අවට පරිසරයේ ගහකොළ සතා සීපාවුන් දෙස බලා දේශගුණික සහ කාලගුණික විපර්යාස පිළිබඳ අනාවැකි පළ කිරීමේ සුවිශේෂ හැකියාවක් අතීතයේ පටන්ම අපේ මිනිසුන් තුළ විය. මේ හැකියාව බොහෝ කොට ප්‍රයෝජනවත් වූයේ ගොවිතැනේදීය. ඒ හැරුණු විට වෙනත් දෛනික කටයුතුවලදීත් ප්‍රයෝජනවත් නොවුණාම නොවේ. අවට පරිසරය නිරීක්ෂණය කරමින් අනාවැකි පළ කිරීමේ මේ කියන්නා වූ දැනුම හුදෙක් ශ්රී ලංකාවේ පමණක් නොව රට රටවල අනාදිමත් කලක සිට පැවත එන්නකි. කෙසේ වෙතත් ශ්රී ලංකාවේ මේ සම්බන්ධව පවතින දැනුම් පද්ධතිය ද සුවිශේෂී එකකි. අපේ ගොවි ජනතාව එදා පටන්ම ගොවිතැන් කිරීමට හුරු පුරුදු වූයේ පරිසරය පිළිබඳ විමසුම් ඇසකිනි. එහෙත් පසු කලෙකදී එය අවිද්‍යාත්මක මතයක් ලෙස සලකමින් බටහිර විද්‍යාවෙන් බැහැර කරන්නට විය.
කෙසේ වෙතත් 1980 දශකයේදී පටන් මෙම පාරම්පරික දැනුම Phenology නමින් නව විද්‍යාවක් ලෙස දියුණු කොට ඇත. ‘Phenology’ යනු ‘Phenomenology’ (සංසිද්ධි විද්යාව) යන වචනයෙන් කෙටි කොට ගත්තකි. විශේෂයෙන්ම මේ පාරම්පරික ඥානය ඉවහල් කරගත් දැනුම වැඩි දියුණු කිරීමටත් නව නිරීක්ෂණ මඟින් එම දැනුමට අලුතින් යමක් එක් කර ගැනීමටත් 1980 දශකයේ මැද භාගයේ සිට ඇමරිකා එක්සත් ජනපදය ජාතික මට්ටමෙන් මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් ද ප්රයත්නයක් දරනා බව කිව යුතු ය. එහෙත් ශ්රී ලංකාව තුළ තවමත් එවැන්නක් පිළිබඳ ලකුණු පහළ වී නැත.
කෙසේ වෙතත් මෙම විද්‍යාවට අදාළව දීර්ඝ කාලීන පර්යේෂණ සහ නිරීක්ෂණ මත සනාථ වූ කරුණු බැහැර කළ යුතු නැති අතර ඒවායෙන් ඵල ප්‍රයෝජන ගත හැකි මාර්ගයක් විවර වීම ද වඩා වැදගත්ය. මෙවන් සංසිද්ධි සලකා බැලීමේදී ඒවායෙන් සමහරකට විද්යාත්මක කරුණු පැහැදිලි කිරීමක් ලබා දිය හැකි මුත් ඇතැම් සිද්ධීන් හඳුනාගත හැක්කේ අපේ දැනුමෙන් ඔබ්බට ගිය සංසිද්ධීන් ලෙසය.
*අනාවැකි කියන අලි….
ඈත අතීතයේ සිටම අලි ඇතුන්ට ප්රසිද්ධියක් උසුළන අපේ මේ රටේ අලි ඇත්තු විවිධ කටයුතු සඳහා යොදවා ගැනෙති. සමහරු පෙරහැරේ යති. අලි ඇත්තු තවත් පිරිසක් කොටන් අදිති. අලුත් අවුරුදු කාලයේ අලි රේස් ගැන ද අසන්නට ලැබේ. එහෙත් අලි ඇතුන් කාල ගුණ විද්යාඥයන් ලෙස කටයුතු කරන බව කීවොත් එය පුදුමය ගෙනදෙන පුවතක් විය හැකියි. එහෙත් නැමීබියාවේ විද්යාඥයන් පිරිසක් නම් කියා සිටින්නේ ලොවම ජනප්රිය මෙම ඝනචර්මිකයන්ට (pachyderm)කාලගුණ අනාවැකි පළ කළ හැකි බවයි.
