අමර්ප්‍රීත් ( වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ ප්රශ්ණෙ පටන් ගත්තෙ මගෙ වෙඩින් එකෙන් තමයි. ඒක අත්ත. එදා වෙනකම් මම හොඳින් හිටියත් තමයි. ඒ කියන්නෙ දැන් මට පිස්සු කියන එක එහෙම නෙවෙයි.
ඔව් මම ශෙවින්. මට කියන්න තියෙන්නෙ මෙන්න මෙච්චරයි ..මේ ඔලුව ඇතුලෙ තියෙන එක ඇදලා එලියට දැම්මට පස්සේ මට වෙන කිසිම ප්රශ්නයක් නෑ. ඇත්තටම කිසිම දොස්තර කෙනෙක් වත් කිසිම යද්දෙසෙක්ක් වත් මට ඕන නෑ.
මම මේ සැරින් සැරේට කෙස් අදින්නෙ, කන් අදින්නෙ ,කනට කූරු ගහන්නෙ නහය අදින්නෙ ,නහයට කූරක් දාලා කිඹුහුම් අරින්නෙ පිස්සුවකට නෙවෙයි. මේකයි, මට ඕන ඒක ඇදලා එලියට දාන්න. එච්චරයි. උඹල හිතන විදියට මට පිස්සු නෑ කියලා මට හොඳටම විශ්වාසයි.
මේකයි මගෙ වෙඩින් එක දවසෙ මං චංචලා එක්ක පෝරුවෙ ඉද්දි මං දැක්කා එයා හෝල් එකේ කෙලවරේම මේසෙ ඉඳගන ඉන්නවා. අනිත් හැමෝම හිටියෙ පෝරුව වටේට .ඒත් ඒ කෙල්ල විතරක් එතන ඉඳගන අමුතු විදියට කොහෙදෝ බලාගෙන හිටියා.
ඊට පස්සෙ මං ආයෙ එයාව දැක්කෙ අපි හොටෙල් එකෙන් පිටත් වෙන වෙලාවෙ. හොටෙල් එකේ ගාඩ්න් එකේ බංකුවක ඉඳගන ඒ කෙල්ල් කොහෙදෝ බලාගෙන හිටියා. ඒ චංචලාගේ යාලුවෙක් නම් ඇයි එයා අපිට කතා නොකළේ කියලා මට හිතුනදත් කොහෙද.
වෙඩින් එකෙන් පස්සෙ අපි අපේ ගෙදරට ආව පළවෙනිම දවසෙ මම උඩ තට්ටුවෙ ජනේලෙන් එලිය බලද්දි මම මුලින්ම දැක්කෙ ඒ කෙල්ල. ඒකි අපේ ගාඩ්න් එකේ බංකුවෙ ඉඳගන හිටියා. අපේ අම්ම එක්ක. ඒ කවුද කියලා අම්මගෙන් අහන්න හිතුවත් මට ඒක අමතක වුණා.
ඊටත් පස්සෙ මං ඔෆිස් එකට ගියපු පලවෙනිම දවසෙ ඔෆිස් එකෙන් මට කිව්වම මාව හම්බවෙන්න කෙනෙක් ඇවිත් ඉන්නව කියලා මම මුලින්ම ගිහින් ඈත ඉඳන් බැලුවා කවුරු වෙන්න ඇතිද කියලා. ඒ කෙල්ල.. ඔව් ඒ කෙල්ලමයි.සෝපාවෙ ඉඳගන කොහෙදෝ බලාගෙන ඉන්නවා. ඒ වෙලාවෙම චාමර ඇවිත් වෙඩින් එකට එන්න බැරිවුන එක ගැන සමාව ඉල්ලුවා. මම චාමර එක්ක කතා කරලා ආපහු බලද්දි ඒ කෙල්ල එතන හිටියෙ නෑ.
ඊටත් පස්සෙ අම්මයි මමයි චංචලයි රෑ කෑමට එලියට ගිය වෙලාවෙත් ඒ කෙල්ලව මම දැක්කා. අන එදා නම් මට අමුත්තක් දැනුණා.
