දෛවයට ඔච්චම් කර ජීවිතය ජයගත් මිනිස්සු (චරිත)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ආබාධිත තත්ත්ව නොසලකමින්,ලෝකය ජයගත් අසාහය මිනිසුන් බොහෝ වෙති. ඔවුහු හුදෙක් තම ජීවිත ජය ගත්තා පමණක් නොව, අන් අයට ද ජීවිතය ජය ගන්නට නව ජවයක් ලබා දී ඇත.

සමහරු ජීවිත ජය ගත්තේ බරපතළ රෝගාබාධ තිබියදී ය.තවත් සමහරු ආබාධිතව සිටියදී බව අප අමතක කළ යුතු නැත.

ස්ටීවන් හැව්කිංග්ස්

බ්‍රිතාන්‍යය ජාතික ස්ටීවන් හැව්කිංග්ස්, න්‍යායික භෞතික විද්‍යාඥයෙකි. අජටාකාශ විද්‍යාඥයෙකි.

එමෙන් ම ඔහු, ගත් කතුවරයෙක් සහ පර්යේෂකයෙක් ද වේ.

ක්ෂේත්‍ර ගණනාවක් හරහා නමක් දිනාගත් ස්ටීවන් හැව්කිංග්ස්, 20 වැනි සියවසේදී මෙලොව පහළ වුණු හසල බුද්ධිමතකු හැටියට කවුරුත් පිළිගනිති. එහෙත් හෙතෙම, ස්නායු පද්ධතිය හා සම්බන්ධ බරපතළ රෝගී තත්ත්වයකින්පෙළෙන්නෙකි.

රෝද පුටුවට සීමා වුණු ජීවිතයක් ගත කරන ස්ටීවන් හැව්කිංග්ස්ට, එහි සිට වුව කතා කිරීම සහ එහා මෙහා චලනය වීම දුෂ්කර ය. මේ රෝගී තත්ත්වය වඩාත් බරපතළ අතට හැරුණේ, ස්ටීවන් හැව්කිංග්ස්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී සිය මූලික උපාධියට අයත් අධ්‍යාපන කටයුතු කරගෙන යන සමයේදී ය.

එවකට ඔහුගේ වයස අවුරුදු 21කි. ඔහුට වසර දෙකකට වඩා ජීවත් විය නොහැකි බව වෛද්‍යවරු එවකට ප්‍රකාශ කළහ.

දෙවසරක් ගත වනවිට රෝග තත්ත්වය අඩු වී නොතිබුණත්, මරුවා ඔහු සොයා ආවේ නැත. එසේ වුවත් ඔහු, සිය ජීවිතයේ සොඳුරුතම අවධිය ගෙවා දමමින් සිටියේ දැඩි දුෂ්කරතා මධ්‍යයයේ ය. ඒ දුෂ්කරතා තුළ අධ්‍යාපනය අත් නොහළ ඔහු, අවසානයේදී සිය පී.එච්.ඩී. උපාධිය සම්පූර්ණ කළේ ගණිතය සහ න්‍යායාත්මක භෞතික විද්‍යාව යන විෂයයන් ඇසුරෙනි.

එතැන් පටන් විවිධ ඉසව් ඔස්සේ ඉදිරියට ගිය ස්ටීවන්, අද ප්‍රකට දේශකයෙකි. ඔහුගේ දේශනවලට සවන් දෙනු කැමැති විශාල පිරිසක් ලෝ වටා සිටිති. ගත් කතුවරයකු ලෙස ඔහු ඉදිරියට රැගෙන ආ හැකියා, අද වනවිට මල්ඵල දරා තිබේ. ඔහු රචනා කළ කෘති, භාෂා රැසකට නැඟී ඇත.

එමෙන් ම, ඒ කෘතිවල පිටපත් මිලියන ගණනක් ද අලෙවි වී තිබේ.

සුධා චන්ද්‍රන්

රංගනයෙන් සහ නර්ථනයෙන් ඉදිරියට ආ ඉන්දීය ජාතික සුධා චන්ද්‍රන් ගැන මුළුමහත් ලෝකයාම අද කතා කරති.

