මම කුඩා කාලේ ජීවත් උන ගෙදර තිබුණේ වෙලක් ලග. කූඩා කාලේ කිව්වට බැන්ඳට පස්සෙත් අවුරුදු කිහිපයක් ම හිටියේ එහේ. තවමත් යනව එනවා. වෙලක් ලග ගෙයක් තියෙන කෙනෙක් දන්නව ඒක කොහොමද කියලා, විශේෂයෙන් ම වෙල් යායක් නම්. හොදට හුලඟ, එළිය ඒපැත්තෙන් නොඅඩුව තියෙනවා, පොල්, කොස් වගේ දේවල් බාදාවක් නැතුව වවන්න පුලුවන්, විශේෂයෙන් ම ඉර පායන්නේ වෙල හරහානම් උදේට ඒවගේ දර්ශනයක් දකින්න නෑ. මට නම් ඒක දෙවෙනි වෙන්නෙ කන්දකදී විතරයි. ඒවගේම වෙලක් ලග තියෙන ඉඩමක ලිඳේ වතුර ලේසියකට හිදෙන්නේ නෑ. අවාසිත් නැත්තෙම නෑ, වෙලක් ලගනම් ඒ ගෙවල් වලට සත්තු සර්පයිත් ලේසියෙන්ම එනවා, කූඩැල්ලොත්, ගෙදරට එන පාර වෙල හරහා නම් වැහි කාලෙට එනකොට කුඹුරක් මැඩෙව්වා වගේ එන්න පුලුවන්. වැහිකාලෙට ඉඩම යට වෙන්නත් පුලුවන්.
පොඩි කාලේ අපිට නම් වෙලේ තිබ්බේ වාසිම විතරයි. මඩේ සෙල්ලම් කරන එක, එල්ලේ ගහන්න, වතුර බඳින කාලෙට කෙහෙල්කොට අල්ලලා පාරුව ගහන එක, තව දේවල් ගොඩක් තිබ්බා. තණකොල මැරෙන්න වතුර බැන්දාම අඩියක් එකාමාරක් විතර උඩට වතුර හිටිනවා. පැහැදිලි වතුර යටින් කොල පාට තණ කොල පිට්ටනියක් වගේ කීප දවසක් යනකන්. දුවන්න පෙරලෙන්න, වැටෙන්න කියාපු තැන. අඩි හතරක් වත් උස නැති ඒකාලේ ඔය ටික අපිට නිකං වැව වගේ විසාලයි. වෙලට බැහිල්ලක් නෙමි පැනිල්ලක් තියෙන්නේ, ඒ වෙලාවට. මං මේ කියන්නේ අවුරුදු ගණනකට කලින් තිබ්බ වෙලක් ගැන. ඒකාලේ මේ වෙලේ වතුර මිනිස්සු අතින් අරන් බොනවා මම දැකලා තියෙනව. හෝමාගම පැත්තේ එහෙම තිබ්බා කියලා දැං නම් හිතන්නවත් අමාරුයි. ගොඩාක් කාලෙට කලිං ටෝකියොවේ කුඹුරු වල ගෝල්ඩ්ෆිශ් ලා හිට්යා කියනවා වගේ. කවුරුත් විශ්වාස කරන්නේ නෑ. රසායනික පොහොර, කෘමිනාශක ගහලා දැං පුරං වෙලා තියෙන ඒ වෙලෙන් වතුර එහෙම බිව්වොත් බීපු එකාට හැදෙන ලෙඩේ හොයන්න වූහාන් යවන්න වෙනවා.
කාලෙන් කාලෙට වෙලෙන් අපිට එක එක වාසි තිබ්බට මුලු අවුරුද්දේම කරන්න පුලුවන් එක කෙලියක් තිබ්බා. ඒ තමා මාළු ඇල්ලිල. වතුර බැන්දත්, පෝරු ගෑවත්, ගොයම් හිටෙව්වත්, පැහුනත්, කැපුවත්ඔය හැම කාලෙකම කුඹුරේ මාලු හිටියා, කුඹුරේ නැත්නම් දෙපැත්තේ ඇළවල් දෙකේ. නියගයක් ඇවිත් වේලිල කරකුට්ටං වෙලාගියත් ඊලග වැස්සෙන් පස්සේ ආයේ මාළු ඉන්නවා. කොහෙං කොහොම එනවද දෙය්යෝ තමා දන්නේ.
