විශ්වය, අප සහ අපගේ ජීවිත අරමුණු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
විශ්වය යනු අප බවත් අප යනු විශ්වය බවත් නොරහසකි.
විශ්වය ක්රියාත්මක වන්නේ අති ප්රබල, අසීමිත බලයකිනි.
එමෙන්ම කියා නිමකල නොහැකි ශක්තියකින් සහ ඥාණයකිනි.
ඒ අනුව විශ්ව බලය, විශ්ව ශක්තිය, විශ්ව ඥාණය යනු කියා නිම කල නොහැකි හා සිතා අවසන් කල නොහැකි අසීමිත බලයකි.
ඒ අනුව කිව හැක්කේ එකි අසීමිත විශ්ව බලය, අසීමිතව ඔබ මා අප සතුවද ඇති බවයි.
සත්ය වශයෙන්ම විශ්වය ඥානයකි.
එනම් විශ්වය හා විශ්ව ක්රියාවලිය යනු ඥාණයකින් ක්රියාත්මක වන්නකි.
එකි විශ්ව ඥාණය, “විඥාණය” ලෙස හදුන්වයි.
එකි විඥාණය හෙවත් විශ්ව ඥාණය පෙර කි පරිදි අසීමිත වූවකි.
එයට කාලයක්, අවකාශයක් නැති අතර සෑම තැනකම පැතිර පවති.
එහෙයින් එහි බලය අසීමාන්තික වන්නා සේම ළඟ හෝ දුර කියා සීමිත පරාසයකද නොපවතින්නකි.
එනම් එය සෑම තැනම වේ.
ඔබ, මා, අප යනු එකි විශ්ව ඥාණයේ ප්රතිඵලයන්ය.
ඔබට, මට, අපට විශ්ව ඥාණයේ බලය, ශක්තිය හා හැකියාව නිරවුල්ව අවබෝධ කරගත හැකි නම් දිනා ගත හැකි අරමුණුද අසීමිත බව කිව හැක.
කුමක්ද මේ කියන විශ්ව ඥාණය ?
විශ්ව ඥාණය හඳුනා ගත හැක්කේද විශ්වය අපට දුන් ඥාණයෙන්මය.
පෘතුවි පරිභ්රමණය හෙවත් පෘතුවියේ කරකැවීම සිදුවන්නේ විශ්ව ඥාණය හේතුවෙනි.
ඉර හඳ බිහිවන්නේ හා පවතින්නේ විශ්ව ඥාණය හේතුවෙනි.
ගහ කොළ සතා සිව්පාවා බිහි කරන්නේ විශ්ව ඥාණයේ අසීමිත හැකියාව හේතුවෙනි.
විවිධාකාර මල් පිපෙන්නේ විශ්ව ඥාණයේ බලයෙනි.
ගංඟා ඇල දොළ නිර්මාණය කොට පවත්වාගෙන යන්නේ විශ්ව ඥාණයයි.
කොටින්ම ඔබේ, මගේ අපේ ශරීරයන්හි සිදුවන ස්වසනය, ලේ ගමනාගමනය, ආහාර දිරවීම යනාදිය සිදු කරන්නේ විශ්ව ඥාණය විසිනි.
මමය, මාගේය කියා ගන්නා පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන් හැසිරවිය හැකි බලයක් ලෙස හසුරවා ගන්නා මිනිසා එය එසේ හසුරවා ගන්නේ විශ්ව ඥාණය ක්රියාත්මක කරන විශ්ව නීතීන්ට අනුවයි.
මී මැස්සාට මල් රොන් එකතු කිරීමටත්, කොටියාට වදුරන්, රිලවුන්, සාවුන්, මුවන් හා ගෝනුන් වැනි සතුන් දඩයම් කිරීමටත් පැවරුවේ විශ්ව ඥාණයයි.
එළදෙනට තණකොළ කෑමටත් එකි තණකොළ කා ඇති පදම් කිරි නිපදවීමටත් රාජකාරි පැවරුවේ විශ්ව ඥාණයයි.
විවිධ වර්ණ සහිත මල් වර්ග, විවිධ රස, ගුණ සහිත එළවළු, පළතුරු, ඖෂධීය ශාක වර්ග බිහි කරන්නේ විශ්ව ඥාණයයි.
