ඒලෙවල් රිසල්ට්ස් (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක ගොඩක් දිග කතාවක්. පුලුවන් තරම් කෙටි කරලා කියන්නම්. යමක් ගන්න පුලුවන් කෙනෙක්ට මේකෙන් ගන්න දෙවල් ඇති කියලා මම විස්වාස කරනවා.
එදත් අද වගේම දවසක්. හැම අවුරුද්දෙම අද වගේ දවසකදි මටත් හොරෙන් මගේ හිත අතීතයට ඇදිලා යනවා. මට හොදට මතකයි මගේ ඒලෙවල් රිසල්ට්ස් ආපු දවස. මුලු ජීවිතේම කනපිට ගහපු ඒ දවස.
පොඩි කාලෙ ඉදන් ඉගෙන ගන්න මම දක්ශයි. මහලොකු අමතර වෑයමක් නැතුවම මම ඕලෙවල් වෙනකල් ඉගෙන ගත්තා. විභාගෙට අන්තිම සති දෙක තුන වෙනකල් පිස්සු කෙලලා ඒ ටික දවසට පාඩම් කරලා ඒ 8ක් බැස්සුවා. ගමේ ඉස්කොලෙ බෙස්ට් රිසල්ට්ස්. මම නේද ඊට පස්සේ හෙන උඩින් ඉතින්. මගෙ අහිංසක අම්මටයි තාත්තටයි තිබ්බ එකම හීනේ උනේ මාව දොස්තර කෙනෙක් කරන්න. අම්මා ටීචර් කෙනෙක්. තාත්තා රජයේ ලිපිකරුවෙක්. එහෙමට සල්ලි තිබ්බේ නෑ. මගේ සාමාන්ය පෙල ප්රතිපල වලින් අම්මයි තාත්තයි ගොඩක් මං ගැන බලාපොරොත්තු තියා ගත්තා. ඒ ගොල්ලො හිතුවෙම මම දොස්තර කෙනෙක් වෙයි කියලා. දවසක් මම සෙල්ලම් කරලා ගෙදර එද්දී හෙන පොත් ගොඩක් මගේ මේසෙ උඩ. උසස් පෙල බයෝ කරන්න ඕන කරන ඔක්කොම පොත් එතන. රුපියල් පනස් දාහක විතර පොත්. අම්මයි තාත්තයි උදේම කොලබ ගිහින්. අම්මා ඒලෙවල් ලියපු අයියලාගෙන් අහලා ඕන කරන පොත් පත් ලැයිස්තුවක් හදලා අසනීපයක් තිබුනත් වැඩට නොයා නොඉන්න තාත්තවත් එක්කන් කොලඹ හැම තැනම ඇවිදලා පොත් අරන්. ආදර්ශ ප්රශ්න පත්තර පොත් පවා තිබුනා. මොන තරම් ආසාවකින්, බලාපොරොත්තුවකින් ඒ පොත් ලැයිස්තුව හදන්න ඇතිද කියලා ඒ දවස්වල මට තේරුමක් තිබුනේ නෑ. කිලෝගානක බර පොතුත් උස්සන් බස් බඩගාගෙන දවල්ටත් නොකා තෙහෙට්ටුවට ඇදේ ඇලවෙලා හිටපු අම්මගෙයි තාත්තගෙයි මූනු මට අදත් මැවිලා පේනවා. පස්සේ තමයි දන්නේ, නය වෙලා තමයි ඒ පොත් අරන් තිබුනෙත් කියලා. මට ඒ හැටි ගානක් උනේ නෑ. ආසාවට බයෝ පොත් ටිකක් පෙරලල බලලා තිබ්බා. එච්චරයි. ඒ දවස් වල ඉතින් මට, මට වඩා පොරක් හිටියේ නෑ. සේරම දන්නෙ මම තමයි. මට වඩා ලොක්කෙක් නෑ කියන මානසික මට්ටමකට මාව ගෙදරින්, ඉස්කොලෙන් සහ සමාජෙන් ගෙනල්ල තිබුනේ.
