අකවුන්ටින් ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
උසස් පෙළ මං කලේ වාණිජ විෂයධාරාවෙන්. මුලින් වෙන ඉස්කෝලෙකට ගිහින් වෙන මොනා හරි කරනවා කියල වැනි වැනි හිටියත් පස්සෙ ඉතින් අවුරුදු 11ක්ම හිටපු තැන ඉතුරු අවුරුදු 2ත් ඔන්න ඔහෙ ඉන්නවා කියලා හිතාගෙන මම හැමෝගෙම සුන්දරී වගේ වෙච්ච කොමර්ස් කරන්න හිතාගත්තා.
කොමර්ස් කරන එක මට ප්රශ්නයක් උනේ නෑ. හැබැයි ලොකුම පරහට තිබ්බෙ ගිණුම්කරණය. මොන එකක් හින්දද මන්දා මට ඔය පැත්ත දිරවගන්නම බැරිව හිටියෙ උසස් පෙළ පන්ති පටන් ගන්නත් කලින් ඉඳන්ම. කොටින්ම කියනවා නම් මං විභාගෙට මාස 6 විතර වෙනකනුත් හර බැර දෙක දැනගෙන හිටියෙ නෑ කිව්වොත් ඒක බොරුවක් නෙමෙයි. මොකද මං සාමාන්ය පෙළට පළවෙනි කාණ්ඩ විශයන්ගෙන් කරන්න තෝරගත්තෙත් භූගෝල විද්යාව නිසා ඒ මට්ටමින් ලැබෙන අවබෝධෙත් මට තිබ්බෙ නෑ.
ඉතින් කොහොම හරි මම කොමර්ස් තෝරගෙන පළමු වාරේ කරගෙන ගියා. මෙලෝ දෙයක් තේරුනේ නැති වෙන්න ප්රධානම හේතුව උනේ මං හිතන විදියට විෂයට තිබ්බ අකමැත්තම තමා. පළමු වාරෙ ගිණුම්කරණයට ලකුනු තිබ්බෙ 19යි ද කොහෙද. අනිත් විෂයන්ට සාමාන්යයෙන් ඉහළ ලකුණු තිබුනා. ඉතින් අර අඩු ලකුණු වල ආනුභාවයෙන් මට ගිණුම්කරණයට අමතර පංතියකට යන්න වුනා.
ප්රසිද්ධ ගුරුවරු කීපදෙනෙක්ම ලැයිස්තුවෙ හිටියත් ඒ ගොඩක් පන්ති විශාල සිසුන් පිරිසකට එකවර උගන්නන Mass Class වර්ගයේ ඒවා. ඉතින් එහෙම පංතියක තනි ළමයෙකුට අවධානයක් යොමු වෙන්නෙම නැති තරම් නෙ. ඒ නිසා මමත් අම්මට කිව්වේ සාමාන්ය ළමයි ප්රමාණයක් ඉන්න කණ්ඩායම් පංතියකට යන එක සුදුසුයි කියන එක. මොකද මගෙ දැනුම් මට්ටමත් එක්ක අර වගේ පංතියකට නිකරුනේ මූල්යමය ආධාර දෙන්න අවශ්යතාවයක් අපිට තිබුනේ නැ.
ඉතින් අපෙ අම්මාගෙ මහා ඔත්තු සේවයෙන් එක ගුරුවරයෙක් ගැන කන වැටිලා තිබ්බා කඩුවෙල පැත්තෙ උගන්නපු. තව තැන් කිහිපයකත් පංති කරගෙන ගිය එතුමා ඒ දවස් වල (තාමත් එහෙම වෙන්න ඇති) ටියුශන් ක්ෂේත්රයේ නම ගිය කෙනෙක්. හැබැයි මේ මනුස්සයා පුදුම රළු විදියට ඉගැන්වීම් කරපු කෙනෙක්. පොත් විසික් කරන, පංතිය මැද්දෙ හෙන ගහනවා වගේ බනින කෙනෙක්. මේ හේතුව විතරයි මට ඔය පංතියට නොයන්න හේතුවකට තිබ්බෙ. කරුමෙට අපෙ අම්මටත් ඒ මනුස්සයගෙ පංතියටම මාව යවන්න ඕනි උනා.
