හෙළයන්ගෙන් වසන් කළ වෙසමුණි රජු (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

බොහෝ අවස්ථාවල වෙසමුණි රජ්ජුරුවන් පිළිබඳව ලංකා ඉතිහාසය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වෙන්නේ නැහැ.නමුත් ලාංකීයන් විදියට දැනගත යුතු අපූරු ඉතිහාසයක් වෙසමුණි රජ්ජුරුවන්ගේ අතීත පුවත්වලින් අනාවරණය වෙනවා. පොත පතේ සඳහන් වන විදියට බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ ලංකාවේ රජුන් සියයක් සිටි බවත් එයින් රජවරු සිව්දෙනෙක් දිශා සතරට අධිපතිව විසූ බවත් ය. ධතරාශ්ඨ ,විරූඪ ,විරූපාක්ෂ වෛශ්‍රවන ඒ  සිව්දෙනා වූ බවත් සඳහන්.

අතීතයේ සිටම හෙළයන් දේව වන්දනාව සිදුකර තිබුණා. ඒ දෙවිවරුන් අතර බලවත් ස්ථානයක් ගත් දෙවියන් මහ දෙවිවරු විදියට පිළිගනු ලැබූ බව සඳහන්.කලක් ලෝක පාලක දෙවිවරු ලෙස අග්නි,යම,ශ්විති සහ රූද්‍ර යන සිව්දෙනාත්, ක්‍රි.පූ. 6 වන සියවසේදී ඉන්දු, වරුණ, යම, කුවේර ලෙසත්,පිළිගනු ලැබුවා. මේ හින්දු බලපෑම නිසා පිළිගත් දෙවිවරු පිළිගන්නට මැලිකමක් දැක්වීම නිසා දෙවියන්ගෙන් ලාංකික සම්භවයක් ඇති කුවේර නැත්නම් වෛශ්‍රවන සමඟ වෙනත් ලාංකික දෙවිවරු සතරවරම් දේව සංකල්පයට ඇතුළත්ව තියෙනවා. ඒ අනුව ධතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ සහ වෛශ්‍රවන සතර වරම් දෙවිවරු ලෙස පැවත ආවත් ලංකාතිලක විහාරය අසල වූ සෙල්ලිපියකට අනුව සතරවරම් දෙවිවරු ලෙස කතරගම, උපුල්වන්, සමන් බොක්සැල් සහ විභීෂණ යන දෙවිවරුන් සමාජයේ මුල්බැස ගත්තා.

ඒ සිව්දෙනාගෙන් ජනප්‍රවාදවල සඳහන් වෙන විදියට වෙසමුණි රජ්ජුරුවන් ප්‍රතාපවත් පාලකයෙක්. ඔහු උතුරුදිග ආරක්ෂා කරමින් තමන්ගේ යක්ෂයන් පිරිවර කොටගෙන සිටි බව පැවසෙනවා. ඒ වගේම සාතාගිර – හේමවත , ආලවක වගේම කාලි නම් යකින්නත් මේ රජුගේ පිරිවරට අයත් අය විදියටයි සඳහන් වෙන්නේ. ඒ විතරක් නොවෙයි සෝවාන් වී සිටිය දී ඉතාම භක්තිමත් උපාසකයෙක් වුණු බිම්බිසාර රජතුමා උපන්නේ ද වෙසමුණි රජුගේ යටතේ ජනවසභ කියන යක්ෂ සේනාධිපතියෙක් ලෙස බව දීඝ නිකායේ එනම ඇති සූත්‍රයෙන් හෙළිවෙයි.

ඒ වගේම ලක්දිවට මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරන්නට පෙර මිහින්තලා ප්‍රදේශය වෙසමුණි රජ්ජුරුවන්ගේ බිරිඳ දරුවන් ආදිය වාසය කළ ප්‍රදේශයක් ලෙසට සැලකෙනවා. එනම් නූතන මිහින්තලයේ රාජගිරි කන්ද ප්‍රදේශය වෙසමුණි රජ්ජුරුවන්ගේ මාලිගය පැවති ප්‍රදේශයයි. ඒ වගේම මිහින්තලේ ඇති ඇතැම් සෙල්ලිපි වෙසමුණි රජ්ජුරුවන්ගේ පුතුන් කරවූ ඒවා බවටත් සඳහන් වෙනවා. මේ වෙසමුණි රජ්ජුරුවන්ට දරුවන් 99 දෙනෙක් සිටි බවත් එයින් කියවෙනවා.