ටික දවසකින් ඔන්න ඒ ලෙවල් ක්ලාස් යන්න ගත්තා. ගමේ ඉදං කුරුනෑගල ටවුමට ආවම කරකවල අතෑරියා වගේ. ලමයි 3000ක් විතර ඉන්න ක්ලාස්වල සර්ල මයික් එකෙන් උගන්නන එක මට පට්ට මැජික්. කීර්ති ධර්මසිරි සර් කනේ ගහන මයික් එක දාගෙන උගන්නපු ෆිසික්ස් වලට වඩා ඔලුවට ගියේ කියපු පිටරට විස්තර වලට. පින්නපොල සර්ගේ කෙමෙස්ට්රි වගේම බනත් අරහං වෙන්න එච්චර කල් ගියේ නෑ. සුසන්ත සර්ගේ ක්ලාස් නම් ටිකක් අල්ලලා ගියා. ජිවිතේ පලවෙනි වතාවට ලෝකය හිතුවට වඩා ගොඩක් ලොකුයි කියලා තේරුනා. එක එක ජාතියේ කොල්ලො කෙල්ලො මහ ගොඩක් මැද පට්ට තනිකමක් දැනුනා. කපල් වැහි වැහැලා. කොල්ලො කෙල්ලො එක කුඩේ යට, පාක් එකේ බංකු උඩ, ෆිල්ම් හෝල් වල, වැව රවුමේ එකී මෙකී නොකී හැම තැනම. ඇතුගල පංසලට, බුදු පිලිමේ බලන්න යමු වගේ අහිංසක ඉල්ලීම් වලින් පටන් ගන්න පෙම් ගමන් අන්තිමට නතර වෙන්නෙ රූම් වලින්. ඒවා ඇතුගලට අලුත් දේවල් නෙමෙයි. මිනිස්සුන්ටත් අලුත් දෙවල් නෙමෙයි.
කොහොම හරි පොඩි කට්ටක් කාලා මමත් කෙල්ලෙක් සෙට් කර ගත්තා. මුලින් මුලින් දෙන්නටම ඕනි උනේ ඉගෙන ගන්න. අපි දෙන්නම හොදට එක්සෑම් පාස් වෙලා එකම කැම්පස් එකට යන එක තමයි හීනේ උනේ. ඒත් ඉතින් පහු පහු වෙනකොට ඒවා කැලේ. මගේ රත්තරන් අම්මා උගුර ලේ රහ වෙනකල් ටියුශන් කරලා හොයා ගන්න සොච්චම මගේ අතමිට මොලවනවා. තාත්තාගේ මුලු පඩියම ගේ හදන්න ගත්ත ලෝන් එකට කැපෙනවා. අම්මාගේ ටීචින් පඩියෙනුයි ටියුශන් කරලා හොයා ගත්ත සොච්චමිනුයි තමයි මුලු පවුලම දිව්වේ. මට නංගියි මල්ලිලා දෙන්නයි. ඒ අයගේ වැඩ පවා කල් දාලා අම්මා මට අඩුවක් නොවෙන්න වැඩ කලා. ලොකු මල්ලි ඉස්කොලේ යන්න අලුත් සපත්තු කුට්ටමක් ඉල්ලලා කංකෙදිරි ගාද්දි අම්මා මට ඒ සල්ලි අතමිට මෙලෙව්වා පංති යන්න. මම සල්ලී මදී කියලා මගේ රත්තරන් අම්මටත් පුප්පලා සද්දේ දාලා යනවා සුදු අම්මි බලන්න. එයාට කිසි ලෝබ කමක් නැතුව වියදම් කලේ ඒ සල්ලි. කෙල්ලෙක් වෙලාත් මගේ නංගි කැඩුනු සෙරෙප්පුවෙ පටියට කටුවක් ගහගෙන පංති යද්දි මම ඒවා නොදැක්කා වගේ සුදු අම්මිට ඩෙනිමක් අරන් දෙන්න සල්ලි එකතු කලා. අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න ටෝක් දුන්න මට එක්සෑම් කිට්ටු