ඊයේ බුකියේ වෙනත් ගෲප් එකක ,මල්ලි කෙනෙක් ප්රශ්නයක් අහලා තිබුණා,
“කොළඹ ඉදන් අනුරාධපුරෙ ට බයික් එකේ යන්න කොච්චර වෙලාවක් යනවද? කොහොමද ගමන ?” කියල අහල , ඒක දැක්ක ගමන් මට හිතුණෙ , එයාගෙන් අහන්න ,
“ඕක යන්නම ඕනෙ ගමනක් ද?” කියල …
ඒත් හරියට අදුනන්නෙ නැති කෙනෙක් ට පොල්ලෙන් ගහනවා වගේ එහෙම කියන එක හොද නැති හින්දා, මම පොඩි විහිලු කමෙන්ට් එකක් දාලා නතර වුණා, හැබැයි ඒ විහිලුව ඇතුලෙන් ,එයාගෙ වයසට හරියන විදිහෙ පණිවිඩය ක් ඇතුලත් කළා..
අද කතාව ඒක ගැන නෙමෙයි.ඒ නිසා මට ක්ශණිකව මතක් වුණු අතීත සිද්ධි දාමයක් ගැන..,
සාමාන්ය පෙල විභාගය මම ඉහලින්ම සමත් වෙනකොට , ජීවිතේ මම අලුත් අත්දැකීම් දෙකක් එකට විදිමින් හිටියේ.
1 යොවුන් ආලය
2 යොවුන් මිත්රත්වය
මම මේ දෙකේ ගිලී නාමින් ඉන්න කොට , අපේ තාත්තා , වෙරි නැතුව හිටපු ඉරිදා දවසක මට කතා කලා.
“පුතා ,පොඩ්ඩක් එන්ඩ සාලෙට කතා කරන්න”
අපේ තාත්ත ගෙ චරිත දෙකක් තිබුණා .
එකක් බීපුවම හැසිරෙන විදිය .අනික නොබී ඉන්න වෙලාවට හැසිරෙන විදිහ .
බීපුවහාම අපේ තාත්තා තාර්කිකයි .නොබී ඉන්න කොට අපේ තාත්තා හරි ප්රායෝගිකයි .මම හැමදාම කැමති වුනේ තාර්කික තාත්තට . ඉතින් මං ඉතාම අකමැත්තෙන් සාලෙට ගියා .
“දැං ඒ ලෙවල් මොනවද කරන්නේ ?, කාගෙද පත්ති යන්නේ ?”
“ඇයි මං තාත්තට කිව්වේ කිව්වෙ මම මැත්ස් කරන්නේ ! පන්ති යන්නේ ගම්පහ “
“දැන් ඔයාට ගම්පහ යන්ඩම ද ඕන ?”
“ඔව් “
“හරි”
සරලවම එච්චරයි .තාත්තා මගෙන් බලාපොරොත්තු වුණේ ප්රායෝගික පුතෙක් , හැබැයි කිසිම දවසක එයා මගේ තීරණයකට විරුද්ධ වුණේ නෑ .මට ගම්පහ යන්න ඕනේ කළේ යාලුවෝ හින්දා ,මැත්ස් කරන්න ඕනේ කළේ මගේ ආසාවට !
ගම්පහ ගිහින් අවුරුද්දකින් මට මගේ යාළුවෝ ඔක්කොම වගේ නැති වෙනවා ,කොටින්ම මට ගම්පහ පන්ති යන්නත් බැරි වෙනවා , මම මැත්ස් කරලා ඒ ලෙවල් ෆේල් වෙනවා .ඒත් ඊයෙ වෙනකන් මට තාත්තා මගෙන් අහපු ප්රශ්නය හරියට තේරිලා තිබ්බෙ නෑ .
මේ ලෝකෙ මෝඩයෝ ත් වයසට යනවා ,ඒත් වයසට යන හැමෝම මෝඩ නෑ , වැඩිමහල් සහ තරුණ පරම්පරාව අතර – ප්රශ්න ඇසීමේ ප්රශ්නය තේරුම් ගැනීමේ සහ පිළිතුරු දීමේ – ලොකු පරස්පරයක් තියෙනවා .අපි මේක ගැප් එක කොහොම හරි අඩු කරගන්න ඕන
අද මට අවුරුදු තිස් අටක් ,ගම්පහ පන්තියෙ යාළුවොත් මගෙ ළඟ නෑ ,මගේ තාත්තත් නෑ ,අවුරුදු විසි තුනකට කලින් තාත්තා මගෙන් අහපු ප්රශ්නය මට හරියට තේරුනේ නෑ කියන එක , තාත්තා බලාපොරොත්තු වෙච්ච උත්තරේ මම දුන්නෙ නෑ කියන එක ,මගේ තරුණකමට ගත්ත තීරණ තාත්තා නැවැත්තුවෙ නෑ කියන එක විතරයි අද මම දන්නෙ.
ජීවිතේ අපි ගන්න සමහර ඉතාම චූටි තීරණ ,අපේ ජීවිතේ ගොඩක් ලොකුවට වෙනස් කරනවා ,සදහට ම ! ඒ නිසා යම් කිසි අවධානමක් තියෙන තීරණයක් ගනිද්දී ,අපි එක තත්පරයක් පරක්කු වෙලා නැවත ඒ ගැන හිතමු .
මේ බස් එකට මම නගින්න ම ඕනද ?
මේ මිනිහා මම බඳින්න ම ඕනෙද ?
මේ ගමන මම යන්න ම ඕනේ ද ?
මේ රස්සාව මම කරන්න ම ඕනෙද?
මේ කෝල් එක මම ගන්න ම ඕනෙද ?
මේ පෝස්ට් එක මම කියවන්න ම ඕන ද?
තීරණය ඔබට බාරයි !
උපුටා ගැනීම: Amila Kanchana Gunawardena