එළුවන් බැලූ පුංචි කෙල්ල ප්‍රංශයේ අධ්‍යාපන ඇමති වූ හැටි (චරිත)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මේ ලෝකයේ උපදින සෑම කෙනෙක්ටම සැපවත් ජීවිතයක් ගත කරන්නට වාසනාව හිමිවෙන්නේ  නැහැ. පිරිසක්  සැප සම්පත් භුක්ති විඳිද්දී තවත් පිරිසකට ජීවිතය ගැටගහ ගන්නටවත් කෑමක් බීමක් නැහැ. ඉතින් ඒ නිසාවෙන් ජීවිතය හැමදෙනාටම එක වගේ සුන්දර වෙන්නේ නැහැ. නමුත් අපි මෙලොවට උපත ලබන්නේ මොන තරාතිරමක් සමාජ මට්ටමක් උරුම කරගෙන වුණත් ඒ තත්ත්වය වෙනස් කරගන්නට මිනිසාට හැකියාව පවතිනවා. ලොව බුද්ධිමත්ම ජීවීයා විදියට හොඳින් සිතා බලා ජන්මයෙන් උරුම අපේ ඉරණම වෙනස් කරගන්නට හැකියාව පවතිනවා.

නැති බැරිකම් ,අහිමිවීම හමුවේ වුණත් උත්සාහය කැපවීම මත තමන්ගේ ජීවිතය නොසිතූ විදියට වෙනස් කරගත් මිනිසුන් ලෝකයේ ඕනෑ තරම් සිටිනවා. ඉතින් එවැනි ධෛර්යවන්ත පුද්ගලයන් ගැන ඔබත් කියවන්න. ඔවුන්ව ආදර්ශයට ගන්න. ඔබේ ජීවිතයත් නොසිතූ ආකාරයට සාර්ථකත්වය කරා ගෙන යන්නට එය පිටිවහලක් වේවි. ඉතින් මේ කියන්න යන්නේ ඔබේ ජීවිතයට බොහෝ ආදර්ශ ගත හැකි දැරියෙකුගේ කතාවක්. ඇය ප්‍රංශයේ අධ්‍යාපන ඇමතිධූරයට පවා පත්වුණු අයෙක්. නමුත් ඊට පෙර ඇය එළුවන් බලාගත් පුංචි එඩේර  කෙල්ලක්. ඉතින් ඇයගේ කතාවයි මේ .

ඇය නමින් Najat Vallaud-Belkacem වුණා. ඇය උපත ලැබුවේ 1977 ඔක්තෝම්බර් මස 4 වැනිදා. නටාජ් උපත ලබන්නේ මොරොක්කෝවේ .ඇය දරුවන් 7 දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවනියා. ඉතින් ඇය ප්‍රංශයේ පලමු කාන්තා අධ්‍යාපන ඇමතිවරිය ලෙසටයි ඉතිහාසයට එකතු වෙන්නේ. ඇය 2014 වසරේ අගෝස්තු මස ඒ ධූරයට පත්වුණු අතර 2017 මැයි මස දක්වා ප්‍රංශයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා පර්යේෂණ ඇමතිධූරය දරමින් සිටියා. .නමුත් ඇයගේ ජීවිත ගමන දෙස බැලුවොත් ප්‍රංශයේ අධ්‍යාපන ඇමතිවරිය දක්වා පැමිණි ගමන එතරම් සුන්දර එකක් නොවුණු බව පෙනේවි.

ඇය මොරොක්කෝවේ පිටිසර ගම්මානයක උපත ලැබුවේ සැප සම්පත් ඇති පවුලක දරුවෙක් විදියට නම් නොවෙයි. ඇයගේ මව සහ පියා එළුවන් සහ හරක් බලා ගන්නා එඩේර පවුලක් වුණා. ඉතින් එඩේර පවුලක ඉපදුණත් ඇයට පවුලේ සැමගේ ආදරය නොඅඩුව හිමිවුණා. නමුත් නටාජ් කිසිම දිනෙක ඇයගේ පියා දැක තිබුණේ නැහැ. මොකද නජාට් ඉපදෙන්නටත් පෙර සිටම දුප්පත්කම නිසාම ඔහුට රැකියාවක් සොයායාමට සිදුවුණා. ඉතින් ඇයගේ පියා ප්‍රංශයේ රැකියාව කරමින් කටුක ජීවිතයක් ගතකළා.

