අපේ අම්මට ලෙඩ කීපයක්ම තියෙනවා. ඒ හැම ලෙඩකටම හේතුව වෙච්ච එක ලෙඩක් තියෙනවා. ඒක තමයි තියෙන දෙයක් කාලා පාඩුවේ ඉන්න බැරිකම. මොකුත් නොකර ඉන්න බෑ එයාට කැහිල්ල හැදෙනවා. මොකුත් කලොත් හවසට කොන්දේ කැක්කුම හැදෙනවා.
කුලියක් කරන මනුස්සයෙකුට දවසට රුපියක් එක්දාස් පන්සීයක්, දෙදාහක් දීලා කරගන්න පුළුවන් වැඩේ එයා මට කරන උදව්වක් විදියට මගෙ සල්ලි ඉතුරු කරලා දෙන්න හිතාගෙන තනියම කරන්න යනවා. අන්තිමට හවස් වෙද්දී රුපියල් පන්සීයක විතර වැඩ ටිකක් එයා කරලා තියෙනවා. ඒ උනාට ඊට පස්සේ එන කොන්දේ කැක්කුම හොඳ කරන්න මට රුපියල් පන්දාහකට වැඩිය යනවා. එයා මට උදව් කරන්න හිතන් කරපු වැඩෙන් මට උන ශුද්ධ අලාභය එතනම රුපියල් හාරදාස් පන්සීයයි. ඕක මම සංඛ්යාත්මකව පෙන්නලා දීලා ආයේ දඟලන්නේ නැතුව ඉන්න කියලා උපදෙස් දුන්නට ඒක අද මේ මොහොත වෙනකොටත් මහ පොළොවේ යථාර්ථයක් වෙලා නෑ.
මාසයක් විතර මැරිලා මැරිලා ඔෆිස් එකෙන් නිවාඩුවක් ඉල්ලුවම උන් අහනවා නිවාඩු ගන්නේ මොනවා කරන්නද කියලා. අනිත් උන් නම් රටේ නැති බොරු හේතු ඉදිරිපත් කලත් මම කියන්නේ නිවාඩු ගන්නේ මොකුත් කරන්න නෙවෙයි, මොකුත් නොකර ගෙදරට වෙලා ඉන්න කියලා.
ඔහොම ගන්න නිවාඩු දවසේ කාමරේ ඇඳට වෙලා පාඩුවේ ඉන්නකොට ජනේලේ ළඟින් අම්මා යනවා පේනවා. මොකද කරන්නේ ඇහුවම “නෑ, මොකුත් නෑ” කියනවා. ආයෙත් සැරින් සැරේ එහෙට මෙහෙට යනවා. නිකමට ජනේලෙන් එබිලා බැලුවම ගඩොල් කැට දෙකක් උස්සන් එකපාරක් යනවා. තව ටිකකින් පස් තාච්චියක් උස්සන් ආය යනවා. තව ටිකකින් කොට කෑල්ලක් උස්සන් ආයෙත් යනවා. හිතින් බැන බැන මාත් ගිහින් ඉතින් උදව් කරනවා. එක වැඩක් කරලා මාරු වෙන්න හැදුවට මං සපොර්ට් එකට ගියාම එයා වැඩ මවනවා.
“කහ ගොවියාට දැන් හොඳ මිලක්” තියෙන නිසා එයා දැන් බිම් මට්ටමේ කහ ගොවියෙකුත් වෙලා. කිලෝ දහයේ උර වල හදපු කහ පැල තිහක් විතර මං ලව්වා වත්ත උඩට ඇදගත්තේ කිසිම හිතක් පපුවක් නැති විදියට. නිවාඩුව ගත්ත වෙලේ ඔෆිස් ගියා නම් සමන්තිලගේ කෝලම් බල බල හරි ඉන්න තිබුනා කියලා ඒ වෙලේ නම් හිතුනා.
