මේ කතා කියෝල නරක් වෙයි කියල හිතෙන ලමයි ඉස්සෙල්ලා දොයිය බබා කරන්නල ඈ. පස්සෙ යුද්ධ ප්‍රකාස කරන්න ඔට්ටු නෑ.
මුලින්ම කියන්නෙ මේ කතාව කිසිම වැඩකට ඇති එකක් නෙමේ. ජීවන අත්දැකීම් විතරයි. කිසිම ආදර්ශයක් සමාජ පණිවිඩයක් නෑ.
ඉස්කෝලෙ යන කාලෙ අට වසරට පාස් වුනාට පස්සෙ මට පොඩි ලෙඩක් හැදෙන්න ගත්තා. ඒ තමා බස් එකේ ඇලවෙන ලෙඩේ.
මොරකැටියෙන් බස් එකට නැගලා අවයව පුඩිමක් අස්සෙ මිරිකිලා සෙන්ට් පවුඩර් ජාති පනහක විතර මිශ්රණේක ගිලිලා යන්තම් තිඹිරිගස්යාය පහු වෙද්දි තමා හොදට උණුසුම් කරපු ආසනයක් ලැබෙන්නෙ. මං වෙනුවෙන් පැය ගානක් ආසනේ හීට් කරපු උත්තම ඇත්තට හරි ඇත්තිට හරි පිං දෙන ගමන් සීයකගෙ විතර දාඩිය පොඩි ලේන්සු කෑල්ලෙන් පීදාලා ඇගේ මූනේ පැටලුනු ක්‍රේල් ස්ට්‍රේට් ටින්ටඩ් ආදී නොයෙකුත් කොන්ඩා කෑලි එකතු කරල අයිතිකාරයින්ට බෙදල හරි බරි ගැහෙද්දි තුම්මුල්ල පැනලා. තව හෝල්ට් දෙකෙන් ඉස්කෝලෙ වුනාට ලැබුනු පහස අතාරින්ඩ සමහර වෙලාවට පුප කැමති වුනේම නෑ. ගම් ගාලා වගේ ආසනේට ඇලවිච්ච පච්චාත් බාගෙ උස්සන්න ට්‍රයි කරන ගමන් පාසල් මාතාව පහු වෙනව බලන් ඉන්නෙ අධ්‍යාපනයට තිබුනු අසීමිත ආශාව නිසා කදුලු යාන්තමට පිරුණු සෝකාකූල ඇස් දෙකෙන්.
ග්ලාස් හවුස් පහු වෙලා මහජන පුස්තකාලෙ ලං වෙනකොටම බල්ලට උනුවතුර ගැහුවා වගෙ ඇලවුන පුප ගැලවිලා කෙලින් වෙනවා. ෆුට්බෝඩ් එකෙන් පැනල ලයිබ්රිය ඇතුලට දුවල කෙලින්ම රිංගන්නෙ වැසිකිලියට. ඒක ඇතුලට යුනිෆෝම් ඇදපු කොලුවෙක් ගියාට එලියට එන්නෙ ශෝටක් ගහල බාටා දාපු පොරක්. සයිඩ් එකෙන් එල්ලෙන ෆේක් අඩිඩාස් බෑග් එකේ පොත් නැතත් ශෝටයි ටී එකයි බාට දෙකයි වරදින්නෙ නෑ. ලයිබ්‍රියෙ කැන්ටිම අයිනෙ වැටේ එකක් කූරක් ගලෝල ඒ කාලෙ පාක් එකට එන්ට්‍රන්ස් හදාගෙන තිබ්බා කට්ටිය. ඒ හරියෙ ඉදල පාක් එකේ ටොයිලට් වෙනකම් ඒ දවස්වල වෙන් කරල තිබ්බෙ පෙම් කෙලින්න. කොටින්ම ඒක පුද්ගල සංචාර තහනම් ඒ පැත්තෙ. ඒ වුනාට ඉතින් ශෝටක් ගහපු මයින් පැටියෙක්ව ඕකෙ කවුරුවත් ගනන් ගත්තෙ නෑ ඒ කාලෙ. මාත් ඉතින් පදුරු කන්නලගෙ වීර ක්‍රියා, සර්කස්, ලොලිපොප් සෙල්ලම් බල බල රවුම ගහන් ෆැන්ටැබ් එක පැත්තට ඇවිදිනවා. අට වසරෙදි ප්‍රජනනය පාඩම අපි ඉගෙන ගත්තෙ එහෙමයි ප්‍රැක්ටිකල් එහෙම ලයිව් බලලා.
