අතරමග (හොල්මන් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අමිල හා රුවනි හවස දෙකට පමණ මාවතගමින් පිටත් වූයේ වැස්සකට පෙර උතුවන්කන්ද මහගෙදර යායුතු බැවිනි. සදුදා දිනය පෝය නිවාඩුව වැටී තිබූ හෙයින් අද යන ගමනට අම්මාගේ අකමැත්ත තිබුනේ රුවිනිගේ බඩටත් මාස අට පසුවී තිබූ හෙයිනි. මද්දහනේ එළියට බැසීමට අමිලගේ අම්මා දැක්වූ අකමැත්ත හේතුවෙන් එක පහුවනතුරුත් කල් මැරූ අමිලට රුවනි මෝටර් බයිසිකලයට නංවා ගත්නට තව මදක් ඉවසන්න සිදුවිය .රුවනිගේ සිත් රිද්වීමට අකමැති සැමියෙකු වූ අමිල ඇයගේ ප්රමාදය කේන්තියෙන් තොරව දරා ගත්තේය.මළ ගෙදරට අමිල තනිව එන්නට සිටියද දෙදෙනාගේ ප්රේමයට අමිලගේ වැඩිහිටියන් විරුද්ධ වී සිටියදී මැදිහත්කරු ලෙස කටයුතු කොට දෙමාපිය ආශිර්වාදය ලබාදුන් ලොකු මමාගේ මළගමට රුවනිට කෙසේහෝ සහභාගිවන්නට උවමනාවිය. එදා විරුද්ධ වුවත් දැන් අමිලටත් වඩා අම්මාගේ ආදරය දිනා සිටින ලේලිය නිවාඩු දින දෙකේ නවතාගෙන සත්කාර කරන්නට අම්මාට වුවමනාවිය.අනෙක් අතට ආ පයින්ම ආපසු යෑම රුවනිට වැඩි මහන්සියක් ගෙන දෙන්නක් ලෙස අමිල සිතුවේය.
සෞම්ය කාලගුණය හේතුවෙන් මහන්සියකින් තොරව රඹුක්කන කිට්ටුවට එන තුරුම එන්නට හැකිවීම අමිලට අස්වැසිල්ලක් විය.මාර්ගයේ වාහන එතරම් හමු නොවීම පිළිබදව කිසියම් කුකුසක් ඇතිවී තිබුනත් රුවනි ට ඒ බවක් කියන්නට ඔහුට උවමනා නොවීය.එහෙත් රඹුක්කනට කිලෝ මීටර් පහක් පමණ තිබියදී මාර්ගය හරහා වැටී තිබූ රූස්ස මාර ගස දුටු විටම මේක නිසා තමා පාරේ අපිට වාහන හම්බුනේ නැත්තේ රුවනි පැවසීය.ඇයද තමා මෙන්ම ඒ පිලිබඳ සිතමින් ආ බව තහවුරු උනත් අමිල කලබලයක් පෙන්නුවේ නැත.
ගස වැටී ඇත්තේ මාර්ගයේ පාලුම හරියෙනි. අනෙක් අතට ගසට එහා පැත්තේ කිලෝ මීටර දෙකක් පමණ දුරින් ඇති ගම්මානයේ අයට මේ පැත්තට එන්නට තරම් විශේෂ උවමනාවක් ඇති නොවන්නේ රඹුක්කන නගර ඔවුන්ට කිලෝ මීටර තුනක් පමණ දුරින් ඇති බැවිනි. අනෙක් පස කිලෝ මීටර් පහක් හයක් යනතුරුම නිවසක් දක්නට නොලැබේ. ඉන් එහා අය ප්රධාන නගරය ලෙස කුරුනෑගල තෝරාගෙන ඇති බැවින් මේ පැත්තට එන්නට විශේෂ උවමනාවක් ඇති නොවේ.අද පෝය දිනය බැවින් නගරසභා හෝ මහාමාර්ග නඩත්තු කටයුතුවල ඇත්තේ ඉතා සුළුසේවක සංඛ්යාවක් වන්නට ඇත.කරුණු සියල්ල කැටිකල විට අද මේ ගස ඉවත් කරන්නට කවුරුන් හෝ එතැයි සිතන්නට නොහැක. දැවැන්ත ගසක් බැවින් ඒ උඩින් මෝටර් සයිකලය අනෙක් පසට ගැනීමට සිහිනයකි. මේ අසල කිසිම තැනකින් රඹුක්කනට වැටෙන වෙනත් අතුරු මාර්ගයක් නැත.ඇත්තෙන්ම අමිල වෙලාව ඉතිරි කරන්නට ආවේ එකම අතුරු මාර්ගයෙනි.දැන් කරන්නට ඇත්තේ තව ටික දුරක් ආපස්සට ගොස් පොත්තපිටිය පැත්තෙන් කඩුගන්නාවට පැමිනීමයි.
