21 රෑ (හොල්මන් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

හාහ් එදා තමා දවස. මේ කතාව ලියන පින්වතා මෙලොව එළිය කරල හරියටම අවුරුදු 21යි. උපත සිදුවෙලා 21 අවුරුද්දක් වුනාය කියල සමරන්න ඕන වුනාට විපතත් එදාම සමරන්න වෙයි කියල නොහිතුනාමත් නෙවේ. එහෙව් උපන්දිනයක් නම් ඔන්න මේ කපේට අමතක වෙන් නෑ ආයුබොවන්ට. අදටත් මතක් වෙද්දි හීන් දාඩියක් දාල හාර්ට් බීට් අසූහාරදාහට නගින්නෑ කිව්වොත් මං බොරුකාරයෙක්. කොහොමහරි ඔයි කාලේ අපි ගැටවර වයසනෙ. අපෙ හයේ කල්ලිය ඒ කියන්නෙ මම, තරුකයා, පුබ්බා, රමෝද්, සක්කා, රූපෙ ඔය සෙට් එකම නුවරඑළියෙ පොඩි ට්‍රිපක් දාල එහෙම හවස පුබ්බාගෙ මාමාලගෙ ගෙදර නවතින්න තමා ප්ලෑන් එක. ඔන්න ඉතින් එදා මගෙ 21 වෙනි ජන්ම දිනය නිමිති කොටගෙන මතක අමතක නොවෙන අපේ ගමන පටන්ගත්තා.

උදේම අපි තරුකගෙ වෑන් කට්ටෙ නැගල නුවරඑළියට ඇවිත් කෙලින්ම හෝර්ටන් තැන්නට ආවා. පුදුම සීතලක්. කිටි කිටියෙ වෙව්ලනවා. වැස්සත් මදිවට කෑලි කපන මීදුම. කොහොමහරි අපි දවසම ඇවිදල හවස් වෙද්දී පුබ්බාගෙ මාමාලගෙ ගෙදරට යන්න පටන් ගත්තා. රෑ කළුවරේ මීදුමත් එක්ක පාර පේන්නෙත් නැති තරම්. තරුකයා කොහෙ එලවනවද මන්ද. පුබ්බත් පිස්සෙක් වගෙ පාර කියනවා. පොරටත් හරි මතකයක් නෑ. ඌත් පොඩි කාලෙ ආවත් හරි අයෙ මෙහෙ ඇවිත් නෑ කියද්දි නන් අපි සෙට් එකටම ස්මයිල් ඉන් පේන් අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වුණා. පාරත් වරද්ද ගෙන අන්තිමේ කොහොමහරි තැනට අපි සෙට් වුණා. ඒත් අපි එනවා කියල තියෙද්දිත් කිසිම හැලහොල්මනක් නෑ. මාමණ්ඩියට අපිව අමතක වුණාවත්ද? මායි පුබ්බයි රූපෙයි වෑන් එකෙන් බැහැල ඇවිදන් ගියා. ගේට්ටුව ගාව මුරට අන්කල් කෙනෙක් ඉන්නවා. හප්පේ ඇති යන්තන්. “ආ මේ සුමනෙ අන්කල්නේ. කොහොමද ඉතින් අපෙ මාමා ඉන්නවානේ” අපෙ පුබ්බා ඔන්න කතාවට ඇල්ලුනා. “මහත්තයා ඉන්නවා දරුවො. ඇතුලට ගියා නන් ” අන්කලුත් අනිත් පැත්තට කියනවා. වැඩි කතාවක් නෑ වගේ. මූනෙ තිබුනෙත් සැක මුසු බැල්මක්. කමක් නෑ අන්කල්ට දැන් වයසයිත්නෙ.

පුබ්බාවත් කොහොමත් මතක නැතුව ඇති. අපිත් ඉතින් ලොකු කතාවක් නැතුව ශේප් එකේ වාහනෙත් ඇතුලට දාලා බඩුත් උස්සන් ගේ දොර ගාවට ගියා. බෙල් එක ගැහුවට වැඩක් නෑ. කරන්ට් නෑ වගේ. නිකමට දොර තල්ලු කරද්දි මෙන්න බොලේ දොර ඇරුනනේ. මරු. මාමාත් පේන්න නෑ. අන්කල්ගෙන් අහන්න යනකොට එයත් නෑ. කොහෙට චුත වුණාද මන්ද. මේ වැස්සෙ ආයෙ එළි බහින්නත් බැරි එකේ ඕනෙ එකක් කියල අපි ගියා ඇතුලට.

