බයිසිකලය ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කෙල්ලෙක් උන මට බයිසිකලයක් තිබ්බා.මම ඉස්කෝලෙ ගියේ ඒක පැදගෙන.අපේ පංතියෙ හැමදාම පළවෙනියා වෙන රුචිර ඉස්කෝලෙ ආවේ පයින්.මුලින් මුලින් මම එයාව පහුකරගෙන ආවේ මාර ඔළුවෙන්.හැරිලවත් බලන්නෙ නෑ.සමහර වෙලාවට ට්රීං ගාල බයිසිකල් සීනුවත් ගහනවා.ඒ බොරුවට.කොහොමත් රුචිර ගියේ පාරෙ අයිනට වෙලා බිමත් බලාගෙන.මගේ බයිසිකලයේ ඉස්සරහ කූඩයක් තිබ්බා.පොත් බෑග් එක දැම්මෙ ඒක අස්සේ.පන්තියේ මල් වාස් එකට ගෙනියන අරලිය,රෝස වගේ මල් දාගෙන ගියෙත් ඒකේ.දවසක් රුචිර මට ඉස්සරහින් යනවා බිම බලාගෙන.බෑග් එක පිටේ එල්ලගෙන.එකපාරටම මට පෙනි පෙනිම එයාගෙ බෑග් එකේ පටිය කැඩිලා බෑග් එක බිමට වැටුණා.මට බකස් ගාලා හිනාගියා.එයා වටපිට බලලා ඉක්මනට බෑග් එක උස්ස ගත්තා.ඒත් පොත් තොගයක් තිබුන බෑග් එක එක අතකින් උස්සන් යන්න බැරිතරම් බරයි.එයා අත් දෙකෙන් බෑග් එක බදාගෙන ඉක්මනට ඉක්මනට යන්න පටන් ගත්තා.මම හිනාව තද කරගෙන එයාව ඉස්සරකලා.ඒත් මමම දන්නෙ නෑ අඩි දෙක තුනක් ඉස්සරහින් මම බයිසිකලයේ නැවැත්තුවා. “දෙන්න බෑග් එක”..කට ඇරන් බලන් ඉන්න රුචිරට මම කිව්වෙ ඉස්සරහ කූඩෙ ඉඩ ගන්න ගමන්.ඒත් බෑග් දෙකම දාන්න ඉඩ මදි.ඔයා මගේ බෑග් එක කරේ දාගෙන එන්න.මම ඔයාගේ එක ගෙනියන්නම්
..මම අන දෙනවා.ලොක්කි වගේ.රුචිර කියන දේ කෙරුවේ පුදුමෙන්.එදා තමයි මම දැක්කෙ රුචිරගෙ බෑග් එක කොයිතරම් පරණද,ඉරිලද කියලා.පටිය කැඩිලා තිබුනේ ඒක ආය කට්ටකින් අමුනන් හිටපු නිසා. පහුවෙනිදා රුචිර පොත් අරන් ආවේ අතේ.එදත් මම බයිසිකලයේ කූඩෙට එයාගෙ පොත් ටික දාගෙන ආවා.එදා රුචිර ලස්සනට හිනා උනා.ඊළග දවසේ මම එනකං හිටපු එයා අහන්නෙ නැතුවම පොත් ටික මට දීලා මගේ බෑග් එක එයා දා ගත්තා.සෑහෙන දවසකට පස්සෙ දවසක් රුචිර අලුත් බෑග් එකක් අරන් ආවා.ඊට පස්සෙ බෑග් මාරුකරගත්තෙ නැති උනාට සමහර දාට අපි කතා කර කර ආවා. උසස්පෙළ පංතිවල අපි වෙන වෙන විෂය ධාරාකලත් අපේ යාළුකම එහෙමම තිබුනා.ඒ කාලෙ තමයි රුචිරට බයිසිකලයක් අරන් දුන්නෙ.මට හිතෙන්නෙ යාළුකමේ ලස්සනම කාලේ ඒ.කරදඩු උස් උනත් අපි තරගෙට බයිසිකල් පැද්දා.කියෝ කියෝ පාරවල් දිගේ ඔහේ ගියා. ඒ කාලේ යාළුකමට එහා ගිය,ප්රේමයට මෙහා නැවතුන බැදීමක් අප අතර තිබුනා මං හිතන්නේ.