මෝටර් බයිසිලය හරවා ගත් අමිල “අපි පොත්තපිටිය පැත්තෙන් දාලා යමු”රුවනිට පැවසීය. ඇය අමිල තදින් බදා ගනිමින්ම,හිස අමිලගේ පිට මත තබමින්ම “හා”පැවසීය.
පොත්තපිටිය මාර්ගයට වැටෙන්නට තවත් කිලෝමීටර් 12ක් පමණ පසු කල අතර .පොත්තපිටියට කරා දිවෙන මාර්ගය අමිල හිතුවාට වඩා දුශ්කර නැග්මක් සහිත විය. අනෙක් අතට මාර්ගය දෙපසම පැතිර තිබුනේ කැලෑ රොදයි.මාර්ගයේ කිලොමීටරයක් පමණ යනවිට එක්වරම කාලගුණය වෙනස් වී පරිසරය අදුරුවූ අතරම කුණාටුවක පෙරනිමිති පහල කරමින් තදින් හුළං හමන්නට පටන් ගත් අතර අහස කලු වළාකුළින් බරවිය. තදින් හැමූ සුළගට මාර්ගය දෙපස ගස් වැල් පණ ඇති සතුන් මෙන් ඇඹරි ඇඹරී මාර්ගයට නැවුනේ ඔවුන් ගිල ගන්නට උත්සාහ කරන ලෙසයි. “බය වෙන්න එපා තව ටිකයි”අමිල කීවේ අමිලටද බයක් දැනුන බැවිනි. ඒ වෙලාවේ අමිලට සිහියට නැගුනෙ තම අයියා චමිලයි. ඔහු අමිලට දෙතුන් වරක්ම “ඔය ශෝට් කට් වලින් යන්න එපා,ඔවෑ ගිහිං මග හිර උනොත් ආයේ කරගන්න දෙයක් නෑ” අවවාද කර ඇත.”හරියට කෝච්චිය රඹුක්කන කඩුගන්නාව අතර හිර උනා වගේ තමා”එය තව පැහැදිලි කරන්න අයියා ගත්තේ වැරදි උදාහරණයක් බව අමිල එදාත් සිතුවෙ ඒ අතරමග කඩිගමුව,ගන්ගොඩ, ඉහල කෝට්ටේ හා බලන දුම්රියපොළවල් ඇති නිසායි.අනේ අයියාවත් හිටියානම්.අමිල මතක් කරේ හැමදාමත් අමිල අමාරුවක වැටුනු වෙලාවට ගොඩ ගත්තේ චමිල වූ නිසයි.ඔහු සහෝදර ප්රේමය උතුරා ගොස් තිබූ සහෝදරයෙකි.එහෙත් දැන් අයියා නැත.
විනාඩි ගණනකින් අකුනු පුපුරමින් මහා වැස්සක් කඩා හැලින.අමිල අසල හසක් යටට මදක් බයිසිකලය මුවා කොට තමන් හැදසිට ජැකට් එක රුවනිට ඇන්දවිය. තම දුරකථනය අතට ගත් අමිල ඇමතුමක් ගන්නට හැදුවත් ඔවුන් සිටියේ කිසිදු දුරකථන ජාලයක් ක්රියාත්මක නොවන කැලෑ ප්රදේශයකයි.
