හිටි ගමන් රන් තලියක් මතුවෙන කුරුණෑගල රන්තාලිය වැවේ අප්‍රකට කතාව (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

රන්තාලිය වැව නැත්නම් කුරුණෑගල වැව කියන්නේ කුරුණෑගල අනන්‍යතාවය කිව්වොත් නිවැරදියි. කුරුණෑගල නගරය ඓතිහාසික වශයෙන් වඩා වැඩි වැදගත්කමක් හිමිකර ගන්නේ අතීතයේදී රාජධානියක් ලෙස කලක් පැවති නිසාවෙන්. ඉතින් ඒ හැරුණම කුරුණෑගල නගරය තවත් සුවිශේෂී කාරණයක් නිසාම කතාබහට ලක්වෙනවා. ඒ තමයි අද අපි කතා කරන්නට යන රන්තාලිය වැව නිසා. ඉතින් කුරුණෑගලට පිවිසෙන ඕනෑම අයෙක්ට කුරුණෑගල නගරය මධ්‍යයේ මේ වැව හමුවෙනවා.

ඉතින් අද වෙද්දි ජනතාවගේ ආකාර්ශණය දිනාගත් සුන්දර ස්ථානයක් ලෙසට මේ වැව පත්ව තියෙනවා.මංගල ඡායාරූපකරණය සඳහාත්, සංචාරක කර්මාන්තය තුළ වඩාත් ආකර්ශනීය තැනක් විදියටත් මේ වැව වැදගත් ස්ථානයක් හිමිකර ගන්නවා. ඒ වගේම ශරීර සුවතා සඳහා පැමිණෙන්නන් බහුලවීමත් නිසා කලබලකාරී ස්වභාවයක් මේ අවටින් දැක ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ රන්තාලිය වැව ගැන අපූරු කතා නම් බොහෝමයි. මේ සම්බන්ධව තියෙන ප්‍රවාද අතුරින් රාශියක්ම තවමත් ලක්වැසි ජනතාව අතර නොනැසී පැවත එනවා. ඒ අතරින් වඩාත්ම විශේෂ කතාවක් තමයි වත්හිමි රජුට ජීවිතය අහිමි කළ රන්තාලිය සහ බැඳුණු අපූරු කතාව.

අද වෙද්දි මේ රන්තාලිය වැව අක්කර 150 ක් පුරා පැතිර තිබුණත් මේ වැව අතීතයේ ඊටත් වඩා විශාලව පැතිර තිබුණු බව විශ්වාස කරනවා. ඒ අනුව එදා වැවේ පිටවාන අද ගැට්ටුවාන කියන ප්‍රදේශය දක්වා පැවති බවත්, එක් කෙළවරක් සාරගම් වැවේ වැව් බැම්මට යාබදව පිහිටි බවත්, අනෙක් කෙළවර මාලිගා පිටිය ක්‍රීඩාංගනය ඇති භූමිය දක්වාත් විහිදී තිබුණ බවත් පැවසෙනවා. ඒ අනුව අද වෙද්දි මේ වාරි කර්මාන්තය පෙර පැවති ප්‍රමාණයෙන් බොහෝසෙයින් අඩුවී ඇති බව පෙනෙනවා.

මේ වැවේ ඉතිහාසය ගැන විමසා බැලුවොත් වංශ කතාවල සඳහන් වෙන්නේ මේ වැව තුන්වැනි බුවනෙකබාහු නැත්නම් වන්නි බුවනෙකබාහු ඔහුගේ රාජ්‍ය කාලය (1326- 1335) තුළදී තනා ඇති බවයි. මේ කුරුණෑගල වැව රන්තාලිය වැව වුණු ආකාරය ගැන ජනප්‍රවාදයේ එක් ප්‍රසිද්ධ කතාවක් පැවතෙනවා.