සුධා චන්ද්‍රන්ගේ නර්ථන සහ රංගන රස විඳින කිසිවකුට, ඈ ආබාධිත තත්ත්වයට පත් ගැහැනියක බැව් හැඟෙන්නේ ද, දැනෙන්නේ ද නැත. ඇය ආබාධිත තත්ත්වයට පත් වූයේ දහසය හැවිරිදි වියේ පසුවන විටදී ය. සංචාරයක යෙදෙමින් සිටි ඈ ගමන් ගත් බසය, තමිල්නාඩුවේදී හදිසි අනතුරකට ලක් විය.

අනතුර නිසා සුධාගේ දකුණු පාදයට බරපතළ හානි සිදු විණි. මදුරාසියේ විජය රෝහල වෙත රැගෙන ආ ඇයට, ඉතා ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දුනි. දින කිහිපයක් ගත වනවිට ඇගේ පාදයේ තත්ත්වය බෙහෙවින්ම නරක අතට හැරෙනමින් තිබෙන බව වෛද්‍යවරු වටහා ගත්හ.

එනිසා වෛද්‍යවරු ඇගේ දකුණු පාදයෙන් කොටසක් කපා ඉවත් කළෝය. ඒ වනවිට සුධා නර්ථනය හදාරමින් සිටි ශිෂ්‍යාවක වූවා ය.

නොසිතූ අවස්ථාවක මුහුණ දෙන්නට සිදු වුණු කරදරයෙන් ජීවිතය අඳුරු කර නොගත් ඈ ,අධ්‍යාපනයත්, නර්ථනයත් යන දෙක ම එක සේ හැදෑරුවේ අභියෝගාත්මක ලෙසිනි.

එනිසා ඇයට ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබන්නටත්, නර්ථනය ප්‍රගුණ කරන්නටත් හැකි විය. පුදුමයකට මෙන් ඇගේ ඉරණම් ගමන යෙදී තිබුණේ නර්ථනය හරහා ය. පසු කලෙක සුධා ද්‍රවිඩ සිනමාවට පිවිසියේ සිය දකුණු පාදයෙන් කොටසක් නැති අඩුව මායිම් නොකරමිනි. ද්‍රවිඩ චිත්‍රපට හරහා මෙන් ම, රූපවාහිනී මාලා නාට්‍යය ඇසුරෙනුත්, හින්දි සිනමාව හරහාත් සහෘද හදවත්වලට මේ වනවිට ඈ ළංව සිටින්නීය.

රංගන සහ නර්ථන හැකියාව වෙනුවන් සම්මාන රැසක් දිනාගන්නට සුධා චන්ද්‍රන් සමත්ව සිටින්නීය. වයස අවුරුදු 8ත් 11ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ඉන්දීය පාසල් ළමුන්ගේ විෂය නිර්දේශයට ඇගේ ජීවිත කතාව එකතු කර ඇත. ඒ අනෙකක් නිසා නොව, ජීවත් වීමේ සහ ජීවිතය ජය ගැනීමේ කලාව ඉගෙන ගන්නට ඇගේ ජීවිතයෙන් ලද හැකි පාඩම් අපමණ බැවිනි.

නිකොලස් ජේම්ස් වුජිසිස්

නිකොලස් ජේම්ස් වුජිසිස් හෙවත් නික්, අද වනවිට ලෝ ප්‍රකට දේශකයෙකි.

ඔහු දේශන පවත්වන්නේ මිනිසුන්ගේ ශක්තිය අවදි කර, ජීවිතයට මුහුණ දෙන අන්දම කියා දීම සදහා ය.

ජීවිතය ජය ගන්නා අන්දම කියා දෙන්නට නික් තරම් හොඳ මිනිසකු තවත් ඇත්දැයි කියා සිතෙන්නේ, නික්ගේ කතාව ඇසූ විටදී ය. නික්, 1982 වසරේ දෙසැම්බර් 4වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී උපත ලැබුවේ දෑතත් ,දෙපාත් අහිමිව ය.

