මායි, සුරංගයි, සමනලීයි පොඩි කාලේ ඉඳන් ම යාළුවෝ. ඒ යාළුකම පටන් ගත්තේ අපි ගමේ ඉස්කෝලේ එකේ පන්තියට බාර දීපු දවසෙමයි..
අපි තුන්දෙනා ම ශිෂ්‍යත්වෙ පාස් වෙලා ටවුමේ ඉස්කෝලෙට ගියෙත් එකටමයි. එහෙදි සාමාන්‍ය පෙළත් පාස් වෙලා උසස් පෙළට යද්දි තමයි අපි තුන්දෙනා ටික කාලෙකට හරි වෙන්වුණේ..
මං මැත්ස් කරද්දි, සමනලී කරේ බයෝ, සුරංග කරේ කොමස්. ඒත් තුන් තැනක හිටියත් අපි හිත් වලින් හිටියේ එකම තැනක..
උසස් පෙළ ලියලා ඉවර වෙද්දි නම් අපේ ජීවිත වෙනස් වෙන්න ගත්තා. මං විභාගේ ඉවර වුණ ගමන් ම පෞද්ගලික ආයතනයක රැකියාවට ගියා. සුරංග ගියේ බැංකු රස්සාවකට. ඒත් දොස්තර කෙනෙක් වෙන්න තිබුණ ආසාව නිසා ම, තමන්ට මදි වුණ ලකුණු දෙක තුන වෙනුවෙන් සමනලී ආයෙත් පන්ති යන්න පටන් ගත්තා..
ඊටත් කාලෙකට පස්සේ තමයි සමනලී විභාගේ ඉහළින් ම පාස් වෙලා කියන ආරංචිය අපිට ආවේ..
ඉතින් ඒ සතුට සමරන්නත් එක්ක, වෙනදා පුරුදු විදිහට ම අපි තුන්දෙනා ආයෙත් හම්බවුණා. එ් හම්බවුණේ අපිට පොඩි කාලේ ඉඳන් පුරුදු තැනක් වුණ, “පුංචි කන්ද” උඩදිමයි..
එතන තමයි දන්න කාලේ ඉඳන් අපි අපේ ජීවිත බෙදාගත්ත තැන. ඒක හරිම උස තැනක්. ඉතින් එතනට ආවම අපිට දැනුනේ අපි ලෝකෙන් ම මිදිලා තනියම ඉන්නවා වගේ..
එදා සුරංගයි, මායි එද්දිත් සමනලී එතනට ඇවිත් හිටියා. අපි එදා කෑ ගැහුවේ මුළු ගමට ම ඇහෙන තරම් සද්දෙන්. මොකද අපේ එකෙක් දොස්තර කෙනෙක් වෙනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි..
ටිකක් වෙලා කතා කර කර හිටපු අපි ඊළඟට ගියේ ධර්මසිරි මාමලගේ ගෙදරට. ධර්මසිරි මාමා කියන්නේ අපේ ගමේ ඕන ම කෙනෙක් දන්නැති දෙයක් අහගන්න, උදව්වක් ඉල්ලගන්න හම්බවෙන මනුස්සයා..
විශේෂයෙන් අලුතින් රස්සාවකට යන, කැම්පස් යන ඕන කෙනෙක් මුලින් ම ගියේ මාමව හම්බවෙන්න. සුරංගයි මායි රස්සාවල් කරාට, රට තොට ඇවිදලා තිබුණට කැම්පස් එකක් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒ නිසා අපි දෙන්නත් සමනලී එක්ක ම ගියේ කැම්පස් ගමන ගැන විස්තර ටිකක් දැනගන්න..
අපි යද්දි මාමා ගෙදර හිටියේ නෑ. හුඟක් වෙලාවට ඉන්නවා වගේ, ධර්මසිරි මාමා හිටියේ පන්සලේ. උපදෙස් දෙන්න විතරක් නෙමෙයි, පින් අතේ වැඩ වලදිත් පෙරමුණ ගත්තේ මාමා නිසා ඒක අපිට පුදුමයක් උනේ නෑ..
