මේකයි සිද්ධිය.
අපේ තාත්තා ඉන්නවනෙ. එයා ඉතින් හොඳට කනබොන මනුස්සයා. මට වඩා ආතල් ගන්නවා ජීවිතේ. එයාටම කියලා වෙනමම බැචා ලා සෙට් එකකුත් ඉන්නවා ඉස්සර කාලෙ ඉඳන්ම හිටපු.
මේ සිද්දිය උනේ මම ඉස්කෝලේ 5,6 වසර වල වගේ. එදාත් අපේ තාත්තා එයාගෙ යාලුවො සෙට් එකත් එක්ක හීනියට රත් වෙමින් හිටපු ආතල් දවසක්. ඒ සෙට් එක සෙට් උනාම කතා වෙන දේවල් අහන් ඉන්න එක තමයි මගේ ආතල් එක. මොකද ඒ කතා එච්චරටම ආතල්. අපරාදෙ කියන්න බෑ අපේ තාත්තා හිටපු ගමන් නයි අරිනවා ඇරිල්ලක් ආයි නෑ ඒ නයි හිටගෙන පෙනේ කරගෙන දුවන්නෙ.
ඔන්න ඉතින් එදත් සෙට් එක හෙන කතාව. මාත් ඒ කිට්ටුව මුල්ලක වාඩිවෙලා පතලක් හාරගෙන, වෛරෝඩියක්, නිලක් එහෙම හම්බුනොත් ඒකත් රෝල් කර කර කතාව අහන් ඉන්නවා. ඔන්න ඉතින් ඊලඟට අපේ තාත්තා කතාවක් පටන් ගත්තා. මම හෙනම ආසයි තාත්තා බිව්වම කියන සීන් කෝන් අහන් ඉන්න.
ඔන්න දැන් තාත්තා කතාව පටන් අරන් කියාගෙන යනවා. ඒක එයා තරුණ කාලෙ වෙච්ච සිද්දියක් කියලා තමයි පටන් ගත්තෙ. මාත් කට ඇරන් අහන් ඉන්නවා, තාත්තගෙ බැචාලා ටිකත් කණ සාක්කුවේ දාන් අහන් ඉන්නවා.
ඒත් තාත්තා ඒ කියන කතාවෙ මට පොඩි ෆැමීලියර් ගතියක්, “මේ කතාව මම කොහේදි හරි අහලා, කියවලා තියෙනවා” වගේ හැඟීමක් දැනුනා. දැන් කතාව නැගලම යනවා. මට ඉන්නම බෑ. මම කල්පනා කරනවා “කොහෙන්ද යකෝ මම මේ කතාව කලින් අහලා තිබ්බෙ” කියලා.
අම්මට සිරි එක පාරටම මගේ ශ්රී මස්තිස්කෙ අවදි උනා. ඔලුව වටෙන් රැස්වලල්ලක් විහිදුනා, තනිකරම දේව වරමක් ලැබුනා වගේ මට A to Z සීන් එක මීටර් උනා.
පුටුවෙන් පැනපු මම දුවගෙන ගියේ සාලෙ තිබ්බ මේසේ ලඟට. ඒක උඩ තිබ්බා කලින් සතියෙ ඉරිදා ලංකාදීපෙ. සට සට ගාලා පිටු ටික පෙරලගෙන පෙරලගෙන ගියා සොනික් වගේ. අම්මට සිරි මේ තියෙන්නෙ බැබලි බැබලි කතාව.
පත්තරේ කිහිල්ලෙ ගහගත්තා, පැන්නා මේසෙන් බිමට, දිව්වා තාත්තා යි එයාගෙ ගැන්සියයි ඉන්න තැනට. තාත්තා කතාවෙ අවසානෙ කියන ගමන් හිටියෙ.
මම එක පාරට වීර පුරන් අප්පු වගේ මැද්දට පැනලා,
“තාත්තෙ තාත්තෙ ඔය කතාව ගිය සතියෙ පත්තරේ තිබ්බ එකක්නෙ. මාත් ඒක කියෙව්වා. මේකනෙ” කියලා අර සභාව ඉස්සරහ දිග ඇරියා.
මම බලාගෙන ඉද්දිම තාත්තගෙ වෙරි හිඳුනා මට මතකයි. නළල දිගේ වැක්කෙරෙන්න ගත්ත දාඩිය ටික කෙලින්ම තාත්තගෙ අතේ තිබ්බ ෂොට් එකට වැටිලා සැන්ඩි උනා.
“යනවා යන්න මෙතනින්. මම කීපාරක් කිව්වද ලොකු මිනිස්සු ඉන්න තැන්වලට එන්න එපා කියලා. යනවා, ගිහින් නිදාගන්නවා.” කකුල් දෙක පල්ලෙ වැටුන තාත්තගෙ නම්බුවෙ අන්තිම දශම ගාන බේරගන්න තාත්තා උත්සහ කරේ අන්න එහෙමයි.
පස්සෙ ආරංචි උන විදියට, එදා රෑ ඉතුරු බෝතල් ටික හිස්වෙනකන්ම අනිත් මාම ලා ටික බයිට් එක විදියට පාවිච්චි කරලා තියෙන්නෙ අපේ තාත්තාව.
මේ සිද්ධිය වෙලා අවුරුදු 15කටත් වඩා වැඩියි. අදටත් තාත්තා එයාගෙ සෙට් එක බොන තැනකටවත් මට එන්න දෙන්නෑ.
පියාණෙනී මට සමාවෙන්න…!!!
උපුටා ගැනීම: Shehan D Gankanda