අප්රිකාවේ අලි ඇත්තු ඍතු අනුව දිගු දුරක් සංක්රමණය වෙති. එහෙත් මේ සංචලනයන්ට හේතු භූත වන කාරණ ගැන දැනුම සාපේක්ෂව අඩුයි. ඇතුන් නව දෙනෙකුගේ සංචලනයන් නිරීක්ෂණය කිරීම පිණිස ගෝලීය ස්ථාන නිර්ණායක පද්ධතිය (GPS වශයෙන් බහුලව දැක්වෙන Global Positioning System) යොදා ගනිමින් ඇමරිකාවේ, වර්ජිනියා සරසවියේ පාරිසරික විද්යා දෙපාර්තමේන්තුවේ මයිකල් ගාර්ස්ටෑන්ග් හා සගයන් සිදුකළ අධ්යයනකින් පසුව ඔවුන් විශ්වාස කරන්නේ අභිරහස විසඳිමට කරුණු කාරණා හෙළි වී ඇති බවයි.
සෑම වසරකම වියළි ඍතුව අවසන්වීමට දින කිහිපයක් තිබියදී ඇතුන් සිය පුළුල් සංක්රමණය වාර්ෂිකව නොකඩවා සිදුකරන බව වසර හතක කාල ඡේදයක් තුළ කළ අධ්යයනයෙන් හෙළිවෙයි. අවස්ථා කීපයකදීම වෙනත් තැන්වල ඇත් රංචු ද මෙවැනිම සංචලනවල යෙදුණු බව නිරීක්ෂණය විය. ඉන් ගම්ය වූයේ මෙය අහඹු සිද්ධියක් නොවන බවයි. ඉතින් මින් හැගවෙන්නේ ඇතුන් සංචලනයෙහි යෙදෙන්නේ කිසියම් පාරිසරික සංඥාවකට ප්රතිචාර වශයෙන් බවයි. එහෙත් එම සංඥාව කුමක්ද? ඇත්ත වශයෙන්ම වෘක්ෂලතාදියෙහි ශාකයෙහි වෙනස් කම් ඇතිවේ. සූර්යා ලෝකයෙහි ප්රබලතාව, පසෙහි ආම්ලිකතාව සහ අනෙකුත් සාධක ගණනාවක් අනුව ශාක ආවරණයෙහි හා වර්ගයෙහි වෙනස්කම් දැකිය හැකිය. එහෙත් මෙකී විචල්යයන් සංකීර්ණ වන අතර ප්රදේශ අතර විශාල වශයෙන් වෙනස්කම් ඇත. එහෙයින් විවිධ ඇතුන් එකවර සංචලනය කරන්නේ මන්දැයි මෙයින් පැහැදිලි නොකෙරේ. තවද, වැසි පටන් ගැනීම තෙත් කාලයේ ආරම්භය සංඥා කෙරෙන බව උපකල්පනයයි. කෙසේ වෙතත් ඇතුන්ගේ සංක්රමණ ආරම්භ වෙන්නේ අදාළ ප්රදේශයට වැසි වැටීමට ෙපර තෙත් කාලය ආරම්භ වීමට දින ගණනක් හෝ සති ගණනක් කලිනුයි. එසේ නම් මේ අලි ඇතුන් තැත් කරන්නේ බිබීසීයේ හිටපු සුප්රකට කාලගුණ අනාවැකි පළකරන්නෙකු වන මයිකල් ෆිෂ්ට තරගයක් දීමටද?
