හාල් මැස්සි (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මනෝරිව මට යෝජනා කළේ අම්මා. මම මනමාලිව බලන්න යනකම්ම කළෙත් නිශාරා එක්ක මැසේජ් කරපු එක. නිශාරා දැනගන හිටියා මම මනෝරිව බලන්න යනවා කියලා..
ඒ වෙනකොට මට මනෝරි ගැන තිබ්බ එකම මතකය පුංචිම කාලෙ දවසක් අපි සෙල්ලම් කරද්දි මං එයාට තල්ලු කළාම එයාගෙ දනිස්ස තුවාල වෙලා ලේ ගලපු එකයි ඒකට එයාගේ තාත්තා මට ගහලා එලවපු එකයි විතරයි.
නිශාරා වැඩ කළේ මං වැඩ කරපු බැංකුවෙමයි . අපි දෙන්නගෙ සම්බන්ධෙට අවුරුදු දෙකක්. ඒ අවුරුදු දෙකට අපි හුඟක් දුර ගිහින් හිටියෙ.කොටින්ම අපි හිටියෙ එකට. අම්මට ඒක කියන්න මට හයියක් තිබ්බෙ නැත්තෙ නිශාරා ක්රිස්තියානි ආගමේ කෙනෙක් වුන නිසා. අපෙ අම්මා කවදාකවත් ඕකට කැමති වෙන්නෙ නෑ කියලා මම දැනගන හිටියා.
නිශාරා කොච්චර ලස්සන කෙල්ලෙක්ද කියනවනම් ඇත්තටම මම එයාව තනියම පාරෙ යවන්න බය වුණා. එක වතාවක් එයා යන සැලෝන් එකේ ගෑනු කෙනා මනමාලියො අන්දන තරඟෙකදි මනමාලිට අන්ඳන්න තෝරගත්තෙ නිශාරව. එදා නිශාරා තමයි තරඟෙ පළවෙනි ස්ථානය දිනපු මනමාලි වුණේ. එදා ඒ තරගය විනිශ්චයට ආපු නළුවෙක් එයාගෙන් ඇහුවේ රඟපාන්න කැමැති නැද්ද කියලා. ඒකට මං කොච්චර බය වුණාද කිව්වොත් විවාහ වීම පැත්තකින් තියලා එයත් එක්ක එකට ජීවත් වෙන්න මම තීරණය කළා .
එතකොට මනෝරි …අම්මයි මමයි ,මාමයි නැන්දයි ඉස්සරහට ඇවිදගෙන ආපු මනෝරි මං ඉස්සරහ හිටගන මට බුලත් හෙප්පුව දික් කරාම මම නැගිටලා හිටගත්තා . මට පෙනුනේ මනෝරිගේ ඉස්මුදුනයි උරහිස් දෙකයි විතරයි . මගේ උරහිස ගාවට වත් උස නැති කෙට්ටුම කෙට්ටු හාල්මැස්සියක් වගේ කෙල්ලෙක් ඒකිට වඩා ලොකු බුලත් තට්ටුවක් මට දික් කරන් හිටියා. චූටි මුණක්. දිග කොන්ඩයක්. කවදාකවත් හදල නැති ඇස් බැමි වලට යටින් නම් හරි දීප්තිමත් ඇස් දෙකක් තිබ්බා.
මනෝරි කියනකොට මට අදටත් මතකයි එයා ඔලුව උස්සල මං දිහා බලනකොට ඒ ඇස් දෙකේ තිබ්බ අමුතු එලිය.
මනෝරිගෙ අම්මා නැති වෙලා අවුරුදු හතරක්. තාත්තා හිටියෙ වකුගඩු දියවීමේ රෝගයෙන් හොඳටම අමාරු තත්වෙක. මනෝරි ඉගෙනගෙන තියෙන්නේ සාමාන්ය පෙළ දක්වා විතරයි . ඊට පස්සේ හැමදාම ගෙදරට වෙලා ඔහේ හිටපු කෙල්ලෙක් . ජීවිතය ගැන කිසි අදහසක් වත් ලෝකය ගැන කිසිම අප්ඩේට් එකක් වත් මනෝරිට තිබ්බේ නෑ . දිග සායවල් එක්ක අම්මලා අඳින හැට්ට ඇඳපු මනෝරිගෙ අගය කරනවා නම් අගේ කරන්න දේකට තිබ්බෙ පිරිසිදුකම විතරයි . ඉතිං මං මොන හේතුවක් නිසා මනෝරිට කැමති වෙන්නද?