වෙද්දි තරු පෙනුනා. දිස්ත්රික් රෑන්ක් එකක්වත් දාන්න දැකපු හීනත් කෙලවෙලා ගියේ ඉස්කෝලේ, ක්ලාස්වල විභාග ප්රශ්න දැක්කම. ඔහොම ගිහින් අන්තිමට දෙයියන්ගෙන් ඉල්ලුවේ විෂයන් ටික පාස් කරලා දෙන්න කියලා. කොල්ලො එක්ක කරටි කැඩෙන්න බිව්ව ඒවා, සිගරට් ගගහ කාලේ කාපුවා කෙල්ල එක්ක ලව් කරපුවා ඔක්කොටම හරියන්න ඔන්න රිසල්ට්ස් ආවා. F ම තුනයි! තාත්තාගේ ඔලුවට හෙනයක් වැදුනා වගේ. මගේ අම්මා කොච්චර ඇඩුවද එදා… මම කාලකන්නි මූසලයෙක් වගේ බලං හිටියා. කෙල්ල නම් CSS දාලා ගොඩ ගිහින් හිටියා. වෙනදා හුරතල් වෙන තොදොල් වෙන කෙල්ල ටික ටික වෙනස් වෙනවා දැනුනා. මාව හීමීට මග අරිනවා තේරුනා. තරහවෙලා පැයක් ඉන්න බැරි උන කෙල්ල දැන් තරහ වෙලා වගේ වගක් නැතුව දවස් ගනන් ඉන්නවා. බූට් ලකුනු කෝටියයි. අන්තිමට ආවා මැසේජ් එක.
“මට සමාවෙන්න අයියේ. ඔයා ගොඩක් හොද කෙනෙක්. ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි. බුදු සරනයි. “
ඔච්චරයි. අවුරුදු දෙකක් ලං වෙන්න පුලුවන් තරම් ලං වෙලා, අන්තිමට ඕක තමයි අහගත්තේ. ඊට පස්සේ එයාගේ නම්බර් එක කවදාවත් වැඩ කලේ නෑ. පස්සේ ආරංචි උනා ඕස්ට්රේලියාවේ ඉන්න කොල්ලෙකුට එයාව ප්රොපෝස් කරල කියලා. එයා බැදලා ගිය දවසේ මම පොඩි එකෙක් වගේ ඇඩුවා. මාරවිල බීච් එකට ගිහින් කරටි කැඩෙන්න ගහල ඇතිවෙනකල් ඇඩුවා.
ඔහොම ගෙදරට වාතවෙවී ඉද්දි මටත් රට යන්න ඕනෙ උනා. රට යවන තැන් කීපයකටම වාතවෙලා වැදලා ඔන්න පොටක් පාදගත්තා. ඒත් ලක්ෂ දහයක් ඕනේලු. මම ඒදා ගෙදර ඇවිත් ගේ දෙක කලා සල්ලි ඉල්ලලා. අහිංසක අම්මා ඇස් ලොකු කරන් බලන් හිටියා. අවුරුදු 19ක් කවලා පොවලා පනවගේ හදපු පුතා කෑම එකත් පොලොවෙ ගහලා යකෙක් වගේ හැසිරෙනවා දැකපු අම්මාගේ ඇස්වල මම එදත් දැක්කේ ආදරේ විතරමයි. රට ගිහින් මිනිහෙක් වෙලා ඇවිත් හැමෝටම කොකා පෙන්නන්න තිබුනු ආසාවෙන් මම උමතුවෙලා හිටියේ. ඒත් නය බරින් මිරිකිලා හෙම්බත් වෙලා හිටපු අපිට ලක්ෂ දහයක් කියන්නේ හීනයක්. දුප්පත්කමේ අසරනකමේ වේදනාව දරා ගන්නම බැරි තැන මම ඉස්තෝප්පුවේ කනුවක ඔලුව ගගහා ඇඩුවා. මගෙ රත්තරන් අම්මා පිටිපස්සෙන් ඇවිත් මාව බදාගන්නවා දැනුනා. අප්රමාන මව් සෙනෙහස කදුලු වලින් දියවෙලා තිබුනේ නෑ.
