අපේ දුව ඩැනීට එංගලන්තෙ රැකියාවක් ලැබිලා ජුනි හයවෙනිදා යන බව දැනගත්තු ලංකාවෙ පවුලක නෝනා කෙනෙක් කෝල් කරලා
‘කොහොමද අනේ ඔයාලගෙ එකම දුවව එහෙම යවන්නේ. මගේ දුව නම් ලීඩ්ස් යුනි නෙවෙයි ඔක්ස්ෆර්ඩ් යුනි එකේ රිසර්ච් ජොබ් එකෙක් ලැබුනත් යවන්නෙ නෑ’
කියලා ඊයේ කිව්වම ඔය වගේ කතා කීපයක් මතක් වුනා.
අපි දුව යන එක ගැන මිශ්ර හැඟීමෙන් ඉන්න වෙලාවෙ ඔන්න ඔහොමයි යාලුවො හිත හදන්නේ කියල සතුටක් ආවෙ නැතුවම නෙවෙයි. අනික අපි යවන්නෙ නැහැනේ, එයා වැඩිහිටියෙක් එයා තීරණ ගන්නෙ එයාගෙ අනාගතය වෙනුවෙන්.
මම ලංකාවෙ ඉඳලා ඕස්ට්රේලියාවට සංක්රමණය කරන වෙලාවේ මම ගියා ETF එකේ තිබුනු සල්ලි ගන්න. ඉතින් ඒ සේරම ෆෝර්ම පුරවලා දුන්නට පස්සේ එක නිලධාරියෙක් මට එයාගේ මේසෙ ලඟ තිබුනු පුටුවෙ වාඩිවෙන්න කියලා බොහෝම සුහදව කතා කලා.
‘ඔයාගෙ ගම කොහේ ද? කොහේද ඉගෙනගත්තේ?’
‘ගම මාතර, රාහුල එකේ ඉගෙන ගත්තේ’
‘ආ ඇත්ත ද? අපේ සභාපතිතුමත් රාහුලේ ඉගෙන ගෙන තියෙන්නේ. ගිහිල්ලා හමුවෙන්න. සතුටුවෙයි’
‘නෑ. එයා කාර්යබහුල කෙනෙක් නේ’
‘ඔයා කොහේද යුනි ගියේ?’
‘සෝවියට් දේශයේ’
‘ශිෂ්යත්වයෙන්ද ගියේ?’
‘ඔව්’
‘වයිෆ් වැඩ කරනව ද?’
‘ඔව්’
‘මොනවද කරන්නෙ’
‘ඩොක්ට කෙනෙක්’
‘එයත් මොස්කව් වලද ඉගෙනගත්තේ’
‘ඔව්’
මෙයා ETF එකට අදාල නැති මගේ පෞද්ගලික ජීවිතේ ගැන ප්රශ්න අහලා, මෙන්න මේ මිනිහ කියනවා
‘ඔයාලා හරි නරක අය. රජයේ වියදමින් පාසල් සහ උසස් අධ්යාපනය ලබල යනවා ඕස්ට්රේලියාවට සේවය කරන්න’
කතාව ඇත්ත තමයි. ඒත් අපි යන්න තීරණය කරපු හේතු මොකුත් දන්නෙ නැතිව මේ නම් කියන්නෙ කුහක කම නිසා කියල මට හිතුනු නිසා, මගේ විනිශ්චයත් වැරදි ඇති කියලා හිතුනත් ඒක ටෙස්ට් කරල බලන්න හිතුනා.
‘හරි ඒක පිලිගන්නවා. රටේ තත්වය නිසා බබාට හොඳ අනාගතයක් දෙන්න ඕන කියල හිතිලයි යන්න හිතුවේ අපිට හොඳ රස්සාවල් තිබිලත්. සමහර විට ඒකත් ආත්මාර්ථකාමී කියල ඔයාට හිතේවී. ඇත්තටම ඔයාට ඔයාගේ පවුල එක්ක එහේ පදිංචියට යන්න අවස්ථාවත් ලැබුනොත් නොයා ඉන්නවද?’