මේ මාලු ඇල්ලිල ජයටම වෙන්නේ නිවාඩු මාස වල. ලොකු අම්මගේ පුතාලා දෙන්නා මේ කෙලියට උඩින්ම පැනගෙන එන අනිත් ක්‍රීඩකයෝ. අයියා මලෝ දෙපල ඇවිදන් එන්න පුළුවන් දුරින් හිටපූ නිසා අවසරය ලැබුන දවසට දෙන්නම කුකුළා අතින් අරන් අපේ දොරකඩ ලග ප්‍රාතිර්භූත වෙනවා. මේ මාලු ඇල්ලිලේ කෙලියට ගෙවල් දෙකෙන් එක ගෙදරක වත් වැඩිහිටියන් නම් කැමති නෑ. අරුන් දෙන්නා ගෙදරින් එන්නෙත් වෙලට බහින්නෑ කියන පොරොන්දුවෙන්, ආවට පස්සේ අපි තුන් දෙනා වෙලට යන්නෙත් වෙලට ගියාට මාලු බලන්න විතරයි, මාලු අල්ලන්නේ නෑ කියන දේව වාක්‍ය මතුරලා. ඒත් ඉතින් ඒ දිව්රිලි ,පොරොන්දු කියපු කටවල් වල කෙළ හිදෙන්නත් කලින් කාරියට බැහැලා ඉවරයි.
මේකියන දවසෙත් අයියා මලෝ දෙපල උදේ පාන්දරම අපේ ගෙදර ආවා. එදා ඉතිං පොයට කලින් දවස. උන්දෙන්න ආවේ ශීල ව්‍යාපාරයකට නෙමි ඉතිං. පුරුදු පරදි පැය භාගයක් යන්න කලින් අපි වෙල මැද්දේ වක්කඩේ ළඟ. මම ගෙදර එකා නිසා බැහැලා මාළු අල්ලනවා. අනිත් දෙනම උඩ ඉදන් අවවාද අනුශාසනා දෙනවා ක්‍රම විදි, මාළු හැංගුණු තැන්. අල්ලන මාළු දන්නේ ජැම් බෝතල් දෙකකට. ටික වෙලාවක් යන කොට වක්කඩේ වල බොර වෙනවා. එතකොට ටිකක් ගොඩට ඇවිත් ඉන්න වෙනවා ගලාගෙන එන වතුරෙන් වල පෑදෙනකන්. ඊට පස්සේ ආයේ පුරුදු කාරිය. මේ වැඩේ ටිකක් යනකොට එපා උනා. මාළුත් අපේ ක්‍රම සහ විදි අවබෝධයෙන් වගේ වතුර පෑදෙනකොටම අතුරුදහන්.
මට මතක නෑ හරියටම අපි තුන්දෙනාගෙන් කාටද මේ මරුමුස් අදහස ආවේ කියලා. මං හිතන්නේ ඒකාලේ නිර්මාංශ වෙලා හිටිය අයියණ්ඩි ට තමා.
“මේ මේක හරියන්නේ නෑ.. අපි වක්කඩේ වහලා වල ඉහිමු. නැත්නම් මාළු අල්ලන්න වෙන්නේ නෑ..”
වතුර බහිමින් තියෙන වක්කඩක් එහෙම වහන්න බෑ. මොකද ඊට පස්සේ වේල්ල බැන්දා වගේ උඩ ලියදි වතුරෙන් පිරෙනවා. කුඹුරේ අයිතිකාරයා දැක්කොත් නඩු ඉතින්.
ඒ පාර තුන් දෙනා කතාවෙලා වාරිමාර්ග දැනුම භාවිතා කරලා නියරේ වෙන තැනකින් වක්කඩේ වල මග ඇරලා පහල කුඹුරුවලට වතුර වැටෙන විදියට පොඩි ඇලක් කපන්න සැලසුම් ඇන්දා. වැඩේ ටිකක් බරපතල නිසා උදළු කොටේකුත් අරන තුන්දෙනාම ඇළ කපන්න ගත්තා. මදි පාඩුවට අත් කකුල් වලිනුත් හෑරුවා, තැලුවා. ටික වෙලාවක් යනකොට තුන්දෙනාම කුඹුරු අක්කරයක් හෑව වගේ මඩ. අන්තිමේ වක්කඩේ වැහුවා. හිතුවා වගේම උඩ කුඹුර උතුරලා අපි කපපු ඇළ දිගේ ගලාගෙන ගිහින් පහළ කුඹුරු වලට වැටුනා. ඉතිං දැන් තියෙන්නෙ වල ඉහින එක. තුන්දෙනාම බැහැලා දෝතට වතුර අරන් නියරට ඉහින්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට තේරුනා මේක හරියට ලේන් වල්ගෙන් මුහුද ඉහිනවා වර්ගයේ වැඩක් කියලා. යක්ශ රාජයා ආරූඪ වෙලා හිටපු කාගේ හරි මොළ රාජයෙකුට තව නිර්මාණශීලී පවුකාර අදහසක් ආවා. ඉතිං ගෙදර තිබ්බ බාල්දියකුත් පස් අදින දැල් කූඩෙකුත් හොයාගෙන ඒවායෙන් වල ඉහින වැඩේ ට බැස්සා.