ගොවි ජනපද ව්යාපරයක කුඹුරු අක්කර පහක්. පොල් ඉඩම් අක්කර අටක් ,කජු ඉඩම් අක්කර තුනක්, ගොයම් කපන යන්ත්ර දෙකක් ආදී සහ මනෝරි වෙනුවෙන් ඉතිරි කරන ලද ලක්ෂ පනහක ස්ථාවර තැන්පතුවකුත් ,හිමි මනෝරිගෙ තාත්තට හිටිය එකම උරුමක්ක්කාරය මනෝරි. ඉතිං මං ඇයි මනෝරිව බඳින්න බෑ කියන්නෙ?
මං මනෝරිව බැන්ඳා..
නිශාරා මුලදි කැමති නොවුණත් මම එයාට තේරුම් කළා ,මනෝරිගෙ සල්ලි වලින් අපිට අපේ බිස්නස් එක පටන් ගන්න පුලුවන් බව. ඊට පස්සෙ අපි කොහොමද එකතු වෙන්නෙ කියලා පස්සෙ හිතන්න අපි එකඟ වුණා. මොකාක් හරි තැනකදි මට එයාව අතාරින්න අවස්ථාවක් එයි කියලා මම දැනගන හිටියා.
කසාදෙන් පස්සෙ වුණත් මොනව හරි ක්රමයකින් මම මනෝරිව අල්ලන්නෙ නැතුව ඉන්නව කියල නිශාරට පොරොන්දු වෙලා තිබ්බා. ඒත් මේක ෆිල්ම් එකක් නෙවෙයිනෙ..මට එහෙම ඉන්න බැරිවුණා. ඒ කියන්නෙ මට ඒ හාල් මැස්සි ගැන ආසාවක් ඇති වෙලා නෙවෙයි. මම ඒකිට ආදරෙයි වගේ රඟපෑවා. නිශාරව මවාගන ඒකි එක්ක නිදාගත්තා.
හැම සති අන්තෙම යද්දි ඒකි කැමති දේවල් අරන් ගියා. ඒකි කවදාකවත් නොගිය පාක් වලට හොටෙල් වලට ඒකිව අරන් ගියා . මං ඒ හාල් මැස්සිට කොට ගවුම් ඇන්ඳුවා. කලිසමක් නම් ආසාවටවත් අන්දලා බලන්න මට ඕන වුණේ නෑ. මොකද එයාගේ ඇඟේ හැටියට එයාට ඒ වගේ ඇඳුම් කැතයි . ටික කාලයක් හරි එකට ජීවත්වෙන ගෑනිනෙ කියලා ඒකිව ටිකක් ලස්සන කළා. සැලෝන් එකකට අරන් ගිහින් ඇස් බැමි දෙක හදලා කොන්ඩෙ කපලා ගත්තම සාමාන්ය පෙනුමක් ආවා. ඒත් ඉතිං උස යවන්න ක්රමයක් ඇත්තේම නෑනේ .
මනෝරි දවසක් මගෙන් මෙහෙම ඇහුවා.
“ඇත්තටම ඇයි ඔයා ඇයි මං වගේ මිටි කෙල්ලෙකුට කැමති වුණෙ?”
“මං හැමදාම හෙව්වේ මිටි කෙල්ලෙක් “
මම කිව්වා.
මං මුලදිම මනෝරිට හාල් මැස්සි කියල කියලා කිව්වේ උපහාසයට . ඒත් එයා මං එහෙම කියනවට කැමති වුණා. ඒක නිසා මම හැමවෙලාවෙම එයාට කිව්වේ හාල්මැස්සි කියලා .
“ඔයා ඇයි ඔයාගෙ යාලුවන්ට මාව අඳුන්නලා දෙන්නැත්තෙ?. මාව පෙන්නන්න ලැජ්ජයිද?”
“දෙනව දන්නවද කටට දෙකක්..අපි වෙඩින් එකක් ගත්තද ඔයාව උන්ට පෙන්නන්න..අනික උන් ඔයාව දැකලා තියෙන්නෙ”
“ඒ කොහොමද?”
“ගේ හැම සෙනසුරාදා ඉරිදා මම ගන්න ෆොටෝ ලොට් එකක්. ඒවා උන්ට පෙන්නනවා “
මනෝරි ලස්සනට හිනාවුණා.