එකල කුරුණෑගල රාජ්‍ය පාලනය ගෙන ගිය තුන්වන විජයබාහු රජුට යෝනක දේශයෙන් ගෙන එන ලද පරිවාර බිසවක් සහ අග බිසවක් සිටි බව පැවසෙනවා. කොහොමවුණත් මේ බිසෝවරුන් දෙදෙනාගෙන් අග බිසවට කාලිංග නමින් පුත් කුමරෙක් සිටි අතර පරිවාර බිසවගේ පුත් කුමරු වත්හිමි නම් වුණා. මේ වත්හිමි කුමරුගේ මව මුස්ලිම් ජාතික බිසවක් වූ බවයි පැවසෙන්නේ.

කාලයක් ගතවෙද්දි කුරුණෑගල රාජ්‍යය පාලනය කළ මේ රජුට තවත් පාලකයෙක් සමඟ සටනකට යන්නට සිදුවුණා. ඒ සටනින් මේ රජු ජයගත්තත් රජ  මාලිගයට ඒ ආරංචිය සැලවුණේ රජු යුද්ධයෙන් පරාජය වුණා කියලයි. ඉතින් මේ නිසා රජුගේ බිසෝවරුන් විරාගලින් පැන දිවි නසාගෙන තියෙනවා. මේ අවස්ථාවේ පුත් කුමරෙක් මාලිගයේ මෙහෙකාර කාන්තාවක විසින් නාවමින් සිටි අතර ඇය කුඩා කුමරුගේ ආරක්ෂාව සඳහා ඒ කුමරුවන් ද රැගෙන ඇයගේ ගම්මානය බලා යන්නට වුණා. මේ අතරේ මාලිගයට පැමිණෙන රජු සිදුව ඇති විනාශය දැක මහත් කම්පාවට පත්ව රජු ඇතුළු පිරිසත් විරාගලින් පැන දිවිනසා ගත්තා.

ඉතින් මේ කුමණ්ත්‍රණය නිසාවෙන් අවසානයේදී ජීවීතය බේරා ගන්නේ වත්හිමි කුමරු පමණයි. ඉතින් ජනප්‍රවාදයේ සඳහන් වෙන විදියට පසුකාලීනව වත්හිමි කුමරුන් තමන්ගේ  ඥාතීන් සිටින බේරුවල ප්‍රදේශයට ගොස් එහිදී ශිල්ප හදාරා නැවත කුරුණෑගලට පැමිණ තියෙනවා. කල් ගතවෙත්ම තරුණ වියට පත් වත්හිමි  කුමරුන් තමන්ගේ උරුමය ලබාගනිමින් කුරුණෑගල රාජ්‍ය කටයුතු පවත්වාගෙන ගියා. නමුත් ඔහු එතරම් සාධාරණව ප්‍රතිපත්තිගරුකව පාලනය ගෙන ගිය අයෙක් නොවන වගයි සඳහන් වෙන්නේ.

නමුත් ඔහු බලයට පත්වන  මේ කාලයේ තමයි හදිසියේම කුරුණෑගල වැවෙන් රන් තලියක් මතු වෙන්නේ. ඉතින් අදහා ගන්නට බැරි මේ සිදුවීමෙන් රජු සිතුවේ එය නිධානයක් වෙන්න ඇති කියලා. ඉතින් රජු මේ නිධානය ගන්නට රහසේම සැලසුම් සකස් කළේ මාලිගාවේ ඇමතිවරු සමඟ. ඒ වගේම රන්තාලිය වැවෙන් අරන් එන කෙනෙක්ට බොහෝ තෑගි බෝග පිරිනමන බවත් රජතුමා ඇමතිවරුන්ට දන්වා සිටියා. කොහොමහරි මේ රන්තලිය ගෙන එන්නට වැවට බට බොහෝ අයෙක් ආයේ ගොඩට ආවේ නම් නැහැ. ඉතින් මේ නිසා නොයෙක් පළාත්වලින් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරන ඇත්තන් පවාගෙන එනු ලැබුවා. නමුත් ඒ කිසිවකට රජුගේ බලාපොරොත්තුව  සඵල ගන්වන්නට නම් නොහැකි වුණා.

