ගරායකා .. (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ ළමා කාලය හරිම විනෝදෙන් ගත කළා. අද වගේ නොව එදා ගමේ දානෙට කොටහළුවට මගුලට මරණෙට අනාරාධිතව හැමෝම එකතු වුනා .
ඒ කාලෙ නිතරම ගමේ තොවිල් පවිල්
හූනියම් කැපිලි තෙල් වතුර මැතිරිලි තිබුණා .
මාසෙකට දෙතුන් වතාවක් ඈත දුර සිට හමන සුළඟෙ එතී එන බෙර හඬට අපි ඇලුම් කළා. අපේ තාත්තා විසින් ගෙදර වස්දොස් යාමට ඉස්තෝප්පුවෙ බිත්තියෙ එල්ලා තිබූ ගුරුළු රාක්ෂ වෙස්මුහුණ බැඳගෙන
ගුන්ඳ ..ගුන්ඳ ..ගත.. ගජිත.. ගුජිත…
තාලයට උරහිස් ගස්සමින් මල්ලියි මමයි නැටුවා . නමුත් අපේ අම්මා එවන් ගුප්ත දේ පිළිබඳ විශ්වාස කරන්න අපිට ඉඩ දුන්නෙ නෑ.
එවා නරඹා රසවින්දනය හා විනෝද වීමට ඉඩ සැලැස්වූවා.
ඉතින් වැඩි ඈතක යන්න වුනේ නෑ අපේ ගමේ මෙරායා නැන්දට අවුරුද්දට දෙ තුන් සැරයක් යකා වැහුනා .
නැන්දා හරිම ලස්සනයි ජෝඩුව හරියට තැඹ්ලි ගෙඩියට කපුටා වැහුව වගේ. අනේ පවු රූබන් මාමා කොට්ටෝරුකම් කරලා කොහොම හරි ඔට්ටු වෙලා ශාන්තිකර්ම කරල හැම වතාවෙම නැන්දා ගොඩ දාගන්නවා .
එයාලගේ දූලා දෙන්න තමයි කාන්ති සහ ශාන්ති . ඒ අක්කලගෙ රාජකාරිය එදාට සෙන්ට් පවුඩර් නාගෙන එන යන ඇත්තන්ට තේ අල්ලන එකත් කවුරුත් එහා මෙහා වෙනකල් ඉඳල අතුරුදහන් වෙන එකත්.
ඔන්න හිටිය ගමන් මෙරායා නැන්දාට යකා වැහුනම කටින් කට නිවුස් එක අපිට සන්නිවේදනය වෙනව.
මොනවද ඉතින් පිම්මට අපි නැන්දලෑ දිහා .
හත්තිලව්වේ… නැන්දා නටනවා පුටු යටින් රිංගනවා බිත්ති කනු දිගේ බඩගානව හූ.. කියනව කෙස්ස වනාගෙන දිව වියතක් විතර ඇදගෙන ගේ වටේ දුවනව . අසරණ රූබන් මාමාට බෑ උන්දෑ එක්ක ඔට්ටු වෙන්න. ඉතින් හති දම දමා පස්සෙන් දුවනව . අපි කටවල් ඇරන් බලන් ඉන්නවා . අන්තිමට හතර රියන් පිරිමි දෙතුන් දෙනෙක් පැනලා නැන්දව බදාගෙන කුදලාගෙන කොත්තමල්ලි ගෝනියක් වගේ සරෙන්ඩර් කරගන්නව.
ඊට පස්සේ සෙන්දෝරිස් මුත්තා ගෙන්නලා තෙල් මතුරල නූලක් දානව .
තොවිලයක් නටවන්න දින නියම වෙනව . අපිට ඉතින් මෙලෝ සිහියක් නෑ තොයිල් දවස තෙක් ඇඟිලි ගනිනව .
තොයිල් දවසෙ උදේ ඉඳන් එහේ හරි හරි වැඩ . කෙසෙල් කඳන් ගොක් අතු පුවක් කඳන් වලින් ලස්සන තටු යහන් සැරසිලි දුම්මල සුවඳ .
මං හරි ආසයි බලිය අඹනව බලන් ඉන්න .
ඒත් අම්මා සැර දාලා ඉස්කෝලෙ යවනව .
දැන් ඔන්න තොයිලෙ.
අම්මා අපිව ආරක්ෂිතව හොඳට පේන තැනක වාඩිකරවල කාටහරි බාරදීල ටික වෙලාවකින් නංගිත් එක්ක ගෙදර යනවා .
ඉතින් හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට වගේ දහඅට පාළිය පටන් ගන්නෙ රෑ මැදියම ගෙවෙනකොට. ඉතින් ඒ කියන පටෝරියං කුණුහරුප අපිට තේරෙන්නේ නෑ . අනික් අය හිනාවෙනකොට අපිත් හයියෙන් හිනාවෙනව. මල්ලී නම් කෙල පෙරාගෙන නිදාගෙන පැයෙන් පැයට කැවිලි පෙවිලි අල්ලනකොට ඇහැරෙනව.
ඔය අතරෙ මට වතුර තිබහක් ආවා . මං ඉතින් ලඟ හිටිය රමනි අක්කත් එක්ක ගෙට ගියේ වතුර බොන්න . කාමරය ඇතුලෙ කවුද කෙඳිරි ගානව වගේ. බඩේ අමාරුවක් වත්ද . දොර රෙද්ද අතරින් කාන්ති අක්කා විතරයි මං අඳුනන්නෙ . රමනි අක්කා මාවත් ඇදගෙන එළියට දිව්වා . දැන් ළමයි වගේ නෙවෙයි ඒ කාලෙ අපි මෙලෝ දෙයක් තේරුම් බේරුම් නෑ. ඒ කාලෙ ටීවී තිබුනෙත් නෑ නොවැ ඕවා අහන්න දකින්න .