ප්රශ්නයට පිළිතුරු වශයෙන් කිව හැක්කේ පුදුමයි. ඒත් ඇත්තයි, මේ අලි ඇතුන්ට එවැනි හපන්කමක් කිරීමේ හැකියාව තිබෙන බවයි. වර්ෂාව ඇතිවන වේලාව හා ස්ථානය සමග ඇතුන්ගේ චර්යාවන් චන්ද්රිකා වර්ෂණ නිරීක්ෂණ(satellite precipitation observations) යොදා ගනිමින් සංසන්දනය කිරිමේ දී පෙනී ගියේ වැස්සක් ආසන්න වන විට සතුන්ගේ සංචලනය රටාවෙහි සැලකිය යුතු වෙනස්කම් ඇති වන බවයි. ඇත්තටම මේ ඇතුන්ගේ අනාවැකි පළකිරීමේ හැකියාව කෙතරම් සියුම්ව සැකසී ඇත්ද කිවහොත්, කිලෝමීටර් 300ක් තරම් ඈතින් වැහි කුණාටු ඇති වන විට දී පවා ඔවුන්ගේ සංචලන ආරම්භ වන බව සොයාගෙන ඇත. ඉතින් මේ පුදුමාකාර සතුන්ට පේන කීමේ හැකියාව ඇතිවී තිබෙන්නේ කෙලෙසද? ඔවුනට අධි මානසික බලයක් ඇත්ද? එසේ නැතිනම් ලොවපුරා ප්රචාරය වන කාලගුණ වාර්තාවන්ට මොවුන් සවන් දෙනවා වත්ද?
මේ ප්රශ්වනවලට පිළිතුරු රැඳී ඇත්තේ ‘අවධ්වනික ශබ්දය(infrasonic sound)’ යන්න මතය. අඩු සංඛ්යාත ශබ්දය ලෙස ද ඇතැම් විටෙක හඳුන්වනු ලබන මෙම පදයෙන් විස්තර කෙරෙන්නේ හර්ට්ස් 20ට (හෝ තත්පරයකට චක්‍ර) අඩු සංඛ්යාතවලින් ශබ්දය. මේවා මිනිසෙකුගේ සාමාන්ය ශ්රවණ සීමාවට වඩා පහළින් පිහිටි සංඛ්යාතය. කෙසේ වෙතත්, අනෙකුත් සතුන් අතර අලින්ට ද එම සංඛ්යාත ඇසෙන බව ඔප්පු වී ඇති කාරණාවකි. අකුණු කුණාටු වැනි ස්වාභාවික සංසිද්ධිවලදී නිපදවෙන අවධ්වනිත ශබ්ද බොහෝ දුරක් ගමන් කරයි. එහෙයින්, වර්ෂා-පද්ධතියෙන් ජනනය කෙරෙන මෙකී අවධ්වනිත ශබ්ද නිවර්තන තණබිම්වල ඇතුන්ගේ සංචලනයන්ට මුල පුරවනවා විය හැකිය.
එහෙම වුණත් හෙට වැඩට යන කෙට කුඩයක් අරගෙන යන්න ද කියලා අහන්න ළඟ පාතක අලියෙක් නොසිටියාට කලබල විය යුතු නැත. මන්ද ඉදිරියේදී ඇතිවීමට යන කුණාටු, භුමිකම්පා වැනි ස්වාභාවික ව්යසන ගැන අනාවැකි පළකිරීමට වඩාත් නිවැරැදිව කීවොත් එවැනි ව්යසන කලින් සොයා ගැනීමට ඇති හැකියාව වෙනත් සතුන් ද ප්රදර්ශනය කර ඇති හෙයිනි. ළඟ එන ව්යසනයක සේයාව කියාපාන අනතුරු හැඟවීම් ලබා ගැනීම පිණිස පෘථිවිය හරහා ගමන් කරනා අවධ්වනිත තරංග සතුන් විසින් යොදා ගනු ලබන බව සොයාගෙන ඇති කාරණාවකි. මීට හොඳ උදාහරණයක් ශ්රී ලංකාවෙන්ම සොයා ගත හැකිය. 2004 වසරේ සුනාමිය පැමිණ වෙලේ යාල වනෝද්යානයේ (ඔව් අලි ඇතුන්ද ඇතුළුව) සතුන්ට ආපදාවක් සිදු නොවුනේ වේලාසනින්ම ඔවුන්ට සුනාමිය ගැන දැන ගැනීමට හැකි වීම නිසාවෙනි. ස්වාභාවික විපතක් අත ළඟ පැමිණෙද්දී සතුන් අමුතු ආකාරයකට හැසිරී ඇති බවට වාර්තා ඉතිහාසය පුරාවට දැකිය හැකිය. ගිරාෆ්, හිපපොටේමස්, කොටි, පරෙවියන් තබා කැසොවරයන්ට (cassowaries) පවා අවධ්වනිත තරංග ඇසේ. භුමිකම්පාවකට පෙර බලු බළල් වැනි සතුන්ගේ ප්රතිචාර සම්බන්ධයෙන් මෑතක කළ පර්යේෂණයකින් හෙළිවූයේ සිද්ධියට පැය කිහිපයකට කලින් ඔවුන් කලබල ස්වභාවයකට පත්වූ බවයි.