කියලා කරුනාවෙන් (ඇත්තටම උපහාසාත්මක) හිනාවක් දාලා ඇහුවම
‘ඔව් ඇත්ත තමයි. මටත් යන්න පුලුවන් නම් යනවා. කොහොමද ඇත්තටම යන්නේ’
කියල මිනිහත් හිනා වෙවී කිව්ව කියහංකෝ.
තව අපේ යාලුවෙක් හිටියා අපිත් එක්ක ඉගෙනගත්තු, ලේඩි ඩොක්ටර් කෙනෙක්. අවුරුදු ගානකට කලින් ලංකාවට ගිය වෙලාවක අපි එයාව බලන්න ගියාම,
‘ඇයි මම දන්නෙ නෑ ඔයාලා ලංකාව දාලා ගියේ, අපිට නම් මෙහේ ගොඩක් හොඳයි. මම නම් කවදාවත් ලංකාව දාලා යන්නෙ නෑ’
කිව්වා. අපි ඉතිං එයා තරම් ප්රතිපත්ති ගරුක අය නෙවෙයි නිසා කටවහගෙන හිටියා.
ඔහොම ඉන්න අතරේ මෙයාලා නවසීලන්තෙ පදිංචියට ගියා. අපි නවසීලන්තෙ මගේ සහෝදරියො දෙන්න බලන්න ගියාමත් එයාව හමුවෙන්න ගියාම
‘අපෝ ඕස්ට්රේලියාව වගේ නෙවෙයි මෙහේ මාර ලස්සනයි. මෙහේ ලයිෆ් ස්ටයිල් එක මරු. ඔයාලා කොහොම ඕස්ට්රේලියාවෙ ඉන්නවද මංදා. එහේ පඩි නම් වැඩි තමයි ඒත් මම නම් මැරුවත් එහේ පදිංචියට යන්නෙ නැහැ’
කිව්ව නේ. ඇත්තටම නවසීලන්තෙ ලස්සනයි නේ. ඉතින් ඒත් අපි දෙන්නා කට වහගෙන හිටියා. එයා සතුටුවෙන්න ඇති ආයෙත් එයා අපට වඩා සුපිරියර් කියලා අපට කිව්වා කියලා.
මෙන්න යකෝ, ඊට මාස ගානකට පස්සෙ ඕස්ට්රේලියාවට ඇවිල්ලා. අපි ඉතින් වෙඩිමකට එයාලා ඉන්න නගරයට ගියාම එහේ නැවතුනේ. , අපට ඉස්තරම්ම විදියට සැලකුවා විතරක් නෙවෙයි වෙඩිමට දාන්න හිටිය ටයි එක අමතක වෙලා හිටපු මට ලස්සන සිල්ක් ටයි එකකුත් දුන්නා. ඒත් කිව්වා
‘කැන්බරා වගේ නෙවෙයි මේ සිටි එක මරු’
කියලා. මගේ කට දැන් නලියනව කියන්න එයා පිටරට යෑම, ඕස්ට්රේලියාව ගැන එහෙම කියපු කතා. ඒත් ඉතින් ඒවා එයත් දන්නවා, අපිත් දන්නවා. ඕව කියන්නෙ මොකටද කියල හිතලා යාලු කමත් රැකගෙන ගෙදර ආවා.
ඔය සමහර දේවල් විවේචනය කරන, ඒවට බනින අය ඒව කරන්න ආසයි, ඒත් තමන්ට අවස්ථාවක් නැති නිසා එහෙම බනිනවා කියලා අනුන්ට තේරෙන්නේ නෑ කියල හිතනව නම් ඉතින් ඒක නුවනැති දෙයක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ඒත් ඉතින් මේ කතා හිතට නොගෙන ඒ ගැන හිනාවෙලා ඒවා ආතල් එකකට හරව ගැනීම තමයි කරන්න තියෙන හොඳම දේ.
(ලංකාවේ සියලු දෙනාම මේ වගේ අය නෙවෙයි. ඒ නිසා ඒ වගේ දෙයක් මා අදහස් කරා කියල හිතීමෙන් වලකින්න)
උපුටා ගැනීම: Devapriya Siriwardena