වෙනස් නොවෙන බැඳීම් තියෙන්න පුලුවන් ද ? (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පාන්දර ඇහැරුනේ බය වෙලා. ආයේම නිදාගන්න උත්සාහ කරත් නින්ද නේනම තැන දුරකතනය අතට ගත්තත් මොනාද කරන්නේ කරන්නේ කියලා අදහසක් නෑ. හිත තාම බය වෙලා. ගැස්මත් වැඩී. එහේ මෙහේ උන හිත මං ලඟට ගන්න ලියන්න වෙර දැරුවත් ලියවෙන්නෙත් නෑ.
මා වටා සියල්ලම නිද්රා ගත මොහොතක මං විතරක් මේ ලෝකේටම ඇහැරලා ඉන්නවා වගේ හැඟීමක් දැනෙන්න ගත්තා.
එකවරම මතකෙට ආවේ අවසානෙට මං බය වෙලා ඇහැරුන දවස. මගේ ජීවිතේ මුලින්ම බය වෙලා ඇහැරුනෙත් එදා.
මතක විදිහට එදා ඉඳලා අද වෙද්දි අවුරුදු දෙකක් ගත වෙලා ඇති බොහෝ දුරට.
එදත් අද වගේම දවසක් බය වෙලා ඇහැරුනා නින්ද යන්නෙම නෑ. ඇස් දෙක අරින්නවත් නොහිතෙන තරමට නම් එදා බය උනා. ඇස් ඇරියොත් මාව නැති වෙයි වගේ හැඟීමකට පස්සේ ඇස් ඇරලා බැලුවම ආපහු ඇස් වහන්න බයයි.
නිකමට ෆෝන් එක අතට අරගෙන ඩේටා ඔන් කරලා මැසේජ් එකක් ටයිප් කරා.
“මං හීනෙන් බය උනා දැන් නින්ද යන්නේ නෑ….”
කොහොම උන හාස්කමක් ද මන්දා ඒ මැසේජ් එකට රිප්ලයි විදිහට අනිත් පැත්තට ආවේ ඇමතුමක්.
ඒ මගේ ජීවිතේ ඒ දවස් වල ලඟින්ම තිබ්බ ලේ වලින් නොබැඳුන , ලේ වලට දැනුන බැඳීම. ඒ දවස් වල තිබ්බ කියලා කිව්වට අදටත් ඒ බැඳීම එහෙමමයි. හැබැයි එදා තරම්ම ළඟ නෑ. දන්නවද ඇයි මට එහෙම හිතුනේ කියලා එදා අර විදිහට කිව්වට මට අද මැසේජ් එකක් දාලා කියන්න බැරි නිසා. බැරි නිසාමත් නෙවෙයි මට එහෙම කරන්න නොහිතෙන නිසා.
එදා අපි කතා කරේ මොනාද කියලා මට අද මතක නෑ. හැබැයි මං කෝල් එකේම නිදාගත්තා මතකයි. මට නින්ද යනකල් එයා කියව කියව හිටියා මතකයි.
එයා ඉද්දී යකෙක්ට උනත් බය වෙන්න ඕනේ නෑ කියලා හිතුනා. ඒක හරි හයිය හැඟීමක්.
ඇත්තටම ඒක මහ පුදුම බැඳීමක්. අඬන්න ඕනේ උනාම මට අඬන්න ඕනේ කියලා දෙපාරක් නොහිතා කියන්න පුලුවන් තැනක්.
එතැනින් පස්සේ මට කවදාවත්ම එහෙම තැනක් ලැබුනේ නෑ. මට අඬන්න ඕනේ කියලා කියන්න වගේම ඕනේ උනොත් අඬන්නත් එතනදී පුලුවන් උනා.
“මං කෑල්ලක් ලයින් කරනවා” කියලා එයා මට කියපු
” අර කොල්ලා හැන්ඩ්සම් නේද ? ” කියලා මං එයාට කියපු
නිදහස උපරිමේ තිබුණ ඒත් හරියට පරිස්සම් කරපු බැඳීමක්.
කවදාවත්ම ලස්සන වර්ණනා නොතිබ්බ , මෝඩ විහිලු කරලා ඇස් රතු කරපු ඒත් ආපහු ලබන ආත්මෙක එකම කුසේ ඉපදෙන්න කියලා ප්රාර්ථනා කරපු බැඳීමක්.