කෙසේ වෙතත්, සතුන්ගේ මේ අසාමාන්ය චර්යාවක් පිළිබඳ අපේ දැනුම තවමත් පවතිනුයේ ළාබාල අවධියකය. භූ කම්පන සිදුවීම්වලදී සතුන් අමුතු ආකාරයකට හැසිරෙන බව දැන සිටියත් එම හැසිරීම් මුදා හැරෙන්නේ අවධ්වනිත ශබ්දවලින් ද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකිය. එය විද්යුත් චුම්භක තරංගවල ප්රතිඵලයක් ද විය හැකිය. නො එසේ නම් හුදෙක් පොළොව අභ්යන්තරයෙන් එන තීව්ර කම්පන (intense vibrations) විය හැකිය. භූකම්පන අපි කේන්ද්රයෙන් (epicentre) පිටතට පැතිර යන Rayleigh waves රේලේ තරංගද අපට හසු නොවුනාට පක්ෂීන්ට, කෘමීන්ට හා අනෙකුත් ක්ෂීරපායින්ට හසුවේ. එහෙත් ඉතා දරුණු වර්ෂාවක් පවා එවැනි කම්පන ඇති කිරීමට තරම් ප්රමාණවත් නොවේ. එමනිසා නැමීබියානු ඇතුන් සම්බන්ධයෙන් ගත හොත් ඔවුන්ට අනාවැකි කීමට මඟපාදන්නේ බොහෝ විට අවධිවනිය විය හැකිය.
ඉතින් ක්ෂීරපායි විශේෂ පෙමණ සංඛ්යාවකට මෙම සුපිරි දැනුම පිහිටා තිබියදී මිසින් අප අහස විසින් රවටනු ලබන්නේ ඇයි? අවධ්වනිය අපට ද දැනේ. එහෙත් ගැටලුවක් වන්නේ අප ඒ අත් විඳින්නේ කුමක් දැයි නොදැනීමය. සමහරු එවැනි අධිමානසික බලයක් ගැන කියති. අවධ්වනිය මිනිසුන් තුළ බිය හෝ පුදුමය දැනවීමට තුඩු දෙන බව ඔප්පු වී ඇති කරුණකි. එහෙයින් හදිසියෙන් හෝ අවතාරයක් දුටුවොත් එළිපහළියට යන විට කුඩයක් ගෙන යන්න. ඔබටත් ඇතුන්ට මෙන් කාල ගුණ අනාවැකි කීමට එවැන්නක් යොදා ගත හැකිය
*අනාවැකි කියන කුරුල්ලෝ…
සැප්තැම්බර් මාසයේ මැද ශ්රී ලංකාවට සංක්රමණය වන පක්ෂීන් අතර දැකිය හැකි අළු හැලපෙන්දා (Grey Wagtail) අවට පරිසයේ සැරිසරනු දකින විට ගොවීන් අනුමානය කරන්නේ සති දෙක තුනක් ඇතුළත වැසි ලැබෙන බවය. ඒ අනුමානය නිවැරැදි බව හඟවමින්ම පක්ෂියාගේ සැරි සැරීමෙන් සති දෙක තුනක කාලය තුළ සංවහන වැසි ආරම්භ වන බව අත් දුටු සත්‍යයකි.