ඔන්න මං ඒ පංතියට බැඳිලා පළවෙනි දවසෙ නම් මට මුකුත් කිව්වෙ නෑ එතුමා. මොකද මං අලුත් නෙ. පළවෙනි දවසෙ කියලා දීපුවා මට නෝතේරුනෙත් නෑ තේරුනෙත් නෑ. හැබැයි ගෙදර වැඩ ටික කරගෙන ගියා ඊළඟ දවසේ යද්දි. දෙවෙනි දවසේ නම් කියපුව මට මෙලෝ දෙයක් තේරුනේ නෑ. ළමයි අඳුරන්නෙත් නෑ, සර්රුත් සැර නිසා මං ප්රශ්නයක්වත් ඇහුවෙ නෑ. ඒ පංතියට එන ඉස්කෝලෙ ළමයෙක්ගෙන් බලාගෙන දීපු වැඩ ටික කරන් ගියා. එදත් හිමීට ශේප් උනා.
හැබැයි මාසෙ ඉතුරු දවස් දෙක යද්දි මට මනුස්සයවයි, ඒ පංතියෙ තියෙන පරිසරයයි එපා උනා. අම්මටත් කිව්වා. හැබැයි අම්මා කිව්වෙ තව එක මාසයක් ගිහින් බලන්නකො කෝකටත් කියලා. ඉතින් මං ඊළඟ මාසෙත් පළවෙනි දවසෙ සල්ලි ගෙවලා යන්නන්වාලෙ පංති ගියා.
අන්න එදා මොකක්හරි නිසා මේ සර්තුමා මට මොකක් හරි කිව්වා. හදපු ගානක් වැරදිලා හරි මොකක් හරි නිසා. හිතේ තිබ්බ අකමැත්ත නිසා මට ඒක දැනුනෙ නිකන් හෙනයක් ගැහුවා වගේ. හැබැයි මට මතක විදියට ඒ සර්තුමා මට ලොකුවට මුකුත් කිව්වෙ නෑ. හැබැයි පංතිය ප්රතික්ෂේප කරන්න ගහපු පිඹුරුපත් ටික වැඩට ගන්න මට ඕනි කරන ගැම්ම ඒ සිද්ධියෙන් ආවා.
ඊළඟ සතියෙ ගෙදරින් ගියා. පංතිය ළඟින් බැස්සා. පංතිය පැය දෙකයිනෙ. ඒ වෙලාවෙ එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියා. ගෙදර ගියා. ගෙදර ගිහින් අම්මට කිව්වා මට බෑ ඒ පංතියට යන්න කියලා. අම්මගෙ උත්තරේ උනේ දැන් ඉතින් සල්ලිත් ගෙවපු නිසා මේ මාසෙ විතරක් යන්න කියලා. හරියට මං බලෙන් සල්ලි ඉල්ලන් ගෙව්වා වගේ.
ඊළඟ දවසෙත් ගෙදරින් ගියා. මේ කියන්නෙ මාසෙ තුන් වෙනි පංති දවස. කඩුවෙල පැත්තෙ ටිකක් ඇවිද්දා. මම තනියම නිසා කම්මැලියි. ආවා බස් එකේ නැගලා මාලබේ පැත්තට. ඇවිල්ලා ඇවිදින මංතීරුවක ඇවිද ඇවිද ඉඳලා මොනාද කාලා පයින්ම ඇවිදගෙන ගෙදර ගියා. වෙලාව බලලා ගානට හවස 6.30 වගේ වෙද්දි ගෙදරට සැපත් වෙලා චූන් එකේ හිටියා. මොකද මට මේ වික්රමය කරන්න තියෙන්නෙ තව එක දවසයි.
ඉතින් එදා දවසත් උදා උනා. වෙනදට නම් දවසම මූසල වෙලා පේන්නෙ මට හවස අර පංතියට බඩගාන්න වෙන නිසා. හැබැයි අද එහෙම නෑ. මං ඒ පංතියෙන් ගැලවෙන දවස අද. හරිම ලස්සන ලෝකයක් තමයි මගේ වටේ තියෙන්නෙ කියන එක එදා මගෙ මනසට කාවැදිලා තිබ්බෙ.
ඉතින් හවස ඉස්කෝලෙන් ගෙදර ඇවිත් නාන්න හදද්දි අපෙ අම්ම ගමනක් යන්න ලෑස්ති වෙලා. කොහෙද යන්නෙ කියල ඇහුවම කඩුවෙල බැංකුවට යනවා කිව්වා. ඒ ගිහින් ඒ ගමන්ම සර්ටත් කතා කරලා පංතියෙන් අයින් වෙමු කියලා තමා අම්මා කියන්නෙ.
ඒ රුවන් වැකියත් එක්ක මගේ සුන්දර දවස සම්පූර්ණෙන් අනිත් පැත්ත ගැහුනා. මල මගුලක් නෙ මේ උනේ කියලා මට එවෙලෙම හිතුනා. මොකද කලින් දවස් දෙකේ පංති ආවයි කියලා බොරුවක් කියන්න බෑ ඒ සර්තුමාට හොඳට මතකයි පංති ආපු උන් කවුද, ආපු නැති උන් කවුද කියලා.