ටික වෙලාවක් යනකොට අපි මඩ නාගෙන කරපු ඇළ වේලී තාක්සනේ ප්‍රථිඵල එන්න ගත්තා. දැල් කූඩෙට මාළු අහුවෙන්නේ අහුරු අහුරු. අනික තඩි උන් . පොඩි පෙතියෝ, හඳයියෝ වගේ උන් දැල් කූඩෙන් පෙරිලා ගියාට බාල්දිවලට අහුවෙනවා. අහුවෙන මාලු මුලින්නම් ජෑම් බෝතල් වලට පුරව පුරව හිටියට මොකද අස්වැන්න වැඩිවෙනකොට ජෑම් බෝතල් හත අටක මාළු පුරෝලා නියර දිගට. පස්සේ මල්ලිව යවලා ගෙන්න ගත්තු බේසමටත් මාලු පිරෙව්වා. තුන්දෙනා හරියට මැණික් ගරනවා වගේ වක්කඩේ වල ඉහිනවා. අන්තිමේ අඩියේ වැලි පෑදෙනකං ඉස්සා. කර්මාතේ ඉවර වෙනකොට බේසමේ මාළූ පුරවලා. ඒමදිවට කොහේදෝ යන කක්කුටෙකුත් ඒකේ. උන්ට පීනන්න ඉඩක් නෑ.
ගොඩට ආපූ අපි දැං මාළුංගේ හැඩ බලනවා. මුන්ව බෙදා ගන්න හැටි කතාවෙනවා. යාළුවන්ට විකුණන හැටි කතාවෙනවා. කපේකට මෙහෙම ඇල්ලිලක් අල්ලලා නෑ. මෙදා පාර නම් වෙළේ මාලු නැතිම වෙනවා කොකෙක්ට කන්නවත් අපි අල්ලපු ඇල්ලිලට කියලා පංපෝරියත් ගහනවා. ඇත්තටමත් වල අඩියටම හිදිලා තිබ්බේ. එකෙක්ට දුක හිතිලා කියනවා ගෙදර ගෙනිහින් වෙල වගේ මඩ දාලා ටැංකියාක් හදලා උන්ට තුන්වේලටම කන්න දෙනවා කියලා, අනිකා කියනවා මුන් බොකරලා ටිකක් ආයේ වෙලට ගෙන්ත් දානවා කියලා . තව ටිකක් දුර මේ දවල් හීනේ යනකොට එකෙක් කියනවා අපි බිස්නස් එකක් කරමු කියලා.
“මේ මාළු ටික බෝකරලා ගොඩක් පැටව් හදලා විකුණමු”
දැං ඔන්න තුන් දෙනාම මාළු ව්‍යාපාරයේ. එකෙක් කියනවා බෝකරගන්න ක්‍රම. පැටව් වැඩිපුර බෝකරන බෙහෙත් ,කෙම් ක්‍රම. තව එකෙක් ලාබෙට ටැංකි හදාගන්න විදිත් කියනවා. ඒ අස්සේ අයියා පොල්කුඩු හා හාල්මැස්සෝ ඔළු වලින් හදාගන්නා මාළු කෑම එකකුත් ගැන කියනවා. අපිට හරි සතුටුයි මාළුංගේ කෑම ප්‍රශ්න කුස්සියෙන් වීසි කරන පොල්කුඩු ටිකකිනුයි හාල් මැස්සෝ ඔළු ටිකකිනුයි ශේප් කරගත්ත එක. ඊට පස්සේ මාළුන්ට නම් දාන එක. එහෙන් මෙහෙන් දන්න ඉංග්‍රීසි කෑලී තේරුමටත් වඩා ලස්සනට සද්දේ එන විදියට නම් දානවා. ඒ අතරේ ව්‍යාපාරය නගා සිටවන්න අනිත් මාළු කඩවල බිස්නස් වට්ටන ක්‍රම විදිත් කතාවෙනවා. දැං ඉතින් මේ මාළු ව්‍යාපාරයේ අපි හිනිපෙත්තටම ඇවිත්. මාසෙකින් වගේ ලාබ ලබන්නත් අරන්. ආයියගේ ආදායම් වියදම් බැලිල්ලේ හැටියට පළමු මාසෙම ලොකු ලාභයක් එනවා.