මාමාට කෝල්ස් ගත්තත් සිග්නල් ප්‍රශ්නෙත් එක්ක අපිට කතා කරන්න විදිහක් තිබුනෙ නෑ. අපිත් කළුවරේ ටෝච් ගහගෙන ඔහේ ඇවිදන් ගියා. පේන හැටියට නම් මාමා තියා මිනිස් පුළුටක් මේකෙ අවුරුදු ගානකින් පස් පාගල නෑ වගේ. දැන්නම් හීන් බයකුත් නැත්තෙම නෑ. එකපාරටම ආව හුළං පාරකට දඩෝං ගාලා ජනේලයක් වැහුනා. බය වුන පාර අපි ඔක්කොම එළියට පනින්න බලාගෙන දොර ළග. නියමයි. දොර ඇරෙන්නෙත් නෑ. මේ මොකක්ද මේ වුණේ? හැමෝම කන්ෆියුස්. අපි මේකෙ හිරවෙලා.

කතා කරල වැඩක් නෑ. ඔක්කොම පුබ්බව කන්න හදනවා. මොකෝ උන්දැගෙ වැරැද්දනේ. දැන් ඉතින් වැස්සත් එක්ක වෙන කොරන්න දේකුත් නෑ. වැස්ස තුනී වෙනකන්වත් අපිට ඉන්න වෙනවා මොනවා කරන්නත්.  මැරෙන්න බඩගින්නෙ හිටපු අපි ඉතිරි වෙලා තිබ්බ කෑම ටිකක් අරන් හපන්න ගත්තා. ඒ අතරෙ සක්කයි මමයි ගියා කුස්සියට වතුර ටිකක් ගන්න. සතුට යනු වතුර පොදක්වත් නැති වීමයි. දෙන්නම හූල්ල හූල්ල අනිත් පැත්තට එන්න හදනකොට මං දැක්ක රමෝද් කුස්සියට එහා පැත්තෙ කාමරේට යනවා වගෙ. පොර බඩු තියන්න යන්න ඇත්තෙ. මං එහෙම හිතුවා. ඒත් ආයෙත් සාලෙට එනකොට රමෝද් සාලෙ. ඒ මොකක්ද ඒ වුනේ? මට මනස්ගාතද කොහෙද.

ඒ අස්සෙ කට්ටිය නැව ගිලුනත් බෑන් චූන් කියලා බර්ත්ඩේ කේක් කපන්නයි ලෑස්තිය. කේක් එක කපල කෑල්ලකුත් කකා අපි කතාවක් දාගෙන ඉන්නවා.මහන්සි නිසා තරුකයා අපි කෝකටත් කියල ගෙනාව ස්ලීපින් බෑග්ස් දිගෑරගෙන පොඩි නින්දක් දාන්න යන්නෙ.
අපි නන් ඇහැරලා. වැස්සෙ අඩුවකුත් නෑ. මොනවා කරන්නද කියල තේරුමකුත් නෑ. ඔහේ ඉන්න එකේ කට්ටිය කාඩ් අතක් සෙල්ලං කරන්න ගත්තා.

හොදටම සීතලයි. අඩ නින්දෙන් වගේ හිටපු මට බිම නිදාගෙන හිටපු තරුකයා බිම දිගේ ඇදිල යනවා වගේ පේනවා. අනිත් කට්ටිය පේන්නවත් නෑ.  “අම්මෝහ් බේරගනියෝ” තරුක කෑගනවා. මම තරුකව අල්ලගන්න නැගිටින්න හැදුවත් මට හෙලවෙන්නවත් බෑ. ඒත් එකපාරටම කවුදෝ මගේ කනට ගැහුවා. හුම් ඒක හීනයක්. මට නින්දක් ගිහිල්ලා කෑ ගහද්දි සක්කා මට පාරක් ගහලා. දාඩියත් ගලනවා. ඒ අස්සේ රමෝද්ගෙ අත්වල පළු වගයක් දාල රතු වෙලා. කෑමවල ප්‍රශ්නයක් නිසාද මන්ද. ටික වෙලාවකින් රූපෙගෙත් ඒ විදිහට අත් රතුවෙන්න ගත්තා. හැමෝම කලබල වෙලා කරගන්න දෙයක් නැතුව.