“පුතේ අඩන්න එපා. මම කොහෙං හරි ඕක හොයා දෙන්නං. ඔයා අනිත් වැඩ ලෑස්ති කර ගන්න.”
ඉකිගහන අම්මා කියනවා ඇහුනා.
ගේ ආපහු උකස් උනා. දන්න කියන අයට විතරක් නෙමේ නොදන්න අයට පවා හතර අතේ නය උනා. කොහොමින්හරි ඕන සල්ලි හරි. පාස්පෝර්ට් ඔක්කොමත් හදා ගත්තා. යන්න සෙට් කරගත්තේ ඇමරිකාවට. කෙල්ල ඕස්ට්රේලියා ගිය නිසා මට ඕන උනේ යන්න පුලුවන් උපරිම හොදම රටට යන්න. ඒත් ඇමරිකා යන එක ඉතින් හීනයක්. අපිවගේ උන්ව ලොවෙත් ඇමරිකාවට ගන්නේ නෑ කියලා මම දැනන් හිටියා. ඒජන්සිකාරයා කලේ මෙහෙන් මෙක්සිකෝවට යවලා එහෙන් බෝඩරේ පන්නන්න ලෑස්ති කරන එක. ඒ දවස්වල තේරුමක්ම නෑ. මේ වගේ ගමනක අවදානම එච්චර දැනුනෙත් නෑ. ගෙදරට මේ කිසිම දෙයක් නොකියා කටුනායකින් නැගලා කෙලින්ම කැලිෆෝනියාවලින් බහින ගානට හිටියා.
කතාව තවත් කොට කරලා කියන්නම්. කොහොමින් හරි යන දවසත් ආවා. කට්ටියත් එක්ක එයාර්පෝර්ට් ඇවිත් අඩලදොඩල සමුඅරන් ප්ලේන් එකට බෝර්ඩින් කරන තැනටත් ආවා. එතනින් ප්රශ්න කෝටියයි. මොකටද යන්නේ, මෙක්සිකෝවල මොකක්ද තියෙන බිස්නස් අනම් මනම් ප්රශ්න ගොඩයි. මම හිතුවා බඩුම තමයි කියලා. ඒත් අන්තිමට එතනිනුත් ගැලවිලා ප්ලේන් එකට නැග්ගා. පැය ගානක් ගිහින් කටාර් වලට ආවා. එතනින් නැග්ගා මෙක්සිකෝ වලට. පැය 17ක් වගේ ෆලයි කරලා මෙක්සිකෝවලින් බැස්සා. එතන එයාපෝර්ට් එකේ මං වගේම තව 8ක් හිටියා. ඔක්කොම ඒජන්සියෙන් එවපු එවුන්. අපිව එයාපෝර්ට් එකෙන් ගන්න හිටපු එකා නැතුව දවසක් හිටියා එතනම අපතයෝ වගේ. ස්පාඥ්ඥ බාසාවේ මෙලෝ අකුරක් බැරුව නන්නත්තාර වෙලා ඉද්දි ඔන්න එකෙක් ඇවිත් අපිව එලියට ගත්තා. එතනින් වෑන් කට්ටක දාගෙන අපි 9 දෙනාම පොඩි ගෙදරකට අරන් ගියා. එතනින් හොදට කාලා ගෙවල් වලට කතා කරල අවුලක් නැතිව ආවා කිව්වා. දවස් 3ක් එතන තියලා අපිව පාන්දරම ආපහු වෑන් එකට පැටෙව්වා. ඊටපස්සේ පටන් ගත්තා ඉවරයක් නැති යෑමක්. දවස් එකහමරාක් තිස්සේ ගියා. අන්තිමට පට්ට රෑක අපිව කාන්තාරෙක නවත්තලා තිබ්බ ලොරියකට පැටෙව්වා. අපිව වැහෙන්න උඩින් මොනාදෝ දාලා ඔන්න ආපහු යන්න පටන් ගත්තා. දැන්නම් පොලීසියෙන් ගුටිකාලා වගේ පට්ට අමාරුයි. ඒත් කාගෙන හිටියා. ලොරිය කඩාගෙන යනවා දැනෙනවා. ඒත්එක පාරටම ලොරිය