වෙසමුණි රජ්ජුරුවන් පිළිබඳව කතා කරද්දි ඔහු කිසිවෙකුටත් බිය නැති අයෙක් විදියටයි පැවසෙන්නේ. ඒ වගේම බුදුන් වහන්සේ පවා සංඝයා වහන්සේලාට යක්කුන්ගෙන් හිරිහැර වුණු අවස්ථාවේදී වෙසමුණිගෙන් උදව් ලබාගත් බව සඳහන් වෙනවා.එහිදී වෛශ්‍රවන විසින් බුදුන් වහන්සේට ආටානාටිය සූත්‍රය පිළිබඳව පවසා ඇති අතර ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ බුදුරදුන්ට සහ ශ්‍රාවක පිරිසට සිදුවන හිරිහැර සහ කරදරවලින් බේරාගන්නට යොදා ඇති යකුන් 18 දෙනෙක් පිළිබඳවයි.

ආටානාටිය සූත්‍රයට අනුව වෛශ්‍රවන දෙවියන් බුදුන් වහන්සේට පවසන්නේ විවිධ ආනුභාව ඇති යක්ෂයෝ බුදුන් කෙරෙහි අප්‍රසාදයෙන් සිටින බවයි.එයට හේතුව බුදුන් වහන්සේ පස් පවින් වැළකෙන්නට දහම් දෙසීම සහ මහා යක්ෂයෝ පස් පව් කරන්නම කැමතිවීම නිසා කියලයි. ඒ නිසා බුද්ධ ශ්‍රාවකයෝ මිනිසුන්ගේ වාසයක් නැති පාලු වන සෙනසුන්වලට ගියාම ඒවායේ ඉන්න යක්ෂයන් පස් පවින් වළකන ධර්මයට අකමැති නිසා බුද්ධ ශ්‍රාවකයන්ට හිරිහැර කරනවා කියලයි.ඒ නිසා බුද්ධ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස තමන් වහන්සේ දේශනා කරන ආටානාටිය පිරිත පිළිගන්න කියලා.

ඒ වගේම වෛශ්‍රවණ දෙවියන් පවසා ඇත්තේ යම් භික්ෂුවක් භික්ෂුණියක් මේ ආටානාටිය ආරක්ෂාව අක්ෂර පද නොපිරිහෙලා නිවැරදිව දැනගෙන සිටී නම් තමන්ට යම් අවස්ථාවක යක්ෂ, නාග, කුම්භාණ්ඩ,ගාන්ධර්ව අමුනුෂ්‍යයන් තමන් ලග සිටගෙන සිටීමෙන් තමන් පසුපසින් පැමිණීමෙන්, තමන් ලග හිදගෙන සිටීමෙන් ආදියෙන් තමන්ව බියවද්දනවා නම් අමුනුෂ්‍යයන්ට වෛශ්‍රවණ දෙවියන්ගේ රාජධානිය තුළ ගරු කිරීමක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව එහි අක්ෂර පද නොපිරිහෙලා ඉගෙන ගත යුතු බව සඳහන්.

ඒ අනුව පිරිත් පොතේ සඳහන් වෙන ආටානාටිය සූත්‍ර දෙකක් ඇති අතර එයින් එක් සූත්‍රයක් වෙසමුණි රජු බුදුන් වහන්සේටත්, බුදුන් වහන්සේ විසින් එය නැවත සංඝයා වහන්සේලාට දේශනා කිරීමත් ආදී වශයෙන්. ඒ අනුව මේ සූත්‍රය මුලින්ම වෙසමුණි සූත්‍රය ලෙස හඳුන්වා තිබූ නමුත් මේ වෙසමුණි සූත්‍රය ආටානාටිය සූත්‍රය බවට නම්කර ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්.