ඒත් එක්තරා කාර්තුවක අපිට වෙනවා පියාඹන්න. අපේ කියලා ලෝක හොයාගෙන. එතෙන්දී අපිට අපිව මගෑරෙනවා.
ඉස්සරම චැට් එකේ පින් කරලා මුලින්ම රිප්ලයි කරපු චැට් එක හෙමිහිට පස්සට යනවා. ජීවිතේ සමහර තීරණ ගද්දී බෙදාගන්න හිතුනත් ආයේ බෑ කියලා හිතෙනවා. ඉතින් මං තනියම ඒවා ගන්නවා.
කව්රු හරි බැන්නාම හිත රිදවගත්තම ඉස්සර වගේම අඬ අඬ කෝල් එකක් අරගන්න හිතුනට දැන් එහෙම බෑ කියලා දන්නවා.
ඒත් බැඳීම එහෙමමයි. ඉස්සර තරම්ම එයා මට ආදරෙයි. මමත් එයාට ආදරෙයි.
” ඇයි ලාස්ට් සීන් අයින් කරලා ?”
” නිකමට ඉතින්… “
” බැරි ද දැන් ඕක පේන්න තියන්න….”
” මොකටද ?”
” එන යන වෙලාව බලන්න…”
ඉඳහිටක එහෙම වෙන සංවාදයක් නිසාම මං දන්නවා තාමත් අපේ බැඳීම පරිස්සම්. ප්රශ්නේ අපිට අපි වෙනුවෙන් වෙලාවක් නැති එක.
අපි හීන හොයන් දුවද්දී අපිට අපිව මගෑරිලා. මං අන්න එහෙම ඒක සාධාරණීකරණය කරනවා.
ගෙවුණ දවස් ආපහු එන්නෑ. අපි ආයේම උත්සාහ කරත් අපිට ඉස්සර වගේ වෙන්න බෑ. ඒක තමයි බැඳීම් වල විදිහ.
ඒ හින්දමයි කියන්නේ ඔයා ළඟ මේ වෙලාවේ තියෙන බැඳීම් උපරිමෙන්ම රකින්න. ඒවාට උපරිම සෙනෙහස දෙන්න. මොකද ඒ බැඳීම හෙටින් පස්සේ මතකයක් විතරක්ම උනොත් ?
ඒක හිත සෑහේන්න රිදවයි. හරියට මේ දැන් මගේ ඇස් වල කඳුලු බිංදු දෙකක් දඟ කරනවා වගේ. ඒක හරි අසීරුයි.
හැබැයි ජීවිතේ හැටි එහෙමයි.
කොහොම උනත් මගේ වගේම ඔයාගෙත් ජීවිතේට එන යන බැඳීම් ගොඩක තිත්ත යථාර්ථය ඕක. දවසක අපිට ඔය කොයි බැඳීමෙනුත් ඈතට වෙන්න වෙනවා.
හරියට මම අද බය වෙලා ඇහැරුනාම ලියලම හිත එකතැනට ගත්තා වගේ අපි හැමෝම දවසක තනියම කරන්න බෑ කියලා කියපු දේවල් තනියම කරගන්නවා.
හැබැයි මේ සටහන අතීතය ගැන උනා වගේම හැමෝටම අතීතේ මතක ලස්සනට රිද්දනවා. ඒ ඒවා ලස්සන නැති නිසා නෙවෙයි මතක වෙනස් නොවුණට ඒ මතක වල හිටපු අපි වෙනස් වෙලා නිසා.
ඒක එහෙම වෙන්න නොදී ඉන්න පුලුවන් නම් හොඳයි. ඒත් කොහොම කිව්වත් ඒක එහෙම වෙනවා.
මේ හැම දේම දවසක මොනම හේතුවක් නිසා හරි මතකයක් වෙනවා.
ඒ වගේම තව දෙයක් තමයි බැඳීම් වෙනස් උනාට අපි ඒ බැඳීම් වලට දෙන වටිනාකම එදා වගේම හැමදාටම එහෙමයි.
ඔන්න ඔය සේරම නිසා මං අවසානෙට මෙහෙම ලියනවා,
වෙනස් නොවන බැඳීම් නැත
නමුදු හැම බැඳීමක්ම
නොවෙනස් මතක ඉතුරු කරයි…
එබැවින් ගෙවෙන හැම තප්පරේකම
සොඳුරු මතකයක් ඉතුරු කරන්න
අපි වෙනස් උන දවසකත්
නොවෙනස්ව කියවන්න….!
තාරා 💜️

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!