මායි පුබ්බයි නැගිටලා ගියා තවත් දොරක් තියේද බලන්න. දැන් නන් වැස්සත් පායල නිසා අපිට ඕනෙ වුනේ මෙහෙන් කොහොමහරි පැනගන්න. යන අතරෙදි තමා අපි දැක්කෙ කට්ට කළු පූසෙක්ව. පූසා ගේ ඇතුලට ආවා නන් තවත් ඇරපු දොරක් ඇති කියල හිතපු අපි ඌ පස්සෙන් ඇවිදන් ආවා. ඌ ගියෙ කාමරයක් ඇතුලට. ඒක ස්ටෝර් කාමරයක්. අපි එතන තිබ්බ ඉටිපන්දම් වගයක් අරන් දල්වගෙන බලද්දි හිටපු පූසා නෑ. දැන් නම් අපි දෙන්නටම අමුතු බයක් දැනෙන්න ගත්තා. හරිම මූසල පාළු ගේක තනිවෙලා කියන හැගීම දැනෙද්දි හිරිගඩු පිපෙනවා. ස්ටොර් කාමරේ තිබ්බ පොරවකුත් ආරක්ෂාවට අරන් අපි දෙන්නා කාමරෙන් එළියට අඩිය තියනකොටම කවුදෝ කෙදිරි ගානවා වගේ. අපි නැවතුණා. නෑ ඒක කෙදිරීමක් නෙවේ හැඩිල්ලක් ගෑනු කෙනෙක්ගෙ. නිකමට වගේ පුබ්බා පිටිපස්සට හැරුණා. මගේ ෂර්ට් එකෙන් ඇදල මාවත් ඒ පැත්තට හැරෙව්වා. පොරට කතා කරගන්න බෑ. එහෙම වෙන එක සාධාරණයි. එතකොටයි මාත් දැක්කෙ. ගෑණු කෙනෙක් ජනේලෙකින් එළිය බලාගෙන ඉදගෙන ඉන්නවා.
දෙයියෝ සාක්කි! අපි දෙන්නටම මෙලෝ සිහියක් නැති වුණා. දුවගෙන ගිහින් අනිත් එවුනුත් ඇදගෙන ලී දොරට ගැහුවා පොරවෙන් දොරේ අගුල කැඩෙන්නම. දොරත් කඩාගෙන අපි ඔක්කොම ගිහින් වෑන් එකේ. කලබලේට පුබ්බා වාහනේ අරගෙන වහලා තිබ්බා ගේට්ටුවෙත් වද්දගෙන පාරට දැම්මේ.

ඒ අතරේ මෙලෝ තේරුමක් නැති අපෙ සෙට් එකට මන් සිද්ධිය තේරුම් කරනවා. අපි ආපු වේගෙන්ම මහ පාරට ආයෙත් වාහනේ දැම්මා. එතකොටයි දැක්කෙ මාමා අපිව හොයන්න වාහනෙත් ඇරන් පාරට ඇවිත් ඉන්නවා.

පස්සෙ දැනගත්ත විදිහට අපි ගිහින් තිබුනෙ වැරදි ගෙදරකට. ඒක අවුරුදු ගානක ඉදන් අතෑරපු ගෙදරක්ලු.  ඒ කාලෙ මාමාගෙ ගෙදරින් අයින් වුණාට පස්සෙ  සුමනෙ අන්කල් ඒ ගෙදර මුරකාරය විදිහට ඉදල. ඒත් එයා මීට අවුරුදු 5කට කලින් නැති වෙලා. එයාගෙ මරණයත් අභිරහසක්.  ඒ මදිවට ගෙදර ගැනත් එක එක කටකතා තියෙනවා කියල තමා කියන්නෙ. අපිට නන් ඒ කතා අත්දකින්නම හම්බුණා ඕං. ඒ වගේ උපන්දින තෑග්ගක් නන් මට ජීවිතේට අමතක නොවේවි.

 

-Chathurika Abeysekara –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!