“අමිල මේ කැලේ ඉන්නේ නැතුව අපි කොහොම හරි යමු”රුවනි කෙදිරිගාමින් පැවසීය. “හරි අපි ගෙයක් දොරක් තියන තැනකට යමු”කී අමිල මෝටර් බයිසිකලය පණ ගැන්වීය.වේලාව 3.30 පමණ වුවත් ධාරානිපාත වර්ශාවත් මගදෙපස කැලයත් නිසා මාර්ගය පුරා දැඩි අදුරක් විය .විනාඩි ගණනට පාර පුරාද වතුර ගලා යමින් තිබින. විශාල ප්රමාණයේ වැහි බිදු වයිසරයේ වැදී පිපුරුවේ සට පට හඩ නගමිනි. ඒ නිසා ගමන සිදු වූයේ ඇවිදින වේගයටත් අඩු වේගයකිනි.මෝටරසයිකලයේ ඉදිරි ලාම්පුද මීදුම් ලාම්පුද දල්වා තිබුනත් අඩියකට දෙකකට වඩා මාර්ගය පෙනුනේ නැත. විටින් විට පුපුරණ අකුණු එළියට මාර්ගය පැහැදිලි උනත් පුපුරණ අකුණක් ගානේ රුවිනි තමා මිරිකාගන්නා බැවින් අමිල සිටියේ අකුණු වලට හිතින් ශාප කරමිනි.පැයක පමණ කාලයකට පසු යන්තම් කැලෑරොද තුනී වෙන ලකුණු පෙන්නුම් කරමින් තිබුණද කුණාටුව වැඩිවී තිබිණ.බොහෝ වේලාවකට පසුව රුවිනි කඩහඩ අවදි කලාය. ඇය සට සට ගා වෙවුලන්නට පටන් ගෙන තිබුණේ දැන් විනාඩි දහයක පමණ සිටයි.”අපි කොහේ හරි නවතිමු,,, මට අමාරුයි වගේ” “හරි බබ ,ඔහොම යමු තැනක් හම්බවෙයි “අමිල කිවේ ඇය අස්වසන්නට පමණක් නොව හිතට ආ දැඩි විශ්වාසයක් හේතුවෙනි.
කුණාටුව පටන් ගන්නාවිට අමිල කිසිවක් කර කියාගත නොහැකි තත්වයක සිටියත් කැලය මැදදී රුවනිත් උපදින්නට ඉන්නා දරුවාත් සුරැකිව නිවසට ගෙන යෑමේ දැඩි අධිශ්ඨානයක් අමිලට ඇතිවිය.”ඕනම මනුස්සයෙක්ට තනියම ප්රශ්නෙකට මූණ දෙන්න උනාම මෙහෙම වෙනවා ඇති”අමිල තමන්ටම කියාගත්තේය. යන මාර්ගයේ ඉසව්වුක්වත් මවා ගැනීමට නොහැකිවී සිටියත් අකුණු එළියෙන් දෙපස කුඹුරු ඇති බව දුටු අමිල සැනසුම් සුසුමක් හෙළුවේ ඒ ලගම ගම්මානයක් තිබියයුතු බැවිනි. තව මද දුරක් යනවිට මාර්ගයේ දකුණු පස කුඹුරු යායේ මැදට වන්නට තට්ටුදෙකේ පැරණි සොල්දර නිවසක් අකුණු එළියට දර්ශනය විය. මොටර් සයිකලයේ වෙළ හරහා වැටුනු මාර්ගයට හැරවූ අමිල විදුලි ලාම්පු එළියෙන් මාර්ගය පිරික්සමින් මෝටර් සයිකලය නිවස දෙසට පැදවූයේ ඉතා සීරුවටයි.කුඹුරු යායම වතුරෙන් පිරී තිබූ අතර මඩවී තිබූ මාර්ගය හරහාද තැනින් තැන වතුර ගලමින් තිබිණ. ධාරානිපාත වර්ශාව අතරේ හැම පැත්තෙන්ම ඇසුනේ වතුර ගලායන,වතුර වැටෙන ශබ්දයි.නිවසට පිවිසීමට අඩි 4ක පමණ කුඩා කොන්ක්රීට් තට්ටුවක් ඇල හරහා දමා තිබිණ. නිවසේ මිදුලේ මොටර් සයිකලය නැවැත්වූ අමිල රුවනිට බහින්නට උදව් කලේය.”අම්මෝ මට අමාරුයි බඩ කොරවෙලා වගේ අමිල”මොටර් සයිකලයෙන් බැස්ස ඇය නැමී හිදිමින්ම පැවසීය. සීතල වැස්සේ එකම ඉරියව්වකින් පැමිණීම නිසා ඇයගේ උදරය දිග හැරීම අතිශය වේදනාකාරී වී තිබිණ.”අපි ඇතුලට යමු කවුරු හරි ඇති”කියමින් අමිල ඇයව වත්තන්කරගෙන නිවසේ දෙසට පානැගුවේය.