දන්නා දෙයියන් බුදුන් සිහි කර කර අඩි තිය තිය මං පංතියට ගියා. යනකොටත් අම්මා කාඩ් මාක් කරන ගෑනු කෙනා ළඟ ඉන්නවා. මෝඩ මම ගිහින් කාඩ් එක මාක් කරන්න දුන්නම කලින් දවස් දෙකම කාඩ් මාක් කරලා නෑ. මට ඒක කරන්න අමතක වෙලා. ඒ ගෑනු කෙනා මගෙන් ඇහුවම මං මේ ලෝකේ මෝඩම බොරුව කිව්වා.
“කලින් දවස් දෙකෙ පරක්කු වෙලා ආපු හින්දා කාඩ් මාර්ක් නොකරම පංතියට යැව්වා” හරිම මෝඩයි. මං බොරුවක් කිව්වෙ කියලා ඒ ගෑනු කෙනාටත් හොඳටම තේරුනා මං හිතන්නෙ.
ඒ ගෑනු කෙනාගෙනුයි අම්මගෙනුයි ලිස්සලා මං ගියා පංතියට. ඉස්සරහම පේලියක ඉඩක් ඉතුරු වෙලා තිබ්බා. සර්තුමා පංතිය පටං අරන් තිබුනෙ. මාව දැකපු ගමන් එතුමා,
“ඔයා ගිය සති දෙකේම ආවෙ නෑ නේද ? ” කියලා ළඟට ඇවිල්ලා ඇහුවා.
කොහෙන් හරි ආපු හයියකින් මාත් කිව්ව,
“සර් මට ටිකක් කතා කරන්න ඕනි.” කියලා
“අහ් හරි පුතා” කියලා පංතියට ගානක් හදන්න දීලා සර්තුමා මාව පංතියෙන් එලියට අරන් ගියා. සර්තුමා කතා කරන්න කලින්ම මං පටං අරන් කියෝගෙන ගියා.
“සර් මට මේ පංතියේ කියලා දෙන කිසි දෙයක් තේරෙන්නෙ නෑ. ගෙදරින් එවපු නිසා ආවා. කැමැත්තක් නැතුව ඇවිල්ලා වැඩක් නෑ නෙ සර්” කියලා. තව ඔය වගේ මොන මොනාදෝත් කිව්වා මට මතකයි.
පංති ආපු නැති දවස් දෙක ගැනත් ඇත්තම කියලා දැම්මා. සර්තුමා කිසි දෙයක් නොකියා අහං හිටියා. ඉඳලා කිව්වා යංකො එහෙනම් අම්මට කතා කරන්න කියලා. ඒ ඇවිත් එතුමත් කිව්වා පුතා අකමැත්තෙන් පංතියට එවන්න එපා. එයා කැමති පංතියකට දාන්න කියලා තවත් පැහැදිලි කරලා කිව්වා. මට හිතාගන්න බැරිව හිටියෙ අර යක්ශයා වගේ මනුස්සයා එතනදි හිටිය විදිය. ඊටපස්සෙ මං එදා දවස පංතියෙත් හිටියා. පුදුමෙ කියන්නෙ එදා පංතියේ කියලා දීපු දේවල් මට හොඳට මතක හිටියා.
පංතියෙන් බේරිලා ගෙදර ආවමත් නඩුව ඉහළ උසාවියට නොදා බේරගන්න අම්මා කටයුතු කරලා තිබ්බා.
පසුව මාව ඉතාමත් කරුණාවන්ත ගුරුමහත්මියකගෙ පංතියකට යැව්වා මගේ යාලුවෙක් එක්ක. එතුමිය නිසා අප්පිරියාවෙන් හිටිය අකවුන්ටින් වැඩේ කොහොම හරි ගොඩ දාගන්න පුලුවන් උනා. ඒකෙ ගෞරවය අර සර්තුමාටත් දෙන්න ඕනි මොකද මාව තේරුම් අරන් සාවදානව අහන් හිටිය නිසා. හැබැයි විශ්වවිද්යාල ජීවීතෙන් පසුව අදටත් මං අකවුන්ටින් වලට අකමැතියි මොකද මට විශ්වවිද්යාලයෙත් හැමදාම අඩු ළකුණු තිබ්බේ අකවුන්ටින් වලට නිසා.
පිංතූරය අන්තර්ජාලයෙන්..
උපුටා ගැනීම: Pawantha Perera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!