“චංචලා අන්න අර කෙලවරේ ටේබල් ඉන්න කෙල්ල කවුද?”
“කොතනද?”
“අර අතන. වෙඩින් එකටත් ඇවිත් හිටියෙ. අපිව දැකලා නෑ මං හිතන්නෙ. “
එතකොටම ඒ කෙල්ල නැගිටල එලියට ගියා. ඊට පස්සෙ අපි ගෙදර ආවා..නිදාගන්න ගියාට පස්සෙත් මට ඒ කෙල්ලව මතක් වුණා.
ඊටත් පස්සෙ ආයෙ දවසක් මං දැක්කා මං බඩු අරන් සුපර් සෙන්ටර් එකෙන් එලියට එනකොට ඒ කෙල්ල මගෙ කාර් එකේ බොනට් එක උඩ ඉඳගන ඉන්නවා. ඒත් අර වගේම. කොහෙදෝ බලාගෙන. එදත් කරුමෙට ඒ වෙලාවෙම චංචලා කෝල් කළා. මං ආපහු බලද්දි ඒකි හිටියෙ නෑ. අන්න එදා තමයි මට පළවෙනි වතාවට සැකයක් ඇති වුනේ මේකි හොල්මනක් කියලා.
ඊට පස්සෙ ඒකිව දකින ඕනම වෙලාවක ළඟ ඉන්න කෙනෙක්ට ඒකිව පෙන්නලා ඒකිව දන්නවද කියලා අහන්න මම හිතාගන හිටියා. එක දවසක් මායි හසන්තයි තේ බිබී ඉන්නකොට මම දැක්කා ඒකි එලියෙ බැම්මක් උඩ ඉඳගන ඉන්නවා. අර වගේම.ඒ සාරියමයි. ඒ.විදියමයි. මම හසන්තට ඒකිව පෙන්නුවා.හසන්තට එහෙම කෙල්ලෙක් පේන්නෙ නෑ. හරි .ඒ කියන්නෙ ඒකි හොල්මනක්.
මම තීරණය කළා මේක චංචලාට කියන්න.ඒත් අපි බැඳලා මාස කීයද.චංචලා මාව විශ්වාස නොකළොත් ? එයාට හිතුනොත් මට පිස්සු කියලා. ඒ නිසා මම අම්මට කියන්න හිතුවා. අම්මා කවදාකවත් මාව අවිශ්වාස කරන්නෑ. අර එක දවසක් අපේ ගෙදර බංකුවෙ ඉඳඟන ඒකි අපෙ අම්මා එක්ක කතා කරපු බව මම කිව්වම අම්මා කිව්වනෙ චංචලාගේ යාලුවෙක් කියලා ළමයෙක් ආව කියලා. එතකොට ඒකි හොලමනක් නෙවෙයිද? අපෙ අම්මටත් පෙනිලනෙ.
ඊට පස්සෙත් මං ඒකිව දැක්කා. චංචලාගේ ගෙදර යද්දි පහුවෙන ලොකු බෝක්කුව උඩ ඉඳගන ඒකි කුඹුර දිහා බලන් හිටියා. මං චංචලාට හොරෙන් අම්මට ඒ විස්තරේ කියන්න කෝල් එකක් ගත්තා.මං අම්මා එක්ක හොරෙන් හොරෙන් කතා කරපු එක චංචලාට ඇල්ලුවෙ නෑ. කොහොම වුණත් මම චංචලාට මොකුත් කිව්වෙ නෑ. අම්මත් කිව්වෙ කියන්න එපාම කියලා.
ඒත්
එක දවසක් මම ගෙදර එද්දි අපේ කාමරේ ඇඳ උඩ ඒකි අර විදියටම ඉඳගන හිටියනෙ. අන්න එදා නම් මම බයවුණා. බයවුණා කියන්නෙ මම කෑ ගහලා අම්මට කතා කළා. චංචලාත් දුවගන ආවා. මම අම්මා හොයාගන කුස්සියට දුවලා අම්මවත් එක්ක ආපහු එනකොට ඒකි හිටියෙ නෑ. එදා මට සිද්ධ වුණා චංචලාට ඇත්ත කියන්න.