කාලය බොහෝ දේවල් වෙනස් කලා.රුචිර හොදට විභාග පාස් කරලා රට ගියා තවත් ඉගෙන ගන්න.මම ගොඩක් ඉහලට ඉගෙන ගත්තෙ නෑ.ඒත් රස්සාවකට කොළඹට ආවා.ඒ එක්කම යාන්තං ගැට ගැහිලා තිබ්බ අපේ යාළුකම නැතිවෙලාම ගියා.මට ඉදහිට රුචිරව මතක් නොවුනම නෙමේ..ඒත් හිතේ ලොකු ඉඩක ඒ මතකය බොහෝ සුන්දරව තැන්පත් වෙලා තිබ්බා
මම කොළඹ ඉදලා ඇවිත් බස් එකෙන් බැහැලා ගමට යන බස් එක එනකං හෝල්ට් එකේ ඉද්දි වේගයෙන් ගිය නවීන පන්නයේ මෝටර් රථය ක් රිවස්කරලා ඇවිත් මා ළගම නැවැත්තුවා. රුචිර…අවුරුදු කීපයක් රට හිටපු නිසාද කොහෙද පැහැපත් වෙලා.කඩවසම් පෙනුමක් ඇවිත්. මම පුදුමෙන් බලද්දි එයා බැළුවෙ ඊටත් වඩා පුදුමෙන්..”කල්පි ” රුචිර ගෙ තොල් විතරක් සෙලවුනා.එයා කාරයෙන් බැහැලා ඇවිත් මං ඉස්සරහ හිටගන්නකං මටත් කතා කරගන්න බැරි උනා.
ගෙදර යන්නද…?
එයා ඇහැව්වෙ මගේ අතේ තිබ්බ ලොකු බෑගය දිහා බලන ගමන්.
මම ඔව් කිව්වෙ නෑ ..හිනා උනා
යං….
මගෙන් උත්තර එන්න කලින් එයා මගේ අතේ තිබ්බ බෑග් එක වාහනේ පිටි පස්සෙ සීට් එකෙන් තියලා ඉස්සරහ දොර ඇරියා.
රුචිර වාහනය පැදෙව්වෙ බයිසිකලයක් යන ගානට හෙමින්.ඒත් අපි කතා කලේ හරිම අඩුවෙන්.
ගේ ළගටම ආවට පස්සෙ රුචිර එක ප්රශ්නයක් ඇහැව්වා.
හවසට බැරිද බයිසිකලයේ පැදගෙන වැව පැත්තට එන්න.රවුමක් යන්න.
මට හිනා ගියා.
“ඒ බයිසිකලේ දැං පදින්න බෑ රුචිර.පරනයි.ටයර් ටියුබ් දාන්න වෙලත් ඇති”.මම මගේ ඇදුම් බෑග් එක ගන්න අත දික් කරන ගමන් කිව්වේ බොරුවක්.ඒක මම හේතුවක් නොසිතාම නඩත්තු කෙරුවා.තරමක් පරණ උනත් පදින්න පුළුවන් මට්ටමක තිබුනා.මා දිහා ටිකක් වෙලා බලන් හිටපු රුචිර දිලිසෙන ඇස් වලින් කතා කලා.
“මගේ බයිසිකලයේ නම් පරණයි නේ .ඒත් මම ඒක කාටවත් දෙන්න දුන්නෙ නෑ.තාමත් ගෙදර තියනවා.ඒක නෙමේ
අකමැත්තක් නැත්තං….නෑ මේ අයිතිකාරයෙක් නැත්තං මම ඔයාගේ බෑග් එක ගෙදරටම ගෙනත් දෙන්නද..?
.රුචිර ඇහැව්වෙ ප්රශ්නයක්ද කිව්වෙ මොකක්ද කියලාවත් මට හිතා ගන්න බැරිඋනා.මගේ කම්මුල් වලට ලේ පුරනවා වගේ මට දැනුනා.මම දෙතොලෙ අදුන හිනාව රුචිරට පා කරන ගමන් ඉස්සර උනා.එයා මගෙ බෑග් එක අරගෙන මගෙ ළගින්ම එනවා මට දැනුනා.
උපුටා ගැනීම:  Nilusha Anne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!