මට එකපාරක් හිතුන වතුකරයෙ කියල. මේ වතුකරයෙ දරුවන්ගෙ ආදර්ශමත් කියල මට හිතුනු ( ඒත් ඇත්තටම එහෙම නෙවෙයි. බය නිසා එයාල එහෙම ඉඳල තියෙන්නෙ) හැසිරීම් දැක්ක කතාවක්.
මම රාජ්ය නොවන සංවිධානයක වැඩ කරපු කාලෙ නිතරම තේ වතුවල නැවතුන. වතු ජනතාවගෙ ගැටලු ගැන හොයන්ට. ඒ ගියහම බොහෝ විට නතර උනේ සහකාර වතු අධිකාරි වරුන්ගේ නිල නිවාසවල.
ඔය එක ගෙදරක හිටිය හුරු බුහුටි දඟ පොඩි පුතෙක්. මෙයා නිතරම අපි ඉන්න කාමරයට ඇවිත් මොකක් හරි දඟ වැඩක් කරනව. මම ආසයි ජනේලයෙන් පිට තියෙන තේ වතු යාය, මීදුම, කඳු… දිහා බලාගෙන ඉන්න. ඔහොම ඉන්න වෙලාවක අර දරුව ඇවිත් එයත් ජනෙල් පිලෙන් තියන්න කිවුව. මමත් තිබ්බ. ජනෙල් කම්බි අතරින් තද කරල මෙයා ඔලුව එලියට දාලා. ( මහදැන මුත්තගෙ එළුව මුට්ටියට හිස දාපු එකේ අනික).
දැන් ආපහු ගන්න බැරිව අඬනව. පස්සෙ අපි ජනෙල් කම්බි ටිකක් ඈත් කරල හෙමීට ඔලුව ආපහු ගන්න, එයාට සිරීමක් වත් නැති විදිහට.
පහුවදා උදේම මම අර විදිහට ම ජනෙල් කවුළුවෙන් එලිය බලාගෙන ඉන්නකොට අග කෙලවර නොපෙනෙන තරම් දිග දරුවො පෝලිමක් එකා පසුපස එකා විදිහට පාරෙ දකුණු පැත්තෙන් අයින් වෙලා පාසැල් යනව. පුදුම හැදියාවක්. මම එහෙම දරුවො ඊට කලින් කවදාවත් දැකල තිබුනෙ නෑ. මම මගෙ මිතුරටත් කතා කරල මේක පෙන්නුව. අපෙ දඟයගෙ කලින් දවසෙ වැඩෙත් මතක් කරල හිනා වෙවී ඉන්නකොට අර දරුවන්ගෙ පේලියෙ අග කෙලවර දැක්ක.
අන්තිමට හිටියෙ දරුවෙක් නෙවෙයි. හැඩි දැඩි මනුස්සයෙක්. එයාගෙ අතේ හරකුන්ට ගහන්න ගන්න කෙවිටකටත් වඩා ලොකු ලීයක්. එයා තමයි උදේම ගෙයින් ගෙට ගිහින් දරුවො එකතු කරගෙන පාසලට ඇරලවන්නෙ. හරියට බැලුවොත් දක්කන්නෙ. ඒක එයාගෙ රස්සාව. පෝලිම කැඩුවොත්, සද්ද බද්ද දැම්මොත් අර කෙවිටෙන් ගහනව ඇති. පවු, ඒ දරුවො.
උපුටා ගැනීම: ලලිත් හීන්කෙන්ද