චංචලා මුලින්ම කළේ මාව දොස්තර කෙනෙක්ට පෙන්නපු එක. දොස්තරට පිස්සු..ඔව් ඒ දොස්තරට හොඳටම පිස්සු.ඔලුව කහනකොට ඉස්සොරි හැලෙන ඒ නාකියා මට බෙහෙත් දුන්නා. ඇත්තටම ඒ බෙහෙත් වලින් වුණේ මට වැඩිපුර නින්ද යන්න ගත්ත එක විතරයි. ඒ දොස්තරයට තේරෙන්නෑ ඒ හොල්මන මට පේන්නෙ මම ඇහැරගෙන ඉන්නකොට බව.
අපේ අම්මා මට යන්තරේකුත් දැම්මා. ඒකෙන් වුණෙ මං ලෙඩෙක් කියලා මට හිතෙන්න ගත්ත එක විතරයි.
එතකොට ඊට පස්සෙ ඒකි ආවෙ නැද්ද? ආවා. දවසක් අපේ ගේ ඉස්සරහින් යන ලොරියක උඩ ඒකි ඉඳගන ගියා. ඒත් අර වගේම කොහෙදෝ බලාගන .මම ඒක කිව්වම චංචලා මට හිනාවුණා. අන්න ඒකටනම් මට තරහ ගියා. තරහා ගියා කියන්නෙ මම චංචලාට බැන්නා. ගැහුවා කියලා නම් මට මතක නෑ. ඒ වුණාට චංචලා කියන්නෙ මම ගැහුවා කියලා.
මම චංචලාට ආදරෙයි. ඒත් දැන් මට චංචලාව දැක්කත් තරහ යනවා. ඇයි එයාට එක වතාවක් වත් මාව විශ්වාස කරන්න බැරි. අඩුම ගානේ අපේ ගෙදර තාප්පෙ උඩ ඒකි ඉඳගන ඉන්නව මම දැක්කා කියලා කිව්වම එයාට තරහ යන්නෙ ඇයි? එයා මාව දකින්නෙ පිස්සෙක් වගේද?
ඒකි ඔෆිස් එක ඉස්සරහත් එක එක තැන්වල ඉඳගන ඉන්න ගත්තයින් පස්සෙ වුණේ මම ඔෆිස් එක ඇතුලෙම වුණත් තනියම ඇවිදින්න බය වුණ එක. ඒකෙන් වුණේ මට මානසික අවුලක් තියෙනව කියලා ඔෆිස් එකේ ප්රසිද්ධ වුණ එක. ඊට පස්සෙ මට ජොබ් එක එපා වුණා.ඔෆිස් එකටත් මාව එපා වුණා. මට ගෙදර නවතින්න වුණා.
මොනව වුණත් චංචලා මාව දාලා ගියෙ නෑ. එයා නිතරම කළේ මාව එක එක දොස්තරලා ගාවට අරන් ගිය එක. එයා ඒක කරන්නෙ මට ආදරේට කියලා මම දන්නවා. ඒත් ඒ ආදරේමයි දැන් මගෙ කරදරේ. ඔව් මට දැන් චංචලත් වධයක්. එයාට ඕන මට පිස්සු කියලා කියන්න.
ඔන්න ඔහොම ඉන්නකොට එක දවසක් චංචලාගෙ නංගි ආවා. එයාලත් ඉතිං හිතාගන ඉන්නෙ මට පිස්සු කියලා. අක්කයි නංගියි දෙන්නා එකතු වෙලා මටද කොහෙද සවුත්තූවට හිනාවෙවී ලැප් ටොප් එකත් අටවගන කවුදෝ එවපු ෆොටෝ වගයක් බලන්න පටන් ගත්තා. මාත් හොරෙන් හොරෙන් ඒව දිහා බලබලා තමයි හිටියෙ. ටික වෙලාවකින් චංචලා නැගිටලා තේ හදන්න ගියා ඔන්න එතකොට තමයි ඒ එහෙ මෙහෙ යන ෆොටෝ අතරෙ මම ඒකිව දැක්කෙ.