එක් පසෙක කඩකාමරයක මෙන් ලෑලි දමා වසා තිබිණ.ඉහල මහලේ සොල්දරය තනිකරම ලී වලින් නිමවූ බව බැළුබැල්මට විදුලි එළිතුලින් දිස්වින. පැරනි තාලේ කැටයම් වැටකින් නිවස දිගටම වූ සදළුතලය නිසා නිවසේ බිත්ති වැස්සෙන් ආරක්ශාවී බොහෝ දුරට වියලි ස්භාවයක් ගත්තේය.ජනෙල් වලත් නිවසේ ඉහල වහලයේත් කැටයම් කැපූ වඩිම්බු විදුලි එළියට කැපී පෙනුනේ නිවසේ පැරනි බව මතුකරමිනි.අමිල දොර ලෙස අදුරේ පෙණුන කුඩා පෝටිකෝව වෙත රුවනිව ගෙනයන ගමන්ම සාක්කුවට අත දමා හෑන්ඩ් ෆෝනය ගෙන ඇමතුමක් ලබා ගන්නට උත්සාහ කලේය. මහ වැස්සට තෙත බරි වී තිබූ දුරකථනය ක්රියා විරහිත වී තිබිණ. “කවුරුත් නැද්ද පාළු ගෙයක්ද “ගැහැණු ඉවටදෝ රුවිනි ඇසුවාය. බලමු බලමු කියමින් අමිල දොරට මහ හයියෙන් තඩි බෑවේ කවුද ගෙදරෝ ,,හඩ නගමිනි. දෙවනි වර දොරට තඩි බාමින් සිටින අතර දෙසවන් බිහිරි කරවමින් අසල වෙල් යායේ කොතනටහෝ අකුණක් ගැසීය. අකුණත් සමගම දොර විවෘත් වූ අතර එ ගමන්ම “අම්මෝ “කියමින්රුවිනි උදරය අල්ලා ගත්තාය..”අනේ අක්කේ මෙයාට අමාරුයි” අමිල නිවසේ දොර අසල සිනහවකින් තොරවසිටගෙන සිටි විදුලි එළියට සුදු මැලිව පෙනුන කන්තාවට පවසමින් රුවිනි වත්තන් කරගෙන ඇය නිවස තුලට රැගෙන ගියේය.
“අනේ මට මොකුත් පේන්නේ නෑ,ඔයා කාටද කතා කරන්නේ”බය වෙන්න එපා මැණික මේ අක්කා අපිට උදව් කරයි,ඔහොම හාන්සි වෙන්න ,අමිල රුවිනිට හාන්සි වීමට ඇය අමාරුවෙන් වත්තම් කරමින්ම කාන්තාව සමග කතාකලේය.. අනේ අක්කේ මොනවාහරි කරන්න. මෙයාට අමාරුයි.උණු වතුර ටිකක් ගන්න පුළුවන් වෙයි නේද අක්කේ. අමිලට සිහිපත් වූයේ තමා නැරඹූ චිත්රපටයක තරුණියක් තම අවුරුදු 12ක දියණියට උපදෙස් දෙමින් තමාම දරුවෙකු ප්රසූත කරන දර්ශනයකි.ටවල් එකක් ඕඩි කොලොන් ඇදුම් එහෙම මේ බෑග් එකේ තියනවා.මේ දිනවල කොහේ ගියත් රුවිනි සමග අරන් යන කලමණා බෑගය පෙන්වමින් අමිල කීය.. “අනේ මට බයයි.. කලුවරයි හොදටම .මට මොකුත් පේන්නේ නෑ”රුවිනි නැවත පැවසුවාය. ඔයා බය වෙන්න එපා හැමදෙම හොදින් සිද්දවෙයි .ඔයා දිග හුස්ම ගන්න මෙන්න මේවගේ අමිල හුස්ම ගන්නා ආකාරය පෙන්නුම් කරමින්ම ඇගේ එක් අතක් තදින් අල්ලාගෙන අනෙක් අතකින් ඇගේ ඇදුම් සකසන ගමන් පැවසීය.කතා බහකින් තොරවූවත් නිවසේ අක්කා කඩිමුඩියේ සියළු කටයුතු කලාය.ඇගෙ මුහුණේ සිනාවක් දක්නට නොලැබුනත් ඇය කරුණාවන්ත අයෙකැයි අමිලට සිතිණි .