ඉතින් ජනප්‍රවාදයේ පැවතෙන විදියට මේ රන් තලිය මතුවීමත් එක්තරා කුමණ්ත්‍රණයක් ලෙසටයි පැවසෙන්නේ. ඉතින් කොහොමහරි මේ තත්ත්වය මත අවසානයේ ඇමති ප්‍රභූවරු රජුව ඝාතනය කරන්නට සැලසුම් කරනවා. ඒ සඳහා ඔවුන් රජුට පවසා සිටියේ ඇතුගල පර්වතය මුදුනේ  සත් දිනක් පිරිත් දේශනාවක් කරවා ගත්තොත් නිධානය ලබා ගන්නට හැකි බවයි. ඉතින් ඇමතිවරුන්ගේ කූඨ උපක්‍රම නොදත් රජු ඊට එකඟ වූ අතර මේ අතරවාරයේ දී ඇමතිවරු රෝද සහිත පිරිත් මණ්ඩපයක් රජුට පිරිත් ශ්‍රවණය කරන්නට සකස්  කළා.මේ පිරිත් දේශනාවට අමාත්‍යවරුන් එවපු අය ශ්‍රමණ වේෂාධාරීන් ලෙසයි සඳහන් වෙන්නේ.දවස් 6ක්ම වෙනසක් නොමැතිව පිරිත් දේශනයන් සිදුවුණා. නමුත් සත්වන දිනයේදී පිරිත් අසමින් මණ්ඩපය තුළ සිටි රජුව මණ්ඩපයත් සමඟම ගලෙන් පහළට පෙරළා මරණයට පත්කළා. ඉතින් මේ වත්හිමි කුමරුගේ සිරුර වැටුණේ සූරතිස්ස රජ සමයේ කළ බවට සැලකෙන ඇත්කඳ විහාරයට ආසන්න ස්ථානයකට බව ඇතැමුන්ගේ විශ්වාසය වෙනවා. කොහොම වුණත් ඒ අවස්ථාවේ රජු ඉතාමත් කේන්තියෙන් මිය ගිය නිසා රජු යක්ෂයෙක්ව ඉපිද ප්‍රදේශයේ ජනතාවට පීඩා ඇතිකළ බව පැවසෙනවා.

ඉතින් ඒ යක්ෂ කරදර නිසා දක්ෂ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු දත් භික්ෂූන් වහන්සේ නමක් ලවා රජුව යක්ෂ ආත්මයෙන් මුදවූ බවත් ඉන්පසු ඒ රජු දේවත්වයට පත්වුණු බවත් සඳහන්. ඒ අනුව අදටත් ජනතාව මහත් ගෞරවයෙන් වන්දනා කරන ගලේ බන්ඩාර දෙවියන් වෙන්නේ මේ මරණයට පත්වුණු වත්හිමි කුමරුන්.

ඉතින් මේ රන් තලියට මොකද වුණේ. වත්හිමි රජුට විතරක් නෙවෙයි මේ රන් තලියට ලෝබ සිතු බොහෝ අයගේ ජීවිත මේ රන් තලිය වැවේ සැඟව ගියා. ඒ වගේම මේ සිදුවීමෙන් පසුවත් ඇතැම් අය මේ වැවේ පාවෙමින් තිබෙන ඒ රන් තලිය දැක තියෙන බව පැවසෙනවා. ඇතැම් අය ඒ දර්ශනයෙන් සතුටට පත්වුණත් තවත් බොහෝ අයනම් එය ශාපයක් ලෙසටයි සැලකුවේ. කොහොමහරි මේ රන් තලිය නිසාම කුරුණෑගල වැව රන්තලිය මතුවන වැව ලෙසට ප්‍රසිද්ධියට පත්ව රන්තලිය වැව, රන්තාලිය වැව ලෙසටත් ව්‍යවහාර වී තියෙනවා.

රන් තලිය ගැන කතා කෙසේවුවත් ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාවන් ඉටු කරන්නට සැදී පැහැදී සිටිනා මේ වැව අපූරු ඉතිහාසයක් ඇති වටිනා සම්පතක්. ඉතින් අදටත් නොවිසඳුණු රහස් ගොන්නක් සමඟ නිහඬව සිටින මේ රන්තලිය වැව අද කුරුණෑගල නගරයටම අභිමානයක් .

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!