මං ඒ වෙලාවෙම චංචලාගේ නංගිව ඇදලා පැත්තකට දාලා ලැප්ටොප් එක මගේ පැත්තට හරවගන නංගිගෙන් ඇහුවා මේ කවුද කියලා.නංගි කිව්වා ඒ අපර්ණා කියලා. අපර්ණා මැරුනෙ කවද්ද? මොනව වෙලාද කියලා මම ඇහුවා.
“අපර්ණා? ඔයා අපර්ණව දන්නවද?”
“ඔව්..මේකි තමයි මං යන යන හැම තැනම මෙන්න මෙහෙම අහක බලාගන ඉඳගන ඉන්නෙ.මට මේකිව තමයි පේන්නෙ.ඔව් ඒ මේකිමයි. මෙහෙම්මයි ඒකි ඉඳගන ඉන්නෙ.”
අපර්ණා මැරිලා අවුරුදු තුනක්. කෝච්චියෙන් වැටිලලු මැරුණෙ. ඉතිං ඒකි මොකටද මට පේන්න එන්නෙ. ඒකිගෙ යාලුවා චංචලාගෙත් නංගිනෙ මටවත් චංචලාටවත් කිසිම සම්බන්ධයක් නෑනෙ .ඒකි මොකටද මට පේන්න එන්නෙ.
“අයියෙ අපර්ණා අක්කා මගෙ නෙවෙයි අක්කගෙ යාලුවෙක්. ඒ දවස් වල ෆේස්බුක් එකේ කොල්ලෙක් හිටියා අමර්ප්රීත් කියලා .ඒ කොල්ලා සීදේවී කියලා කෙල්ලෙක් ගැන කවි ලිව්වා.
අපේ අක්කා ඒවට වහ වැටිලා හිටියෙ. අපර්ණා අක්කට ඒව පෙන්නුවෙත් අපේ අක්කමයි.
අපර්ණා අක්කට ෆේස්බුක් යන්න තහනම් එයාලගෙ ගෙදරින්.ඒ වුණාට අන්තිමට අපර්ණා අක්කා අනුපමා කියල නමකින් ෆේක් එකවුන්ට් එකක් හදාගන ෆේස්බුක් ආවා ඔය අමර්ප්රීත්ගෙ කවි කියවන්නම .
ඉතිං අමර්ප්රීත්ගෙ කවි වලට වහ වැටිලා අමර්ප්රීත් සීදේවිට තියන ආදරේ වගේ ආදරයක් මටත් ලැබෙනවනම් කියලා අපර්ණා අක්කා හිතුවා. එයා ඒක අමර්ප්රීත්ගෙ කවි වලට කමෙන්ට් කළත් එක්ක.
අමර්ප්රීත් අපර්ණා අක්කට කියලා තියෙනවා එයාට කෙල්ලෙක් නෑ ඇත්තටම ඒ හිතින් මවාගත්ත කෙල්ලෙක්ට ලියන්නෙ කියලා.
ඊට පස්සෙ අපර්ණා අක්කා සීදේවී කියන නමින්ම ෆේක් එකක් හැදුවා . ඔහොම ඔහොම ගිහින් අමර්ප්රීත් කියන කෙනයි අපර්ණා අක්කයි ෆේස්බුක් එකේ කවි ලියන්නයි රිප්ලයි ලියන්නයි පටන් ගත්තා.
ඒ වෙනකොට අපේ අක්කත් අමර්ප්රීත්ගෙ කවි වලට කමෙන්ට් දානවා. ඒ වුනාට අපේ අක්ක එක්ක එයා චැට් කරලා නෑ. ඇත්තටම අක්කයි අපර්ණයි කතාවෙලා හිටියෙ ඒ දෙන්නා අඳුරන බව අමර්ප්රීත්ට නොකියා ඉන්න.