රුවනිගේ දෙපා දණහිස ලගින් නමාඈත් කරන විට ඒ දෙස බැලීමට අසීරුවෙන් හෝ රුවිනි විදින වේදනාව මුහුණෙන් දැකීම නිසාහෝ අමිල සිටියේ බාගෙට දෙනෙත පියාගෙනයි. වරින් වර පුපුරණ අකුනු එළියට රුවිනිගේ මුහුණේ පෙනෙන ඉරියව් අමිලට ඇති කරේ අවිනිශ්චිත හැගීම් වැලකි. අමිල ඉතිපිසෝ ගාථාව කියන්නට උත්සාහ කලත් අක්කා අමිලගේ අතකින් අල්ලා මිරිකා එය වැලැක්වූයේ ඇයිදැයි අමිලට කල්පනාවක් නොවුනි.තප්පරයක් පැයක් විලසට ගතවූ කාලයකට පසු වැස්සේ හඩ පරදමින් ආවේ ළදරු හැඩුම් හඩකි.තවත් විනාඩි ගානකින් නිල්පාට ප්ලැනල් පොරවනයකින් ඔතනු ලැබූ ලේ කැටියා රුවනි අතට පත්විය.මෙයා එහාට කරන්න .මෙතෙක් කරුණාවෙන් සිටි අක්කා ටිකක් රළු හඩකින් අමිලට පැවසීය. අමිල රුවනිව සෙමෙන් මදක් ඔසවමින් මදක් එහාට රැගෙන ගියේය .එහාට ගිය අමිල අකුණු එළියට දුටුවේ බිම ගලායමින් තිබූ රුධිරය දෙස නැවී බලමින් සිටි අක්කායි. රුධිරය දැකීමත් සමග අමිලට සිහිය නැතිවිය.
අමිලට සිහිය එනවිට වැස්ස පායා හිරු එළිය වැටී තිබිණ. ඔහු ගේ දෙනෙත් මානයෙන් සේලයින් බෝතලයක් එල්ලී බිදුව බැගින් නිදහස්වෙමින් තිබිණ. එ සැනින් රුවනිත් දරුවාත් සිහිපත් වූ අමිල ඇදේ ඉදගන්නා ගමන්ම කෝ මගේ දරුවා කෝ රුවනී කෑ ගැසීය. හා හා දගලන්න එපා ඔයාගේ සේලයින් එක ගැලවෙයි.කියමින් ඔහු වෙත සිරියාවන්ත ලෙස සිනාසෙමින් පැමිණි හෙද නිළධාරිණිය . “බබයි ,අම්මයි දෙන්නම හොදින් ඔයා හරි වීර වැඩක් කරලා දෙන්නම බේරගෙන නේ “ඇය කීවාය. දෙන්නම පේරාදෙණිය ඉස්පිරිතාලෙට මාරු කරා. බය වෙන්න දෙයක් නෑ ඔයාට හොද වෙලා ඩිස්චාර්ජ්කරාම යන්න පුළුවන්. කෝ දැන් ඔයාගේ අත හොදද ඇය අමිලගේ අතක් අල්ලා වැලමිටට උඩින් බාහුව පිටුපස බැලීය. අමිලට වේදනාවට කෙදිරි ගෑවින.මොකද මෙතෙන්ට උනේ.ඇය ඇසූ අතර අමිලට ඉතිපිසෝ ගාථව නතර කිරීමට අක්කා ඇල්ලුවේ කළුතලාවී වේදනා ගෙන දෙන මෙතන බව සිහිපත් විය. අපි ඔයාගේ ගෙදරට පණිවිඩේ දුන්නා.හොද වෙලාවට ඔයාගේ පර්ස් එකේ ගෙදර අංකේ ලියලා තිබ්බේ. උදේම ඔයාගේ අයියා කෙනෙක් ඇවිත් ඔයාව බලලා පේරාදෙණියේ ගියා ආපහු එයි ඇය දිගටම පැවසුයේ අමිලට ප්රශ්නයක් ඇසීමට ඉඩක් නොතබමිණි. ඔයාට බඩගිනිද උදේට කන්න මොනවා හරි ගෙනත් දෙන්නද ඇය නැවත ඇසීය. අමිල හිටියේ බඩගින්නේ වුවද රුවනි ඇස්දෙකට දකිනතුරු කෑමට පිරියක් නොවූ බැවින් එපා හැගවීමට ඔලුව් දෙපසට වැනීය.
