අදටත් ලොව මවිත කරන සොරබොර වැවේ විස්මිත තාක්ෂණය (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

හෙළදීපයේ අපේ විශිෂ්ඨයන් කළ අපූරු නිර්මාණ අතුරින් වාරි කර්මාන්ත එවැනි එක් නිර්මාණයක් .ඉතින් තාක්ෂණික දියුණුවක් අද වගේ නොතිබුණත් අද ඉංජිනේරුවන් මවිතයට පත් කරන්නට තරම් සමත් තාක්ෂණික උපක්‍රම යොදගෙන මේ වාරි කර්මාන්ත කර තිබෙන බව අදටත් ඒවා නිරීක්ෂණයෙන් දකින්නට  පුළුවන්. ඉතින් ලංකාවේ වාරි කර්මාන්ත අතරින් වැඩි වශයෙන් කතාබහට ලක්වෙන අපූරු වාරි කර්මාන්තයක් තමයි සොරබොර වැව කියන්නේ.මහියංගන සෑ රදුන් වැද පුදා ගන්නට යද්දි සැවොම අමතක නොකර දකින්නට යන තැනක් තමයි මේ සොරබොර වැව.ඉතින් සොරබොර වැව ගැන ප්‍රකට ජනකතාවක් පැවතෙනවා. ඉතින් සොරබොර වැව නිර්මාණය කළේ බුලතා යෝධයා කියලත් නොදන්නා අයෙක් නැහැ.

දුටුගැමුණු රජතුමාගේ කාලයේදී එළාර රජුගේ ද්‍රවිඩ සේනාවන් මහියංගන සෑයේ නිදන් වස්තු මංකොල්ලයට පැමිණියා. ඒ වගේම ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී මේ ද්‍රවිඩ පිරිස් “ඡත්ත ” කියන ද්‍රවිඩ නායකයෙක් යටතේ මහියංගනයේ තමන්ගේ බලය ස්ථාපිත කරගත්තා. මේ අවස්ථාවේ දුටුගැමුණු රජතුමා මේ ඡත්ත ඇතුළු පිරිස පලවා හැරලා මහියංගන නගරය ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කළා. දුටුගැමුණු රජුට ඕන කර තිබුණේ මේ මහියංගන සෑය අසූ රියන් උසට නිර්මාණය කරන්නට. ඉතින් මේ කටයුතු නිසාම රජතුමා මහියංගනයේ තාවකාලික මාලිගයක කලක් වාසය කළා. ඒ කාලයේදී දුටුගැමුණු රජුට බුලත් මෙහෙවැඩීම භාරවුණේ උඩුදුම්බර ප්‍රදේශයේ කිරිපට්ටිය කුඩා ගමක ජීවත්වුණු සිටි එක්තරා කාය බල ඇති දේහදාරි පුරුෂයෙක්ට. මේ රාජකාරිය නිසාම ඔහු පසුව බුලතා නමින් හැඳින්වුවා.

ඔහු නිසි පරිදි තමන්ගේ රාජකාරිය සිදුකර අතරේ විවේක අවස්ථාවල අවට සංචාරය කිරීම පුරුද්දක් කොට ගත්තා. මෙසේ සංචාරය කරන අතරේ දිනක් බුලතා මහියංගනයට උතුරින් පිහිටි අපූරු සුන්දර දසුනක් දුටුවා. ගල් කඳු දෙකක් අතර පිහිටි පහත්බිම් අතරින් විශාල “හද්දත්තා ඔය” දුටු ඔහුට එහි සුන්දරවයට එහා ගිය අපූරු නිර්මාණාත්මක සිතුවිල්ලක් ඇතිවුණා. මේ කඳුවැටි දෙක යා කරමින් වේල්ලක් බැන්දොත් එයින් නිර්මාණය වන වැවෙන් සරුසාර කෙත්වතු රැසක් අස්වැද්දිය හැකි බව ඔහුගේ මනසේ සිතුවම් වුණා. එකල හෙළයා දීන කම්මැලි ජාතියක් වුණේ නැහැ. තමන්ට රටට වෙනුවෙන් කළ හැකි දෙයක් අවංකව කරන්නට උත්සුක වුණා. ඔවුන් එසේ නොසිතුවා නම් අද මෙවැනි විස්මිත අපූරු නිර්මාණ අපිට දකින්නට ලැබෙන්නේ නැහැ නේ.