එය බරපතළ රෝගයක් නිසා ඇති වූ තත්ත්වයකි. එසේ වුවත්, නික්ට ජීවත් වීමට පෙර පිනකින් මෙන් අවස්ථාව ලැබිණි.එහෙත්, තරුණ වියට එළැඹෙන විට නික්ට ජීවිතය එපා වූයේ , ආබාධිත තත්ත්ව නිසා තමන්ට කිසිවක් කරන්නට බැරි බව ඒත්තු යන විටදී ය.

එනිසා ම වරක් ඔහු සිය දිවි නසා ගැනීමට පවා උත්සාහ කර තිබේ.

පසු තැවෙමින් සිටි තරුණ නික්ට, ඔහුගේ අම්මා පත්තරයක තිබූ ලිපියක් පෙන්වන්නේ මේ අතර තුරදී ය. අත් පා අහිමිව දැඩි ලෙස අබාධිත තත්ත්වයට පත් මිනිසකු, ජීවත් වන්නට කරන අරගලය ලිපියෙහි සටහන්ව තිබිණි.

ඒ ලිපිය කියැවීමෙන් පසු නික් තමන් ගැන සිතන්නට පටන් ගත්තේය. පසු තැවීම සහ සිය දිවි තොර කර ගැනීම පසෙක ලූ නික්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු විය. ඔස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ඔහු, වාණිජවේදී උපාධිය සම්පූර්ණ කළේ වයස අවුරුදු 21 වන විටදී ය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කළ හෙතෙම, අභිප්‍රේරණය ගැන දේශන පැවැත්වීම ආරම්භ කළේ ව්‍යාපාරික මට්ටමෙනි. මනැසින් කඩා වැටුණු මිනිසුන් දිරි ගැන්වීමේ අපූරු හැකියාවක් ඔහුට පිහිටා තිබිණ.

ඒ හැකියාව ඔහු උරුම කරගෙන තිබුණේ තමන්ගේම අත්දැකීම්වලිනි. නික්ගේ දේශනවලට සවන් දෙන්නට මිනිස්සු වැල නොකැඩී පැමිණියහ. දක්ෂ දේශකයකු වූ ඔහුට, ලොව විවිධ රටවලින් ආරාධනා ගලා එන්නටත් පටන් ගත්තේය. එතැනින් සාර්ථකත්වයට පත් හෙතෙම, සිය කාරිය විධිමත්ව කරගෙන යන්නට සමාගමක් ද ස්ථාපනය කළේ ය.

“Attitude is Altitude” යනු ඒ සමාගම ය. දෑත් දෙපා අහිමි කෙනකු ලෙස උපත ලද නික්, අද සැබෑ ලෙසම ධනවතකු බවට පත්ව ඇත. එයටත් වඩා පුදුමය වන්නේ, අඩි 3යි අඟල් 3ක් උස මේ තරුණයා, 2012 වසරේදී සුරූපි තරුණියකගේ අත ගැනීම ය.

ඇලෙක්සැන්ඩ්‍රා චිචිකෝවා

මේ වසරේ රෝද පුටු රූ රැජණ ලෙස කිරුළු පැලඳුවේ ඇලෙක්සැන්ඩ්‍රා චිචිකෝවා ය. බෙලරුසියා ජාතික චිචිකෝවා මේ කිරුළ හිමි කර ගත්තේ, පසුගියදා පෝලන්තයේ වර්සෝහිදී පැවැත්වුණු ලෝක රෝද පුටු රූ රැජණ තේරීමේ තරගයේදී ය.

රටවල් 19ක් නියෝජනය කරමින් තරගකාරිනියෝ 24 දෙනෙක් මේ තරගයට සහභාගී වී සිටියහ. ඒ අය අතරින් පළමු තැනට පැමිණි චිචිකෝවා, 23 වැනි වියෙහි පසුවන්නියකි. එමෙන් ම ඈ, මනෝ විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරන්නියකි.