දහය පමණ වනවිට සුගත් අයියා ඔහුගේ කාර්යාලයේ යහලුවෙකු වූ රවි සමග පැමිනි අතර ඔවුන්හට රෑ වූ සිදුවීම් මාලාව කෙටියෙන් පැවසූ අමිලට උවමනා වූයේ හැකි ඉක්මනින් රෝහලෙන් පිටවීමටයි. ඒසදහා උත්සාහ කලත් “අපේ ඩොක්ටර් එනකම් ඉන්නවෙනවා ඒකටනම්” හෙදිය පැවසූ හෙයින් ඒවැඩේ පසක තබා ඊයේ රාත්රි උදව් කල නිවසට ගොස් අමිලගේ බයිසිකලයද රැගෙන ඒම සදහා සුගත් හා රවී පිටත් විය.
අමිල මල්ලි කියන විදියට ඒ ගෙදර ගැනූ කෙනා තමා ඔක්කොම දේවල් කරලා තියන්නේ . අද කාලේ එහෙම දැනුමක් තේරුමක් තියන අයත් අඩුයිනේ. අපි දැනට ඔය කන බොන දෙයක් අරන් ගිහිල්ලා පස්සේ වෙලාවක අමිල මල්ලිත් එක්කත් කතාකරලා මොනවාහරි දෙයක් කරමු.
කඩුගන්නාව බේකරියකින් කෑම වර්ග පිරි පාර්සලයක් හදා ගත් දෙදෙනා පොත්තපිටිය මාර්ගයට වාහනය දමා ඉදිරියට යන්නට විය.
රවි මචං උඹට පුළුවන්නේද බයික් එක අරගන්න.සුගත්ගේ පැනයට රවි පිළිතුරු දුන්නේ අහන්නත් දෙයක්ද මචං කියමිනි..
කඩුගන්නාවේසිට කිලෝමීටර හයක් හතක් ගිය තැන අමිල කියූ ලෙසම වෙල් යායක් පසුපසින් මැදට වන්නට තට්ටුදෙකේ පැරණි පන්නයට කැටයම් දැමූ වඩිම්බු ගැසූ සොල්දරනිවසක් දක්නට ලැබින. ඈත තියා වුවද නිවසේ පාළු පැරණි ස්භාවය කැපී පෙනුනි.කාරය දැමීමට තරම් පාර සුදුසු නොවූ බැවින් සුගත් මාර්ගය අයිනක වාහනය නවත්වා රවි සමග නිවස දෙසට යන්නට විය. නිවස අසල හය හත් දෙනෙකු රැස්වී සිටි අතර ඔවුන් අසල ඇලෙන් වතුර අදිමින් නිවසේ පිරිසිදු කිරීමේ කටයුත්තක නිරත්වී සිටි බව දක්නට ලැබිණ. මෝටර් සයිකලය අමිලගේ බෑගයදසමග මිදුලේ නවතා තිබින.මිදුලේ සිටි තලත්තෑනිම අය දෙස බැලූ සුගත්,
මාමේ අපි මේගෙදර ඊයේ රෑ ඇවිත් ඔයාලා උදව් කරපු ජොඩුවගේ අයියලා දෙන්නෙක් . කවුද මාමේ මේ ගෙදර ඉන්නේ. ඇසීය.
