමක් කියන්නද වීදියක ජිවත් වෙන ඇගේ අනාගතය කුමක් වේවිද ?
“දිනිති මොකද ඔය බිම වාඩි වෙලා පිස්සුද යමු යමු “
නැගිට ගත් මම ඔහු පසුපස ඇදුණාය .හැරී බැලුවත් ඇයට කෑම එක හැර මා ගැන වගක් නැත .හිතට හරි නැති ගතියක් දැනේ .සුපුන්ගේ මුහුණ හරි නැත ඔහු කුඩා කල සිට යමක් කමක් ඇති පවුලක හැදුනු වැඩුණු කෙනෙකි .ඔහු ජිවත් වන්නේ වෙනම සමාජ තලයක වේ .මගේ සමහර ගති පැවතුම් ඔහුට හරි නොගියත් ඔහු මට ආදරය කරන්නේ ඒවා ගැන ලොකු තැකීමක් නොකරය .යෝජිත විවාහ දිවියකට එළබි අප අතර නොගැලපීම් තිබුනද ගැටළු ගොඩක් නැත ඇත්තේ විටින් විට ඇති තර්ක විතර්ක පමණි එහෙත් සුළු වෙලාවකට වේ .
“මොකෝ බුම්මගෙන ” වාහනයට ගොඩ වූ මම සිනා මුහුණින් ඇසුවාය .
“ඔයා ඔයාගේ තත්වේ තියාගෙන ඉන්නකෝ දිනිති මොකද්ද ඔයාට හිටිගමන් වෙන්නේ “
“තත්වේ කියුවේ මම හොද තත්වේ ඉන්නවා ” මම සිනහ විය .”තත්වේ කියලා මහා ලොකු දෙයක් නැහැ අනේ තියෙන්නේ පුහු මාන්නේ විතරයි .ඔය තත්වේ කියලා නමක් දාගත්තට .”
“වේලාවකට මට ඔයාගේ විකාර වැඩ , කතා හරියන්නේ නැහැ “
“ඒ අර ඔයාගේ පුහු මාන්නේ නිසා ” ඔහු හැරී මට රැව්වාය .”සොරි සොරි වැරදුනා ඔයාගේ තත්වේ නිසා ” මම සිනහ විය .ඔහු දත් නියකමින් කුටු කුටු ගා තනියම කියවමින් රිය පදවයි.
ගෙදරට එනවිට රෑ දහයටත් ලගය .ගෙදර දොරෙන් ඇතුළු වෙත්ම දුවගෙන ආවේ ඔහුගේ මවයි .
“මොකද කියුවේ “ඇය සුපුන් දෙසත් මගේ දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය . මගේ මුහුණ අදුරු වුනේ මටත් දැනීමය .
” හරි ගිහින් නෑ අම්මා ” සුපුන් සුසුමක් හෙලා කාමරයට ගියාය .මම හුන් තැනම නැවතුණි .අම්මාගේ මුහුණ බලන්නට බැරි අපහසුවක් සිතට දැනේ .
“හරි හරි අපි බලමුකෝ ” ඇය මා තේරුම් ගත්තාය .මගේ පිට අත ගෑ ඇය යන්නට ගියාය .මම කාමරයට ගොස් ඇදට වැටුනේ සිතේ වේදනාවෙනි .විවහා වී වසර පහක් ගෙවී ගියද අපිට දරුවන් නොමැත .අපිට වඩා ඒ ගැන වදවෙන්නේ පිට ඇයන්ය. සුපුන්ගේ මවද අපව තේරුම්ගෙන නිහඩව සිටියද ඇයගේ හිතේ මුනුබුරෙක් මිනිබිරියක් දැකීමේ ආසාව ඇති බව මම දනිමි .දොස්තරලා කරන්නට කියූ හැමදෙයක්ම කලද කිසිවක් හරි ගියේ නැත බෝදිපුජා පින් දහම් ඕනෑවටත් වඩා කලද කේන්දර නක්ෂත්ර ගැට වලට කි වතාවක් හසු වුවද දරුවෙකු තවමත් ආවේ නැත . ඔහුත් මමත් හොද රැකියාවන් කලද හම්බෙන මුදල් වලට කිරීමට දෙයක් නොමැති ගානය .කොටින්ම අරමුණක් නැති ගානය .