පන්සලට යද්දි එතන ලොකු හාමුදුරුවෝ එක්ක ධර්මසිරි මාමා ලොකු කතාවක්. ඒ කතාව ඉවර වෙනකන් ඉඳලා සමනලී මාමට විස්තරේ කිව්වා. ඒ කියලා ලොකු හාමුදුරුවන්ටයි, මාමටයි වැඳලා අපි එන්න ආවා..
එදාට පස්සේ මං පුරුදු විදිහට කොළඹ ගියා. සුරංග නම් රස්සාව කරේ ටවුමෙ නිසා එයා වැඩට ගියේ ගෙදර ඉඳන්මයි. සමනලීත් ගමේ ළමයින්ට උදව්වක් විදිහට පන්සලේ පන්ති වගයක් කරනවා කියලා මට ආරංචි උනා..
ඒත් නරක ම ආරංචිය ආවේ ඊටත් පස්සේ. සමනලී පුංචි කන්දෙන් වැටිලා කියලා මට කෝල් කරලා කිව්වේ අපේ අම්මා..!
ඒ ආරංචියටත් වඩා මං තැති ගැන්වුණු ආරංචියක් තිබුණා නම් තිබුණේ, ඒකෙන් සමනලීගේ ජීවිතේ නැති වෙලා කියන එකයි, ඒ මරණෙට සැක පිට සුරංගව පොලිසියට අරන් ගියා කියන එකයි විතරයි..
ඒ කතාව අහපු මං ගෙදර ගියේ පිස්සෙක් වගේ. මට ඕන වුණා සුරංගව හම්බවෙලා මේක ගැන අහන්න. ඒත් මං යද්දි හැමදේම විසඳිලා ඉවරයි..
සමනලී වැටෙන්න කලින් එ් දෙන්නා අතර රන්ඩුවක් වෙලා කියලා ඒ වෙද්දි පොලිසිය හොයාගෙන ඉවරයි. අවසානෙදි මුළු ගමට ම වගේ මටත් ආරංචි වුණේ සමනලීගේ ආදරය ඉල්ලලා ප්‍රතික්ෂේප වුණ සුරංග එයාව කන්දෙන් පහළට තල්ලු කරා කියන දේ විතරයි..
ඒ දෙන්නා අතර මොකක් හරි දෙයක් තියන බව මට දැනිලා තිබුණත්, ඒ “මොකක් හරි” දේ මෙච්චර විනාසයක් කරයි කියලා නම් මං හිතුවේ නෑ..!
—————————————————————
“පුතේ සුරංගගේ අම්මා අන්තරා වෙලා..”
එහෙමයි අම්මා මට කෝල් කරලා කිව්වේ. මේ වෙද්දි සුරංග හිරේ ගිහින් මාස පහක් විතර ගිහින් තිබුණත්, මට මිනිහගේ මූණ බලන්න තරම් ඕනකමක් තිබුණෙ නෑ..
සුරංගට හිටියේ එක්තැන් වෙලා හිටිය අම්මා විතරයි. ඒ කියන්නේ දැන්, කාලයක් මගෙ හොඳම යාළුවා වෙලා හිටපු මනුස්සයා මේ ලෝකෙ තනිවෙලා..
වෙනදා නම් ඒ ආරංචියට මං ලෝකෙ පෙරළගෙන ගමේ දුවන්න තිබුණා. ඒත් එදා මට සුරංගගේ අම්මගේ මූණ බලන්න තරම් හයියක් ඉතුරු වෙලා තිබුණේ නෑ. කොහේ ගියත් සුරංගව පරිස්සම් කරන්න කියලා මට බාරදෙන නැන්දට මං මොකද්ද කියන්නේ ? මට පුතාව බලාගන්න බැරිවුණා කියලද ?
ඒ නිසා මං කොළඹ ම හිටියා. ඒත් මොකද්දෝ හේතුවකට මට සුරංගව බලන්න යන්න හිතුනා. සුරංග හිටිය බන්ධනාගාරේ ළඟ ම තිබිලත්, කවදාවත් යන්න නොහිතපු ගමන මං එදා ගියා..
ඒත් ඒ ගියාම මං දැක්කේ මගෙ යාළුවට වඩා සම්පූර්ණයෙන් වෙනස්, වැහැරුණ මිනිහෙක්. සමහරවිට කරපු දේ ගැන දැන් මිනිහට ම දුක ඇති..
