මම ලංකාවට අවසානවරට නිවාඩුවට ගියාම නැවතුනේ ධම්මික අයියාගෙ ගෙදර. මිනිහා හැම උදේම ඇවිදින්න යනවා, ඉතින් මාවත් ඇහැරවලා ඇදගෙන යනවා ඇවිදින්න. එක හවසක පානි අයියා ආවම එහේ, අපි ඉතින් ඩ්රින්ක් එකකට සෙට් වෙලා, සිංදු කියලා එකිනෙකාට කාඩ් ගහගෙන හොඳ ආතල් එකක් ගත්තා.
එක අයියා කෙනෙක් කෙල්ලෙකුට ලියුමක් ලිව්වලු අවුරුදු දාතරෙදි, පහලොව වුනාම දෙන්න කියල ඒක තියාගෙන හිටියලු. කෙල්ල පහලොව වෙනකොට මිනිහට වඩා අඟල් තුන හතරකින් උස ගිහිල්ලා. ඒ පාර ඒ අදහස අත හැරල දැම්මා කියලා, අනික් අයියා මේ ලඟදි දවසක ඒ කෙල්ල (දැන් ඉතින් කෙල්ලක් නෙවෙයි) මල ගෙදරකදි හමුවුනාම කතානායකයා ඉදිරියේම මේ කතාව කියලා, මලගෙදර බව අමතක වෙලා ඒ මනුස්සයට හිනා ගිහිල්ලා.
එදා පානි අයියත් රෑ එහේම නැවතුනා. ඩ්රින්ක්ස් දැම්මා කියල වෙනසක් නෑ, ධම්මික අයියා අපි දෙන්නවම උදේ ඇහැරවලා ඇවිදින්න එක්ක ගෙන ගියා. මම හිතන්නෙ බොරලැස්ගමුවේ ඒ ඇවිදින ට්රැක් එක තිබුනේ.
අපි ඉතින් රවුමක් දෙකක් ඇවිද්දට පස්සේ පානි අයියා කිව්වා, මේ ලඟ පියල් ඉන්නේ කියලා. පියල් කියන්නේ අපේ කසින් කෙනෙක්. මිනිහගේ තාත්තාගේ දරසෑයට මම ගිනි තියපු දවසෙ තමයි පානි අයියා රෑ නිදාගෙන හිටපු මගේ බෙල්ල අත ගාලා ‘බෑනෝ උඹ මට ගිනි තිබ්බ නේ’ කියලා බය කලේ. මමත් ඉතින් අවුරුදු ගානකින් පියල් දැකල නොතිබුනු නිසා මිනිහව හමු වෙන්න යමු කිව්වම, තුන් දෙනාම එකඟ වෙලා එහේ ගියාම පරන කතාවල් මතක් කරමින් හිනා වෙවී ඉන්නකොට,
‘පියල්, මතකද අපි වීරසිංහ අංකල්ව එලව ගත්තු හැටි’ කියලා පානි අයියා කිව්වම පියල්ට හිනාව නවත්වා ගන්නට බැරි වුනාම, මමයි ධම්මික අයියයි ඇහුවා මොකක්ද ඒ කතාව කියලා.
පියල් කිව්වා ‘මේ කතාව අපි දෙන්නා හැර වෙන කවුරුවත් දන්නෙ නෑ, අඩුම ගනනේ අපේ පවුලෙ කවුරුවත් මේ වෙනකොටවත් ඒක ගැන දන්නෙ නෑ, ඒත් ඉතින් දැන් දැනගත්තත් කමක් නෑ, අපි මුන් දෙන්නට කියමු නේ’ කියලා ඔන්න කතාව පටන් ගත්තා.
අපේ මැනි නැන්දගේ ලමයි තමයි පියල් එතකොට ‘ගිනි වැදුනු කෙම්බිම’ පොත පරිවර්තනය කරපු තේජා, ඇතුලු අනික් අය. මැනි නැන්දගෙ මහත්තයා හෙවත් ගොඩකන්දෙආරච්චි මාමා අසනීප ගතියෙන් සිටියේ. එයාගේ යාලුවෙක් වුනු වීරසිංහ අංකල් වැඩට ගියෙත් ඒ ගෙදරම ඉඳලා. ඔය ඉන්න අතරේ මාමා මැරුනා, ලමයි හය දෙනෙකුගෙ බර නැන්දගේ කර පිටට වැටුනා.
මාමගේ මරණය සිදුවෙලා සතියක් දෙකක් ගියා, ඒත් වීරසිංහ අංකල් ඒ ගෙදරින් යන පාටක් නෑ. නැන්දටත් එයාට යන්න කියන්නෙ බෑ මාමගෙ යාලුවෙක් නිසා. ඒත් ලමයින්ට මේක ගැටලුවක්, අම්මට කතාවක් හැදෙයි කියලා. එහෙම සම්බන්ධයක් නොතිබුනත් දන්නවනේ රට්ටු හදන කතා, අනික නැන්දා මාතර ප්රධාන බාලිකා පාසලක ප්රාථමික පාසලේ හෙඩ්මිස්ට්රස්.