ඒත් හැම සෙනසුරාදා ඉරිදාම එයාගේ ආදරේ දිනාගන්න විශ්වාසය දිනාගන්න මම ගන්න පින්තූර එකක් නෑර හැම සඳුදම පාන්දරට කොළඹ බස් එකේදී මකලා දාන බව මනෝරි කවදාවත් හිතන්න වත් නැතුව ඇති .
ඇත්තටම මනෝරි මගේ ආදරය විශ්වාස කළා. නිශාරත් මාව විශ්වාස කළා. අපි අපේ පුංචි හෝටලේ සැලසුම් කළා. නිශාරා එක්ක ගෙවුණු සතියෙ දවස් පහ හරිම උණුසුම් විදියට ගෙවුණා.
එතකොට අපි බැඳලා මාස හතරයි . මනෝරිගෙ තාත්තා නැති වුණා. ඒ අරංචිය ආවම මට දැනුණෙ මගේ අරමුණට මං හොඳටම ලං වුණා වගේ හැඟීමක් . මනෝරි කෑ ගහලා අඬයි වැලපෙයි කියලා මම බලාපොරොත්තු වුණා. එතකොට එයාව සනසවලා එයාගේ විශ්වාසය වැඩියෙන් දිනාගන්නත් බලාපොරොත්තුවෙන් මම ගෙදර ගියත් මනෝරි එහෙම වැලපුනේ නෑ. එයා මං දැකපු ගමන් කිව්වෙ ” තාත්තා ගියා ඔයාට මාව බාරදීලා” කියලා.
මළ ගෙදරට නම් බැංකුවෙ අය එන එක නවත්තන්න බැරි වුණා. ඒ අය එක්ක නිශාරත් ආවා. ඇත්තටම නිශාරගෙ පැමිණීම මම බලාපොරොත්තු වුනේ නෑ .ඒත් එයා ආවට කිසිම ප්රශ්ණයක් වුණෙත් නෑ. මනෝරිගේ තාත්තගෙ මිනිය අරන් ගිය වෙලාවෙ මනෝරි මගෙ අත අතෑරියෙම නෑ. එයා මට මිනියට කරගහන්න වත් දුන්නෙ නෑ.
“ඔයා මගෙ ළඟ ඉන්න”
ඇත්තටම මම ඒ වෙලාවේ වද වුනේ නිශාරා මේක දැකලා හිත රිදවා ගනීද කියන එක ගැන විතරයි .ඒත් එහෙම දෙයක් වුනෙත් නෑ . යන්න ඉස්සර නිෂාරා මට මෙහෙම කතාවක් කිව්වා .
“ඇත්තම කියන්නද . ඔයා කවදා හරි මාව අතාරියි කියලා මට ලොකු බයක් තිබුණා. ෆොටෝ වලින් කොහොම දැක්කත් ඇත්තටම මෙයාගේ දකිනකං ඒ බය මගේ හිතින් ගියේම නෑ . ඒත් දැන් නම් මං හොඳටම දන්නවා ,ඔයා මොකක් හරි නිසා මාව අතඅරින එක වෙන්න පුළුවන් වුණත් මේ නාටකේ නිසා නම් ඔයා කවදාකවත් මාව අතාරින්නෙ නෑ කියලා. “
මොනව උනත් නිෂාරා ඒ වෙලාවේ මනෝරිට නාටකේ කියලා කියපු එක ගැන මට ඇති උනේ තරහක් . මනෝරි මගේ කැමැත්ත නොවන බව ඇත්ත .ඒත් මනෝරි හොඳ ගති ගුණ තියෙන ගෑනියෙක් . ඒ බව මම කවදත් දැනගෙන හිටියා .
තාත්තගේ හත්දවසේ දානෙන් පස්සෙ ආපහු කොළඹ එන්න ලෑස්ති වෙලා මම කිව්වා “දැන් නම් මට ඔයාව දාලා යන්න අමාරුයි. ඒත් මොනව කරන්නද රස්සාව බේරගන්නත් ඕනනෙ ” කියලා.
