ග්‍රෑන්ඩ් කැන්යොන් ඉහළ අහසේ සිදුවූ මාරක ගුවන් අනතුර (ලෝක ඉතිහාසය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රෑන්ඩ් කැන්යොන් ඉහළ අහසේ දී 1956 වසරේ සිදුවූ මාරක ගුවන් අනතුර එවකට අමෙරිකාව තුළ සිදුවූ වඩාත් බරපතල ම ගුවන් අනතුර වුණා. මෙහිදී මගීන් සහ ගුවන්යානා දෙකෙහි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ හෙවත් 128 ක ගේ දිවි අහිමි වූවා. ගුවන්යානා කර්මාන්තයටත් විශාල බලපෑමක් ද ඉන් එල්ල කළා. 1956 වසරේ ජුනි මස 30 වනදා උදෑසන සිදු වූ මෙම අනතුරට හේතුව ලෙස බොහෝ දෙනා විශ්වාස කළේ අමෙරිකානු ගුවන්යානා පාලන පද්ධතියේ දෝශසහගත බව යි. මේ නිසා අමෙරිකාවට ඩොලර් මිලියන 250 ක පමණ වියදමින් වැඩිදියුණු කළ ගුවන්යානා පාලන පද්ධති‍යක් සැකසීමට පවා සිදුවුණා.

මාරක අනතුරට පසුබිම

1956 වසරේ ජුනි මස 30 වැනි දා උදෑසන ග්‍රෑන්ඩ් කැන්යොන් ඉහළ අහසේ පැවතියේ මඳක් වැසිබර කාලගුණයක්. උදෑසන 10.30 පමණ වන විට විශාල වැසි වලාකුළක් එහි මෝදු වන්නට පටන්ගෙන තිබුණා. ට්‍රාන්ස් වර්ල්ඩ් එයාර්ලයින්ස් ගුවන් සමාගමට අයත් අංක 2 දරන L-1049A මාදිළියේ ලොක් හීඩ් සුපර් කොන්ස්ටලේෂන් ගුවන්යානය ඒ වන විට එම ගුවන් කලාපයේ ගමන් කරමින් තිබුණා. එහි නියමු ජැක් එස්. ගැන්ඩි යානය අඩි 25,000 ක උසකට ගෙන එමින් තිබුණා. මෙය ලොස් ඇන්ජලීස් සිට කැන්සාස් දක්වා පියාසර කරමින් තිබූ අතර, එහි මගීන් 70 දෙනෙක් ගමන් කරමින් සිටියා.

 යානා දෙක කඩා වැටුණු ස්ථාන- Popperfoto – gettyImages.com

කපිතාන් රොබට් එෆ් ෂර්ලි යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමට අයත් යානා අංක 718 දරන ඩී. සී. 7 වර්ගයේ ගුවන්යානාව ද එම කලාපයේ ම ධාවනය කරමින් සිටියා. එය ලොස් ඇන්ජලීස් සිට චිකාගෝ බලා යමින් තිබුණා. මෙහි මගීන් 58 දෙනෙක් වුණා.

අනතුර

ගුවන්යානා දෙකට ම ග්‍රෑන්ඩ් කැන්යොන් ඉහළ අහසේ මෝදු වෙමින් තිබූ වැහි වලාකුළ හමු වුණා. කොන්ස්ටලේෂන් යානය වැහි වලාකුළ වටා ගොස් එය තරණය කළ අතර එහි නියමු ගැන්ඩි නැවතත් ඊසාන දෙසින් විශාල වැහි කළු දුටුවා. මේ හා සමාන්තර ව අනෙක් යානයේ නියමු ෂර්ලිත් සිය යානය සාර්ථක ව වැහි වලාකුළ වටා ගෙන ගොස් එය තරණය කරනවා. යානා දෙක ම නැවතත් පොළොවට සමාන්තර ව පියාසර කෙරෙන්නට පටන්ගන්නා අතර, එක් වරම කපිතාන් ෂර්ලි තමන් දෙසට එන කොන්ස්ටලේෂන් යානය දකිනවා.

ග්‍රෑන්ඩ් කැන්යොන් ආවාටයට යානා කඩා වැටුණු සලකුණු- gettyImages.com

භීතියට පත් වන ඔහු හැකි සෑම උත්සාහයක් ම යොදා සිය ඩී.සී 7 යානාව අනෙක් යානයේ පථයෙන් ඉවතට ගන්නට තැත් කළා. ඒ වෑයම සෑහෙන තරමකට සාර්ථක වෙනවා. කෙසේ නමුත් අවසන් මොහොතේ ඔහුගේ උත්සාහ සියල්ල ව්‍යර්ථ කරමින් ඩී.සී 7 යානයේ වම්පස තටුවේ කොන කොන්ස්ටලේෂන් යානාවේ පසුපස අග්‍රයේ වූ කුඩා තටුවේ වදිනවා.

නොට් 300 ක වේගයෙන් ගමන් කළ ඩී. සී 7 යානාවේ ගැටීමෙන් කොන්ස්ටලේෂන් යානවේ බඳෙහි පසුපස සිදුරු වන අතර ඩී. සී 7 යානයේ වම්පස තටුවට ද හානි ගෙන දෙනවා. යාන දෙක ම පාලනය කර ගන්නට එහි නියමුවන් දෙදෙනාට ම නොහැකි වන අතර, ඒ ද්විත්වය ම ග්‍රෑන්ඩ් කැන්යොන් ආවාටයට කඩා වැටෙන්නේ එහි ගමන් ගත් සියලු දෙනාගේ දිවි තොර කරමිනු යි.