ඉතින් නජාට් කුඩා දැරියටත් කටුක ජීවිතයක් තමයි උරුම වුණේ. ඇය නිතරම කාලය ගත කළේ කඳු අතර සහ තෘණ බිම්වලයි.ඒ එළුවන් බැටළුවන් වැනි සතුන් කඳුකර ප්‍රදේශවල තෘණ බිම් කරාගෙන ගෙන යන්නට සිදුවුණු නිසා. ඉතින් ඇය එහිදී කුඩා ගම්මානයක ඇයගේ සීයා සමඟින් එළුවන් බලාගැනීමේ නිරත වුණා.

ඉතින් ජීවිතය මොනතරම් කටුක ලෙස ගෙවන්නට සිදුවුණත් නජාට් එයින් සැලුණේ නැහැ. ඇයට සිහිනයක් තිබුණා. ඒ කිසිදා දැක නැති තමන්ගේ පියාව දැක ගැනීමට. නජාට් ක්‍රමයෙන් වැඩෙත්ම ප්‍රංශයේ රෙනෝල්මෝටර් සමාගමේ ස්ථිර කම්කරුවෙක් ලෙස සේවයට එක් වෙන්නට නජාට්ගේ පියාට අවස්ථාව ලැබෙනවා. ඉතින් එය නජාට්ගේ ජීවිතය බොහෝදුරට වෙනස් කරන්නට සමත් වෙනවා.

කොහොමහරි 1982 දී නජාට් ඇයගේ මව සහ පවුලේ අය සමඟ ප්‍රංශයේ පදිංචියට යනවා. ඒ ප්‍රංශයේ පැරිස් නුවරට සැතපුම් 80 ක් පමණ ඈතින්න් පිහිටි උතුරු ප්‍රංශයේ ප්‍රදේශයකට.එහි පදිංචි වන නජාට්ගේ පවුලට තවදුරටත් කටුක දිවියක්ම උරුම වුණා. ඇයගේ පියාට බොහෝසෙයින් මහන්සි වී වැඩ කරන්නට සිදුවුණා. මොකද ඔහු කම්කරුවෙක් විදියටයි සේවය කළේ. එක කාසියක් වෙනුවෙන් ඔවුන් බොහෝ සේ දුක් වින්දා.විදුලි එලියෙන් බැබළුණු ගෙවල්, විදුලි උපකරණ, රෙදි සෝදන යන්ත්‍ර ආදී සියල්ලක්ම නජාට්ට අලුත් දේවල් වුණා. පවුලේ 7 දෙනෙක්  සමඟ ඔවුන් වාසය කළේ ඉතාමත් අසීරුවෙන්.

ප්‍රංශයේ සෑම දෙයක්ම පියා හැරුණාම නජාට්ට වගේම ඇයගේ පවුලේ අයටත් අලුත් දේවල් වුණා. ඇයට මුල් කාලයේදී අපහසු වුණත් ඇය පසුව ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නට උත්සාහ කළා. ඒ  සඳහා ඇයට පියා විසින් අවශ්‍ය පොත් පත් රැගෙන දුන්නා.නජාට්ගේ පියා දැඩි නීති පනවා තිබුණා ඔහුගේ දරුවන්ට. මොකද ප්‍රංශය ඔවුන්ට නුහුරු පලාතක් නිසා. පිරිමි ළමුන් එක්ක සබඳතා පැවැත්වීම්, ක්ලබ් යාම ආදි සියල්ලක්ම නජාට්ගේ පියා ඔවුන්ට තහනම් කර තිබුණා.ඒ නිසා ඔවුන් හොඳින් ඉගෙන ගන්නට පෙළඹුණා. වැඩි වශයෙන් පොත් පත් කියවන්නට පුරුදු වුණා.