“දිනිති දිනිති නැගිටින්න මොකෝ මේ නිදි ” මට නොදැනීම නින්ද ගොස් ඇත .නැගිටගත් මම එරමිණිය ගොතාගෙන ඇදෙ ඉඩගත්තාය .
“මොකෝ මුනේ හැටි “
දෙන්නට පිළිතුරක් නැත .හැමදාමත් කියනා දේ ඔහුට කටපාඩමේ ඇත.මගේ කම්බුල දීගේ කදුළු ගලා ගියේ මටත් නොදැනීමය .
“ඇයි මොකෝ මේ අඩන්නේ “
මම හිස දෙපසට වැනුවේ මොකුත් නැහැ කියන්නටය .
“මොකද්ද ප්රශ්නේ කියන්නකෝ මම එද්දී බැන්නට තරහද ?”
“නැහැ”
“එහෙනම් “
“මේ වැඩේ හරියන්නේ නැහැ කී වතාවක් කියක් වියදම් කරද හරි ගියද නැහැ නේද ? ” මම කදුළු පිහගත්තය .
“හරි හරි ඉතින් අඩලා වැඩක් නැහැනේ “
“මිනිස්සු කතා කියනවා “
“ඉතින් අපිට මොකෝ එයාලා කන්න දෙනවද දැන් මම ඔයාට ආදරේ නැද්ද ඔයා මට ආදරේ නැද්ද ඉතින් ඔයාට මම ඉන්නවා මට ඔයා ඉන්නවා ඒ ඇතිනේ “
“හ්ම්ම් “
“හිනා වෙලා ඉන්නකෝ “
“හ්ම්ම්”
“යමු යන්න වොෂ් දාලා එන්න කාලා නිදගමු නිදිමතයි හොදටම පරක්කු උනානේ කොහෙද ඩොක්ටර් වටේම බලලානේ අන්තිමටනේ අවේ “
“හ්ම්ම්ම්”
තුවාය ගත් මම නැවත ඇදෙහි හිදගත්තය .
“සුපුන් “
“මොකෝ ඒ පාර “
“මම දෙයක් ඉල්ලන්නද ?”
“ඉල්ලන්නකෝ බලන්න පුළුවන් දෙයක් නම් දෙන්නම් “
මට සිනහ ගියාය “කපටි “
“නෑ ඉතින් හද තරු ඉල්ලුවොත් “
“බැරි දේවල් ඉල්ලන්නේ නැහැනේ මම “
“ඉතින් කියන්නකෝ “
“අපි බොරුවට වියදම් නොකර දරුවෙක් අරන් හදාගමුද “
“පිස්සුද ඔයාට “
“ඇයි “
“මිනිස්සු මොනවා නොකියවිද ?”
“දැන් ඔයාමනේ කියුවේ මිනිස්සු කියන කතා වැඩක් නැහැ කියලා “
“ඔව් එත් ” ඔහු සුසුමක් හෙලුවේය .
“මේකයි කුසල් අකුසල් කියලා දෙයක් තියනවා පිළිගන්න අකමැති වුනත් ගිය ආත්මෙක අපි කරපු මොකක් හරි අකුසලයක් නිසා අපිට කිසි ප්රශ්නයක් නැතුවත් දරුවෝ නැත්තේ නේද ? අම්මා තාත්තා කෙනෙක් නැති විනාස වෙන්න තියන ජීවිතයකට අරමුණක් දෙන එක මදිද අපිට ඒ පව ගෙවලා ඉවරකරන්න .කොච්චර දරුවෝ ඉන්නවද අම්මලා තාත්තලා නැතුව .ඉතින් දරුවෝ නැති මම අම්මා වෙන්නම් එයාලට “
“හ්ම්ම්ම්”
“ඒ පව අපි ලබන ආත්ම වලටත් අරන් යන එක හොදද ….නැත්තම් මේ අත්මෙදීම ඉවරයක් කරමුද ?”