අපර්ණා අක්කට හංගන්න දේවල් හුඟක් තිබ්බනෙ. අක්කා සීදේවි කියන්නෙ කවුද කියලා දැනගන හිටියත් කවදාකවත් ඒක දැනෙන්න කමෙන්ට් එකක් වත් දැම්මෙ නෑ.මම වුණත් සීදේවිගෙ රිප්ලයි කවි වලට මේ ආදරේට නම් ඇස් වහක් වදින්නෙපා කියලා කමෙන්ට් දාලා තියෙනවා .
කවදාකවත් අපර්ණා අක්කා අමර්ප්රීත්ට එයාගෙ ෆොටෝ යැව්වෙ නෑ. අමර්ප්රීත් එව්වෙත් නෑ. දෙන්නම ෆේක් බව දෙන්නම දැනගන හිටියා. ඒත් ඒ දෙන්නා ඒ දෙන්නට හරියට ආදරෙන් හිටියා .තෑගි හුවමාරු කරගත්තත් එක්ක. තෑගි විතරක් නෙවෙයි සල්ලිත්.
දෙන්නගෙ අදහස් ගැළපුණා. ඒ දෙන්නා රූප පෙන්නගන්න තීරණය කළා. මුලින්ම අමර්ප්රීත් එයාගෙ ෆොටෝ එකක් එව්වලු.
අපර්ණා අක්කා ඊට මාසෙකට පස්සෙ ෆොටෝ එකක් යවන්න පොරොන්දු වෙලා . අපර්ණා අක්කා අපේ අක්කට ඒ විස්තර කිව්වට අමර්ප්රීත්ගෙ ෆොටෝ එක නම් පෙන්නුවෙම නෑ .
ඇත්තටම අපර්ණා අක්කට ප්රශ්ණයක් තිබුණා. එයාගෙ ඇඟේ සුදු කබර තිබ්බා. එයා සම්පූර්ණයෙන්ම ෆොටෝ දාන්නැතුව එයාගෙ අත්වල කකුල් වල ෆොටෝ යවල තිබුණා.
ඒව දැක්කම අමර්ප්රීත්ට එයාව එපා වෙයි කියලා එයා හිතුවා. ඒත් එහෙම වුණේ නෑ. අමර්ප්රීත් එයාට කියලා තිබුණා ඒවා එයාට ප්රශ්ණයක් නෙවෙයි කියලා. එයාලගේ ආදරේ තව දුර ගියා. ඔය අමර්ප්රීත්ට හිටියෙ අම්මා විතරයි.අම්මත් ලෙඩ වෙලා එයා සෑහෙන ආර්ථික ප්රශ්ණ වල හිටියෙ. අපර්ණා අක්කත් සල්ලි වලින් හුඟක් උදව් කළා අමර්ප්රීත්ට.
මම නම් එදා ඉඳන්ම හිටියෙ ඒ මිනිහව විශ්වාස කරන්න බෑ කියන තැන. ගනුදෙනුත් ඔක්කොම වෙලා තිබ්බෙ ඊසි කෑෂ් වලින්.
එක දවසක් එක පාරටම අමර්ප්රීත්ගෙ ෆේස්බුක් එකවුන්ට් එක අතුරුදහන් වුණා.අමර්ප්රීත්ගේ ෆෝන් නම්බර් ඔක්කොම වැඩ නෑ .එදායින් පස්සෙ ඉතිං අමර්ප්රීත් හොයාගන්න නැති වුණා. එච්චරම තමයි. හුඟක් අය ෆේස්බුක් එකේ පෝස්ට් දාගන පවා අමර්ප්රීත්ව හෙව්වා හම්බුන්නෑ. අපර්ණා අක්කා පුදුම විදියට අවුල් වෙලා හිටියෙ. එයාට හිතාගන්න බැරිවුණා ඇයි එහෙම දෙයක් වුණෙ කියලා. මොකද්ද හේතුව කියලා.