ඒකා කියනවා
” මල්ලි මුල්ම ලාබෙන් අපි හොඳ දෙයක් කරන්න ඔනා. අපි මරන්න ඉන්න හරකෙක් නිදහස් කරමු “
“මුං යකෝ…වෙලේ යසට හිටිය මාළු ටික අල්ලලා විකුනලා හරක් නිදහස් කරන්න.” මාළුන්ට අපේ කථාව ඇහුනානම් එහෙම කියයි.
සත්ව වෙළදාම කරලා ප්‍රාණ ගාතය වළක්වන්න යනවා වුනාට එකෙක් ට වත් ඒක ගැන තේරුමක් තිබ්බේ නෑ. තුන්දෙනාම යන්නේ එකම දහම් පාසලටනේ. ඒ යන්නෙත් සෙල්ලම් කරන්නයි, ගස්වල ඵලදාව නෙලාගන්නයි.
අපිත් එක හෙලා ඔලුව වනලා අයියගේ ධාර්මික වැඩේට කැමති උනා. මම නම් හිතන් හිටියේ මුල්ම ලාභෙන් කොකවුරා බැට් එකක් ගන්න.
මෙහෙම ගොඩනගපු අපේ ව්‍යාපාරය කාඩාගෙන වැටුනේ දවල් කෑමට පරක්කු නිසා අපිව හොයාගෙන ආපු අම්මා කතා කරන සද්දෙට. මුලින්ම අම්ම දැක්කේ යක් පැටව් තුන්දෙනෙක් වගේ ඉහේ ඉදන් මඩ නාගෙන ඉන්න අපිව. නියර දිගේ ජෑම් බෝතල් වල පුරවලා ඉන්න මාළු කන්දරාව දැක්කාම අම්මගේ ඇස් උඩ ඉන්දුනා.
” මේ මොන පවු වැඩක් ද..”
” හෙට පෝය නේද…”
අම්මත් දැං වක්කඩේ කැඩුවා වගේ. බනින්නේ මට. අරුන් දෙන්නට මුකුත් නෑ. උන් දෙන්නත් උන්ට නෙමී වගේ ඉන්නවා.
” මේ දෙන්නවත් ඇදගෙන වෙලට බහිනකොට මට හිතුනා.. “
” මේක තමයි මේ කොල්ලො දෙන්නවත් නරක් කරන්නේ.. “
අනේ අම්මට ඇහුනම් මාළු විකුනන්න මුන්දෙන්න දුන්නු අදහස්..
කෝම හරි බැනලා බැනලා ඉවර වෙලා
” ඔක්කොම මාළු දාන්න ආයේ වෙලට.. එක්කෙනෙක් වත් ගෙදර ගේන්න එපා “
කියන පරක්කුවෙන් අරුන් දෙන්න ජෑම් බෝතල ටික වතුරට හලන්න ගත්තා. මමත් කරබාගෙන බේසම වතුර පිරුණු උඩ කුඹුරට හැලුවා. මාළු ටික ගියේ ඇන්නෑවේ කියාගෙන වගේ. ඒත් මම බැනුම් අහනවා.
ගෙදර ගිහින් තුන්දෙනාම නෑවා. නාද්දිත් මම බැනුම අහන්නේ. අරුන් දෙන්න මීක් නෑ. හවස කාලා අයිය මලෝ ගියා. මම ඒත් අතරින් පතර බැනුම් අහනවා. රෑ තාත්තාටත් කියනවා ඇහුනා තුං කට්ටුවේ වික්‍රමය. අවුලක් නෑ මම නිදි.
උදේ නැගිටිනකොට නම් සිද්ධිය යටපත් වෙලා තිබ්බේ. නැගිටලා ටික වෙලාවකින් කවුදෝ කතාකරනවා ඇහුනා.
ඊයේ මාළු ටික වෙලට දැම්මට බැනුම් අස්සේ අපිට වක්කඩ අරින්න අමතක උනා. කූඹුර කරන ආතා හවස බලන්න එනකොට උඩහා ලියද්ද වතුර පිරිලා උතුරලා යනවලු. අපි මාලු අල්ල අල්ල ඉන්නව දැකපු කවුරු හරි එකෙක් ආතාට කියලා වක්කඩේ වහන්න ඇත්තේ අපි කියලා. ආතාත් උදෙම්ම ඇවිත් තාත්තාට අවනඩුව කියනවා.
එදා පෝය. තාත්තාට නිවාඩු. මගේ දවසේ ඉතිරු ටික ශෝකනීයයි.. !!!
————————
උපුටා ගැනීම: කෞශල්‍යය මේඝසූරිය