නතර කලා. ඇමරිකන් බෝඩර් එකේ ඉන්න ස්ටේට් ටෲපර්ලා අපිව හතර වටින් වට කලා. කරන්න දෙයක් තිබ්බේ නෑ බල්ලෝ වගේ බඩගාගෙන ලොරියෙන් බැස්සේ වෙඩි කන්න වෙයි කියලා. උන් පට්ට ට්රේනින් පොරවල්. ලංකාවේ බඩතඩි පොලිස්කාරයෝ වගේ නේමේ. විනාඩි ගානකදි අපේ අත්වලට මාංචු වැටිලා උන්ගේ ජීප් ඇතුලටත් දැමිලා ඉවරයි.
පොලීසියට අරන් ගිහින් කට උත්තර ගත්තා. පාස්පෝර්ට් ඔක්කොමත් ගත්තා. දවස් දෙකක් හිරේ තිබ්බා. අම්මෝ ඒක තමයි බිහිසුනුම අත්දැකීම. සෙල් හදලා තිබ්බේ පොලිසියෙන් එලියේ. බිල්ඩිමක් ඇතුලේ තියෙන තව බිල්ඩිමක් වගේ හිරගෙයක්. ලොවෙත් පනින්න බෑ. පිටින් එක කල්ලෙක් මුරට වගේ හිටියා. උට වගේ වගක් නෑ. කූඩු ඇතුලේ මොනා උනත් පොලිසියට අදාලත් නෑ වගෙ තමයි හිතුනේ. හිරේ හිටියේ ඔක්කොම කලු ස්පාඥ්ඥ මික්ස් උන්. යෝදයෝ වගේ. අපේ හිටපු උන් පොලීසියට වැදලා කිව්වා කූඩුවට නම් දාන්න එපා උං එක්කලා කියලා. උන් හිනාවෙවි අපිව කූඩුව ඇතුලට තල්ලු කලා. අපි ගෝරිලි කූඩුවකට වැටුනු රිලා පැටව් වගේ ගැහි ගැහි එකට ගුලි උනා. උන් අපිව වටකර ගෙන එක එක ඒවා අහන්න පටන් ගත්තා. කොහොමහරි ටිකකින් අපිට තිබ්බ අවදානය ටිකෙන් ටික අඩුවුනා. පස්සෙ එකෙක් හංගලා තිබ්බ තැනකින් දුම්කොල පොදියක් එලියට ගත්තා. මුලු කූඩුවම දුංකොල දුමෙන් වැහෙන්න එච්චර වෙලාවක් ගියේ නෑ. අපිට හුස්මක් ගන්නවත් පුලුවන් උනේ නෑ. ඔහොම ඉද්දි අන්තිමට යාන්තමට නින්ද යාගෙන එද්දි මර ලතෝනියක් ඇහුනා. අපිට එහා පැත්තේ කූඩුවෙන් ඇහුනේ. ඇගේ ලේ වතුර වෙලා අහන් හිටියා. සෙරෙප්පුවක් වගේ එකකින් හරි පටියක් වගේ එකකින් හරි එහා පැත්තේ කූඩුවෙ ඉන්න එකෙකුට ඒකෙ ඉන්න අනිත් උන් ගහනවා. අරූ මරහඩ දීලා කෑ ගහනවා. තුෂ්නිම්භූත වෙලා හිටපු අපිව දැකල එකෙක් කිව්වා ඒ අස්සයෝ පද්දනවා කියලා. ඒ කියන්නේ මේ සෙල් ඇතුලේ තියෙන කොමඩ්එක වෙන් කරලා තියෙන කොට බිත්තියට එකෙක්ව ඇදුම් නැතුව නග්ගවලා අස්සයෙක් පදින විදියට කකුල් දෙක දෙපැත්තට දාලා පදින්න කියනවා. ගැජට් එකට අබසරනයි. අරුන්ට ඇති වෙනකල් එහෙම කරන්න ඕනා. නැත්තම් පෝරියල් තමයි. ඊට පස්සේ නින්ද ගියෙ නෑ. දෙයියන්ට කිය කිය හිටියා මේ මරු කටින් ගලවල දෙන්න කියලා. ඔහොම තවත් දවසක් ගත උනා.