ඒ වෙනකොට අපර්ණා අක්කා අමර්ප්රීත්ව දැකලා තිබුණෙ. වෙත් අමර්ප්රීත් අපර්ණා අක්කව දැකලා තිබුණෙ නෑ. එක දවසක් ස්ටේෂන් එකේදී අපර්ණා අක්කා දැකලා තියෙනවා අමර්ප්රීත්ව.. කවුදෝ කෙල්ලෙක් අමර්ප්රීත්ගෙ අතේ එල්ලිලා යනවා දැක්කලු. ඒ වෙලාවේ අපර්ණා අක්කා ඉඳලා තියෙන්නෙ කෝල් එක්ක. අපේ අක්කත් එක්ක එයා කිව්වලු එයා අමර්ප්රීතත්ව දැක්ක කියලා.අපර්ණා අක්කා අමර්ප්රීත්ව දැකලා කලබල වෙලා අද්දන කෝච්චියෙන් බහින්න ගිහින්කෝච්චියෙන් වැටිලා. එතනම ඉවරයි. ඔන්න ඕකයි වුණේ.
“අයියෙ ඔය අමර්ප්රීත් කියන නමින් හිටිය මිනිහ ගැන ඔයා මොනවමහරි දන්නවද? “
“මොන අමර්ප්රීතෙක්ද..මං දන්න ඇති අමර් පීතෙක් නෑ.”
මං එහෙම කිව්වට දැන් තමුසෙලට තේරෙනවනෙ. ඔව්, ඔව් මම තමයි අමර්ප්රීත් . මට ඒ කබර තියෙන කෙල්ලව එපා වුණා. ඊළඟට මගෙ කවි වලට වහ වැටිලා හිටිය කෙල්ල වගේම ඇඟේ එල්ලෙන්න එන්නැතුව පාඩුවෙ හිටිය කෙල්ල චංචලා. ඒකි හරි වැදගත්. මම ඒකිට කැමතියි.අරකි වගේ ෆේස්බුක් අස්සෙ ඇමිනෙන්න යන කෙල්ලක් නෙවෙයි. නාදුනන එවුන් එක්ක හුරතල් වෙන කෙල්ලක් නෙවෙයි.ඉතිං මං චංචලාට කැමති. මම අර එකවුන්ට් එක අයින් කරපු දාමයි ශෙවින් හැටියට චංචලාට රික්වෙස්ට් කළේ. අම්මේ මට මේකිව යාලුකරගන්න අවුරුද්දක් ගියා. ඊට පස්සෙ තව අවුරුද්දකින් අපි බැන්දා.
ඔය අපර්ණා කියන එකීව මං කවදාකවත් දැකලා නෑ.ඕකි කබර තියෙන එකියෙක්. සීදේවි කියන නමින් හිටියෙ චංචලාගේ යාලුවෙක් කියලනම් මම හීනෙකින්වත් නොහිතපු එක ඇත්ත .ඒත් ඔකිට හොඳ වැඩේ. මමද ගියේ..ඒකිනෙ ආවෙ බලෙන් ඇමිනි,ඇමිනි. හරි හමන් එකියෙක් නම් කමක්නෑ. කබර මගුලක්නෙ.මැරිච්ච එකමයි හොඳ.ඇත්තටම වෙලාවට මැරුණෙ..නැත්තං මං කොහොමද චංචලාව බඳින්නෙ. මං මෝඩයා වගේ බීපු වෙලාවක ඔකිට මගෙ ෆොටෝ එකක් යැව්වනෙ. ශික්.ෆොටෝ එකක් නොයවම හිටියනම් ඕකි මාව දකින්නෑ. ඔය කියන දවසෙ මම ස්ටේෂන් එකෙන් ගියා, ඇත්ත. ඒත් ඒ නම් මගෙ අතේ එල්ලිලා ගියෙ අපෙ නංගි මිසක් කෙල්ලෙක් නෙවෙයි .ඒක දැකලා තමා අරකි කෝච්චියෙන් පෙරලිලා තියෙන්නෙ.