සුගත් දෙස විපරම් ඇසින් බැලූ ඔහු යමෙකුට අඩගැසීය. විමලේ අයියා මෙහේ එන්නකෝ පොඩ්ඩකට මෙන්න මේ මහත්තයාට උත්තර දෙන්න.
නිවස තුල සිට් පැමිණියේ ප්රසන්න පෙනුමැති හිස ඉදිරිපස තට්ටය පෑදී ඉස නිකට පැසී තිබූ අයෙකි.
විමලේ අයියා මෙන්න මේ මහත්තයාගේ මල්ලි කෙනෙක් තමා ඊයේ රෑ මේ ගෙදර ඉදලා අපි 1990ගහලා ඉස්පිරිතාලෙට යැව්වේ. මහත්තයාට දැනගන්න ඕනලු මේ ගෙදර ගැන..
විමලේ මාමාද ගෙදර .හිටියේ ඊයේ රෑ. සුගත් ඇසුවේ සුහදව සිනා සෙමිනි.
අනේ නෑ මහත්තයා මේ අපේ මහගෙදර අපි හැදුනේ වැඩුනේ මෙහේ තමා ඒකාලේ අපේ අප්පච්චි මෙතන බොහොම සාරෙට කඩයක් කරා.උන්දෑ නැතිවෙලා අවුරුදු 48කුත් පහු උනා මයේ හිතේ. අපේ මල්ලි බඩපිස්සාට තමා ගෙදර අයිති උනේ.විමලේ එක දිගට කියාගෙන ගිය අතර. දැන් මල්ලි හරි මල්ලි බැදපු නංගි හරි ඉන්නවද මාමා. සුගත් හරස් කපමින් ඇසුවේ හැකි ඉක්මනින් ඒකරුණාවන්ත කාන්තාව දැක ගැනීමටයි.
අනේ මහත්තයෝ අපේ තාත්තා නැතිවෙලා අවුරුදු දෙකකින් වගේ මගේ මේ නෑනා බඩ උනා. ඔය කුඹුරු යාය අපේ . නංගිගේ බඩට මාස අටක් පහු වෙනකොටම වගේ දවසක උන්දැට අමාරු උනා.ඒ කාලේ වාහනත් වැඩිය නෑනේ.අපි අමාරුවෙන් මග ගිය වාහනයක් අල්ලගෙන ඉස්පිරිතාලෙට එක්ක යන්න ගියා ,ඒත් මගදීම අමාරු උනා හරියට වේදනා වින්දා කෑ ගහ ගහ.මගදි දැගලිල්ල අඩු උනා.අපිට තේරුමක් තිබ්බෙත් නෑ.ඉස්පිරිතාලෙට අරන් යද්දිත් දරුවයි අම්මයි දෙන්නම අන්තරා වෙලා.දරු ගැබ හරහට හිටලා කියලා තමා ඉස්පිරිතාලෙන් කිව්වේ.
මොනවා. එතකොට මල්ලී.
තුන්මාසේ දානේ දෙනකම් හිටියා ඊට පස්සේ ආගිය අතක් නෑ. මේ ගෙදර වහලා තියන්නේ.එතකොට ඊයේ රෑ .. සුගත් අහන්නට ගිය දේ හිතේ හිරකර ගත්තේ එය ඇසීමෙන් මෙතන ඇතිවන තත්වය තෙරුම් ගත් බැවිනි.
