අප්පච්චී (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“උඹලගේ අම්මා නැති උනාට පස්සේ උඹලගේ පුංචී අම්මා ඉල්ලුවා උඹල දෙන්නව හදා ගන්න.
මං බෑ කිව්වා.මට ඕනී උනේ උඹලව මං ලගින්ම තියා ගන්න.”
දවසක් අප්පච්චී අක්කට කියනවා මං අහගෙන.අම්මා නැති උන එක ගැන එච්චර මතකයක් මට නැති උනත් අම්මා නැති අඩුව කවදාවත් දැනෙන්න මට ඉඩක් නොතියන්න අප්පච්චී වග බලා ගත්තා.කටු මැටි ගහපු බිත්ති හතරකින් වටවුන ගොම මැටි ගාපු සීතල පොලවකුයි,ටකරන් වහපු වහලෙකුයි විතරක් තියාගෙන අවුරුදු හතක කොල්ලෙක් එක්ක අවුරුදු නවයක කෙල්ලෙක්ව අම්මත් නැතිව තනියම හදා ගන්න මොන තරම් හයියක් තියෙන්න ඕනිද කියන එක ගැන අදටත් මට හරියට හිතාගන්න අමාරුයි.
මං දන්න දවසෙ ඉදන්ම අප්පච්චී රස්සාවට කියලා කරේ කුලී වැඩ.අව්ව වැස්ස අදාලත්වයක් නැතුවම ගෙවල්වල වතු සුද්ද කරන එකේ ඉදන් මේසන් බාස්ලට අත් උදව් දෙන එක දක්වා ඒ රස්සාව විහිදුනා.වැඩ නැති දවස්වලට හරි පරිස්සමෙන් වියදම් කරන්න අප්පච්චී වග බලාගත්තේ අපිව බඩගින්නේ තියන්න තරම් පුලුවන්කමක් එහෙම දවස්වලට තිබුන හින්දා කියලා ඒ දවස්වල මම දැනන් හිටියේ නෑ.ගෙදර තිබුන එකම ඇදේ මායි අක්කයි නිදිකරවලා අප්පච්චී පැදුර එලාගන්නේ උදේ පාන්දරම ඇහැරෙන්න බලාගෙන.උදේම උයලා අපිව ඉස්කෝලේ යවලා දවසේ පඩියට කඹුරන්න රස්සාවට ගියපු අප්පච්චී ආයෙමත් ගෙදර ආවේ රෑට අපිට මොනා හරි තම්බලා දෙන්න බලාගෙන.එහෙව් දවස්වල රෑ දහයට විතර හෙට ඉස්කෝලෙට කිරිමැටි අරන්න එන්න කියලා ටීචර් කිවුව එක අප්පච්චිට කියන්න මතක් උනාම, අප්පච්චී වචනයක්වත් නොකියා උදැල්ලත් අරන් එලියට බැහැලා කිලෝමීටර් බාගයක් විතර ඈත තියෙන කුඹුරකින් කිරිමැටිත් අරගෙන ආපු දවස්,ගෙවල් ගානේ ගිහින් මල් වර්ග කොල වර්ග ඇට වර්ග හොයන් ආපු දවස් තාමත් මගෙ හිතේ එහෙ මෙහෙ දුවනවා.ඒත් අප්පච්චීගේ දහඩිය වල සුවද වටිනාකම දැනෙන්න ගත්තට පස්සේ ඒ කිසිම දෙයක් ඉස්කෝලෙට අරන් නොයා ටීචර්ගෙන් ගුටි කෑවනම් හොදයි කියලා හිතුන වාර එමටවත් තිබුනා.
පුංචිම කාලේ අප්පච්චී ගොඩක් අරක්කු බිව්වා කියලා අහලා තිබුනට මතක ඇති කාලෙක අප්පච්චී අරක්කු බීලා ඉන්නවා දැකලා තියෙන්නේ එකම එක පාරයී.ඒ ලොකුඅත්තගේ මලගෙදර අවසන් කටයුතු කරපු දවසේ.ඊට පස්සේ කවදාවත් අප්පච්චී බීලා ඉන්නවා දැකලා නෑ.ඒත් දවසේ ඕනම වෙලාවක කහට කෝප්පයක් බොන්න පුලුවන් විශ්මිත හැකියාවක් අප්පච්චිට තියෙනවා.බොන්න තියෙන්නේ තේ කහටනම් දවල්ද රෑද උදේද කිසිම අදාලත්වයක් නැතුව දවසකට හතර පස් පාරක් තේ බොන එකයි පුරුද්ද.