ඒ වගේම රාවණා රජුට ලංකාවත සූත්‍රය බුදුන් වහන්සේ දේශනා කළ බව සඳහන් වුණත් එය මහායාන සූත්‍රයක් විදියට ඉවත් කර තියෙනවා. කොහොමවුණත් මහා ඍෂි වෛශ්‍රවන රජු රාවණ රජුගේ  පියා වන බව සඳහන්. ඒ වගේම රාවණා වත නම් පුස්කොළ පොතට අනුව සීගිරියේ නිර්මාණ ශිල්පියා වන්නේ “මායා දන්නාව” නම් පුද්ගලයායි.හෙතෙම මේ සීගිරිය නිර්මාණයට රාවණගේ පියා වුණු වෙසමුණිගේ නියෝග පෙරදැරි කරගෙන තියෙනවා.

ඒ වගේම වෙසමුණි නැත්නම් විශ්රාවාස මුණි පුලතිසි මහා ඍෂිවරයාගේ පුත්‍රයා ලෙස සඳහන් වෙනවා.ඒ අනුව වෙසමුණිගේ ඉපැරණි රාජධානිය වෙන්නේ අනුරාධපුරය. වෙසමුණිගේ පුතුන් අතුරින් මහා රාවණ, විභීෂණ දසරෝලාන මන්ඨක යන ප්‍රබල යක් රජවරුන් වෙයි.

ඒ වගේම වෙසමුණි යන නම එක් එක් පොත් පතේ වෙනස් ආකාරයකින් දකින්නට පුළුවන්. මහා පිරිත් පොතේ වෙසවුළු නමින්  දක්වා තිබීම නිදසුනක්. නමුත් සෙල්ලිපිවල සඳහන්ව ඇත්තේ වෙසමුණ යන නමයි. 1970 දී සෙනරත් පරණවිතාන මහතා විසින් ලංකාවේ සෙල්ලිපි ගවේෂණය කර කියන ලද (Inscription of Ceylon ) ග්‍රන්ථයේ සෙල්ලිපි අංක 9 යේ මේ කාරණාව පැහැදිලිව සඳහන් වෙනවා.

එහි “පරුමක වෙසමණ පුත භරණිය ලෙනේ දෙවෙහ ච චතුදිශ ශගශ ” ලෙස සඳහන්. මේ පිළිබඳව විවරණයේදී පැවසෙන්නේ මෙය මිහින්තලේ පැවති රාජගිරි නමැති කන්දක් පැවති බවයි. ඒ අනුව මේ ලෙන කරවා ඇත්තේ වෙසමුණිගේ පුත් භරණ සහ දේව යන දෙදෙනා විසින්. මේ දේව කියන්නේ වෙසමුණි රජ්ජුරුවන්ගේ ප්‍රධාන සෙන්පතියා වූ අවිරුද්දගේ පුතා ය.

ඒ විතරක් නොවෙයි වෙසමුණි රජුන් ගැන පවතින කතා අතර ඉසුරුමුනි පෙම් යුවළ පිළිබඳවත් අපූරු අදහසක් පවතිනවා. මේ ඉසුරුමුණි පෙම් යුවල කියන්නේ වෙසමුණි රජු සහ කෛකාසි දේවියගේ රුව නෙළමින් ලෝකයේ පළමුවරට මවුපියන් වෙනුවෙන් දේවාලය ඉදිකළ මහා රාවණගේ නිර්මාණයක්. ඒ වගේම ලෝක ප්‍රකට ඉසුරුමුණියේ මිනිසා සහ අශ්ව හිස කැටයම වෙසමුණි රජුගේ නිර්භය නිදහස් චින්තනය නිරූපණය කරන බව පැවසෙනවා. මහාවංශයට සහ රාමායනයට වඩා පැරණි යක්ෂ ගෝත්‍රික මූලාශ්‍ර අතර “වෙශමුණි දරණිවත” නම් පුස්කොළ පොතක් ද වන බව සඳහන්.

ඉතින් රාවණ යුගයත් මිත්‍යාවක් කොට සලකන ඇතැමුන් නිසාම වෙසමුණි රජු වැනි හෙළයන් පිළිබඳව හෙළයන්ට වසන්ව පැවතීම අරුමයක් නොවෙයි.

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!