පොල් ගස ඉතා උස් කොට එහි පොල් වල්ලක් හෙවත් ගෙඩි රැසකින් යුතු පොල් ඉත්තක් නිර්මාණය කොට එකි පොල් ඉත්තේ සියළුම ගෙඩි තුළට නොඅඩුව මිහිරි රසැති ඉතා ගුණදායක සරු බීමක් ඇතුළු කලේ මෙකි විශ්ව ඥාණයයි.
හේමන්ත, වසන්ත, ගිම්හාන, සරත් ලෙස සෘතු හතරක් බිහි කලේ විශ්ව ඥාණයයි.
එසේ නම් විශ්ව ඥාණය බිහි කල අති විශිෂ්ඨ නිර්මාණය වු මිනිසා නම් වු ඔබ, මා, අප බිහි කොට විශ්ව ඥාණය අප හට පැවරු කටයුත්ත කුමක්ද ?
එය නම් අද්රව්යමය වු අසීමිත විශ්ව ශක්තිය ද්රව්යමය භාණ්ඩ බවට පත් කිරීමේ අත්යාවශ්ය රාජකාරියයි.
විශ්වය හෙවත් විශ්ව ඥාණය අසීමිත වනවා මෙන්ම කාලය හෝ අවකාශය පිළිබඳ නිතියකින් හෝ සීමාවකින්ද තොරව පවතින අතර එය අද්රව්ය වූවක්ද වන හෙයින් එකි විශ්වය මිනිසා නම් නිර්මාණය බිහි කරනු ලැබුවේ එකි අසීමිත බලය, ශක්තිය හා ඥාණය ක්රියාත්මක කරගැනීමේ උපකරණයක් වශයෙනි.
එනම් මිනිසා බිහි කිරීමේ අභිලාශය ඉතා බලවත් වූවකි.
ගහ කොළද විශ්ව ඥාණයෙන් ක්රියාත්මක වන ජීවයන් වේ.
සතා සිව්පාවාද එළෙසය.
ගහ කොළ, සතා සිව්පාවා මෙන්ම මිනිසාද විශ්ව ඥාණයේ ප්රකාශනයකි.
එහෙත් ගහ කොළට, සතා සිව්පාවාට නැති ඉහළ හෙවත් අසීමිතව සිතීමේ බලයක් විශ්ව ඥාණය ලබා දුන්නේ මිනිසාටයි.
එහි අරුත නම් අද්රව්යය ලෝකය සිතුවිලි ගලා එන මනස නමැති උපකරණය භාවිතයෙන් ද්රව්යය ලෝකයක් බවට පත් කිරීමේ හැකියාව මිනිසා සතු බවයි.
මිනිසා කියු විට ජාති, ආගම්, කුල, උගත්, නූගත් භේදයකින් තොරව සෑම මිනිසෙකු සතුවම එකි හැකියාව උපතින් උරුමව පවතින බව පරම සත්යයකි.
ඒ අනුව විශ්ව ඥාණය විසින් තමා සතු ඉස්මතු වීමේ අභිලාශය හෙවත් “ආශාව” නැතහොත් “තණ්හාව” ක්රියාත්මක කරගැනීමේ උපකරණය වන්නේ මිනිසා බව නොරහසකි.
ආශාව, තන්හාව නැතහොත් ඉස්මතු වීම නපුරු, නරක, අවැඩදායි වූවක් නොවන්නේ මුළු මහත් ලෝකයම පවත්වාගෙන යන පදනම එය වන බැවිනි.
පැවැත්ම ඇත්තේ එතුළයි.
මිනිස් සිතේ උපදින සිතුවිලි ක්රියා හෙවත් කර්ම වන්නේ එකි ක්රියාවලියේ ප්රතිඵලයක් ලෙසිනි.
ඒක සෛලික ජීවියාගේ සිට නැතහොත් නීල හරිත ඇල්ගි මහා සාගරයේ බිහිවී ජීවයට පන පෙවු දා සිට මෙකි ජීවය ආ ගමන “මිනිසා” නමැති නිර්මාණයෙන් මහා පිම්මක් පනින ලදි.
