වීණා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සතියට දවස් දෙකක් පුංචි බහතෝරන වයසේ කටකාර දුවෙක් ට බේබිසිටින් කරන තරුණ තාත්තා කෙනෙක් ලු. වයිෆ් ඔෆිස් ගියාම බබා එක්ක පිස්සුවක් නටලා කාටූන් එකක් බලලා දෙන්නා එක්කම බබාගේ කෑම ටිකත් කාලා , ඔහොම ඉද්දි පුංචි එකා දවල් දෙකට විතර නිදි කිරා වැටෙන්න ගත්තලු. ඉතිං මේ තාත්තා දරුවා නිදිකරවලා ඇඳෙන් තියලා, වැඩි පරිස්සමට ඇඳ වටේ වැටත් හයිකරලා සාලෙට ඇවිල්ලා ටීවී බලනවලු.
ඒ අස්සේ කැබිනට් එකේ මුල්ලක හැංඟිලා වගේ හිටිය බෝතල් කොටයක් මේ මනුස්සයා එක්ක ඉඟිමරලා හිනාවෙනවලු. හිත පාලනය කරගෙන අහක බලාගෙනම හිටියට ඉන්නම දෙන්නේ නෑලු බෝතලේ හිනා වෙනවලු,ඇස් ගහනවලු අනේ මාව බීපං කියලම කියනවලු. මනුස්සයත් කල්පනා කරාලු වයිෆ් එන්නෙත් අට විතර වෙනවනේ ඔන්නොහේ ඕක බීලා , නිකං අර තනිකඩ කාලේ වගේ දෙකක් දාලම ඉන්නව කියලා හිතන් මුන්දත් දඩිබිඩි කටගැස්මකුත් හදාගෙන කොටේ ඉරන්න ගත්තලු.
එහෙම අස්සේ හෙමීට මේ හාදයා සිංදුවකුත් මුමුණන්න ගත්තලු. මිල්ටන් මල්ලවාරච්චිගෙ.
” ෂහ්…වට් එ වන්ඩෆුල් වර්ල්ඩ්” කියලා හිතිලා එකක් දාලා , හෙමීට සද්දෙ අඩුවෙන් ලැප්ටොප් එකේ සිංදුව දාගෙන පොඩි කැරොකි ලයින් එකක් අල්ලන ගමන් මිනිහා කියනවලු සිංදුව
වීණා…බිඟු….වීණා පවසන්නේ ආදරේ….
සේනා බිඟු සේනා….විමසන්නේ ආදරේ…
නිල් උපුල් සිනාදී යදින්නේ ආදරේ….
වීණා බිඟු වීණා….පවසන්නේ ආදරේ….
අන්නේ වගේ සිංදු කීපයක් එක්ක කොටේ ඉරලා ලෑලි අඩුක් කරලා, රොඩු බොඩු සුද්ද කරලා මනුස්සයා ඉන්නවලු පෙරමඟ බලන් දුවත් එක්ක වයිෆ් එනකන්. වයිෆ් ඉතිං ආවලු. ආවට පස්සෙ දවසේ දුවගේ චර්යාව ගැන හස්බන්ඩා ගෙන් වාර්තවක් ගන්නවලු. ඊට පස්සේ හස්බන්ඩා ගේ චර්යාව ගැන පොඩි එකීගෙන් බුද්ධි වාර්තාවක් අරගෙන උන්දෑ ඒක ඇනලයිස් කරල බලනවලු.
එදත් එහෙම වුනාලු. දැන් ටිකක් වෙනදා වගේ නෙමෙයි ලු. වැඩි කතා බහක් නැතුව උන්දා රෙදි ටික හේදෙන්න දානවලු , පොඩි එකීගේ බඩු මුට්ටු අස් පස් කරනවලු. මිනිහාත් එලුවගේ ඇටේ වැටෙනකන් බලා හිටිය නරියා වගේ ලඟටම වෙලා බලා ඉන්නවලු.
හිටි ගමන් උන්දා පස්නයක් ඇහුවලු
” අද කවුරුවත් ආවද?”
” නෑ කවුරුවත් ආවේ නෑ”
“කෝල් කලාද කවුරු හරි?”
“උදේ නං ඔයාගේ අම්මා කතා කලා, හවස අපෙ අම්මා කතා කලා…. ඒ ඇරෙන්න වෙන නෑ”
මනුස්සයා දැන් වත්තවටේ කල්පනා කරනවලු පත්තු වෙන්න යන වෙඩිල්ල මොන වගේද කියලා හිතා ගන්න බැරුව. වයිෆ් ටත් මේ ප්රෙහෙලිකාව ඊට වඩා ඉස්සරහට ගෙනියන්න සාක්කි නැති නිසා. හෙමීට හෙමීට කල් යල් බලලා එකපාරටම දමලා ඇහුවලු
” කවුද බබා වීණා කියන්නේ ?”
මනුස්සයා කලබල වෙච්චි පාර තව පොඩ්ඩෙන් ගිනි විජ්ජුම්බරයක් වෙනවලු. පස්සේ මිනිහට මතක් උනාලු ඌ දන්න එකම වීණාව , වීණා ජයකොඩි විතරක් බව. පස්සෙ කතාව හෙමීට හෙමීට විස්තර කරලා අහගත්තම
පොඩි දුව අම්මට කිව්වලු
” Ammi , Thaththi talked to Auntie Veena while I slept”
” අම්මි , මම නිදි අතරේ තාත්තා වීණා ආන්ටිට කතා කලා”
මේවට තමයි හිතවතුනි බෝම්බ කියන්නේ , නිකං ඒවා නෙමෙයි පොකුරු බෝම්බ
එඤ්ඤං

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!