“මං දැනගත්තා උඹ කවදාහරි මාව බලන්න එයි කියලා..”
“ඇයි උඹ එහෙම කරේ ?”
“මං සමනලීව මැරුවේ නෑ බං. එයාව මැරුවේ ධර්මසිරියා. ඒ ඔය සිද්ධිය වෙන්නත් කාලෙකට කලින්. ඒත් ඌ ඒ කෙල්ලට මැරිලවත් ඉන්න දුන්නෑ බං..!”
ඒක අහපු මට එක පාරට ම ඇහුන දේ දිරවගන්නත් බැරිවුණා. මූ මේ කියන්නේ පින් කඳක් වගේ ඉන්න ධර්මසිරි මාමා ගැන..
එතනින් එහාට සුරංග හුඟක් දේවල් කිව්වා. කතාව නවත්තන්න කලින් සුරංග මට ගමේ ගෑනු දෙතුන් දෙනෙකුගේ නම් ටිකකුත් කිව්වා. ඒ අයගෙන් විස්තර අහන්න කියලත් කිව්වා..
යන්න කලින් මං සුරංගගෙන් ඇහුවේ කාලයක් තිස්සේ අහන්න හිටපු දෙයක්..
“පොලිසිය කියපු කතා ඇත්තද ?”
“ඔව්. අපි රන්ඩු උනා. හැබැයි එයාව මරන්න හිතාගෙන නෙමෙයි. බේරගන්න හිතාගෙන. ඒත් මාව පැත්තකට තල්ලු කරලා දාලා එයා පැන්නා බං..!”
සුරංග අන්තිම ටික කිව්වේ කඳුළු බේරෙද්දි. එතනදි මං කාලෙකට පස්සේ ආයෙත් අහිංසක මූණක් තිබුණ මගෙ යාළුවාව දැක්කා..!
ඒ ගමන ඉවර වෙලා මං ගියේ සුරංග කියපු අයව හම්බවෙන්න. ඒ හැමෝම මට උත්තර දුන්නේ ඇඬූ කඳුළින්. මීට මාස ගානකට කලින් සමනලී තමන්ව හොයාගෙන ආවා කියලා ඒ හැමෝම පිළිගත්තා. ඒත් තමන්ගේ පවුල් ජීවිතය නැති කරගෙන වෙන එකෙකුට පාඩම් උගන්නන්න ඒ කාටවත් ඕන වුණේ නෑ..
ඉතින් ඒ හැමෝම තමන්ගේ අඳුරු අතීතය හිත් ඇතුළෙ ම තියාගෙන, ගම ම නැති කරපු මහ උපාසකට තවත් ජීවිත නැති කරන්න අනියමින් ඉඩ දුන්නා..
එදා ඒ ගෙවල් වලින් එළියට එද්දි සමනලීට දැනුන අසරණකම මොන වගේද කියලා මටත් දැනුනා..
ඒත් මට ඒ මිනිහව අතඅරින්න ඕන වුණේ නෑ. තව ජීවිත නැති කරන්න ඉඩ දෙන්න ඕන වුණේ නෑ..
මං ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි මේ විස්තරේ කිව්වා. ඒත් තාත්තා ඒක පිළිගත්තෙ නෑ. අපේ තාත්තා අහිංසක ගොවියෙක් තමයි. ඒත් ඒ අහිංසකකම වැරදි කරපු එකෙකුට විරුද්ධව නැගිටින්න බාධාවක් වෙයි කියලා මං කවදාවත් හිතුවේ නෑ..
එදා මං ගෙදරින් ආවේ, “බයගුල්ලෙක්ගේ පුතෙක් වෙලා ඉපදුනාට වඩා මේ ලෝකෙට නෑවිත් ම හිටිය නම් හොඳයි” කියලා කෑ ගහලා. එහෙම ඇවිත් රෑ වෙනකන් ම මං හිටියේ පුංචි කන්දේ. අම්මා දීපු කෝල් එකකටවත් මං කතා කරේ නෑ..