කොහොමවුණත් බුලතාට මැවුණු ඒ අපූරු වාරි සැලැස්ම ක්‍රියාවට නගන්නට ඔහුට අපහසුවක් වුනේ නැහැ. මොකද ඔහුට අසීමිත කාය බලයක් හිමිව තිබුණු නිසා. කොහොමහරි සෑම බුලත් මෙහෙවර දෙකක් අතරතුරම ඔහු සිය උදැල්ලත්, පස් කූඩයත් රැගෙන ඔහුගේ වාරි කටයුත්ත වෙනුවෙන් වැඩ කළා. ඔහුගේ උදැල්ල සාමාන්‍ය  පුද්ගලයන් තිදෙනෙකුටවත් ඔසවන්නට අපහසු එකක්. ඒ වගේම තමයි ඔහු පස් අදින කූඩයෙන් ඔහු වරකට ගෙන යන්නේ මිනිසුන් 20-25ක් ඔසවන තරමේ පස් ප්‍රමාණයක්. ඉතින් බුලතා සිය වාරි කටයුත්ත වගේම රාජකාරියත් සමබරව කරගෙන ගියා.

ඒ අතරේ පස් කපමින් ගල් කඳු දෙක අතර පුරවා හොඳින් පාගා ශක්තිමත්ව වේල්ල ඉදිකළා. ඉන්පසුව ඔහු අවධානය යොමුකළේ සොරොව්ව සහ ජල පැන්නුම කෙරෙහියි.

සොරබොර වැව් සොරොව්ව-සොරබොර වැව ගැන කතා කරද්දි එහි සොරොව්ව ගැන විශේෂයෙන්ම කතා කළ යුතුයි. මොකද එදා බුලතා විසින් නිර්මාණය කළ ඒ සොරොව්ව අදටත් ලෝකයේ අති දක්ෂ ඉංජිනේරුවන් පවා මවිතයට පත් කරන්නට තරම් සමත් වන නිසා. සොරබොර වැවට ලොව වාරි කර්මාන්තයන් අතුරින් අද්විතීය ස්ථානයක් හිමිවෙන්නට ප්‍රමුඛ සාධකය වී තියෙන්නේ ද මේ සොරොව්වේ අපූරු තාක්ෂණයයි.

මේ වැව් කණ්ඩියේ කෙළවර විශාල ගල් පර්වතයන් වූ නිසාවෙන් මෑත කෙළවරේ පිහිටි ගල කපා හාරා මොහු විසින් සාදන ලද වැවේ සොරොව්ව තරම් අග්‍රගන්‍ය  විශිෂ්ඨ නිර්මාණයක් තවත් නැති තරම්. තාක්ෂණය එතරම් දියුණු මට්ටමක නොතිබුණා යැයි පැවසෙන කාලයකදී තනිවම මෙවැනි සුවිසල් කටයුත්තක් සිදු කිරීම සැබැවින්ම විස්මයජනකයි.

එහිදී ඉතා අධික පීඩනයකින් ජලය ඉවතට පිට කරන්නට මේ සොරොව්ව නිර්මාණයට කළු ගල් පර්වතය මැදින් කැපුම සිදු කරන්නටත් ඔහු හරි අපූරු ක්‍රමයක් භාවිතා කර තිබුණා. ජනප්‍රවාදයේ සඳහන් වෙන ආකාරයට විශේෂ ශාක කිහිපයකින් ලබාගත් යුෂ උපයෝගී කරගනිමින් කළු ගල් උණුකළ හැකි ආකාරය විශේෂ සංයෝගයක් සාදා ඒ සඳහා භාවිතා කළ බව පැවසෙනවා.ඒ සංයෝගය ගල මතුපිට අතුරා එයින් මේ  විශාල කළු ගල් මෙළෙක් කර ඉන්පසුව උදැල්ලෙන් පස් කපන ආකාරයෙන් ඒ ගල කපා ඉවත් කළ බවයි කියවෙන්නේ. ඉතින් මෑත කෙළවරේ ගල එසේ හාරාගෙන එයින් සොරොව්ව නිර්මාණය කර වැවෙහි අතිරික්ත ජලය බැස යන්නට ඈත කෙළවරේ වූ ගල හාරා දිය පැන්නුම සකස් කර තිබුණා. ඒ අනුව ස්වාභාවිකව පිහිටි ගල් පර්වතයක සොරොව්ව ඉදිකිරීමට යොදාගෙන ඇති මේ තාක්ෂණය සහිත ලංකාවේ එකම නිර්මාණය වන්නේ ද මේ සොරබොර වැවයි.

සිරාගෙ කාමරේ: බුලතා සෙනෙවියා සහ සොරබොර වැව

කුලු වැව් 3-සොරබොර වැවේ සොරොව්ව හැරුණාම අනෙකුත් වැවක තිබිය යුතු සියලුම අංග ඉහළ තාක්ෂණික ඥානයක් භාවිතයෙන් නිර්මාණය කරන්නට බුලතා සමත්ව තියෙනවා.