පරිනාමය වන මුල් අදියරේ සිට පරිනාමය වෙමින් යන ගමනේ මිනිසා විශ්ව ඥාණයට අනුකූලව නිර්මාණය කල දෑ බොහෝය.
කැලයේ විසු මිනිසා පෙරළුනු ගසක කද කොටස පෙරලි යනු දැක එයින් පරිකල්පනය හෙවත් දිගින් දිගටම සිතුවිලි දහරාවක් යොමු කරමින් සිදු කල නිර්මාණය රෝදය වු අතර එකි රෝදය ලෝකය ගෙන ආ දුර කොතෙක්ද ?
නිවසක් හෝ ගොඩනැගිල්ලක් සිතේ ඇදගත් මිනිසා එය පැන්සලෙන් කඩදාසියකට ගනියි.
එවිට එය සැලැස්මක් ලෙස ඔහුගේ සිත තුල වඩා වඩා තහවුරු වෙයි.
ඉනික්බිති ඔහු එය ස්ඵර්ශ කල හැකි ලෙස ගල්, වැලි, යකඩ, සිමෙන්ති යනාදිය යොදා ගනිමින් ද්රව්යයමය ලෙස නිර්මාණය කර ගනියි.
ඉහත පරිදිම යානයක්, වාහනයක් හෝ රොකට්ටුවක් සිතේ ඇදගන්නා මිනිසා එය අතින් ස්ඵර්ශ කල හැකි නිර්මාණයක් ලෙස ගොඩනගයි.
ස්ඵර්ශ කල නොහැකි එනම් අද්රව්යයක් වු නිර්මාණය මුලින් සිතුවිල්ලක් ලෙසත් දෙවනුව ස්ඵර්ශ කල හැකි ද්රව්යමය නිර්මාණයක් ලෙසත් බිහි කල විශ්ව ඥාණය එය ඉටු කර ගැනීමට මිනිසා යොදාගත් ආකාරය කෙතරම් විශ්මයජනකද ?
අද්රව්යයමය සිතුවිල්ල ද්රව්යමය නිර්මාණයක් බවට පත් කිරීමට විශ්ව ඥාණය ක්රියා කරන්නේ නම් ද්රව්යමය ලෙස ස්ඵර්ශ කල හැකි ලෙස දැනට නිර්මාණය වී ඇති යාන වාහන, ගෙවල් දොරවල්, වතුපිටි, තනතුරු තාන්න, මාන ඒකාත්මික සිතුවිලි දහරාවක් ඔස්සේ ද්රව්යමය ලෙස තමා කරා ආකර්ශණය කරගත හැකි වීම කෙතරම් සරල කාරණයක් වන්නේද යන්න දැන් අපි විමසා බැලිය යුතුය.
විශ්ව ඥාණය ක්රියා කරන්නේ සංවිධානගත ක්රමයකටයි. එය එයට අදාල නීති කිසි විටෙකත් වෙනස් නොකරයි. එසේ හෙයින් එකි පරම සත්යයය සදාකාලිකද වෙයි.
මිනිසා සිය මනසේ ගැඹුරින් ඇතුළු කරන හැඟීම හෙවත් සිතුවිල්ල අනිවාර්යෙන්ම ක්රියාත්මක වන හේතුව නූතන ලෝකය හඳුන්වන්නේ ආකර්ශණ නීතිය (The law of attraction) ලෙසයි.
සත්ය වශයෙන්ම එය ආකර්ශණයකි.
අද්රව්යය සිතුවිල්ල ද්රව්යයමය නිර්මාණයක් වන්නේ එලෙසිනි.
මෙකි නීතිය හෙවත් විශ්ව ඥාණය තවත් ලෙසකින් අපි විග්රහ කොට බලමු.
විසිර ඇති ශක්තීන් එකට එක් රැස් කල විට අති විශාල බලයක් උපදින අතර එයට උදාහරණ ලෙස ජලය ගැන විමසා බලමු.
ජලය කුඩා කුඩා අණු ලෙස විසිර ඇති විට ජලයට ඇති බලය සීමිතය. එනම් ජලයෙන් ගත හැකි ප්රයෝජන සීමිතය. එහෙත් එය එක් රැස් කොට චාලක ශක්තිය බවට හරවා එය අති ප්රබල විද්යුත් ශක්තිය බවට හැරවිය හැකිය. එකි විද්යුත් ශක්තියෙන් මිනිසා ලෝකයේ පැවැත්ම වෙනුවෙන් ගන්නා ප්රයෝජන කියා නිමකල නොහැක.