ඉතින් ඔය ප්රශ්නය ගැන පියල් පානි අයියට කියලා. පානි අයියා කියලා
‘හරි මම වැඩක් කරන්නම් ඕකාට, උඹ බයවෙන්න එපා’
කියලා. ඉතින් පානි අයියා කල්පනා කරලා ඔන්න ප්ලෑනක් ගහලා. මැනි නැන්දා ආදරෙන් තියාගෙන ඉන්න මාමා නිතරම වගේ කැමැත්තෙන් ඇඳපු ඇඳුම් වලින් ෂර්ට් එකකුයි, කලිසමකුයි, එයා දැම්ම තොප්පියකුයි, සන්ග්ලාසුයි කොහොම හරි අරගෙන දෙන්න. ඉතුරු ටික මම බලා ගන්නම් කියලා’ කියලා පානි අයියා පියල්ට කියලා.
පානි අයියට සෑහෙන්න හොඳට රඟපාන්න පුලුවන්, ඒ වගේම කටහඬවල් වෙනස්කරලා කතා කරන්න සිංදු කියන්නත් පුලුවන්. ඉතින් මිනිහා මාමගෙ ඇඳුම් ඇඳලා, තොප්පිය දාලා, මාමගෙ සන්ග්ලාස් දාලා රෑ දොලහට විතර ගිහිල්ලා වීරසිංහ අංකල් ඉන්න කාමරේ ජනේලෙට තට්ටු කරලා. මිනිහා ජනේලේ ඇරලා බලන කොට අයියා කලුවරට ගිහිල්ලා යන්තමට පේන නොපෙනෙන තැනකට ගිහිල්ලා,
‘වීරේ, මචං උඹ ඔහොම අපේ ගෙදර ඉන්න එක හරි නැහැ නේ. මගේ නෝනට කතන්දර හැදෙන්න පුලුවන් නේ. හෙටම මෙහෙන් පලයං. උඹ නොගියොත් ඉතිං මම යාලු කම නොබලා, මම ඉන්න දිහාට උඹව ගෙන්න ගන්නවා’
කියලා ඒ කාලේ රේඩියෝවල හොල්මන් කතා කරන විදියේ කටහඬකින්. ඊට පස්සෙ හෙමින් හෙමින් අඳුරේ නොපෙනී ගිහිල්ලා.
කොහොම හරි ඊ ලඟ දවසේ වීරසිංහ අංකල් පැක් කරගෙන නැන්දට කිව්වලු
‘මම මෙහෙන් යන්න කියලා හිටියේ මරනෙන් පස්සේ. එක පාරටම ඔයාලා දාලා යන එක හරි නැති නිසා, දාන එහෙම දිලා ඉවර වුනාම යන්න හිටියේ. මම හිතන්නේ දැන් තමයි යන්න හොඳ වෙලාව. ඔයාලට ඕන වෙලාවක ඕන දෙයක් තියෙනව නම් මට කියන්න, මම යාලුවා වෙනුවෙන් ඕන දෙයක් කරන්න. මාව මෙච්චර කල් තියා ගත්තට ස්තුතියි’
කියලා. ඊට පස්සේ කාගෙනුත් සමු ගෙන මිනිහා ගියා ගියාමලු ආපහු ඒ ගේ පලාතෙ ආවෙ නැතිලු. පියල් හැර අනික් කවුරුත් මේ වෙන තුරු හිතාගෙන ඉන්නේ අංකල් හිතලම ඒ තීරණය අරගෙන ගියා කියලලු.
‘උඹලා මාර වැඩ කරන්නේ. කොහොමද වීරසිංහ අංකල්ට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා මිනිහත් කප ගැහුව නම්’ කියල මම කිව්වම
‘ඇත්තටම, අපිට ඒක හිතුනෙ නෑ. අපිට ඕන වුනේ ඌව එලව ගන්නනේ’
කියලා දෙන්නා ආපහු පහක් දී ගත්තේ පොඩි කොල්ලො දෙන්නෙක් වගේ.
මීට අවුරුදු දෙකකට විතර ඉස්සර තව ඒ පවුලේ සාමාජිකාවක් වූ චම්පා කැනඩාවේ ඉඳලා කැන්බරා ආවා නිවාඩුවකට. මට ඉතින් මේක චම්පට කියන තුරු ඉවසිල්ලක් නෑ. ඒ පාර පානි අයියට කෝල් කරල ඇහුවා අර කතාව චම්පට කියන්නද කියලා, මිනිහ ‘හා’ කිව්වට පස්සෙ ඔන්න ඒක එයාට කිව්වම
‘අනේ ඇත්තට, මුන් කරල තියෙන වැඩේ’ කියල කම්මුලට අත තියාගෙන ඉඳලා
‘ඒත් ඉතින් මොලේ තියෙන වැඩක් නේ කරල තියෙන්නේ. අම්මටත් එයාට යන්න කියල කියන්න බැරුව හිටියේ. ඒත් කීප ගමනක් කිව්වා මොකද දන්නෙ නෑ වීරේ එක පාරටම පැක් කරගෙන ගියේ කියලත්’ කියලා හිනාවෙන්න ගත්තා.
ඒ වෙනකොට මැනි නැන්දත් මේ ලෝකෙන් සමු අරගෙන තිබුනු නිසා, එයා වීරසිංහ අංකල් ගෙදරින් ගිය එකට හේතු වුනු කතාව කවදාවත් දැන ගත්තෙ නැහැ.
උපුටා ගැනීම: Devapriya Siriwardena