අප්පච්චිට ඕනී උනේ අපිට හොදට උගන්නන්න.ඉස්කෝලේ තුන වසරට විතරක් ඉගෙන ගෙන තිබුනට කියවපු පොත් පත්තර කන්දරාවට පිං සිද්දවෙන්න සමාජය,දේශපාලනය,ආර්ථිකය ගැන එකතු කර ගත්ත දැනුම් ගබඩාවක් අප්පච්චිට තියෙනවා. “උඹලට උගන්නන්න ඕනීනම් මමත් ටිකක් හරි දැනන් ඉන්න ඕනී” කියන එක අප්පච්චිගෙ ඔලුවෙ හැමදාම තිබුනා.උදේ හවස ගිනියම්වෙච්ච ලිප අස්සේ හාල් තම්බ තම්බ කවලා,හිල් වුනු ටකරම් අස්සෙන් පොඩි වැස්සටත් වැටෙන වතුරෙන් දාඩිය නිවාගෙන, පුලුවන් හැමදේම දන්න විදිහට උගන්නලා,හබවෙන සොච්චම් පඩියෙන් ඉස්කෝලේට ඕනී කියන පොත් පෑන් අඩුවක් නැතුව අරන් දීලා අන්තිමට අප්පච්චී අපිට හද අල්ලලා දුන්නා.අක්කා විද්යාපීඨ ගියපු දවසෙයි මම කැම්පස් ගියපු දවසෙයි වැටුන අප්පච්චීගේ කදුලු අස්සේ අමුතුම ආඩම්බරයක් හැංගිලා තිබුනා මට මතකයි.
අදටත් හැමදාම හවසට වැඩ ඉවරවෙලා ගෙදර එනකන් බලාගෙන ඉදලා ඒ ආපු ගමන් කේතලේ ලිපේ තියලා තේ එකක් හදලා දෙන එක අප්පච්චිගෙ පුරුද්ද.බඩගිනිද අහලා පුලුවන් ඉක්මනට අග්ගලයක් හරි ගුලිකරලා දෙන එක අප්පච්චීගෙ පුරුද්ද.රෑට සීතලයි නේද කියලා ලොකු තඹ හැලියකට වතුර එකක් උණුකරලා නාන්න කියන එක අප්පච්චීගේ පුරුද්ද.අපි හැමෝම කාලා ඉවරවෙනකන් ඉදලා අන්තිමට බත් ටිකක් බෙදාගන්න එක අප්පච්චිගෙ පුරුද්ද. පුංචිම පුංචි කැස්සකටත් කොත්තමල්ලි ටිකක් තම්බලා පොවන එක අප්පච්චීගෙ පුරුද්ද,කකුලක් හරි නිකමට නුහුරුවට තියවුනොත් බලෙන්ම කකුලේ සිද්දාලේප ගාලා අතුල්ලන එක අප්පච්චීගෙ පුරුද්ද.කොටින්ම අවුරුදු විසිනවයක් ඇහැක් වගේ බලාගත්ත මාව ඒ විදිහටම තවමත් පරිස්සම් කරන එක අප්පච්චීගෙ පුරුද්ද.
අවුරුදු හැත්තෑ තුනක් වුන ජීවීතෙන් අවුරුදු පනහකටත් වැඩියෙන් අපි වෙනුවෙන් කැපකරලා තවමත් ඒ බර දරාන අප්පච්චී හිනාවෙනවා.හරියට පුංචි කාලේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන අහසෙ තරු රටා පෙන්නලා අපිව නිදිකරවද්දී දැනුන හැගීම ඒ විදිහටම අදටත් ඒ මූණෙන් ඒ විදිහටම දැනෙද්දී ඒ ඇහුන පපුවේ සද්දේ ඒ විදිහටම අදටත් ඒ පපුවේ ඇහෙනවා.ඒ තිබුන ආදරේ අදටත් එදා වාගෙම එහෙම්මම තියෙනවා.
උපුටා ගැනීම:  චමිල ධනුෂ්ක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!