එතනින් දැම්ම කෑම්ප් එකකට. කෑම්ප් එකක් කිව්වේ ඉතිං ඒකත් හිර ගෙයක්ම තමයි. නඩුව අහලා තීරනයක් දෙනකල් ඒකේ හිටියා මාස 3ක් වගේ. වාසනාවට මට අසයිලම් වීසා වැදුනා. ඒ කියන්නේ සරනාගත වීසා. අවුරුදු 3ක් යනකල් මට නීත්යානුකූලව වැඩ කරන්න පුලුවන්කම ලැබුනා. මෙලෝ වෘත්තීය පුහුනුවක් තිබ්බෙ නැති මට ගරාජ් එකක අත් උදව් දෙන ජොබක් සෙට් උනා. මේ වෙනකොට ගේ සින්න වෙන්න ඔන්න මෙන්න. අතට එන ගානින් සොච්චමක් තියාගෙන අනිත් ඔක්කොම වගේ ගෙදරට යැව්වා. ජොබ් එක පට්ටම අමාරුයි. 5.30 ඉදන් 9.30 වගේ වැඩ. හැබැයි රිදෙන්න පඩිත් හම්බුනා. මාසෙකට ලක්ෂ 3-4ක් වගේ ඒ වෙනකොට ලැබුනා. තනිකර කට්ට. මුලින් මුලින් හොදටම එපා උනා. පස්සේ වාහන වලට ආසා හිතුනා. වැඩ තේරෙන්න පටන් ගත්තා. හෙඩ් බාස්ට අනිවා මාව ඕනේ උනා. අවුරුද්දක් විතර යද්දී මට එතන අලුතින් ඉගෙන ගන්න දෙයක් තිබ්බා නම් ඒ බිස්නස් එක මැනේජ් කරන හැටි විතරයි. මම ඒකටත් ටික ටික ලොක්කට උදව් උනා. වැඩක් ඉවසීමෙන් හරියට කරන හැටි මම එතනින් ඉගෙන ගත්තා. ජීවිතේට ඕන ඔක්කොම පාඩම් එතනින් ලැබුනා. ගැරේජ් එක ඉරිදට වහලා නිසා මම එදාට වරුවක් පොඩි සුපර් මාකට් එකකත් වැඩ කලා. එතනින් ඉගෙන ගත්තා බිස්නස් එකක් හැන්ඩ්ල් කරන හැටි. ඔහොම අවුරුදු 3ක් ගෙවුනා. ගෙදර යන්න ඕනේ උනත් ගියොත් ආපහු එන්න බැරි නිසා තවත් අවුරුද්දක් කාගෙන හිටියා. මේ වෙද්දි හොදගානක් ඉතුරු කරගන්න පුලුවන් උනා. අන්තිමේදි දවසක් මම තීරනය කලා ආපහු ලංකාවට යන්න.