දැන් ප්රශ්ණෙ මම දන්නවනෙ..මගෙ ප්රශ්ණෙ මෙන්න මේක .උඹලගෙන් මට උදව්වක් ඕන මචංලා. මට මෙන්න මේකිගෙන් ..ඒ කිව්වෙ බං මේං මේ මගෙ ඔලුව ඇතුලෙ ඉඳගන ඉන්න අරකි මගෙ ඔලුවෙන් ඇදල එලියට දාන්න ඕන..අන්න ඒක කරගත්තා කියන්නෙ මට කිසි ප්රශ්ණයක් නෑ . වැඩේ කියන්නෙ දැන් මේකි පේන්න එන්නෙත් නෑ. ඒත් ඔලුව ඇතුලෙ ඉඳගන ඉන්නවනෙ. ඔව්..ඔහෙක් කරලා කොහෙදෝ බලාගන එහෙම්ම ඉඳගන ඉන්නවනෙ.
චංචලාගේ නංගිට මං අද කිව්වා මං ඔය දකින හොල්මන අපර්ණා කියන එකී නෙවේ කියලා.මං කිව්වෙ ඒ වගේ කියලනෙ.ආයෙ දකිද්දි මට තේරුණා ඒ කෙල්ල නෙවෙයි කියලාය කියලා..නැත්තං ඕකි ඕක චංචලාට කිව්වොත් නැති ප්රශ්ණයක් වෙනවනෙ. චංචලා දැනගත්තොත් එයාගෙ යාලුවා මැරුනෙ මං හින්ද කියලා.නෑ නෑ ඒක වෙන්න දෙන්න බෑ.මේකි ඇහුවෙම නෑනෙ.අමර්ප්රීත් ගැනම කියවනවා. අපර්ණෙක් ගැනම කියවනවා. ඕක චංචලාට ඇහුණොත්.
මං ඒකිගෙ කාර් එකේ බ්රේක් වලට දුන්නා ෂොට් එක. ඕකි මැරෙන්ඩ ඕන.නැත්තං අමර්ප්රීතෙක් මතුවෙලා මට චංචලාව නැති වෙනවා.
ඔය අමර්ප්රීත් කතන්දරේ යට ගිය එකක්නෙ.ඒක එහෙම තිබිච්චාවේ. එහෙම එකෙක් නෑ.
උඹලට තේරෙනවා නේද..මම ශෙවින්.මට ඇති පිස්සුවක් නෑ. අන්න දොස්තරයා එනවා. මං පස්සෙ එන්නම්
====
ඔයාලා බලාගෙන ඉන්නෙ ශෙවින් එනකම්ද? මම ශෙවින්ගෙ වයිෆ් චංචලා.
බලාගන හිටියට වැඩක් නෑ. ශෙවින් ලේසියෙන් මානසික රෝහලෙන් එලියට එන එකක් නෑ. එයා අපෙ නංගිව මරන්න හැදුවනෙ. ඊටත් පස්සෙ එයාව ගෙදර තියාගන්න බෑ,ඒ නිසා අපි එයාව මෙහෙට ගෙනාවා.
ආ..ඔය එයා කියපු අනූපමා කියන්නෙත් සීදේවි කියන්නෙත් මමමයි.
මට අමර්ප්රීත්ගෙ කවි ගැන ඇතිවුණ හැඟීම් කෙලින්ම කියන්න බැරි කමටයි මම අනූපමා කියලා.ෆේක් එකක් හදාගත්තෙ. ඇත්තටම එයාට කෙල්ලක් නෑ කියලා එයා කිව්වම මම එයාට කිව්වා එහෙනම් මම සීදේවී කියන නමින් එන්නම් කියලා.