කොච්චර කිව්වත් එයා දවල් තිස්සේ අපි නැති අතරේ මේ දඟලන දැඟලිල්ල නවත්තන්න කටින් කියලා බෑ. මේකට ටිකක් විද්යාත්මක විසඳුමක් ඕන කියලා මම කල්පනා කලා. එයා පත්තර කියවන්නත් ආස එකේ කාන්තා පත්තර ටිකක් ගෙනත් දුන්නොත් එළියේ දඟලන එක අඩු කරලා ඒක කියවලා තියෙන දෙයක් ඉගෙනගෙන මැහුමක්, ගෙතුමක් කරගෙන හරි ඉඳියි කියලා හිතලා හවස ටවුන් එකට ගිහින් කාන්තා පත්තර හතරක්ම ගෙනත් දුන්නා. අම්මේ.. ඒ ටික ගෙනත් දුන්නට පස්සේ මූණට ආපු හිනාව. ඇත්තටම අපි එයාලට කටින් කියලා වැඩක් නෑ. මෙ විදියට බුද්ධිමත්ව කල්පනා කරලා තමයි එයාලව පාලනය කරන්න ඕන. දැන් ඔක්කොම හරි.
එහෙම තමයි මම හිතන් හිටියේ. ඒත් සිද්ධ උනේ ඊට වඩා බොහොම අවාසනාවන්ත සිදුවීමක්. දැන් එයා මල් පාත්ති වල හැඩේ වෙනස් කරලා. ගෙදර හිටපු දවසේ මාවත් අල්ලගෙන වත්ත පල්ලෙහායින් පස් ටිපර් ලෝඩ් එකක් විතර ඇදගත්තා. ඒ මදිවට මල් පැල වලට බිත්තර කටු දානවා, තේ කොළ මන්ඩි ටික එකතු කරන් ඇවිත් දානවා. ඇන්තූරියම් වලට දාන්න ගඩොල් කැට කුඩු කරනවා. ඔක්කොමත් හරි කොම්පෝස්ට් හදන්නත් වැඩ ලෑස්ති කරගෙන පරන බැරල් එකකුත් මං ලව්වා උස්සන් වත්තට අරන් ගියා.
“ඔච්චර දඟලලා අන්තිමට කොන්දේ කැක්කුම ආවම මේ පාර නම් ගෙදර තියන් බෙහෙත් කරන්නෑ, ගිහින් ආයුර්වේදේ නවත්තලා එනවා මාසයක් විතර නැවතිලා බෙහෙත් කරන්න” කියලා මම එයාව බය කරන්න කිව්වට මං කිව්ව දේ තඹේකට මායිම් නොකර එයා පාඩුවේ වැඩ.
“අර මම ගෙනාපු පත්තර ටික කියවන්නේ නැද්ද”
“එව්වා මම රෑට කියවනවා. ඒ කියවපුවගෙන් බලලා තමයි මේ දේවල් කරන්නේ”
එයා ගාණක්වත් නැතුව කියනවා. ඇයි දෙයියනේ මං මෙච්චර මෝඩයෙක් උනේ. ඉස්සර නවය හමාරට විතර නිදාගත්ත කෙනා දැන් රෑ දොලහා විතර වෙනකන් පත්තරේ බලනවා. පාන්දර පහට විතර ඇහැරෙනවා. එවෙලේ ඉඳන් අර පත්තර වල තිබුන දේවල් ප්රායෝගිකව කරන්න ගන්නවා. විද්යාත්මක විසඳුම් හොයන්න ගිහින් අන්තිමට උනේ එයා නිදාගත්ත වෙලාවෙනුත් පැය දෙක හමාරක් අඩු උන එකයි. දැනට තියෙන්නේ කොන්දේ අමාරුව විතරයි. මෙහෙම ගියොත් ළඟදිම ප්රෙශර් එකත් හැදෙයි. පත්තර ගෙනත් දීලා විද්යාත්මක විසඳුම් හොයන්න ගිහින් අන්තිමට කරගත්තේ ඕන්න ඔච්චරයි.
උපුටා ගැනීම: Sherlock Holms