දෙවැනි මනමාලි (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” මේ ……. මගේ දෙවැනි මනමාලි වෙනවද ?”
දවසක් සමන්තී මට කෝල් කරලා එහෙම ඇහුවත්, මම ඉස්කෝලේ යන කාලේ ඉදලා දැනගන හිටියා සමන්තිගේ දෙවැනි මනමාලි මම කියලා . ඒ වෙද්දී කොහොමත් මම සමන්තීගේ දෙවැනි මනමාලි වෙන්න හිතින් ලෑස්ති වෙලා හිටපු නිසා කෙලින්ම මම සමන්තිට ” හා ” කිව්වා .
සමන්තී මගේ පාසල් කාලයේ සිට මිතුරියක් . ඉස්කෝලේ අපේ රංචුවේ හතර දෙනෙක් හිටියා .
දෙන්නෙක් දැන් ජිවත් වෙන්නේ පිට රට . ඉද හිට අපි වීඩියෝ කෝල් වලින් කතා කරනවා . ලංකාවෙන් පිට ජිවත්වන දෙන්නාගෙනම් බලාපොරොත්තුවක් නෑ නැවත ලංකාවට එන්න .
සමන්ති කසාද බදින්න හදන්නේ ඉස්කෝලේ කාලේ ඉදං යාළු වෙලා හිටපු චරිත් . අප්පෝ ….. බලන්න එපැයි චරිත් සමන්තිව යාළු කරගන්න ඒ කාලේ කාපු කටු . මාස ගණනක් පස්සෙන් ගිහිං ගිහිං , කොහොම හරි සමන්තිගෙන් කැමැත්ත ගත්තා .
ඒ කාලේ චරිත්ගේ යාළුවෙක් හිටියා ප්රකාශ් කියලා . ප්රකාශ් හිංදු අයෙක් . හරිම හැන්ඩියා . කළු , උස , උසට ගැලපෙන මහත . ප්රකාශ් කළු උනත් හරිම දැකුම් කළුයි . හිනා වෙද්දී ලස්සනයි . ඇස් බෝල දෙක කළුම කළුයි . ප්රකාශ් කාලයක් මගේ ක්රෂ් එක වෙලා හිටියා . එත් මම ඒ ගැන සමන්තිට කියන්නවත් , දැනෙන්නවත් ඇරියේ නෑ . හිතින් පිස්සෙක් වගේ ආදරේ කලා විතරයි .
ඉස්කෝලේ කාලෙන් පස්සේ ප්රකාශ් , මම , සමන්තී , චරිත් කීප වතාවක් එකතු වෙලා ට්රිප් ගියා . එත් කවදාවත් මගේ අදහස නම් මම ප්රකාශ්ට දැනෙන්න දුන්නේ නෑ . මගේ පපුවට කරන්ට් එක වැදුන එක විතරයි උනේ .
දැන් අව්රුදු දෙකකින් විතර මම ප්රකාශ්ව දැක්කේ නෑ . සමන්තී දවසක් කිව්වේ ප්රකාශ් රට ගිහිං කියලා . මම ඊට වඩා දෙයක් මම අහන්න ගියෙත් නෑ , සමන්තීට වෙනසක් පෙන්නන්න හොද නැති නිසා . එත් හිතිං මම නොසෑහෙන්න දුක්වුනා .
එත් මගේ යටි හිත කිව්වා ප්රකාශ් සමන්තීගේ වෙඩින් එකට එයි කියලා . මම ඒ ගැන බලාපොරොත්තු තියාගත්තා . ඒ ගැන හිතද්දීත් බඩේ සමනල්ලු දුවන්න පටන්ගත්තා .
සමන්තී ලොකුවටම මඟුල් ගෙදර ගන්න ප්ලැන් කරලයි තිබුනේ. මට තිබුනේ ඉතිං සමන්ති වෙඩින් එකේ වැඩකට කොහේ හරි යමු කියලා කිව්වොත් හේතු අහන්නේ නැතුව සමන්ති එක්ක යන එක විතරමයි . සැලුන් ගානේ , එක එක කඩවල් ගානේ ගිහිං අපේ කකුල් ගෙවුනේ නැති එක විතරයි උනේ .