“හ්ම්ම්ම්”
“බඩේ තියන් මාස දහයක් හිටියත් අත්දෙක උඩ තියාගෙන ජිවිත කාලෙම හිටියත් දරුවා දරුවයි .වැදුවා හැදුවා කියලා වෙනසක් නැහැ “
“කවදාහරි මිනිස්සු එයාට කියවිනේ “
“මිනිස්සු කියන කතා වැඩක් නැහැ කියලා අපි එයටත් කියමු ” මම සිනහ විය .
“මට තේරෙන්නේ නැහැ අනුන්ගේ දරුවෙකුට ආදරේ හිතේවිද අපිට “
“හිතේ තමා ප්රශ්නේ තියෙන්නේ “
“හ්ම්ම්”
“ආදරේ හිතෙනවා සුපුන් අපේ කියලා හිතුවොත් “
“අම්මගෙනුත් අහමු .අම්මා අපි එක්කමනේ ඉන්නේ ඉතින් අහන එක හොදයි නේද?”
“අම්මා නෙමේ ඔයා කැමතිද ?”
“බලමුකෝ යමු යමු කන්න ඉක්මනට එන්න “
“මගේ නම් ඒ හැටි කැමැත්තක් නැහැ පුතේ එත් ඉතින් දුව කියන කතාවෙත් ඇත්තක් තියනවා .කුසල් අකුසල් අතින් ගත්තම ඒක ලොකු කුසලයක් තමා සමහර වේලාවට දරුවෙක් හුරතල් කරද්දී තමන්ටම කියල ළමයි ලැබෙන්නත් පුළුවන් එහෙම කතාත් තියනවා .අනේ මන්ද ඔයාලගේ කැමැත්තක් “
එලෙස අම්මා ගේ අවසරය ලැබුනත් සුපුන් හිටියේ තවමත් හිත හොදින් නෙමේ.හිතේ තිබුණු ආසාවට සුපුන් ලග නොනැවතී කියවපු මට මාස අටකට පසු අවසානයේදී ඔහුගේ කැමැත්ත හිමි වුනේ අකමැති වන්නට බැරි කමටයි .ඔහුගේ සිතුවිලි මට වැටහේ .
“ඔක්කොම හරි කියමු කොහෙන්ද දැන් ළමයෙක් ගන්නේ හොද කෙනෙක් ගන්න එපැයි”
“ළමයි ඔක්කොම හොදයි තමා ..ලොකු අය හින්ද නරක වෙන්නේ “
“ඔයා එක්ක තර්ක කරන්න බෑ “
“මම ආසයි අර බබා කන්න අරන් දුන්නේ මම “
“ඔයාට පිස්සුද එයා ලොකු වැඩි “
“ඇයී “
“නැහැ එයා දන්නවනේ අපි අම්මා තාත්තා නෙමේ කියලා “
“කවදාහරි දැන ගනිනේ “
ඔහු සුසුමක් හෙළුවාය.
*********************
ඔහුත් සමග නුවර පුරා ඇවිද ගියේ අස්සක් මුල්ලක් නෑර ඒ පුංචි දෑස සෙවීමටයි .ඇය පෙන්නේන්නට සිටියේ නැත .මුළු දවසම වෙහෙසී හැන්දෑ වරුව වන විට ඇගේ මව වැව රවුමේ වාඩි වී සිටිනු දැකගන්නට ලැබුණි .ඇය නැවතත් ගැබිනියක්ව ඇත .
“මේ ඔයාගේ අර චුටි දුව කෝ “
“මොන “
“අර පොඩි ගැනු දරුවෙක් හිටියේ “
“අනේ නෝනා එකී මලා ” මගේ පපුවට මම අතක් තියාගෙන සුපුන් දෙස බැලුවාය .ඔහු ඔලුවේ අතක් තබාගෙන දෑස් ලොකු කර මා දෙස බලා ඉදි .
“මොනවා වෙලාද ?”
“විසෙනේ නෝනා පාරට පැන්නනේ ” ඇයට එය කිසි වගක් නැතිය .බොහෝ සැහැල්ලුවෙන් උත්තර දෙයි .මගේ අතින් අල්ලාගත් සුපුන් මා ඇදගෙන ගොස් වැව රවුමේ බැංකුවක් මත හිදගත්තේය .දෙදෙනාම නිහඩය .මගේ දෑසින් මගේ නොවූ දරුවෙක් වෙනුවෙන් කදුළු ගලයි .