අන්තිමට මං කන්දෙන් බැස්සේ එළිවෙන ජාමේ. මට කරන දෙයක් හිතාගන්න බැරි උනා. ඒත් මට ධර්මසිරි කියන උපාසක වෙස් මූණ දාපු යක්ෂයාව නිහඬ කරන්න ඕන වුණා..
මං ඒ ගෙවල් පැත්තට ගියේ ඒ සිතුවිල්ලත් එක්කමයි. ඒත් ටිකක් හිත ගැස්සුනේ මේ රෑත් එතන තිබුණ එළියයි, වටේ තිබුණ කලබලෙයි දැකලා. වාහන ගොඩක් ධර්මසිරිගේ ගෙවල් ළඟ නවත්තලා තිබුණා..
ළඟට ගියාමයි දැක්කේ, ඒ තිබුණේ පොලිස් වාහන. මං එතනට දුවගෙන ගියා. යද්දි මිදුලේ ලේ විලක් මැද වැටිලා හිටියේ ධර්මසිරි. ඒත් මගෙ ඇස් ගියේ ධර්මසිරිගේ මිනියට නෙමෙයි, පොලිස් ජිප් එකට. ඒක ඇතුළේ මාංචු පිටින් හිටියේ තාත්තා..!
—————————————————————
පළාතට ම දෙවි කෙනෙක් වගේ හිටිය ධර්මසිරිව මැරුව වරදට අපේ තාත්තව හිරේ යවන්න මුළු ගම ම එකතු වුණා. ඒත් ඒ මරණය දකින්න මග බලාගෙන හිටිය ගෑනු තමන්ගේ පවුල් වලත් හිටියා කියලා ඒ අය අද වෙනතුරුත් දන්නේ නෑ..
ඉතින් අදත් ධර්මසිරිට දාන දෙන සමහර මිනිස්සු අපේ තාත්තාට සාප කරනවා. ඒත් මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද මං කාගෙ කාගෙත් ඇත්ත මූණු දැකලා තිබුණ නිසා..
ඒ වුණත් අනිත් හැමදේටම වඩා අදටත් මගෙ හිතට වද දෙන්නේ ඒ මූසල දවසේ අම්මා මට කියපු කතාව..
“පුතේ උඹේ තාත්තා බයගුල්ලෙක් නෙමෙයි. ඒ මනුස්සයා පුදුම දහිරියක් තිබුණ මිනිහෙක්. ධර්මසිරියගේ නියම මූණ අපි දන්නේ අදක ඊයෙක ඉඳන් නෙමෙයි පුතේ. උඹලගේ තාත්තා ඔය දේ කරන්න හිටියේ මීට අවුරුදු 20 කටත් කලින්, ඒ මං වෙනුවෙන්. එදා මං ඒ පාප කර්මෙන් ඒ මිනිහව බේරගත්තා. ඒත් අද මට ඒක කරන්න බැරිවුණා..”
“උඹ ඒ ආනන්තරිය පාප කර්මෙ කරගනී කියලා උඹේ තාත්තා බය උනා මගෙ පුතේ. ඒකයි උඹට කලින් ඒ මිනිහා එතනට ගියේ..!”
මට එතනින් එහාට කිසිම දෙයක් තේරුම් ගන්න ඕන වුණේ නෑ. ඒත් කවුරුහරි මගෙන් ඇහුවොත් මගේ තාත්තා ධර්මසිරි උපාසක මහත්තයද කියලා,
මං ආඩම්බරෙන් කියනවා,
“නෑ. මගේ තාත්තා ඒ හොර උපාසකව මරපු මිනීමරුවා කියලා..!”
—————————————————————
බොරුව පිනුම් ගහද්දි, වීරයෝ නිහඬයි..
ඒත් ඒ අය කතා කරන්න පටන් ගත්තම හරිම සද්දයි..!
වෙස් මූණු වලට වඳින ලෝකෙක ඇත්ත මූණු විරලයි..
ඉතින් ඇත්ත හොයනවට වඩා ඔපේට රැවටෙන එක ලේසියි, මිනිස්සු හිතන්නේ එහෙමයි..!
උපුටා ගැනීම: – ඉෂාන් ජනිත් දිසානායක –