“අදවත් වේලාසන ගෙදර එන්න”
අනෝමාගේ මැසේජ් එක කවදත් සුපුරුදුයි.එයට පිළිතුරු දෙනවාට වඩා කාර්යබහුලව සිටි මා දුරකථනය නැවතත් බෑගයට දමාගත්තා.දිගින් දිගටම අනෝමගෙන් කෝල් එන්නෙ මොකක් හරි කියලා අද කලින් ගෙන්න ගන්න වෙන්න ඇති කියලා අනුමාන කරපු මම ඇගේ දුරකථන ඇමතුම් හිතාමතාම මඟහැරියා.
“අදත් රෑ වෙනකන් වැඩද”
එකදිගට බොස්ගෙන් අමතර පැය දෙකක් ඉල්ලගෙන වැඩ කරන්න මම ඇබ්බැහි උණේ ඉක්මනින්ම ගේ වැඩ ටික ඉවර කරගෙන අලුත් වාහනයක් ගන්න ඕන නිසා.අනෝමා නම් කිව්වේ මේ තියෙන වාහනේ හොදටම ඇති කියලා.ඒත් මගෙ හීනේ තිබ්බෙ තව ගොඩක් ඉස්සරහ.
“පුලුවන් කාලේ වැඩ කරලා හම්බ කරන්න ඕනී.එතකොට තමයි දියුණු වෙන්න පුලුවන්”
අනෝමට කියන කතාවම ඔෆිස් එකේ යාලුවන්ටත් කියන්න මම පුරුදු වෙලා හිටියා.ඒ වෙලාවට අනෝමා නම් කියන්නෙ සල්ලි වලට වඩා වැදගත් දේවලුත් ලෝකේ තියෙනවා කියලා. ගෑනු කොහොමත් එහෙමනේ.උන්ට ඕනී ආදරේ විතරයි.එකාතකට ආදරේ නම් කොයි වෙලාවක කරගන්න බැරිද. හීන හැබෑ කරගත්ත දවසට අනෝමා ළඟටම වෙලා නිදහසේ ආදරේ කරන්න මම පොරොන්දු වෙලයි හිටියේ.
රෑ හතට විතර මම අනෝමට කෝල් එකක් ගන්න ගමන්ම ඔෆිස් එකෙන් එන්න පිටත් උණේ ධාරානිපාත වැස්සත් එක්කමයි.ඒත් අනෝමා ෆෝන් එක ගත්තෙ නෑ. අමතර වැඩ කරන එක ගැන ඇය හිටියේ තරහින්.ඒ තරහ නිසාම ෆෝන් එක ගන්න නැතුව අැති කියලයි මට හිතුණේ.
රෑ නිසා වාහන තදබදය අඩු උනත් වැස්ස නිසා පරිසරයම පිරිලා තිබ්බේ මූසල පාලු ගතියකින්. අතරින් පතර, වැස්සෙ තෙමි තෙමී වේගයෙන් ඇදෙන බයික් නිසා මට මතක් උණේ ජොබ් එකට ආව මුල් කාලේ.ඒ කාලේ මට තිබ්බෙ බයික් කට්ටක් විතරයි. අනන්ත වාරයක් වැස්සෙ තෙමි තෙමි ඒ බයික් එකේ මම වැඩට ආවා ගියා.
දියුණු වෙන එක තමයි මගේ එකම හීනේ. මම ජීවිතේ වැඩිම ඉඩක් ජොබ් එකට දුන්නෙත් ඒකයි.යාලුවෝ ඇවිදින්න යනකොට පාර්ටි දානකොට මම ජීවිතේ ගෙව්වෙ ඔෆිස් එක ඇතුළේ.මැරි කරලා අවුරුදු දෙකක් උනත් අපි මේ වෙනකන් ෆැමිලි ට්රිප් එකක්වත් ගිහින් නෑ.අනෝමගෙ කරදරෙන් බේරෙන්න බැරිම තැන පළවෙනි වතාවට මම විනෝද චාරිකාවක් වෙනුවෙන් නිවාඩුවක් දාගත්තා.ඒකත් තව මාස දෙකකින්.
වෙනදා වාහනේ සද්දෙ ඇහෙනකොටම ගේ ඉස්සරහට එන අනෝමා අද ආවේ නෑ.දොරත් ලොක් කරලා තිබ්බෙ නැති නිසා දොර ඇරගෙනම සාලේට යද්දි සාලේ ලයිට් ඕෆ් කරලා ඉටිපන්දම් පත්තු කරලයි තිබුණේ.වැඩ මත්තෙම නැහුණට මොකද මට ඇත්තටමඅද දවස අමතක වෙලයි තිබුණෙ.ඔව් අද අපි දෙන්නගේ ඇනිවසරි එක.අදට අවුරුදු දෙකයි.