ෆැන්ටැබ් එකෙන් උලුදු වඩයක් කාලා ප්ලේන්ටියක් බීවට පස්සෙ තමා මගේ වීර චාරිකා පටන් ගන්නෙ. පසු කාලීනව මේ වීර චාරිකා වලට තවත් සගයෙක් දෙන්නෙක් එකතු වුනා. ඒවත් කතා තමා ඈ. සෙංකඩ එක පහු කරන් ඇවිත් කොටුවට වෙනකම් පයින් සිරි නරඹන අතරමග හම්බුණ තොරන් වල විස්තර නම් බොහෝමයි. ඒ අතරින් ගාමිණී හෝල් එක ගාව පරණ පොත් කඩ සෙට් එකේ තමා මිහිරිම මතක ටික තියෙන්නෙ. තුට්ටු දෙකට ඉංග්‍රීසි පොත් අරගෙන ඩිටෙක්ටිව්, ලව්, සෙක්ස් ලෝක මවාගෙන ඒවයෙ අතරමං වෙන රහම රහ පුරුද්ද හැදුනෙ එතනින්.
ලේක්හවුස් එක පහු කරන් කොටුවට පය තියද්දි ඒ දවස්වල හිතට එන්නෙ නිකන් අලුත් රටකට පය තිබ්බා වගේ හැගීමක්. දැන් තියන කොටුවට වඩා ඒ කාලෙ තිබ්බ මුඩුක්කු පාට කොටුව ලස්සනයි මට නම්. ටෙලිකොම් එක ගාවින් හැරුනු ගමන් ඩොලර් මාරු කරන්න පිස්සො වගේ පස්සෙන් එන අයියල අංකල්ලා සෙට් එක කාලයක් යද්දි මගෙ හොද ගජයො වුනා. එතනින් පස්සෙ යෝක් වීදීය දිගේ කාගීල්ස් එක පහු කරන් යද්දි පාර පුරා හිටියෙ නානාප්‍රකාර බඩු අතේ පයේ එල්ලගත්ත වෙලෙන්දො. ඒ අස්සෙ චන්ඩි හොරු පොකට් කාරයො එහෙමත් යහමින් උන්නා. රණ්ඩුවක් බැනගැනිල්ලක් පාරෙ නැති වුනේ බොහෝම කලාතුරකින්. හැබැයි මගෙ මූනෙ අවුලක්ද මංදා ඔය හැම ජාතියෙම පොරවල් මාත් එක්ක කදේ දාගෙන ෆිට් වුනා මිසක් කරදරයක් නම් වුනේ නෑ. අඩුම ගානෙ ලොල්පර්සන් කෙනෙක්වත් ලං වුනේ නෑ. මල්වත්ත පාර, දෙවෙනි හරස් වීදිය, ගෑස්පහ හංදිය එතකොට හෙට්ටිවීදිය, ඒ ලගම තිබ්බ රසම රස සයිවර් කඩ ටික. මේ ඕක්කොම දැන් වෙනස් වෙලා. ඒත් ඒ පැත්තෙන් යනකොට තාමත් අතීත සුවද නහයට රිංගනව. වරාය ලග ඉදන් කොච්චිකඩේ පල්ලිය ගාවට යද්දි තමා අතුරු පාරක රිංගල මගෙ ජීවිතේ පලවෙනි වැලගෙඩිය බලපු මුරුගන් හෝල් එක හම්බුනේ. විස්සෙ ටිකට් එකකින් ඇතුලට ගිහින් තඩි ගෑනු දෙන්නෙක් නිර්වස්තරෙන් පෙරලෙනව බලන් ඉදපු හැටි මතක් වෙද්දි දැන් නම් ටිකක් ලැජ්ජයිත් වගේ. රුපියල් පහට තිබ්බ බට කෑල්ලක් අරන් ලෝඩ් වගේ කට හෝදල දුම් කෝච්චියක් ඇරියෙත් එදා තමයි.
ඔන්න ඔහොම කොටුවෙ කරක් ගහපු මම ඇවිදපු ඇවිදිල්ලට එක දවසක් මතු වුනේ පෙට්‍රෝලියම් එක ගාවින් තව දවසක් මට්ටක්කුලියෙන්, තවත් දවසක් ගෝල්ෆේස් එකෙන්, ස්ටේඩියම් එක ලගින්. ඔහොම කොහෙන් පාරකට වැටුනත් එන බස් එහෙක නැගල ගිහින් තිස් අටක් අල්ලගන්න ඉබේම පුරුද්ද ලැබුණා.
කොටුවෙ පිටකොටුවෙ පත්තර තට්ටු, වර්ල්ඩ් මාකට් එකේ හෙට්ටු අයියලා, වීදි සරණ ලදුන් ගැන එහෙම මතකයන් රස කතා බොහෝමයි.
පිලිවෙලකට අමුණලා එලාන්නයි කම්පනාව ඉතින්.
උපුටා ගැනීම: Chamara Adihetti