අතීතයේ ගොවියන් පිළිගත්තේ රන් ඔලෙයියන් (Pacific Golden Plover) ඉපනැල්ලේ දැකීමෙන් හැඟ වෙන්නේ පුරන් කෙටීමට කාලය බවයි. එහෙත් මෙම රන් ඔලෙයියා ස්වරූපයෙන් සහ ශරීර වර්ණයෙන් කැස්වටුවාට සමාන බැවින් මෙම පක්ෂීන් දෙවර්ගය පටලවා ගත් ඇතැම් ගොවීන් කියා සිටියේ කැස්වටුවන් කුඹුරේ ඉපනැල්ල මැද සිටින විට එය වැස්ස ළග එන බවට සංකේතයක් බවත්, පුරන් කෙටීමට කාලය පැමිණ ඇති බවත්ය. කැස්වටුවාට දිග හීන් හොටක් ඇති අතර රන් ඔලෙයියාට ඇත්තේ කෙටි හොටකි. ස්වරූපයෙන් තරමක් සමාන වූවත් එම පක්ෂීන් දෙවර්ගය වෙන්කොට හඳුනාගත හැකි යම් යම් වෙනස්කම් පෙන්වා දිය හැකිය. අම්පාර ප්‍රදේශයේ මෙම පක්ෂි දෙවර්ගයම දැකගත හැකි අතර බොහෝ ගොවීන් ඔවුන් වෙන්කොට හඳුනා ගැනීමේදී අසමත් වීම හේතුවෙන් කියා සිටියේ කැස්වටුවන් කුඹුරේ ඉපනැල්ල මැද සිටින විට එය වැස්ස ළඟ එන බවට සංකේතයක් බව වුවත් එම මතය සත්ය වූයේ රන් ඔලෙයියන් සම්බන්ධයෙනි.
සංක්‍රණික පක්ෂීන් ශ්රී ලංකාවට පැමිණෙන්නේ වට කිහිපයකට වන අතරට හැම විටම පුරන් කෙටීම සම්බන්ධ අනාවැකි හා සම්බන්ධ වන්නේ දෙවැනි වටයේ පැමිණෙන පක්ෂීන්ය. සාමාන්‍යයෙන් එම පක්ෂීන් පැමිණෙන්නේ සැප්තැම්බර් මාසයේ මැද වන විට වුවත් ඇතැම් වර්ෂවල සැප්තැම්බර් මුල හෝ තරමක් පසුව පැමිණෙන අවස්ථා ද දැකගත හැකි ය. කෙසේ වෙතත් එම සංක්රමණය වීමේ කාලයත් සමඟ වර්ෂාව බොහෝවිට සමපාත වීමක් දැකගත හැකි ය.
වැහිලිහිණියා මෙහිදී වැඩි අවධානයක් හිමි කරගන්නා පක්ෂියෙකි. වැහිලිහිණි විශේෂ කිහිපයක් වෙතත් අපේ ජනප්රවාදයේ වැස්ස රැගෙන එන බවට සඳහන් වන්නේ ‘Barn swallow’ නම් වැහිලිහිණියා සම්බන්ධයෙනි. මේ වැහිලිහිණි සංක්රමණය වන්නේ සංවහන සුළං ධාරා අවසන් වන, නැතහොත් මෝසම් වැසි ඇරැඹෙන කාලය වන විට ය. එබැවින් වැහිලිහිණි වැසි රැගෙන එන බවට ජනප්රවාදයේ එන කියමන වියළි කලාපය සම්බන්ධයෙන් බොහෝදුරට සනාථ වේ. එම පක්ෂි විශේෂය බොහෝ විට සංක්රමණය වන්නේ නැඟෙනහිර සංක්‍රමණික පක්ෂියකු බැවින් තෙත් කලාපයේදී දකිනවාට වඩා කලියෙන් වියළි කලාපයේ දී බොහෝ විට දැක ගත හැකිය. ග්රාමීය මෙන් ම නගරාශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයන්ගෙන් පවා පෙනී යන්නේ වැහිලිහිණි ඉහළ අහසේ පියෑඹීම, වැස්ස ළග එන බවට පැහැදිලි සංකේතයක් බවය.