ඒ වෙලාවෙ මනෝරි ඇහුවා මෙහෙ ඉඳන් මේ ඉඩ කඩම් කුඹුරු බලාගන්න කැමති නැද්ද කියලා. මම ඒ අවස්ථාව ප්රයෝජනයට ගත්තා. මම කරන්න කැමති දේ එයාට කිව්වා. වැඩි වෙහෙසකින් තොරව ම එයා එයාගෙ ස්ථාවර තැන්පතුව සහ ගිණුම් වන තිබුණු අනිත් මුදලුත් අරන් මගේ හෝටලේ හදන්න වියදම් කරන්න එකඟ වුණා. ගොයම් කපන යන්ත්ර දෙකත් ,ට්රැක්ටර් හතරත් විකුණන ලැයිස්තුවේ තිබුණා .
“අනේ මගෙ හාල් මැස්සි .ඔයාගේ සල්ලි මෙහෙම දෙන්නෙ ඔයාට මාව විශ්වාසයිද?”
” හාල්මැස්සිට ,හාල්මැස්සිටත් වඩා එයාගේ මහත්තයව විශ්වාසයි.”
එයා එහෙම කිව්ව වෙලාවෙ නම් මට දැනුණා, මම වරදක් කරනවා කියන හැඟීම..
ඊට පස්සෙ මම ජොබ් එකේ ඉන්න ගමන්ම හෝටලේ හැදුවා. මාස පහක් යද්දි වැඩ ඉවරයි. ඒ වෙනකොට නිෂාරා මට කරදර කරන්න පටන් ගත්තා . එයා නිතරම ඇහුවේ කවද්ද මනෝරිගෙන් අයින් වෙන්නෙ කියලා. ඇත්තටම ඔව්. මට මනෝරි ගෙන් අයින් වෙන්න ඕන වුණා. නිශාරත් එක්ක ලස්සනට ජීවත් වෙන්න ඕන වුණා. ඒත් මට මනෝරිගෙන් ගැලවෙන්න කිසිම පාරක් පෙනුනේ නෑ . වෙන් වෙන්න හේතුවක් හදා ගන්න මොකක් හරි වැරැද්දක් තියෙන්න එපැයි . මට එහෙම හේතුවක් හම්බුනේම නෑ.
ඒත් මනෝරිට හේතුවක් හම්බුනා. අපේ අම්මට මං ගැන ඇතිවුණු සැකයක් හේතුවෙන් අම්මා මං ඉන්න තැන හොයලා තිබ්බා. නිශාරත් එක්ක මං එකට ජීවත් වෙන බව අම්මා දැනගෙන හිටියා. මගේ උපන් දිනය දවසේ රෑ මාව පුදුම කරන්න කියලා මනෝරිත් එක්ක කොළඹ ආව අපේ අම්මට ඕන වෙලා තියෙන්නෙම මනෝරිට මං ගෙවපු ජීවිතය පෙන්නන්නයි. අම්මගෙ සැලැස්ම හරියටම හරි ගියා. රෑ අටට විතර මට තෑග්ගකුත් අතේ තියාගන මනෝරි අපේ කුලී ගෙදර බෙල් එක ගහනකොට නිශාරා ගිහින් දොර ඇරියෙ චූටි කොට කලිසමකුයි ස්කිනි එකකුයි විතරක් ඇඳගන.
අපේ අම්මා හතුරෙක් දිහා බලනවා වගේ මං දිහා බලාගෙන සද්ද නැතුව හිටියා. ඇත්තටම මට කතා කරන්න කිසිම දෙයක් කටට ආවේ නෑ. මනෝරි නිහඬවම ගේ පුරාම ඇවිද්දා. ඊට පස්සෙ මොකුත්ම කතා නොකර ගෙදරින් එලියට ගියා. ඒ වෙනකම්ම පුටුවක ඉඳගන නියපොතු හප,හපා හිටිය නිශාරා එලියට ගියා.
“මනෝරි..ඔයාට දැන් පේනවනෙ..දසුන් ආදරේ මට..ජීවත්වෙන්න කැමති මාත් එක්ක. දැන් ඔයා ඇස් දෙකෙන්ම දැක්කනෙ..දැන් ඉතින් ඔයා එයාට දික්කසාදෙ දෙන්න..”
මනෝරි ආපහු ගේ ඇතුළට ආවා.කෙලින්ම මගේ ළඟට ආවා. මගේ මූන දිහා ඔලුව උස්සලා බලාගෙන මෙහෙම ඇහුවා.
“මම දික්කසාද වුනාම දසුන්ට මගෙ දේවල් අයිති වෙන්නෙ නෑනෙ.”
අපේ අම්මා මැද්දට පැන්නා.