වෙඩින් එකට සතියක් දෙකක් වගේ තියෙද්දී තමයි මම මගේ අම්මලා දැනුවත් කරේ , සමන්තිගේ දෙවැනි මනමාලි මං කියලා .
ඒ කතාව කිව්වා විතරයි , අපේ අම්මා මට බනින්න පටන්ගත්තා .
එතැනින් ප්රධාන කාරණාව උනේ මම දැනටමත් හය වතාවක් දෙවැනි මනමාලි වෙලා තියනවලු . හත්වෙනි වතාවේ අනිවාර්යෙන් මනමාලියක් වෙන්න ඕනිලු . එහෙම කලේ නැත්නම් ජිවිත කාලේම මම තනිකඩ වෙයිලු .
” අම්මගේ මනස්ගාත “
බනින දෙවැනි කාරණාව තමයි දැන් මට වයස තිස් එකක්ලු , කොල්ලෙක් හොයාගන්නවත් , කසාදයක් බදින්නවත් උවමනාවක් නෑලු .
ඔය දෙවැනි කාරණාව මම අම්මට කොච්චර පැහැදිලි කරලා දුන්නා . එත් අම්මා ඒවා තේරුම් ගන්නේ නෑ . හැමදාම කියන්නේ ගැණු මනුස්සයෙක්ට තනියම ජිවත් වෙන්න බැරිලු . එතකොට මේ ලෝකේ ගැහැණු කව්රුත්ම තනියම ජිවත් වෙන්නේ නැද්ද ? අම්මට ඕවා තේරුම් කරන්න යනවට වඩා ලේසි පාඩුවේ කට වහගන ඉන්න එක .
සමන්තිගේ වෙඩින් එකට මගෙන් ස’ප්රයිස් ඩාන්ස් එකකුත් ඉල්ලුවා . ඉස්කෝලේ කාලෙනම් අපි හතර දෙනාම ඩාන්සින් කරත් , දැන් මම විතරයි ඩාන්සින් කියන දේ වෘත්තියක් විදිහට කරන්නේ . ඒ නිසා මම සමන්තිගේ වෙඩින් එක දවසට ලස්සන වෙනස් විදිහේ නැටුමක් පුරුදු උනා . බරත නැටුමක් . සාමාන්යයෙන් වෙඩින් එකක දකින්න ලැබෙන්නේ නැති නැටුමක් .
වෙඩින් එක දවසේ උදේ ඉදං ඇහැරගන එහෙට , මෙහෙට හැරිලා , නැමිලා , හිනාවෙලා ෆොටෝ වලට ඉදලම දවල් වෙද්දී හොද පණ ගිහිං තිබුනේ . එත් මගේ නැටුම කොහොම හරි හොදටම කරන්න ඕනි වෙලා තිබුනේ මට .
දවල් කෑම වෙලාවේ මම දැක්කා වෙඩින් හෝල් එකේ එහා මෙහා ඇවිදින ප්රකාශ්ව. අව්රුදු දෙකකින් විතර දැකලා තිබුනේ නැති උනත් මම දැක්ක ගමන් හදුනා ගත්තා ඒ ප්රකාශ් කියලා . කළු පාට ෆුල් සුට් එකක් ඇදලා හිටපු ප්රකාශ් ඉස්සරටත් වඩා කඩවසම් වෙලා .
ඉස්සර වගේම ප්රකාශ් දකිද්දී මගේ පපුවට කරන්ට් එකක් වැදුනා . බඩේ සමනල්ලු නටන්න පටන්ගත්තා . අඩුම තරමේ සමන්තිට නොකියුවත් ඒ කාලේ මගේ හිතේ ප්රකාශ් ගැන තිබුනේ ආදරය ප්රකාශ්ව දැකපු මොහොතේ ඉදලා ආයෙත් පුංචි පැළයක් වගේ දළු දාන්න පටන්ගත්තා . මම මුළු ලෝකෙම අමතක කරලා ප්රකාශ් දිහා බලාගන බඩේ දඟලන සමනල්ලුන්ට ඇතිවෙනකම් නටන්න ඉඩ දුන්නා .