සංක්රමණය වීමෙන් මාස කිහිපයකට පසු මේ දිවයිනෙන් නික්මෙන වැහිලිහිණියා නික්මීමට මත්තෙන් පිහාටු හලා අලුත් පිහාටු ලබාගැනීම ද විශේෂත්වයකි. පිහාටු හැලීම කලින් සිදු වුව හොත් නික්මීම ප්රමාද වේ. පිහාටු හැලීම ප්රමාද වුව හොත් නික්මීම කලින් සිදු වේ. ඒ අනුව පිහාටු හැලීම ප්රමාද වී සිදුවන, එනම් නික්මීම කලින් සිදු වන වර්ෂයන්වල වැසි කලින් ලැබෙනු ඇත. මෙකී සම්බන්ධතාව රන් ඔලෙයියාගෙන් ද පුංචි වැලි ඔලෙයියාගෙන් ද දැකිය හැකි ය. පුංචි වැලි ඔලෙයියාගේ පැමිණීමත් වර්ෂාවත් අතර සම්බන්ධ වන්නේ ඊශාන දිග මෝසමටය. එම පක්ෂියා ද පිහාටු හලා ගිම්හාන සෘතු වර්ණය ලබාගන්නේ ශ්රී ලංකාවේදීය. පුංචි වැලි ඔලෙයියා ගිම්හාන සෘතු වර්ණය කලින් ලබාගතහොත් ඉදිරියට එන්නේ පෑවිල්ලකි. මේ පෑවිල්ල තුළ පක්ෂියා සංක්රමණය නොවී ගිම්හාන සෘතු වර්ණයේම සිටී. ගිම්හාන සෘතු වර්ණය ගන්නේ මාර්තු මාසය පමණ වන විට නම් මාර්තු අග වන විට එම පක්ෂීන් නික්මෙන අතර, අප්රේල් මස මුල වන විට ම බක්මහ වැසි ද පැමිණේ. අපේ ජනප්රවාදයේ වැලි ඔලෙයියා පිළිබඳ විශේෂයෙන් සඳහන් නොවනමුත් රන් ඔලෙයියා, වැහිලිහිණියා, අළු හැලැම්පෙන්දා පිළිබඳ කියැවේ. ඒ හැරුණු විට කහ හැලැම්පෙන්දා සහ වන හැලැම්පෙන්දා ද පැමිණෙන්නේ වැස්සත් සමඟය. ශ්රී ලංකාවට සංක්රමණය වන නිල් කුරුමිණි කුරුල්ලාට ද වර්ෂාව හා පැහැදිලි සම්බන්ධතාවක් ඇත.