ඊයේ රෑ මහත්තයෝ අර මහත්තයා දොරට ගහපු පාර අගුල පැනලා දොර ඇරිලා තියනවා. ඒ මහත්තයා තනියම වින්නඹු කමක් කරපු එකයි පුදුමේ.අපි එනකොටත් බබාගේ පෙකණිවැලත් කපලා දරුවා ඔතලා නොනා අතට දීලා. නෝනත් එහාට කරලා ,නෝනා බිම හිටපු තැන ගලපු ලේත් පිහදාලද කොහෙද . හැබැයි මහත්තයො තනි පංගලමේ මේ පාළු ගෙදර කිල්ලක් වෙච්චි වෙලාවක ලේ අල්ලපු හන්දද කොහෙද අපි එනකොට මහත්තයා කලන්තේ දාලා. අපි ඉස්සෙල්ලාම මහත්තයා ගැන බැලුවේ.අපේ හේරත් මාමා නූලකුත් මැතිරුවා කෝකටත් කියලා.
ඔව් අමිල මල්ලිට ලේ දැක්කම කලන්තයක් එනවා.හරි එතකොට ඔය මාමලා මේක දැන ගත්තේ කොහොමද.
ඇයි මහත්තයා අපේ ගේ තමා අර උඩැහින් පේන්නේ ඔහු මදක් දුරින් ඇති නිවසක් පෙන්නමින් පැවසීය.ඒ වෙනකොට අපි රෑට කාලා හිටියේ.ලයිටුත් ගිහින් නිසා කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන සාලේ හිටියේ. ඒ වෙලාවේ තමා මහ වැස්සේ අනිත් මහත්තයා ඇවිත් අපේ දොරට ගැහුවේ . ඒ ගහලා වෙච්ච සිද්දිය කිව්වම මම මේ මලයටත් කෑ ගහලා කතා කරගෙන හේරත් අයියටත් කතාකරගෙනම දුවගෙන ආවා. කො ඒ මහත්තයා ආවේ නැද්ද ..
මොන මහත්තයාද සුගත් දෑස් විශමයෙන් ලොකු කරගනිමින් ඇසීය. අර මහත්තයාගේ අයියා කියලයි කිව්වේ.මූණ පුරා ගන රැවුලක් වවලා හිටියේ මූණ දැක්කම රාජසිංහරජ්ජුරුවෝ වගේ . අනේ අර එක කකුලක පුංචි කොරයක් තිබුනේ නැත්තම් අංග සම්පූර්ණ පිරිමියා කියලා මේ අද උදෙත් අපි කතා උනේ.
කිසිවක් නොකි සුගත් හරි මාමලා මේන්න මේටික අරගෙන තේ බොනකොට කන්න. අපි මේ ලෙඩා බලලා අයේ එන්නම් කීයමින් පාර්සලය ඔවුන් අත තැබීය.
අනේ මහත්තයෝ මොකට මේවා ගෙනාවද.. අපිට සන්තෝසයක් ජීවිත දෙකක් බේරන්න ටිකක් හරි සම්මාදම් වෙන්න උන එක ගැන. ඒ පින් අපේ මල්ලිටයි පවුලටයි. කී විමලේ අහස දෙස බැලීය..
රවි බයික් එක ගමු. අතින් සන් කල සුගත් කල්පනාවකින් යුතුව ආපසු හැරිණි.
මෝටර් බයිසිකලයේ පසුපස අසුනේ සුගත් හිද ගත්තේය.මද දුරක් කතාවකින් තොරව ආ නිසා රවි කටහඩ අවදි කලේය. සුගත් මචං මම දන්නේ නැහෙනේ අමිලට අයියා කෙනෙක් ඉන්නවා කියලා. අයියා කෙනෙක් හිටියා .සුගත් කීය .හිටියා ඒ කතාවේ තේරුම මොකද්ද
මමත් මේ තේරුමක් හොයන ගමන්.ඒත් සමහර ඒවා අපිට කිසිදාක තේරුම් ගන්න බෑ ,කාටවත් තේරුම් කරන්නත් බෑ. ඒක තමා ඇත්ත.ඒ නිසා මේකතාව අපි දෙන්නා දැන ගත්තම ඇති.
අමිලගේ අයියා චමිල මගේ හොදම යාලුවා .අමිලට පන වගේ ආදරේ කරේ දැන් අවුරුදු 7කට උඩදි ඒ අයියා මැරුනා..
උපුටා ගැනීම: Vasantha Wijayasiri

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!