විලිලැජ්ජාව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක නං ඉතිං මටම සිද්ධ උන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විලිලැජ්ජා සහගත කේස් එකක්.
අපේ අත්තම්මගේ (අප්පච්චිගේ අම්මා) දානෙට ගමේ ගියපු දවසක තමයි මේක උනේ. දැන් අවුරුදු පහලවකට විතර ඉස්සර.
අපි දැනට පදිංචි වෙලා ඉන්න හරියේ ඉඳන් කි.මී 3 ක විතර දුරින් අපේ නැන්දලගේ දිහා තමයි මේක ලෑස්ති කරලා තිබුනේ.
වැඩේ වෙන්න දවස් දෙක, තුනකට කලින්ම අපි නැන්දලගේ දිහා ගියා. මොකද පිරිතකුත් ලොකුවට කියලා එහෙම දානේ දෙන්න තමයි වැඩේ ලෑස්ති කරලා තිබුනේ.
අපේ අප්පච්චිගේ පවුලෙත් සහෝදර/ සහෝදරියෝ දහයක්..! ඉතිං ඒ හැමෝමයි, පවුල් වල උනුයි එකතු උනාම සෑහෙන සෙනඟක් ඉන්නවා.
ගමේ ඥාති ගෙවල් තුන හතරක් තිබුනත් පිටින් එන පිරිවර ඊට වැඩියි. අපි ඉතිං පිරිමි හින්දා ගෙවල් වලින් වැඩිය ඇඳුම් උස්සන් යන්නෙත් නෑ, ගිහින් ඔය කාගේ හරි ඇඳුමක් ඇඳ ගන්නවා.
දැන් ඉතිං කස්ටියම පිරිත් දවසට කලින් දවසේ රෑ, ගෙදර තිබුන අනං මනං වැඩයි, ආ ගිය විස්තර, පල් හෑලියි ඔක්කොම කියවලා රෑ නිදා ගන්න ලෑස්ති උනා.
ආහ්.. කලින් කියන්න බැරි උනා.. මමත් අඳින්න ඇඳුමක් අරන් ගිහින් තිබුනේ නෑ. මට අඳින්න හම්බුනේ අපේ මාමගේ සරමක්. මම ගෙදරදී නම් සරමක් අඳින්නේම නැති තරම්. කරන්න දෙයක් නෑ ඉතිං, පංඩිතකමට ගෙදරින් ඇඳුමක් අරන් ආවෙත් නැති එකේ මටත් අකමැත්තෙන් උනත් සරමට බහින්න සිද්ධ උනා.
දැං ඉතිං කට්ටිය නිදාගන්න ලෑස්ති උනාට මේ තරම් සෙනඟකට නිදාගන්න තරම් ඒ නෑදෑ ගෙවල් තුනේවත් ඇති වෙන්න ඇඳන් තිබුනේ නෑ.
ඉතිං මම ඇතුළු අපේ පොඩි සෙට් එකට ( පොඩි කියන්නේ ඉතිං මට අවුරුදු 17ක්, 18ක් විතර) සිද්ධ උනා පැදුරුත් දාගෙන නැන්දලගේ ගෙදර සාලෙට වෙලා නිදාගන්න.
කොහොම කොහොම හරි ඉතිං ඔන්න මමත් මේ සෙට් එකට මැදිවෙලා නිදාගත්තා කියමුකෝ.
නින්ද ගිහින් තියෙද්දී මට පාන්දර එක පාරටම වගේ ඇහැරුනා. කවුරු හරි සාලේ ලයිට් එක දැම්මා. මම මුනින් අතට නිදාගෙන හිටියේ. එක පාරම අනිත් පැත්ත හැරිලා බලන්න කියලා ලෑස්ති වෙනකොට මට නිකන් අමුතු ෆීලින් එකක් ඇඟ පුරාම දුවනවා වගේ තේරුනා.
අම්මට හුඩු.. අතට අහුවෙන මානෙකවත් සරම නෑ කියහංකෝ..
කවුරු හරි ලයිට් එක දාපු කෙනා එලියේ ටොයිලට් එක පැත්තට යනවා කියලා මට තේරුනා.හොඳ වෙලාවට මගේ පුරුෂාධිපත්යය ඒ වෙලාවෙ ප්රදර්ශනය උනේ නෑ මම මුනින් අතට නිදාගෙන හිටපු නිසා.
දැං සරම හොයන්නත් බෑ ලයිට් එක දාලා නිසා, තව මොකෙක් හරි බලං ඉන්නවද දන්නෙත් නෑනේ. සරම හොයන්න ගියොත් ⁣හොඳටම නෝන්ඩියි. දැකපු එකා දැං මගේ පශ්චාත් භාගේ ⁣මේ වෙනකොටත් දැකලා ඉවර නිසා ඌ ටොයිලට් ගිහින් ඇවිත් ලයිට් ඕෆ් කරනකන් මමත් නිදි වගේ එහෙමම ඉන්න හිත හදාගත්තා.
මෙන්න දැං ටොයිලට් ගියපු එකා එන සද්දේ ඇහෙනවා. ඊට වඩා සද්දෙන් මගේ පපුව ගැහෙනවා. මම නිකන් බ්ලූ ෆිල්ම් එකක නළුවෙක් වගේ. ඇයි යකෝ, තව එකෙක් බලනවා කියලා දැන දැනත් නේ මේ අමු හෙළුවෙන් ඉන්නේ.
එළියට ගියපු මනුස්සයා ඇවිත් දොර වැහුවා. මෙන්න මූ දොර වහලා මගේ ළඟට එනවා. මමත් හොරා වගේ ඒ විදියටම ඉන්නවා.
එක පාරටම මගේ කකුල් දෙක මුලටම වැටිලා පොල් වළල්ල වගේ වෙලා තිබ්බ සරම මේ යකා උඩට ඇදලා මට අන්දන්න හදනවා. මොනවා උනත් පිං සිද්ධ වෙන වැඩක්නේ කියලා මමත් නිදි වගේම ඉඳලා මට සරම අන්දන්න ලාවට කොන්ද එහෙම උස්සලා පොඩි සපෝර්ට් එකක් දුන්නා.
කොහොම හරි විලිලැජ්ජා වෙලා හරි දැන් වැඩේ ගොඩ.
දැං පහුවදා උදේම මේ සිද්ධිය මට සරම අන්දපු එකා කියයි කියලා හිතාන හිටියත්, ම්හ් නෑ.. කවුරුත් කිව්වේ නෑ.
හවස් වෙලා මුලු සනුහරේම එකතු වෙලා කතා කර කර ඉද්දී නැන්දා එක පාරටම කියපි “ ඊයේ රෑ මං එළියට යන්න ලයිට් එක දාද්දි පුතාගේ ඇඟේ සරම නෑ. මම තමයි එළියට ගිහිං ඇවිත් සරම ඇන්දුවේ. ඔයා දන්නේ නෑ. ඔයා නිදි “ කියලා.
එතනින් එහා ටික ලියන්න මට බෑ. දැනටත් මතක් වෙනකොට විලිලැජ්ජයි. මේක එතන හිටපු අපේ පවුලේ එකෙක් දැක්කොත් ඒ වෙලාවේ මගේ මූනේ ඇතිවෙච්ච විකාර රූපී ස්භාවයත් විස්තර කරලා මේ කතාව තව රස කරලා දෙවන කොටසකුත් ලියයි. පළමු කොටස මෙච්චරයි හොඳේ..
උපුටා ගැනීම: Sherlock Holms

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!