එතකොට ඒ ෆේක් දෙකෙන්ම ඉඳලා කෝච්චියෙන් වැටුණ මගෙ යාලුවෙක් කියලා හිතන් ඉන්නෙ අපර්ණානෙ.. එහෙම අපර්ණෙක් නෑ.ඒත් මමමයි මේ චංචලාමයි.
ශෙවින් මාව නොදැක්කට මම ශෙවින්ව දැක්කා. සීදේවිට එයා එවපු එකම එක ෆොටෝ එකෙන්..එයා අමර්ප්රීත්ගෙන් අයින් වෙලා ශෙවින් වෙලා දාපු පලවෙනි රික්වෙස්ට් එකෙන්ම මම එයාව අඳුනගත්තා .
එතකොට නංගි කිව්ව කතාව නේද? ..ඒක නංගියි මායි එකතුවෙලා කියපු බොරුවක්. අපිට ඕන වුණේ එයා මේ රහස රැකගන්න දඟලන දැඟලිල්ලෙන්ම එයාගෙ පිස්සුව තද කරවන්න.
එතකොට අර ශෙවින්ට පෙනුණ කෙල්ල?
අහ්..ඒකි මගෙ යාලුවෙක්.හෙට උදේ ලංකාවෙන් යනවා. ඒකි මේ ප්ලෑන් එකට උදව් කළේ හරි සතුටින්. මේ ලෝකෙ හිටියෙම නැති අපර්ණගෙ හොල්මනට ඒකි රඟපෑවෙ මගෙ ඉල්ලීමට.
මේ ඔක්කොම ප්ලෑන් එකක්.
මගේ කසාදෙ නම් මං කරගත්තෙ හරිම අවිනිශ්චිත හැඟීමකින් .ඇත්තටම මට මේ මිනිහා ඕන වුණා.ඒ වගේම තරහකුත් තිබුණා. මට තිබ්බ ඇති කබරයක් නෑ. ඒක මම කළේ මේ මිනිහට චංචලාවයි සීදේවි විදියට ආව අනූපමාවයි එක්කෙනෙක් කියලා කියාගන්න බැරුව.
මට ඕන වුනේ මෙයා සීදේවිට ආදරේ කරන්න නෙවෙයිනෙ.කොහොම වුණත් අපේ වෙඩින් එකට දවස් දෙකක් තියලා දවසක මෙයා වෙන කෙල්ලෙක් එක්ක කරපු චැට් එකක් මට අහුවුණා. ඒත් ෆේක් එකවුන්ට් එකකින්. සමහර මිනිස්සුන්ගේ ජීවිතේ ආතල් එක තියෙන්නෙම උන් ෆේක් වෙලා ඉන්නකොට .ඒ කියන්නෙ මූ කවදාකවත් හැදෙන්නෑ. අන්න එදයි මම තීරණය කළේ මෙහෙම කරන්න.
අමර්ප්රීත්ව එහෙමත් නැත්තං ශෙවින්ව පිස්සන් කොටුවට යවන්නයි මට වුණේ. ඔන්න මං ඒක කළා.
ගැට ගැහුණ තැන් තියෙනව නම් ආපහු හිතලා කියවලා ලිහාගන්න.
මම චංචලා.
එතකොට අනූපමා, සීදේවී,අපර්ණා ..ඒ ඔක්කොම මම..
පිරිමි උන්ගෙ ෆේක් එකක් හදනකොට ගැනුන්ට පුලුවන් උන්ගෙ ෆේක් දහයක් හරි හදන්න කියලා සමහර පිරිමි තාම දන්නෙ නෑ. මාත් හෙට උදේ යාලුවා එක්ක ලංකාවෙන් යනවා. ඔයාල කැමති නම් ශෙවින්ගෙ ඔලුවෙන් එයාටම අනන්යතවය හොයාගන්න බැරි අර ගෑනිව අයින් කරගන්න එයාට උදව් කරන්න..
අමතක කරන්න එපා,මමත් ෆේක් චරිතම තුනක් මවපු රියල් ගෑනියෙක්.
======================================

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!