ලංකාවේ මහ ලොකු වෙනසක් දැනුනේ නෑ. කටුනායක එයාපෝර්ට් එකේ ටොයිලට් එකෙන්ම ලංකාව තාමත් තිබ්බ තැනම නේද කියලා හිතුනා. ගෙදර අය එයාපෝර්ට් ඇවිත් තිබුනා මාව එක්ක යන්න. අවුරුදු පහකට කලින් මෙලෝ තේරුමක් නැතුව ටයිකෝට් දාගෙන එයාපෝට් එකෙන් ලංකාවෙන් ගිය කොල්ලා වෙනුවට ඩෙනිමයි ටී ෂර්ට් එකයි දාගෙන ජීවිතේ ගැන පට්ට අවබෝධයක් තියෙන කට්ට කාලාම මනුස්සයෙක් උන මම ලංකාවට ආවා. අම්මලා අඩල දොඩල මාව පිලි අරන් ගෙදර එක්කන් ගියා. ගේ ලස්සන වෙලා පිලිවෙලක් වෙලා. තාත්තා මම එවපු සල්ලි වලින් අපේ ඉඩමට අල්ලපු ඉඩමෙනුත් කෑල්ලක් අරන්. නංගිල මල්ලිල හොදට ඉගෙන ගෙන. ලොකු මල්ලියි නංගියි කැම්පස්. පොඩි මල්ලිත් සිලෙක්ට්. මට කියන්න බැරි තරම් සතුටුයි. ඔහොම ටික දවසක් ගෙවුනා. දැන් ඉස්සරහට මොකද කරන්නේ කියලා කල්පනා කලා.
අපේ ගෙවල් කිට්ටුව තිබුනා පොඩි වැඩපොලක්. ඔතන තමයි සුලු සුලු යන්ත්ර අලුත්වැඩියා කලේ. වාහනයක් හදා ගන්න නම් ටවුමටම යන්න වෙනවා. ඒ ගියත් ඒකේ ඉන්න හොරු අහිසක මිනිහෙක් වගේ අහුඋනොත් නැත්තටම නැති කරල හූරගෙන කාලා තමයි එවන්නේ. අර වැඩපොල කර කර හිටපු කෙනා ඒක විකුනන්න දාලා තිබ්බා. මම ඒක ගත්තා. එතන තිබ්බ අනවශ්ය ලට්ට ලොට්ට අයින් කරලා මට ඕනි විදියට හදා ගත්තා. අලුත් බඩු ගත්තා. කැමරා හයි කලා. ගෙනාපු සල්ලි වලින් බාගයක් ඉවරයි මේවෙද්දි. හැබැයි දැන් එතන සුපිරි ගරාජ් එකක්. අත් උදව්වට කොල්ලෙක් දෙන්නෙක් හොයාගෙන වැඩ පටන් ගත්තා. ඔක්කොම කලේ සිස්ටම් එකකට, ක්රමානුකූලව. ගරාජ් එකේ බුලත් විටක්වත් කන්න බෑ. කිසිම බොරුවක් වංචාවක් කරන්න බෑ. ඇත්ත ඇති සැටියෙන් කිවයුතුයි. ප්රොෆිට් මාර්ජින් එකක් තියෙනවා, ලේබර් කොස්ට් එක, පාර්ට්ස්/ ඉක්විප්මන්ට්ස් කොස්ට් එක සහ අනිත් චාජස් ඔක්කොම ඇනලයිස් කරලා සිම්පල් එක්සෙල් ශීට් එකක් හැදුවා (පස්සේ මම ඒකට වෙනම සොෆ්ට් වෙයාර් එකක් හදව ගත්තා). ඒකෙන් තමයි කස්ටමර්ට රෙපෙයාර් එකේ ගාන තීරනය කරන්නේ. හිතූ හිතූ ගනන් කියන්න බෑ. වෙබ්සයිට් එකක්, ෆේස්බුක් පේජ් එකක් හැදුවා. මුලින් මුලින් එච්චර වැඩක් තිබ්බේ නෑ. කචල් පිට තමයි දිව්වේ. ඒත් ආපු වාහන වල වැඩ ඔක්කොම සුපිරියටම