ඇතැම් ගොවීන් තුරිතයන්ව ‘මන්දාරම් ලිහිණි’ යනුවෙන් හඳුන්වා දෙන්නේ නොදැනුවත්කම හේතුවෙනි. තුරිත විශේෂ 5 ක් ශ්රී ලංකාවේදී හමුවන අතර එයින් විශේෂ තුනක් සම්බන්ධයෙන් වියළි කලාපයේ ගොවීන් පවසන පරිදි, මන්දාරම අහසේ දැකිය හැකි බවට වන කියමන සත්ය වන බව පැහැදිලි කරගත හැක. කැදලි තුරිතයා, කළු තුරිතයා, මහ තුරිතයා සැරිසරන්නේ ඉහළ අහසේය. වර්ෂාවක් කිට්ටු වන විට ඇති වන අවපීඩන කලාපයත් සමඟ මෙම පක්ෂීන් පහළට පැමිණේ. මෙම පක්ෂීන් පහළින් සැරිසරනු දකින ගොවියා වැසි ළඟ එන බව දැක ගොවිතැන් වැඩ නවත්වා නිවෙස බලා යෑමට සැරසේ. ශ්රී ලංකාවට ඔක්තෝබර් මාසයේ පමණ සංක්රමණය වන දුඹුරු මාරාවා නැතහොත් දුඹුරු මැසිමාරාවා (Brown flycatcher) පිළිබඳ අපේ ජනවහරේ සඳහන් නොවේ. එම පක්ෂියා සාමාන්‍යයෙන් ශ්රී ලංකාවේ සිටින කාලයේදි (සාමාන්‍යයෙන් ඔක්තෝබර් සිට මාර්තු අග දක්වා) උදෑසන සහ හවස් කාලයේ නාද කරයි. ඒ හැරුණු විට වෙනත් වේලාවක ශබ්ද කළහොත් අඩ පැයක්, පැයක් ඇතුළත ආසන්න කලාපයට වැස්සක් ඇදහැලෙන බව නම් නොඅනුමාන ය. ජනප්රවාදයට අනුව මයිනා හඳුනාගත හැක්කේ කාලගුණ විපර්යාස හා බැඳුණු තවත් සුවිශේෂී පක්ෂියෙකු ලෙසිනි. මයිනා සාමාන්‍යයෙන් ඇවිදින විට බොහොම කන්කලුව නාද කරන අතර හිටි හැටියේ කලබලයෙන් එම කන්කලු නාදයට වෙනස් වූ ශබ්දයක් නඟන්නේ නම් දෙපැයක් ඇතුළත වර්ෂාවක් ඇදහැලේ.
පක්ෂීන් හැරුණු විට අව්වැසි පිළිබඳ අනාවැකි පළ කරන තවත් සත්තු ඇත. මත්ස්‍යයන් සම්බන්ධයෙන් සලකා බැලීමේදී කාවයියා සහ කනයා වැස්සක් ඇති වීමට මත්තෙන් වෙනස් සහ තරමක් කලබලකාරී හැසිරීමක් පෙන්වන බව හඳුනාගත හැකිය. එසේ ම වැසි සමය එළැඹෙන්නට මත්තෙන් ශ්රී ලංකාවට බත්කූරු සංක්‍රමණයක් ද සිදු වන්නේ වැසි සමය පිළිබඳ ඉඟි ලබාදෙමිනි. මෙවැනි සොබාවික සංසිද්ධීන් පිළිබඳ දිගින් දිගටම අධ්‍යයනය කිරීම තුළ නව දැනුම ළඟා කරගත හැක්කේ වස විසෙන් තොර ගොවිතැනට පළ ප්‍රයෝජනවත් වන අන්දමිනි.
කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමිගොටු කලබලේ පිළිසකර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාරම්පරික දැනුමේ පැවැතිණි. කෙසේ වෙතත් මෙයාකාරයෙන් පාරම්පරික දැනුමේ පැවැති බොහෝ දේ එම පරම්පරාවල සාමාජිකයින් සමඟම මැකී යෑම කනගාටුවට කරුණක් නොවෙද? අතීතයේ ගොවීන් ගොවිතැන් කළේ, රට බතබුලතින් සශ්රීක කළේ සොබාදහමේ ගති ලකුණු අනුව කල්යල් බලා පාරම්පරික දැනුම උපයෝගී කරගනිමින් මිස, කෘෂි රසායනික ද්‍රව්‍යවලට පින් සිදු වන්නට නම් නොවේ. අධිරාජ්‍යවාදී ආක්රමණයන්ට මත්තෙන් ස්වදේශිකයන් තුළ වූ පාරම්පරික ඥානය ගොවිතැනේදී බහුලව යොදා ගත් බව පොත පතෙහි ද සඳහන් වේ. අතීත හෙළගොවියා පුරන්කොටන සෘතුව හඳුනාගත්තේ සතුන්ගේ හැසිරීමෙනි. ගහකොළ මල්වලින් ඊ ළඟ සෘතුව හඳුනා ගත්තේ ය. අද ඒ සියල්ල අපේ වැඩිහිටි පරම්පරාවල අවසන් පුරුක් සමඟින්ම අභාවයට යමින් පවතී. කෙසේ වෙතත් පිළිගත යුතු සත්ය නම් මෙය නව පර්යේෂණ සහ අධ්‍යයනයන් මඟින් තවදුරටත් වැඩිදියුණු කළ යුතු විද්‍යාවක් බවය
*භූමි කම්පා පිළිබඳව අනාවැකි
පළ කරන සතුන්…..