පහුවෙලා දවසක මට තොවිලෙ තිබුණු එකම දැවෙන ප්රශ්නෙ මං අම්මගෙන් ඇහුව ඇයි අම්මෙ අර තොවිල් නටපු මාමකෙනෙක් කාන්ති අක්කගෙ මුහුණ හැපුවේ කියල . අම්මා දත්මිටි කාගෙන අතින් මගේ කට වහල සැර දැම්ම .
ඉතින් මට තේරුනා .
ඔය එන තොවිල් ගුරුන්නාන්සෙල නිතරම ඇව්ත් ගිහින් උන්ටත් මෙතන උන්ගෙ ගෙදර වගේ පත්තියං.
ගරායකා තමයි ජොලිම ඌ හරි හොඳයි අපි වගේ පුංචි ඈයො බය කරන්නෙ නෑ.
ගෑනුන්ගෙ ඇඟට පැනලා තමයි බය කරන්නේ . ඉතින් කවි කියකිය පස්ස වනවනා මිදුල වටේ රවුමක් ලස්සනට නටමින් ආතුර මෙරායා නැන්දගෙ ඇඟට කීප සැරේට පැන පැන නැන්දව බදාගන්නව.
නැන්දට හරිම හිනා.
අපිටත් හිනා.
ඊට පස්සේ නැන්ද යකත් එක්ක හොඳටෝම නටනවා. ඔන්න ඉතින් පාන්දර වෙද්දි නැන්දට සුවයි . නැන්ද ගරායකාට පෙරලි පෙරලි වඳිනව .
ඔය අතරෙ හා …හෝ … ගාල රූබන් මාමා නැතිවෙච්ච ඉදිකටු දෙකක් හොයනැහේ ගේයි වත්තයි පීරනව . මොකෝ ශාන්ති අක්කයි කාන්ති අක්කයි මිසින් .
ගරායකාටත් මල පැනලා . බාල කොලුයි සට්ටඬිකමේ ආපු උගේ යාලුවයි මිසින් .
යන යකා කොරහත් බිඳගෙන ම ගියා කියාපි…
එකම හොඳේ මෙරායා නැන්දටත් ඊට පස්සේ යකා වැහුනේම නෑ.
කාලෙකට පස්සේ දරුමල්ලන් හදාගෙන කාන්ති අක්කයි ශාන්ති අක්කයි ගෙදර ආවා .
දවසක් මාමල බෑනල නදවෙන්න ගහලා . ඔලුව සාක්කුවට වැටෙන්න ඔන්න මෙන්න තියාන ‘ගාබිත්ත’ ඥානෙ පහල වුනා කියාපි .
ඔන්න ඉතින් ඔයාල ගාබිත්ත ඥානෙ අහන්නෙපා.
තරඟෙට එකා එකාගේ නිර්භීතකම් මතු කලා . හෝ ගාල තම තමන් කල වීරක්රියා ප්රකාශ කරනවා .
දීය කන්න එපෑ මේ නල්ලමලේ බෑනෝරු ඩබල.
මුන්ට මෙරායා නැන්දගෙ ගෙට පැනගන්න හිතුනම කහපාට නූලක රත් මල් වැලක් අමුණල රැකගෙන ඉඳල . නැන්ද එළියට පහලියට එනකොට නූල පෑගෙන්න දොරකඩ තියලා මුං මාරු වෙනවලු .
ඉතින් පහුවෙනිදම යකා වැහිල නැන්දා නටනවා .
නෙදකිං මේ ගල්මූසලයො දෙන්න . ගෑනු දෙන්නගෙ දෑවැද්ද නේ අර දිය කරේ.
ඒ කාලේ තොවිලයක් නටවන්න විසි තිස්දාහක් ගියාට දැන් නම් ලක්ෂ දෙක තුනකින් වත් බැරිව ඇති . දැන් ගමේ සුළඟට මුසුවූ
ගුන්ඳ ..ගුන්ඳ ..ගත ..ගජිත ..ගුජිත ..
හඬ ඇහෙන්නෙම නෑ .
මට හිතෙනවා වෙලාවකට මෙරායා නැන්දව බය කරන්න .
ඒත් උන්දැට දැන් වයස 78 විතර . දැන් බය වෙනෙ නෑ මයෙ හිතේ. ගරායකත් මැරිලා ඇති .
ඉතින් යාලුවනේ තොවිල් ශාන්තිකර්මයක් කියන්නෙ අතිදක්ෂ ගුරුන්නාන්සෙලා අතින් කෙරුන හරිම ලස්සන සංස්කෘතික මංගල්යයක් . නමුත් පසුකාලීනව එය අවභාවිතා වී දැන් දකින්නත් නැති තරම් .
කියවා රසවින්දාට බොහෝ ස්තුතියි . මොකද සමහර වෙලාවට සකබ’ගයට මලපැනලා හෙළකුරු ඔරොප්පු වෙනව.
ඉතින් මගේ good old ෆෝනයාට අතකුත් කටකුත් තිබුණා නම් මගේ මූනට ම කුණුහරුප දුසිමක් කියල හොම්බට හැටක් විතර අනීවි දෙන දසවද වලට .
චිත්රයත් මගේ . එන්නම් හොඳේ.
– රේඛා –
උපුටා ගැනීම:Rekha Kumarapperuma

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!