“අඩන්න එපා … දරුවෝ නැති අපි වගේ උන්ට දරුවෝ දෙන්නේ නැතුව ඇයි වටිනාකමක් නැති වුන්ටම දෙන්නේ ‘ සුපුන්ගේ ඇස් දෙක තෙත් වී දිලිසෙ .
“ඔයා අඩනවද ?”
“යමු අපි මේ දැන්මම ගිහින් අර ගෑනිගේ බඩේ ඉන්න දරුවා ඉල්ලමු චුටි කෙල්ල වගේ මැරිලා යාවි නැත්තම් බඩේ ඉන්න එකත් “
මම සුපුන් දෙස බැලුවේ පුදුමෙනි .පියෙක් නොවූ ඔහුගේ මුහුණේ දරු දුක පෙනේ .ගැහැණිය හමු වූ මම දරුවා ගැනීමට ඇය කැමති කරගත්තේ මුදල් ද ඇයට දීමේ පොරොන්දුව පිටය .ඇයට දරුවන් ගැන වගක් නැත.අමතක නොකර ඇයට තුන් වේලට පෝෂදයි බත්පතක් ගොස් දීමට අපි අමතක නොකලගේ අවශ්ය බෙහෙත් හේත් ගිහින් දීමටත් අමතක නොකලය .දොස්තර මහතෙකු හමුවීමට බල කල කිසිදු දිනයක ඇය පැමිණීමට අකමැති විය .නිසි කලදී කල් ඇතුව ඇයව රෝහල වෙත යැවීමටත් අප අමතක නොකළෙමු .ඇගේ කිරි කැටි දියණිය අතට ගත් අප දෙදෙනා දැරුවද වැළදගෙන තුරුල් වී හැඩුවෙමු . අවශ්ය නීතිමය කටයුතු කිරීමෙන් අනතුරුව අපේ දියණිය අපේ විය .
******
උපාධි සහතිකය සුපුන් අත තැබූ දියණිය දණ නවා ඔහුටත් මටත් වැන්දේය .ඇය දැන් දොස්තරවරියකි .
“මට දෙයක් කියන්න තියනවා “
“මොකද්ද දුව “
“ගොඩක් පින් “
“මොකටද “
“මට ජීවිතය දුන්නට “
ඇගේ දෑසේ කදුලුය .කිසි දවසක ඇයට අපි නොකී ලෝකයට ඇයට කියන්නට වුවමනා වූ රහස ඇය දන්නා බව වැටහුණි .ඇගේ කදුළු ආත්ම ගානක අපි දෙදෙනාගේ අකුසල් ගෙවී ගොස් ඇති බවට සලකුණු වේ .කාගේ හෝ දරුවෙක් අපේ කරගත් අපි දෙදෙනා ජිවිතගේ ගෙවූ සුන්දරම කාලය ගෙව්වේ ඇය සමගයි .
“අම්මා අප්පච්චි ඔයාලා වයසට යන්න බය වෙන්න එපා හුස්ම තියන තුරු ඒ මට දුන්න ආදරය මම රකිනවා පණ වගේ “
උපාධි ලෝගුව පිටින් අප දෙදෙනා ඇගේ දෑතට සිරකරගත්තේය .
-නිමි-
-පසු වදන –
මම යෝජනාවක් කරේ. බලාපොරොත්තු අත්හැරලා ඉන්න කෙනෙකුනම් ඔබ පුලුවන්නම් අත්හැරලා දාපු ජීවිතයකට හුස්ම දෙන්න පුළුවන් ඔයාලට අත්හැරලා දාපු බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගන්න. ලෝකයම හිනා වේවි ලෝකයම කතා කියාවි එත් මම දැක්ක මුහුණු පොතේ ලස්සන වැකියක් .
“ජීවිතය වින්දේම ලෝකයාට බම්බු ගහගන්න කියූ මිනිසුන්ය “
*****
උපුටා ගැනීම: උපේකා රුවන්ති අතපත්තු