චරිත් සහ සමන්තී ටියුෂන් ඇරිලා බස් හෝල්ට් එකේ කතා කර කර ඉන්නක් මම ඈතින් ඉදලා බලාගන හිටියේ ප්රකාශ්ගේ මුණ දිහා . එත් කවදාවත් ප්රකාශ්ටවත් , මගේ යාලුවොන්ටවත් ඒක දැනුනේ නෑ . කොහොමත් මම බය උනා ප්රකාශ් ගැන එහෙම හැගීමක් මගේ හිතේ තියනවා කියලා දැනෙන්න අරින්න . මම නරක ගැහැණු ළමයෙක් වෙයි කියන බය තමයි මට තිබුනේ .
වෙඩින් එකේ පිස්සියක් වගේ ප්රකාශ් දිහා බලාගන හින මවපු මගේ සියළු බලාපොරොත්තු සුන් කරේ , මගේ කල්පනා ලෝකෙන් මිදුනේ කව්දෝ හින්දු පෙනුමකින් හැඩ ගැන්වුණු ලස්සන ගැණු ළමයෙක් හිනා වේවි මොනවද කිය කීයා ප්රකාශ්ගේ අතේ එල්ලෙනවා දැක්කහම .
මට ඉබේම දිග සුසුමකුත් පිට උනා , බෙදා ගත්ත කෑම එක එක කන්නවත් හිත හදාගන්න බැරි උනා . අතීතය සිහිනයක් කියලා නැවතත් මම සාමාන්ය විදියට හැසිරෙන්න පටන්ගත්තා .
මොනවා උනත් ප්රකාශ්ගේ වයිෆ් නියම හිංදු කාන්තාවක් වගේ ලස්සනයි . බටර් පාට සමක් තිබුණු ඇයටත් තිබුනේ කළු පාට මැණික් කැට වගේ ඇස් දෙකක් . සුදු පාට සාරියක් , පිච්ච මල් වැල් ගහපු කොන්ඩයක් , නළලේ පුංචි තිලකයත් ඇයව තවත් ලස්සන කරලා තිබුණා .
” එයත් එක්ක බලද්දී , මම මොකෙක්ද ? “
මම මටම් ශබ්ද නොඇසෙන සේ කියාගත්තා .
හිතේ දුකක් තිබුනත් , දවල් කෑමෙන් පස්සේ මගේ නැටුමට සුදානම් වෙන්න ඕනි නිසා මම ඉක්මනින් ගියේ කාමරයට . උදේම මුණ පුරා ගාපු මේකප් තට්ටු සෝදලා දාලා කන්නාඩියෙන් මගේ දිහාම බලාගන හිටපු මට හිතුනේ , මොනා උනත් එන්න එන්න මම වයසට යනවා කියලා . මගේ ජිවිතේට පිරිමියෙක්වත් , විවාහයක්වත් අවශ්ය නෑ කියලා හිතුව මම , කාලෙකින් ප්රකාශ්ව දැක්කහම හිත රිද්දගන . මගේ ඇස් වල කදුළු පුරවගන . හේතුව මටවත් හිතාගන්න බෑ .
” උබට පිස්සුද ? “
කන්නාඩිය දිහා බලාගන කදුළු පුරවගන මම මගෙන්ම ඇහුවා . එත් මගේ හිතවත් , මගේ කටවත් මට උත්තර දුන්නේ නෑ . හැබැයි මගේ ඇස් වලින් කදුළු වැල් ගලාගන යනවා බොඳවුණු කන්නාඩියෙන් මට පෙනුනා .
” අයිටම් එකට ලෑස්තිද ?”
ඒ සමන්තීගේ මල්ලී .