“ආයෙ මොනවද දුව..මේ පරයට තව මොනවද අර හදාගත්ත හෝටලෙ තියෙන්නෙ. ඒක හදල තියෙන්නෙ මේ උඩැක්කියගෙ ඉඩමක..වදපු බඩම දනවා පුතේ. මේ අම්ම කියන්නෙ මේ කෙල්ලට කරපු අපරාදෙට උඹට හොඳක් වෙන්නෑ..එතකොට මේ පරට්ටි..මගෙ කොල්ලව අල්ල්ගෙන විනාශ කරා. “
“මං කාවවත් බලෙන් අල්ල ගත්තෙ නෑ. ඔයා තමයි මෙයාව බලෙන් බැන්දුවේ .”
“ඇත්තද පුතේ මේ කියන්නේ ? කියපන් බලන්න මේක ඇත්තද ? මං උඹව කසාද බැන්දුවේ බලෙන්ද?”
බලෙන් තමා..දසුන් ආදරේ කළේ මට..අදටත් ආදරේ කරන්නෙ මට.”
ඒ වෙලාවෙ මනෝරි කතා කළා.
“නෑ..එච්චර ආදරයක් බොරුවට පෙන්නන්න බෑ. එයා මටත් පොඩ්ඩක් හරි ආදරේ කරන්න ඇති .”
මනෝරි මගේ මූණ දිහා බලාගෙනම හිටියා. නිශාරා හිටියෙ හරියටම මට ඉස්සරහින්. මනෝරි හුඟාක් පුංචියි. එයා හැරිලා ඔලුව උස්සලා නිශාරා දිහා බලාගෙන හිටියා.
“එතකොට මාව බැන්ඳෙ සල්ලි වලටද?”
“දැන් තේරෙනවනෙ” නිශාරා කිව්වා.
මනෝරි ආපහු එකපාරක්වත් මං දිහා හැරිලා බැලුවෙ නෑ . එයා යන්න ගියා.
” ඔයාට කසාදෙන් ඇති වැඩක් නෑ මනෝරි.. ඔයා මෙයාට දික්කසාදෙ දෙන්න..”
මනෝරි නැවතුණා.
” ඕන වෙන එකක් නෑ.”
මනෝරියි අම්මයි යන්න ගියා. මම ඒ වෙලාවේ මනෝරිට ඇත්ත කිව්වෙ වත් මට වටින්නෙ නිශාරව කියලා කිව්වෙ වත් නෑ කියලා නිශාරා ලොකු රණ්ඩුවක් කළා. ඊට පස්සෙ කාමරේ දොර වහගන නිදාගත්තා. මම අපේ කුලී ගෙදර මිදුලට වෙලා කල්පනා කළා. දැන් අනිවාර්යෙන්ම මනෝරි මගෙන් වෙන් වෙන බව මම දැනගෙන හිටියා .
මම මනෝරිව බැන්ඳෙම වෙන් වෙන්න හිතාගෙන . මම මනෝරිගෙන් වෙන් වෙන්න හේතුවක් හොය හොයා හිටියා. ඒත් …එයා වෙන් වෙනව කියලා දැනුනම මට ආවෙ හිතාගන්න බැරි වේදනාවක් . මනෝරිද නිශාරද කියලා ස්ථිරවම තෝරාගන්න ඕන තැනට මං ඇවිත් බව මං දැනගෙන හිටියා . කිසිම දෙයක් ඉවසීමෙන් කරන්න මට කල්පනාවක් තිබ්බෙ නෑ. ඇත්තටම මට ඕන වුණේ මනෝරිත් එක්ක කතා කරන්න . කතා කරන්න ඕන වුණත් එයාට මං කියන්න ඕන මොනවද කියලා මට තේරුනේ නැහැ . මම තීරණය කළා ගෙදර යන්න. මම ලෑස්ති වුණා.
“කොහෙද යන්නෙ?” නිශාරා ඇහුවා.
“ගෙදර”
” ඇයි?”
“මේ වෙලාවෙ ප්රශ්ණෙ දිග්ගස්සන්න එපා නිෂාරා “
“දැන් ඔයා ගෙදර කියලා කිව්වෙ අම්මලගෙ ගෙදරද ? මනෝරිගේ ගෙදරද ?”
මම නිහඬවම සපත්තු දාගත්තා.
“ගෑනි අඬාගන ගියාම දුකද? නලවන්නද යන්න හදන්නෙ?”