චීන විද්යාඥයන් පිරිසක් භූමි කම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට සතුන් යොදා ගැනීමට සූදානම් වන වාර්තා වෙයි.
නැගෙනහිර චීනයේ ජියැංසු පළාතේ නන්ජිංහි භූ කම්පන විද්යාඥයන් පිරිසක් මේ සඳහා සත්වෝද්යාන හා සත්ව වනෝද්යාන ආශ්රිතව නිරීක්ෂණ මධ්යස්ථාන හතක් පිහිටුවා ඇතැයි Modern Express වෙබ් අඩවිය සඳහන් කරයි. ආසන්න කම්පනයක් හේතුවෙන් සිදු විය හැකි සතුන්ගේ වෙනස් වීම් පිළිබඳව ද ඔවුහු නිරීක්ෂණයේ යෙදෙති.
කුකුළන් 2,000ක් ඌරන් 200ක් හා වර්ග කිලෝමීටර 2ක මාළුන් සිටින විලක් සහිත පාරිසරික උද්යානයක් එක් මධ්යස්ථානයක් ලෙස යොදාගනී. එහි අවට කැමරා සවි කර තිබෙන අතර සතුන්ගේ හැසිරීම පිළිබඳව කර්යමණ්ඩලය දිනකට දෙවරක් භූ කම්පන විද්යා කර්යංශය වෙත වාර්තා කරයි.
සතුන් භූ කම්පනයකට පෙර ඇතැම් විට ආතතියට ලක් වන බව නන්ජින් භූ කම්පන විද්යා කාර්යංශයේ විද්යාත්මක නිරීක්ෂණ පිළිබඳ ප්රධානී සාඕ බිංග් මහතා පවසයි.
කෙසේ වෙතත් කුකුළන්ගේ සිදු වන යම් වෙනස් වීම් කරදරයක් පිළිබඳව නොහඟවන අතර ඒ නිසා සතුන් කිහිප වර්ගයක් නිරීක්ෂණය කර උන්ගේ හැසිරීම් එකිනෙක සමපාත කොට බැලිය යුතු බවට ඔවුන් නිර්ණය කර ඇත.
හොන්ග්ෂාන් වන සත්වෝද්යානයේ තවත් කාර්ය මණ්ඩල නිලධාරියෙකු පැවසුවේ විශේෂඥ තාක්ෂණය මෙන්ම සතුන්ගේ හැසිරීම් ද භූ කම්පන පිළිබඳ අනාවැකි පළ කිරීමට යොදා ගත හැකි බවයි. විශේෂයෙන්ම කුරුල්ලන්ගේ කලබලය උන්ගේ වල්ග බල්ලන්ගේ මෙන් වැනීම අවධානයට ලක් කල යුතු අවස්ථාවන් ය.

සත්ව චර්යාවන් භූ කම්පන ක්රියාකාරිත්වයන් පිළිබඳව අනාවැකි කීමට යොදාගත හැකිය යන්න දිගු කලෙක සිට තිබූ අදහසක් වන අතර 2011 දී විද්යාඥයන් පිරිසක් පැවසුවේ සතුන්ට භූ කම්පනයක දී භූගත ජලයේ සිදු වන රසායනික විපර්යාසයන් වහා හඳුනා ගත හැකි බව යි.
මෙහි දී ඉතාලියේ L’Aquila නගරය භූ කම්පනයකින් විනාශ වීමට පෙර ගෙම්බන් පිරිසක් විලක් අතහැර යාම ද පේරු රාජ්යයේ 7.0 අගයකින් යුත් භූ කම්පනයකට සතියකට පෙර වන සතුන්ගේ චර්යාවන්හි සිදු වූ වෙනස්කම් ද අවධානයට ලක් වී ඇත…

උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න