ඒ සද්දෙත් එක්ක කදුළු පිහදාගන , නැවතත් මේකප් කරගන ,සුදානම් වෙලා ගියේ වෙඩින් හෝල් එකට .
වෙඩින් හෝල් එකට අඩිය තියද්දීත් මම දැක්කේ , ප්රකාශ් සහ ඔහුගේ බිරිඳ සිනහා වෙමින් සිටින අයුරු . ඒ සිනහවෙන් නැවතත් සිතේ දුක පැල වෙන්න පටන්ගත්තත් , අමාරුවෙන් මම සිනහාවුණා .
කෙසේ නමුත් සමන්තිට දුන් පොරොන්දුව මම සාර්ථකව නිම කලේ වෙඩින් හෝල් එකේ සිටි පිරිසගෙන් ලැබුණු අත්පොලසන් නාදයත් සමගමයි .
ඉන්පසු නැවතත් කාමරට ගියපු මගේ හිතට දැනුනේ සැහැල්ලුවක් . මේකප් තට්ටුව සෝදාගත් මම සාමාන්ය සුදු පැහැති කපු ගවුමකින් සැරසී නැවතත් වෙඩින් හෝල් එකට ගියේ කිසිම කහටක් හිතේ නැතිව . ප්රකාශ් ගැන මගේ සිතේ තිබුනත් ඔහුට එවැනි විශේෂත්වයක් මගෙන් දැනෙන්න නැතුව ඇති . සියළු දේ සිදුවෙන්නේ හොදටයි .
” හත්වෙනි දෙවැනි මනමාලි උනොත් උබ ජීවිතේටම තනිකඩ වෙයි “
අම්මා මට දෙස් දෙවොල් තියමින් බැනපු හැටි සිහිවෙලා මටම හිනාත් ගියා .
වෙඩින් හෝල් එකට ඇතුළුවු ගමන්ම සමන්ති මා බදාගන සිනහා වෙමින් මට ස්තුතී කලේ අපුරු නර්තනයක් ඉදිරිපත් කරාට .
එත් සමගම ප්රකාශ් සහ ඔහුගේ බිරිඳ එතැනට ආවේ මාව අපහසුතාවයට පත් කරමින් .
” ඔයාගේ බරත නැටුම ගොඩක් ලස්සනයි “
ප්රකාශ්ගේ බිරිද මට සුබ පැතුවේ සිංහල භාෂාවෙන් . මමත් කට පුරා සිනහා වෙලා ස්තුතිය ප්රකාශ කරා . නමුත් සිතට අපහසු බවක් දැනුනා .
” නංගිත් බරත ඉගෙන ගන්නවා “
ප්රකාශ් ඔහුගේ මා වශි කරන සිනහව සමගින් එහෙම කියද්දී මම ගොළු උනා . එත් අමාරුවෙන් වචන ගැටගහ ගත්තා .
” මේ ඔයාගේ නංගිද ?”
නැවතත් මගේ පපුවට කරන්ට් එකක් වැදුනා . මගේ හිත කිව්වේ සතුටට මම මැරෙයි කියලා .
” ඔව් ……. මේ සත්යා …. , සත්යා මේ ……..”
ප්රකාශ්ට එපමණයි කියන්න අවස්ථාව ලැබුනේ . සත්යා ප්රකාශ්ට වඩා ඉස්සර උනා .
” අම්මෝ ……. මං දන්නවා , ඔයාගේ ක්රෂ් එක ….. අක්කී ඔයා ගැන ගොඩක් දේවල් මෙයා කියලා තියනවා …..”
සත්යා ඒ කියපු දේ නිසා මම ඉක්මනින් බැලුවේ ප්රකාශ්ගේ ඇස් දෙක දිහා . ඒ ඇස් මගේ දිහා බලාගන කළු පාටින් දිලිසුනේ මහා දිග කතාවක් මට කියන්න ඇතිවාක් මෙනි .
උපුටා ගැනීම:  – හසිකා විජේතුංග –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!