“ඒ ගෑනි අඬාගන ගියෙ නෑ. ගහක් ගලක් වගෙ ගිය එකයි මට බය”
“බය? ඔයා මොකටද බයවෙන්නෙ ඒකි ගැන.මම අහන්නෙ ඔයා මොකටද ඒකි ගැන ඔච්චර වද වෙන්නේ කියලා ?”
“යකෝ අපි දෙන්නම එකතුවෙලා ඒකිට කෙරුවේ සුළුපටු වංචාවක් නෙමෙයි. ඒකි අහිංසක ගෑනියෙක් . පව්..”
“අහා..ඔච්චර කැක්කුම නම් ඉතිං ඒකිත් එක්කම ජීවත් වෙනවකො. ඉවරනෙ..”
“මේ සිටුවේශන් එක තේරුම් ගන්න නිශා. ඒකිට මං ඇරෙන්න කවුද ඉන්නෙ”
ඔය වෙලාවෙ තමයි මට හරියටම දැනුනේ මනෝරි මගේ ජීවිතෙන් ගියොත් මගේ ජීවිතේ හිස් තැනක් හැදෙනවා කියලා. එතකොට නිශාරා ..මං හේතුව කියන්න දන්නෙ නෑ . මම දන්නෙ නෑ මම පණ වගේ ආදරේ කරපු නිශාරා සම්බන්ධයෙන් මං වෙනස් වුනේ කවද්ද කියලා. නිශාරා මගේ ජීවිතෙන් ගියොත් මට දුක හිතෙයි . ඒත් මනෝරි ගියොත් ඇතිවෙන හිඩැස වගේ එකක් නං කවදාවත් හැදෙන්නෑ කියල මට තේරුණා .
නිශාරා කිව්වා දැන් ඔයා ගියොත් අපේ සම්බන්දෙ මෙතනින් ඉවරයි කියලා .අපි හදපු හෝටලය තියෙන්නෙ එයාගෙ ඉඩමෙ නිසා ඒකෙ කිසිම අයිතියක් මට නෑ කියලා.ඒත් මම යන්න ලෑස්ති වුණා . එතකොට නිෂාරා කිව්වා ආපහු එනකොට මේ ගේ බාල්කයක එල්ලිලා ඉන්නවා කියලා.
ඇත්තටම මට ඒ කිසි දෙයක් ඇහුනෙ නෑ. මට ඕන වුණේ මනෝරි ළඟට යන්න විතරයි . ඒත් මම නිශාරට කළෙත් වැරැද්දක් නේද කියන හැඟීම මට වද දුන්නා . කසාද නොබැඳම අවුරුදු දෙක හමාරක් මාත් එක්ක ජීවත් වුණ ගෑනි.
ඒ වෙලාවෙ මනෝරිගෙන් මැසේජ් එකක් ආවා.
“ඔයාට ඕන වුනේ දේපල කියලා කිව්වනම් ඔයාට රඟපාන්න එච්චර මහන්සි වෙන්න ඕන වෙන්නේ නෑ. මම ම දෙනවනෙ දසුන්..කොහොමහරි මාව බැන්ඳ එකෙන් ඔයාට ඕන වුණ දේ ඔයාට ලැබෙයි.”
“මං එනවා.” මම යැව්වෙ එච්චරයි.
” ඔයාට එන්නම වෙනවා.”මනෝරි එහෙම එව්වා.
ඒ වෙලාව වෙනකොට මගේ හිතේ ප්රමුඛස්ථානය මනෝරිට ගිහින් ඉවරයි . මට ඒ හාල් හාල්මැස්සිත් එක්ක ජීවිත කාලෙම ජීවත් වෙන්න ඕන . මොන දේපල මොන වස්තුව මොන රස්සාව නැති වුණත් මට ඒ හාල්මැස්සිව ඕන .
පැය හතරක ගමනකින් පස්සෙ මම ගෙදරට ගියා.
එතකොට ඒ හාල් මැස්සිගෙ පුංව් මිනිය බාල්කෙන් බානවා..
මට එයා ඇරෙන්න එයාගෙ හැම දේම හම්බුණා.මට ඕන වුන ඔක්කොම වුණා. දැන් එතකොට මගේ ප්රශ්නේ..
ඉතිං ඇයි දැන් මං සතුටු නොවෙන්නෙ?
කාටහරි තේරෙනවද ඇයි දැන් මම සතුටු නොවෙන්නෙ??
===========================
උපුටා ගැනීම:  සුජාතා මැණිකේ ඉහළගෙදර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!