ඉතින් මෙහිදී සොරබොර වැවේ ඉහත්තාව නැත්නම් ජල පෝෂක ප්‍රදේශයෙන් එන ජලය කුලු වැව් නමින් හඳුන්වන කුඩ වැව් 3 ක් හරහා පැමිණෙන අතර එහිදී පළමුවැනි වැව පිටාර ගලද්දී දෙවනි වැවටත්, දෙවනි වැව පිටාර ගලද්දී තුන්වැනි වැවටත්, තුන්වැනි වැව පිටාර ගලද්දි සොරබොර වැවටත් මේ ජලය එකතු වෙන ආකාරයෙන් සකස්ව තිබුණා. මේ කුලු වැව් තුන මගින් සුවිසල් කාර්යබාරයක් ඉටුකෙරෙනු ලබනවා. විශේෂයෙන්ම කඳු සේදීයාමෙන් වැසි ජලයට මඩ ආදිය එකතුවෙනවා. එහිදී මේ කුළු වැව් තුන හරහා ඒ ජලය ගමන් කිරීමේදී සොරබොර වැවට මඩ එකතුවීම අවම වෙනවා.

ඒ හැරුණාම සොරබොර වැවේ යම් තරමින් හෝ එකතුවෙන මඩ ජලය  සමඟ ගමන් කිරීමේදී සොරොව්වේ අධික පීඩනය නිසා බිසෝ කොටුව සහ සොරොව්ව ඉවතට ගලා යන අතර ඒ මඩ ඇළ මාර්ග දිගේ ගමන් කර පසුව කුඹුරු මත තැන්පත්වීමෙන් පොහොර යෙදීමක් නැතුවම කුඹුරු සාරවත් වෙනවා.

  • ඉතින් මේ සොරබොර වැවේ උපරිම ජල ධාරිතාවය අක්කර අඩි 16 800
  • වැව් බැම්මේ දිග අඩි 1590
  • වැව් බැම්මේ පළල අඩි 20

ඉතින් බුලතා මේ වාරි කර්මාන්තයේ වැඩ අවසන් කරද්දිම දුටුගැමුණු රජු මහියංගන දාගැබේ වැඩ අවසන් කළා. මහියංගන සෑයට කොත් පැළදවීමේ උත්සවයෙන් පසුව බුලතා දුටුගැමුණු රජුට ආරාධනා කළේ මා බැන්ද වැව් පොඩ්ඩ දකින්නට එන ලෙසයි. ඉතින් ඒ සුවිසල් අපූරු වැව දුටු රජු මහත් සතුටට පත්ව ඒ සඳහා උදව් කීදෙනෙක්ගෙන් ලබාගත්තේ ද යන්න විමසා සිටියා. “දේවයන් වහන්ස මා සප්‍රාණික කිසිවෙක්ගේ සහාය ලබා නොගත්තෙමි. මට සහය ලැබුණේ මේ හතරදෙනාගෙන් ” යැයි පවසා පසෙක තිබූ උදැල්ලත්, කූඩයත්, කටුව සහ මිටියත් රජුට පෙන්වා සිටියා.

මේ සොරබොර වැව 1870 දී ඉංග්‍රීසීන් විසින් ප්‍රතිසංස්කරණය කර තියෙනවා. ඒ වගේම ඉංජිනේරු ජෝන්බෙලීට ලංකාවේ ක්‍රියාත්මක වුණු බදු ක්‍රම, හෝපිටිගම වෙළඳ නගරයේ ජනතාවගෙන් පීඩාකාරි ලෙස බදු එකතු කිරීම් ආදිය තහනම් කරන්නට පැනවූ නියෝග ගැනත් සඳහන් වෙන සෙල්ලිපියක් හමුව තියෙනවා.එය 4 වන උදය රජ්ජුරුවන්ගේ කාලයේ ලියැවුණු එකක් කියලයි  සඳහන් වෙන්නේ.

මේ සොරොබොර වැව ගැන වාරි ඉංජිනේරුවරයෙක්ව සිටි ආර්. එල්. බ්‍රෝහියර් පවා සිය ග්‍රන්ථයන්හි සඳහන් කර තියෙනවා.“ මහත් ජලස්කන්ධයක් ඇති සොරබොර වැව අලුත්නුවර ඊසාන දිගින් පිහිටියේ ය. පුරාණයේ නොඅනුමානව ඉතා විශාලව තිබුණේ යැයි සැලකිය යුතුයි. මේ තටාකය බැඳගැනීමට ස්වාභාවික පිහිටීම් බොහෝ දුරට ඉවහල් විය ” ඒ හැරුණාම එදා සිටම ගීත වගේම ජනකවි බොහෝමයකුත් සොරබොර ආශ්‍රය කොටගෙන නිර්මාණය වෙලා තියෙනවා.

කොහොමවුණත් බුලතාගේ අපූරු වාරි සැලසුම නිසා අද වෙද්දි කුඹුරු අක්කර 3000ක් පෝෂනය වෙනවා. ඒ විතරක් නොවෙයි අද වෙද්දි  බුලතා යෝධයාගේ සොරබොර වැවත් ඒ වැව් ඉස්මත්තත් සංචාරකයන්ගේ ආකර්ශණයට ලක් වූ අපූරු ඉසව්වක් බවට පත්වෙලා.

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!