දවසක් උදේම , දැඩිව දෙවියන් අදහන, පුද පූජා කරන, දෙවියන් වෙනුවෙන් දේවස්ථාන පවා හදල තියෙන මනුස්සයෙක් බුදු හාමුදුරුවෝ මුණගෙන්න ආව. එයාට සියුම් සැකයක් ඇතිවෙලා තිබුණ ” මම මෙච්චර දේවල් කරත් , දෙවියො කියල කෙනෙක් නැති උනොත් අපරාදෙ නේද ” කියල.
ඉතින් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුව, දෙවියො ඉන්නවද කියල උන්වහන්සෙ උත්තර දුන්න, ” මිත්රයා, දෙවියො නෑ ” කියල. එයාගෙ හිතේ ගැටලු ගොඩක් තියාගෙන තව තවත් කල්පනා කරමින් එයා යන්න ගියා.
හවස තව කෙනෙක් උන්වහන්සේ හමුවන්න ආව. එයා භෞතික වාදියෙක්, දෙවියන් නෑ කියල හිතන කෙනෙක්. ඒ ගැන වාද විවාද කරල මිනිස්සු දැණුවත් කරපු කෙනෙක්. ඒත් එයාට සියුම් සැකයක් ඇතිවෙලා තිබුණ “මම දෙවියන්ට විරුද්ධව මෙච්චර දේ කරනව, දෙවියො නෑ කියල වාද කරනව. ඒත් වැරදිලා වත් දෙවියො හිටියොත් එහෙම ” කියල.
එයත් බුදු හාමුදුරුවන්ගෙන් ඇහුව , තථාගතයන් වහන්ස, දෙවියො ඉන්නවද කියල. “දෙවියො ඉන්නව” බුදු හාමුදුරුවෝ පිළිතුරු දුන්න.
“දෙආකාර පුද්ගලයන් ට දෙආකාර පිළිතුරු”
මේ සාකච්ඡා දෙකම අහගෙන හිටපු අනුගාමිකයන් ( ආනන්ද හාමුදුරුවෝ වෙන්න ඇති) රෑවෙලා උන්වහන්සේගෙන් ඇහුව
මෙහෙම වෙනස් උත්තර දෙකක් දෙන්න හේතුව.
උන්වහන්සේ කිවුව, ” මුල් පුද්ගලයා, තමන් ගැන නොසොයා, ආධ්යාත්මික ගවේශනයක් නොකර දෙවියන් ට වඳිමින් පමණක් හිටපු නිසා, දෙවියන් නැතැයි කී බව හා එම පිළිතුර නිසා ඔහු ගවේශනයට එළඹෙන බව.
දෙවන කෙනත් දෙවියන් නැතැයි සිතා ඒ ගැන වාද කරනවා මිස තමා පිළිබඳ ගවේශනය හෝ අධ්යාත්මික නැඹුරුවක් ඇතිකර නොගන්නා නිසා දෙවියන් ඇතැයි ඔහුට පැවසීම තුළින් ඔහුගේ සිතුවිලි වල වෙනසක් ඇතිවී ඔහු සත්ය සෙවීමට යොමුවන බව.
ඊට පස්සෙ අර හාමුදුරුවෝ ඇහුව ඔබ වහන්සේ මට දෙන උත්තරය මොකක්ද? දෙවියන් ගැන. කියල.
බුදු හාමුදුරුවෝ කිවුව භාවනා කරන්න, ගවේෂණය කරන්න, ඔබට පිළිතුර ලැබෙයි කියල.
( මේක අන්තර්ජාලයෙ තිබුන කතාවක්. එයාලගෙ තොරතුරු මූලාශ්ර සටහන් කරල තිබුනෙ නෑ. ඇත්ත බොරු දන්නෙ නෑ.)
මම කාලයක් දෙවියො ඉන්නව කියල හිතුව. කාලයක් දෙවියො නෑ කියල හිතුව ( දැණුත් ඒ පැත්තට තමයි බර) හැබැයි දෙවියො හිටියත් නැතත් දෙවියො නෙවෙයි, අපි ගැන සෙවීම, අපි ම උත්සාහ කිරීම… වටිනව කියල හිතනව.
“මරණින් මතු උපත ගැනත් මම දන්නෙ නෑ. වැදගත් වෙන්නෙ මරණින් පස්සෙ යලි උපතක් තියෙනවද කියන එක නෙවෙයි. ජීවත්වෙන කාලෙ පරිසරයට, මිනිස්සුන්ට, සතා සීපාවාට යහපතක් කරමින් ජීවත් වීම “
උපුටා ගැනීම: ලලිත් හීන්කෙන්ද