සුර්ය තාපය තවත් උදාහරණයක් ලෙස ගෙන බලමු.
දිනපතා පායා දිදුලන හිරු රැස් සාමාන්ය පරිදි පොළවට පතිතවන විට ලැබෙන ප්රයෝජන සීමිත වුව සූර්ය කෝෂ භාවිතාවෙන් එකි බලය විද්යුතය බවට හරවාගෙන එයින් උපදවන බල ප්රභේද කොපමණද ?
සුළං බළයද මෙයට තවත් උදාහරණයකි. විසිර පවතින සුළඟ එක්කොට එයින් ජනනය කරන ශක්තිය කොපමණද ?
සුළඟ නිසොල්මනේ පවතින විට එහි ඇති ප්රයෝජන සීමිතය. එමෙන්ම නිෂ්චිතය. එහෙත් එකි සුළං බලය ටර්බයිනයක් මඟින් චාලක ශක්තිය බවට පරිවර්තනය වු විට එනම් යාන්ත්රික බලයක් ලෙස එය වෙනස් කොට යොදාගත් විට එයින් ඇඹරීම, කෙටීම යන කටයුතු හි යෙදවිය හැක.
එමෙන්ම එකි බලය අසීමිත කටයුතු හි යෙදවීමට උචිත වන පරිදි විද්යුතය ලෙස පරිවර්තනය කරගත් විට එහි ප්රයෝජන කියා නිමකල හැකිද ?
මේ විශ්ව ඥාණයයි.
මෙකි සියළු ශක්තීන් නිපදවු දැනුමේ බලය හිමි ඔබ, මා, අප කොපමණ බලයකින් යුක්තද ?
එය කියා නිම කල නොහැක.
මිනිසා සතු මෙකි ශක්තිය හැදින්වෙන නම කුමක්ද ?
“චිත්ත ශක්තිය” යනු එකි අසිමීත බලයට කියන නමයි.
විශ්ව ඥාණය සිය අරමුණු ක්රියාත්මක කරගැනීමට නිර්මාණය කරගත් උපකරණය මිනිසා නම් වේ. එකි මිනිසා නම් නිර්මාණය සතු කොට ඇති මැවීමේ ශක්තිය, චිත්ත ශක්තිය නමින් මිනිසා තුළ ගොනු කොට ඇත.
එකි ශක්තිය කොපමණ ප්රබලද ?
එය කියා නිම කල නොහැක.
මිනිසුන් ලෙස අප අපගේ ජීවිතයන්ට ගන්නා සියළු අරමුණු දැඩි ආයාසයකින් තොරව ඉටු කොට දීමට තරම් එය බලවත්ය.
විවිධ විවිධ නව නිර්මාණ බිහි කරවිමට තරම් එය බලවත් ය.
ඔබ, මා, අප ධන හීන දිලින්දෙකු ලෙස සිතන්නේ නම් එකි චිත්ත බලය විසින් ඔබ, මා, අප දුප්පතෙකු ලෙස ප්රතිනිර්මාණය කරයි.
ඔබ, මා, අප ලෙඩ රෝග, දුක් කම් කටොළු ගැන සිතන්නේ නම් නොපමාව එකි කායික, සමාජ පරිසරය බිහි කරදෙයි.
ඔබ, මා, අප සතුටින් ජීවත් වීමට සිතයි නම් චිත්ත ශක්තිය විසින් එකි සිතුවිලි දහරාවට උචිත, ගැලපෙන පරිසරයක් අපට උදාකරයි.
ඔබ, මා, අප අසවල් තත්වයට, තනතුරට ලඟාවීම ජීවිත අපේක්ෂාව කරගත්තේ නම් චිත්ත ශක්තිය ඔබ, මා, අප එකි පුටුවේ හිදුවන්නේ ක්රමාණුකූලව එකි තත්වය දැරීමට සුදුසු පුද්ගලයෙකු ලෙස ඔබ, මා, අප ප්රතිනිර්මාණය කරමිනි.
පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා ශුක්රාණු අංශුවක මහා පුරුෂයෙකු නිර්මාණය වීමේ ශක්තිය විශ්ව ඥාණය ගැබ් කරනු ලැබුවේ නම් එකි මහා පුරුෂයා රජෙකු බවට පත් කිරීම විශ්ව ඥාණයට ඉතා සරල කටයුත්තකි.
මේ සඳහා අවශ්යවන්නේ එකම එක දෙයකි.
එය නම් අරමුණයි.
අරමුණ යනු ඔබට, මට, අපට ඉටු කරගැනීමට අවශ්ය දෙයයි.
එකි අරමුණ යම් දේපළක් හෝ ධනයක් ලබා ගැනීම විය හැක. නැතහොත් යම් තනතුරකට පත්වීම විය හැක. එමෙන්ම යම් රටකට හෝ ප්රදේශයකට ගමන් කිරීමේ අරමුණ විය හැක. විවාහ වීමට සුදුස්සෙක් ලැබීම හෝ දරු සම්පතක් ලබා ගැනීම විය හැක. රෝගයකින් මිදි සුවය ලැබීම විය හැක. ඉතා සුළු යැයි හැඟෙන දෙයක සිට ඉතා විශාල යැයි සිතෙන ඕනෑම අරමුණක් විය හැක.
අරමුණ කුමක් වුවත් විශ්ව ඥාණයට එය ඉටු කරදීම සරල කාරණයකි.
මන්ද විශ්ව ඥාණය ක්රියාත්මක වන්නේම අරමුණු ළගාකරදීම වෙනුවෙන්ම වන හෙයිනි.
ජලය හෝ සුර්ය රශ්මිය හෝ සුළං බලය හෝ එක් තැන් කොට උපදවන බලය කොතරම් විශාලද එමෙන් සිය දහස් ගුණයකින් චිත්ත ශක්තිය එක් රැස් කිරීමෙන් උපදින බලය විශාලය. එමෙන් එය අති මහත් ය.
මෙතැන් සිට යහපත් ධන අරමුණකින් ජීවත්වන්න. එකි යහ අරමුණ දිනාගන්න. එය දිනා ගැනීම ඉතා සරල වූවකි.
අරමුණ බීජයක් වැනිය. බීජයක් රෝපණය කරන ගොවියා කරන්නේ එය පස් යට දමා ජලය හා පොහොර දැමීමයි.
එහෙත් එයින් ගසක් එළියට ගැනීමට ඔහුට කිසිසේත් නුපුළුවන. ගසක් එළියට ගැනීමටයයි කියා ඔහු කොපමණ උත්සාහ කලද එකි හපන්කම ඔහුට කල හැක්කක් නොවේ.
චේතනා බීජයක් රෝපණය කරන ඔබට, මට, අපට ද එය ඉටු කරන්නට නොහැක.
එහෙත් කල හැක්කක් සහ කල යුත්තක් ඇත.
අප කල යුත්තේ ද ගොවියා මෙන් චිත්ත බීජය වපුරා හෝ පසට යට කොට එය ආරක්ෂා කරමින් එහි වැඩීමට අවශ්ය “විශ්වාසය” නමැති පොහොර හා “සතුටු සිතින් යුතුව බලාපොරොත්තුවෙන් සිටීම” නමැති ජලය එයට යෙදීමයි.
අවසානයේ ආරක්ෂාව, ජලය, පොහොර හා සුර්යයාලෝකය මෙන්ම අනෙකුත් පරිසර සාධකද ලැබීමෙන් බීජය පැළවි ඵල ලැබෙනු ඇත.
ඒ අනුව අරමුණෙන් අරමුණ දිනාගැනීමෙන් ඔබට, මට, අපට අවශ්ය සියළු අරමුණු දිනාගැනීම සිදු කල හැක.
එය ඉතා සරලය.
සත්ය වශයෙන්ම මුළු ලෝකයම දිනා ගැනීම ඉතා සරල කාරණයකි.
අවශ්යය වන්නේ වටහාගැනීම හා අවබෝධයයි.
උපුටා ගැනීම: Pubudu Anuradha Dissanayaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!