රෝද පුටුවට සීමා වුණු ජීවිතයක් ගතකරමින් වුව, රුවෙන් සහ දැනුමෙන් ලෝකයට අභියෝග කළ හැකි වග ඈ ලෝකයට පසක් කර ඇත. සිය ජයග්‍රහණයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඈ මෙසේ පවසා තිබිණ. “… කෙතරම් දුරට චලනය වන්නේද යන්න නොසලකා හැර මටත් සාර්ථක වෙන්න, ශක්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් බව මා දැනගත්තා.

ඒ වගේම රූමත් බව රැක ගන්නත්, ලෝකයාගේ ආකර්ෂණය දිනා ගන්නත් මට හැකියාවක් තිබෙන බව මම පසක් කරගෙන හිටියා. මම හැම විටෙකම සන්තෝෂ වෙන්නේ, අප වැන්නවුන් සාමාන්‍ය අය ලෙස අනෙක් අය සලකනු දැකීමෙනුයි. …” අඩුපාඩු තිබුණ පමණටම ජීවිත් වීම අත්හැර දමන මිනිසුන්ට, ඇගේ ප්‍රකාශයෙන් ලබාගත හැකි ආදර්ශය කෙතෙක්ද?

ස්ටීව් වොන්ඩර්

ස්ටීව්ලන්ඩ් හාර්ඩවේ මොරිස් හෙවත් ස්ටීව් වොන්ඩර් යනු අමෙරිකා ජාතික සංගීතඥයෙකි. ගායකයකු සහ වාදකයකු හැටියටත් ඔහු නමක් දිනාගෙන ඇත. ධනවත්කම අතිනුත්, නිර්මාණශීලීත්වය අතිනුත් විසිවැනි සියවසේ සාර්ථකම සංගීතඥයා හැටියට හඳුන්වන්නේ ස්ටීව් වොන්ඩර් ය.

එහෙත් ඔහු දෑස අඳ කලාකරුවකු බව ඔබ දන්නවාද? ස්ටීව් වොන්ඩර් අඳභාවයට පත් වුණේ, ඔහුගේ උපතින් කෙටි කලකට පසුව ය. කුඩා කල සිට පියානෝ සහ ඩ්‍රම් වාදනයට යොමු වුණු ස්ටීව්, තරුණ අවධියේදී වීදිවලත්, සාදවලත් ගීත ගායනා කළ බව සඳහන් වේ. ඉන් පසු ඔහු යොමු වන්නේ ඇල්බම්වලට ගීත නිර්මාණය කිරීම සඳහා ය.

අධ්‍යාපනයෙන් ඉහළටම පැමිණි කෙනකු නොවූව ද, ගායකයකු සහ වාදකයකු හැටියට රසිකයන්න්ගේ රසඥතාව හඳුනා ගන්නට ස්ටීව්ට පුදුමාකාර හැකියාවක් තිබේ. ඔහුගේ සාර්ථකත්වය රැඳී තිබෙන්නේ ඒ හැකියාව, සතතාභ්‍යාසය සහ අප්‍රතිහත ධෛර්යය තුළ බැව් ඔහු ලෝකයට පසක් කර ඇත.

ග්‍රැමී සම්මාන 25කින් සහ තවත් සම්මාන රැසකින් ඔහු ඇගැයීමට ලක්ව තිබේ. 67 වැනි වියෙහි පසුවන හෙතෙම, එදා මෙන් ම අදටත් නව නිර්මාණ සමඟ රසික හදවත් ආමන්ත්‍රණය කරයි. තමන්ට උරුම වුණු අඳභාවය කරුමයක් ලෙස සලකා, ඔත් තැනම වැටී සිටියා නම්, ඔබටත් ,මටත් ස්ටීව් වොන්ඩර් කෙනකු ගැන අසන්නට ඉඩක් නොලැබේ

 

උපුටා ගැනීම: Gossip Lanka News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!