ක්‍රමයෙන් ඉගෙන ගත් නජාට් පසුව Science po නම් ආයතනයට ඇතුළුව තවදුරටත් අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. ඔවුන් කෙතරම් කටුක දිවියක් ගත කළත් නජාට්ගේ දෙමාපියන් ඇයගේ අධ්‍යාපනය නතර කළේ නැහැ. ඒ නිසාම නජාට් ද හොඳින් ඉගෙනීම් කටයුතුවල නිරත වුණා.

පසුව ඇය විවිධ  රැකියා කරමින් පවා ඉගෙනීම් කටයුතු කළා. නමුත් ඔවුන් පිට පලාතකින් පැමිණි පවුලක් වීමත් ඔවුන්ගේ දුප්පත්භාවයත් නිසා බොහෝ අයගෙන් ප්‍රතික්ශේපවීම්වලට ලක්වෙන්නට සිද්ධ වුණා. ඇයව බොහෝ අය අධෛර්යයට පත් කරන්නට උත්සාහ කළා. නමුත් ඇය තමන්ගේ ගමන නතර කළේ නැහැ.සරසවියේ දී නටාජ් මුලින්ම නීතිය හදාරනු ලැබුවා. පසුව දේශපාලනයත් හැදෑරූ ඇය උපාධිධාරිනියක් බවටත් පත්වුණා.

පසුව ඇය සමාජ අසාධාරණයය වෙනුවෙන් සටන් කළා. 2004 දී රෝන් ඇල්ප්හි ප්‍රාදේශීය සභාවට තේරි පත්වුණු නටාජ් 2008 දී ඉල්ලා අස්වීමෙන් සංස්කෘතික කොමිසමේ සභාපතිනිය බවටත් පත්වුණා.2005 වසරේ දී ඇය සමාජවාදී පක්ෂයේ උපදේශකවරිය බවටත් පත්වෙනවා. 2008 මාර්තු මාසයේ දී 13 වන කැන්ටන්හි සමාජවාදී පක්ෂයේ ධජය යටතේ දෙවන වටයේදී 58.52% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් කැනන්ටල් මැතිවරණයේදී රෝන් දෙපාර්තමේන්තුවේ කවුන්සිලර් ජනරාල් ලෙසද තේරී පත්වුණා.

2012 දී ඇය කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ඇමතිවරිය ලෙසටත් පත්වෙනවා. ඒ වගේම ඇය ප්‍රංශයේ වගේම යුරෝපයේත් ගණිකා වෘත්තීය අහෝසි කිරීමට ඇයට අවශ්‍ය බව නිවේදනය කළා. පසුව ඇය වයස අවුරුදු 39 දී ප්‍රංශයේ අධ්‍යාපන ඇමතිවරිය ලෙස පත්වෙනවා. ඒ 2014 අගෝස්තු 25 වන දින. 2015 මුල් භාගයේදී නිව්යෝර්ක් ටයිම්ස් ඇයව විස්තර කළේ ඇගේ පක්ෂය තුළ  ඇය නැගී එන තාරකාවක් ලෙසයි.

ඉතින් නජාට් මෙතරම් දිගු ගමනක් ආවේ ඇයට උපතින් ඉහළ සමාජ තත්ත්වයක් තිබී හෝ උපතින් ධනවත් පවුලක ඉපදීමෙන් නොවෙයි. ඒ සියල්ල ඇය ළඟා කර ගත්තේ ඇයගේම උත්සාහයෙන් සහ කැපවීමෙන්. ජීවිතයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තීරණය වෙන්නේ ජන්මයෙන් උරුමවෙන තත්ත්වය අනුව නොව පුද්ගලයාගේ උත්සාහය මත බව නටාජ් ලෝකයටම පෙන්වා දී අවසන්. අඳුරේ ගෙවුණු ඇයගේ ජීවිතය ආලෝකමත් කර ගත්තේ නටාජ් විසින්මයි. ඉඩෝරය සදාකාලික නැහැ. දිනෙක වසන්තය අපේ දිවියට එනවාමයි. ඒ ඔබෙත් මගෙත් කැපවීම උත්සාහය මතම පමණයි.

 

උපුටා ගැනීම: VOICE Official Lanka Post Blog

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!