කලා. මාසයක් දෙකක් ගිහින් ටෙක් අවුට් විච්ච කොල්ලෙක් ගත්තා උදව්වට. හොදට මහන්සිවෙලා වැඩ කරන අවංක කොල්ලෙක්. මම මාස 3ක් ගිහින් හොදට පඩි වැඩි කලා. මාස 6ක් යද්දි ඔන්න දැන් කර ගන්න බැරි තරම් වැඩ. මාත් එක්ක 5ක් වැඩ. අවුරුද්දක් යද්දි මට හොද ආදායමක් එන්න ගත්තා. ගරාජ් එක තව ලොකු කලා. ඔහොම අවුරුදු තුනක් ගියා. මිනිස්සු ආවා, ගියා. ප්රශ්න ඇතිවුනා නැති උනා. ලගින්ම හිටපු මිනිස්සු බිස්නස් වට්ටන්න බැලුවා. ඒත් අවුරුදු 3ට පස්සේ මම මගේ අනිත් ගරාජ් එකත් ඕපන් කලා. ඒකේ මැනේජර් මගේ ලොකු මල්ලි. එයා කැම්පස් අවුට් වෙලා මැනේජ්මන්ට් ඩිග්රියක් තියාගෙන මගේ ගරාජ් එකේ වැඩ කලේ. කොල්ලට බිස්නස් උපතින් පිහිටලා තිබුනා. මගේ බිස්නස් දියුනුවෙන්න ලොකුමල්ලි ගොඩක් උදව් කලා. ටෙක් කෝස් එකක් කරලා මන් ලගට වැඩට මුලින් ආව කොල්ලා තමයි හෙඩ් බාස්. ඒ වෙද්දි එයාට මම ලංකාවේ ඉංජිනේරුවෙක් ගන්නවට වඩා ලොකු පඩියක් ගෙව්වා.
දැන් කතාවෙ අන්තිම ටික කියන්නම්. මට දැන් ලංකාවේ ප්රධාන නගර 6ක ගරාජ් 6ක් තියෙනවා. ඇමරිකන් කාර් වලට ඕන ඔරිජිනල් ස්පෙයාර් පාර්ට්ස් 100%ක් කම්පැනි වොරන්ටිත් එක්ක මගේ ගරාජ් චේන් එකෙන් ගන්න පුලුවන්. 2020 වෙද්දි ලංකාවේ පලාත් ඔක්කොගෙම මගේ ගරාජ් එකක් ඕපන් වෙලා තියෙයි. එදාවගේම අදත් මගේ ආකල්ප වෙනස් වෙලා නෑ. මම තාමත් මගේ ගමන යනවා. මගේ රත්තරං දෙමව්පියො හීන දැකපු හැම සැප සම්පතම මම එයාලට දීලා තියෙනවා. ජීවිතේ දුක කියන්නේ සාමාන්ය දෙයක්. බලාපොරොත්තු කඩවිම් කියන්නෙත් සාමාන්ය දෙයක්. ඇද වැටීම්, කොන්වීම්, පරාජයවීම්, නොලැබිම් කියන්නේ නංගියේ මල්ලියේ හැමෝටම පොදු දේවල්. හැබැයි ඒවා අත්දැකීම් කර ගන්න. අත්දැකීම් වලින් ඉගෙන ගන්න. අවදානම් ගන්න ඉගෙන ගන්න. ඔයාලගේ ඉලක්කයන් වෙත යන්න තියෙන ලොකුම බාදාව තමයි අසාර්තක වෙයි කියලා තියෙන බය. ඒ බය නැති කර ගන්න. සුලුවෙන් පටන් ගන්න. ඉලක්කය පැහැදිලිව මතක තියා ගන්න. ලෝකය මොනවා කිව්වත් කකුලෙන් ඇද්දත් කොච්චර හිමීට හරි තමුන්ගෙ ගමන යන්න. දියුනු වෙන එක කාටවත් නවත්තන්න බෑ.
උපුටා ගැනීම: Gavin Kodikkara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!