 යානාවල සුන්බුන් ඉවත් කෙරෙමින්- National Park Service

අනතුරෙන් මද වේලාවකට පසු එම ප්‍රදේශයෙන් ග්‍රෑන්ඩ් කැන්යොන් එයාර්වේස් සමාගමට අයත් ගුවන් යානයක් පියාසර කෙරුණා. එය පැදවූයේ පේලන් හුජන්ස් නම් නියමුවෙක්. ඔහු ග්‍රෑන්ඩ් කැන්යොන් හි යම් ස්ථානයක දුම් රොටු නැගෙමින් තිබෙනු දකිනවා. එය ලැව් ගින්නක ප්‍රතිඵලයක් විය හැකියැයි අනුමාන කරන ඔහු, එතරම් විපරමකින් තොරව ඉදිරියට යනවා. කෙසේ නමුත් ගොඩබෑමෙන් අනතුරුව ඔහුට ගුවන් යානා දෙකන් අතුරුදහන් වී ඇති බැව් ආරංචි වෙනවා.

ඔහුට තමන් දුටු දුම් රොටු සිහිපත් වන අතර, ඉක්මනින් ම සිය සොහොයුරා හමුවන්නේ ඔහු එදින ම සවස ග්‍රෑන්ඩ් කැන්යොන් ඉහළින් පියාසර කිරීමට නියමිත ව තිබූ නිසා යි. පේලන්, ගුවන් නියමුවකු වූ සිය සොයුරාගේ යානයට නගින අතර, ඔවුන් දෙදෙනා හට ග්‍රෑන්ඩ් කැන්යොන්හි වැටී තිබූ කොන්ස්ටලේෂන් යානයේ පසුපස තටුව දර්ශනය වෙනවා. ඉක්මනින්ම ඔවුන් අනතුර ගැන අදාළ බලධාරීන් දැනුම්වත් කරනවා.

ගුවන්යානා ඝට්ටනය පිළිබඳ පර්යේෂණ – gettyImages.com

අනතුරෙහි පසු විපරම

ග්‍රෑන්ඩ් කැන්යොන් හි සිදු වූ ගුවන්යානා ඝට්ටනය පිළිබඳ පර්යේෂණ ඉක්මනින් ම ඇරඹුණා. කොන්ස්ටලේෂන් යානය පැය බාගයක් පමණ ප්‍රමාද වී සිය චාරිකාව ආරම්භ වී තිබූ අතර දෛවෝපගත ලෙස යානා දෙක ම එකම වේලාවක දී, එක ම ස්ථානයක දී අඩි 21000 ක උසකින් පියාසර කර තිබුණා.

යානා දෙකෙහි ම නියමුවන් නිසි ලෙස තමන් ආසන්නයේ වූ යානය පිළිබඳව දැනුම්වත් වී නොතිබූ අතර පර්යේෂකයන්ගේ ඇඟිල්ල මුලින් ම දිගු වූයේ නියමුවන් වෙතට යි. ඔවුන් තමන් වෙත එන යානා පිළිබඳ ව අවධානයෙන් සිටිය යුතු බවට පර්යේෂකයන් පවසා සිටියත්, බහුතර අමෙරිකානුවන් එය පිළිගැනීමට සූදානම් වූයේ නැහැ.

විශේෂයෙන් දිනෙන් දින වැඩිවන ගුවන් ගමන්වලට සාපේක්ෂ ව ඒවා පාලනය කරන මධ්‍යස්ථානවල හිඟ බවත්, ඒ ඒ සමාගම්වලට අයත් ගුවන්යානා, ඒ ඒ සමාගම් හා සබැඳි පාලන මධ්‍යස්ථාන මගින් පාලනය කිරීම නිසාත්, සමාගම් අතර පණිවිඩ හුවමාරුව නිසි ලෙස නොවීමත් යන කාරණා නිසාත් මෙම අනතුර සිදු වූ බව ඔවුන්ගේ මතය වුණා.

 අනතුරෙන් මියගිය අයගේ අවසන් කටයුතු කෙරෙමින්- The Arizona Republic

විශේෂයෙන් වැඩි වන ගුවන් ගමන් අභිමුව ගුවන් අවකාශ භාවිතය ඉතා ප්‍රවේශමෙන් මෙන් ම කාර්යයක්ෂ්ම ලෙස සිදු කළ යුතු බවට විද්වතුන් මත පළ කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 246ක වියදමෙන් ගුවන්යානා පාලනය කිරීමට සිදු කළ යුතු පංච අවුරුදු සැලසුමක් කරළියට ආ අතර, එහිදී අමෙරිකානු ගුවන්යානා පාලනය කිරීමේ ව්‍යුහය නවමු වෙනස්කම් රාශියකට බඳුන් වුණා. විශේෂයෙන් සියලු ගුවන් සමාගම් හා යානාවලට අනුකූල ප්‍රතිපත්ති හා නීති හඳුන්වා දුන් අතර, අන්තර් පණිවිඩ හුවමාරුවත් ශක්තිමත් කෙරුණා.

 

උපුටා ගැනීම: roarmedia

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!