“ඔහ් මයි ඩාර්ලිං, ඔයා ගොඩක් මහන්සි වෙලානේ පැටියෝ.කෝ ඉතිං එන්නකෝ.අපි කේක් කපලා ඩිනර් අවුට් එකකට යං”
ඇනිවසරි එක අමතක උන වගක් නොපෙන්වා මම අනෝමට කතා කළා.ඒත් ඇය ඉස්සරහටආවේ නෑ.කෙලින්ම ගියා කාමරේට.නෑ ඇය කාමරෙත් නෑ.කුස්සියෙත් නෑ.බාත්රූම් එකේවත් ඇය හිටියේ නෑ. ඉටිපන්දම් ටික එහෙන්ම තියෙද්දි මම සාලේ ලයිට් ඔන් කළේ පුංචි බයකුත් හිතට දැනෙන ගමන්මයි.
මම මොහොතක් ගල් ගැහුණා. ලස්සන රෝස පාට ගවුමක් ඇදන් අනෝමා ලේ විලක් මැද වැටිලා හිටියා.ඇගේ එක අතක දුරකථනය රැදුණ නිසා මට මිස් වූ දුරකථන ඇමතුම් ඇය ලබාගෙන ඇත්තෙ උදව් ඉල්ලීමට බව තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.
මම ඇඬුවා.අනෝමා බදාගෙන සෑහෙන වෙලාවක් ඇඬුවා.ඉක්මනට ට්රිප් එක යන්න පොරොන්දු උනා.වේලාසන ගෙදර ඇවිත් ඇයත් එක්ක කාලය ගත කරන්න පොරොන්දු උනා.ඒත් අනෝමා අැස් ඇරියේ නෑ.එක තත්පරයකටවත් මං දිහා බැලුවේ නෑ.
එදා අනෝමා මාව දාලා සදහටම යන්න ගියා. ඔලුව වැදිලා ලේ යන එක නවත්ත ගන්න පුලුවන් උනා නම් අැය අදටත් ජීවතුන් අතර ඉන්න තිබුණා.නිමක් නැති රාජකාරි අස්සෙ හීනවලට පාර කපන අතර මම මගේ බිරිඳ ගැනත් හොයා බැලුවා නම් අඩුම තරමේ එක විනාඩියකට එදා අැමතුම ලබාගත්තා නම් අද මම මේ ලෝකේ තනිවෙච්ච ස්වාමීපුරුෂයෙක් වෙන්නෑ.
“මිස්ටර්ගේ වයිෆ් කලබලේට වැඩ කරද්දී තමයි වැටිලා තියෙන්නෙ.ඒ වෙලාවේ තමයි ඔය කියන විදිහට ඇය කෝල් අරන් තියෙන්නේ.කම්පනෙත් එක්ක ඇයට සිහිය නැති වෙලා.ඒ වෙලාවේ අනෝමව හොස්පිට්ල් එකට එක්ක ආවා නම් තත්වය මීට වඩා හොද වෙන්න තිබුණා”
ඩොකටර්ගේ වචන නැවත නැවත මට දෝංකාර දිදි ඇහුණා.සියල්ල නැතිව ගියාට පස්සෙ මට තේරුම් ගන්න පුලුවන් උනා සල්ලි වලට වඩා වැදගත් දේවල් මේ ලෝකේ තියෙනවා කියලා.අනෝමා හැම වෙලාවකම කියපු කතාවක් තිබුණා.
“සල්ලි හම්බකරගෙන හීන හැබෑ කරගෙන ආදරේ කරන්න බලන් ඉන්න තරම් කාලයක් අපිට නෑ. ලෝකේම තියෙන දේවල් ලබා ගන්න හීන දකිනවට වඩා තියෙන දේවල් වලින් ජීවත් වෙන්න පුරුදු උනා නම් ආදරේ කරන්න කාලයක් ලැබෙනකන් බලාන ඉන්න ඕනත් නෑ”
ඔව් අනෝමා හරි. අපිට තියෙන්නෙ ටික කාලයයි.අඩුම තරමේ ඒ කාලේ කොච්චරයිද කියලවත් අපි දන්නෑ.දියුණු වෙන්න ඕනී. ඒ හැමදේකටම වඩා අපි ළඟින් ඉන්න අපේ ආදරණීයයන් එක්ක අපි අපේ ආදරේ බෙදා ගන්න ඕනී.මම දැන් ලෑස්තියි මගේ කාලය අනෝමා වෙනුවෙන් ලබා දෙන්න.
ඒත්,
මං ඒකට ලෑස්ති වෙද්දි ඇය මං ළග නෑ.අඩුම තරමේ මේ ලෝකේවත් නෑ.
නිමි.
උපුටා ගැනීම: Hirusha Wijerathna