හුරුල්ලෝ හත ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“චූටි දූ නැගිටින්නකෝ ළමයෝ”, උදේ පාන්දරම අම්මාගේ හඬින් අවදි වූ මා ඇස් පියාගෙනම කුස්සියට ආවේ උදෑසන තේ කෝප්පය දවසේ මුල් සුබ දසුන ලෙස බලා ගැනීමටයි. නිවමින් උන් තේ කෝප්පය අම්මා මා අතින් තබා සුපුරුදු උදේ රාජකාරිය, නැතහොත් උදේ ආහාරය සූදානම් කරන්නට වූවාය. ඈ අසළම පුටුවට කම්මැලිකමෙන් ගුලි වූයේ අද දවසේ සැලසුම් ගැන අම්මාගේ හරබර කතාවට අවධානය යොමුකරමිනි. “චූටි දූ ඉක්මනට තේ බීලා,ගේ අතු ගාලා, ඉක්මනට ලෑස්ති වෙන්න ලොකු මාමලාගේ ගෙදර යන්න”, අම්මා කී විටයි අද ලොකු මාමලාගේ දානේ යැයි මතක් වුනේ. වෙනදාට තේ කෝප්පය අවසන් වන විට ඇරෙන දෑස් අද ඉක්මනින් ඇරගෙන තේ කෝප්පය උගුරට දෙකට බී අවසන් කළ මා දිව ගියේ ඉක්මනින් ගේ අතු ගා අවසන් කිරීමටයි. තාත්තා හා අයියා විදේශගතව සිටින නිසා අම්මා සමග මා නිවසේ සිටින්නේ තනිවමයි. විශ්වවිද්යාල ප්රවේශය බලාපොරොත්තුවෙන් සිටින මා, අම්මා සමග සතිය ගෙවා ගන්නට බොහෝ දේ සිදු කරන අතර අප දෙදෙනාට පාළුව,තනිකම මකා ගන්න ලැබෙන මෙවැනි අවස්ථා ලෙහෙසියෙන් මගහැර ගන්නේ නැත. ඉක්මනින් කා බී අවසන් කළ අප දෙදෙනා ඉක්මනින් හැඳ පැළඳගෙන පාරට ආවේ මාමලාගේ ගෙදරට යාමට පැයක පමණ බස් ගමනක් පවතින නිසාවෙනි.
අම්මාට සහෝදරයන් තුන් දෙනක් හා එක් සහෝදරියක් සිටින අතර අම්මා පවුලේ බාලයායි. අපි මේ යන්නේ අම්මාගේ ලොකුම අයියාගේ ගෙදරට වන අතර මේ ලොකු මාමා අවුරුද්දක් පාසා දෙනු ලබන දානයයි. ලොකු මාමාලාගේ ගෙදර අසළින් බැසගත් අප දෙදෙනා දැක පෙරමගට ආ ලොකු නැන්දා අම්මාගේ අතේ තිබූ බිස්කට් පෙට්ටිය හා අනෙකුත් අඩුම කුඩුම ටික ගත්තාය. අලුත් අවුරුද්දෙන් පසුව සියලු දෙනාම හමු වූයේ අද නිසා මට මෙන්ම අම්මාටද සතුට ඉවවහා ගොස්ය . මාමලා හා පොඩි නැන්දා එළියේ පුටු හදමින් සිටි අතර නිමල් මාමා සතුටෙන් කෑ ගැසුවේ, “අන්න, අපේ හුරුල්ලෝ හත එනවා”,කියායි. නිමල් මාමා අම්මාගේ පොඩි අයියා වන අතර ඔහු තරමක් කටකාර හා විනෝදජනක පුද්ගලයෙකි. සිනා වී ගෙන පැමිණි අම්මාගේ මූණ ඇදවී රතු වී ගිය අතර නිමල් මාමා අම්මා හමුවන ඕනෑම විටක එලෙස ඇමතනු ලබයි. නමුත් අම්මාගේ බලවත් අකමැත්ත නිසා එලෙස කීමට හේතුව අසා ගැනීමට මට තවමත් අවස්ථාවක් උදා වී නැත. මාමලා හා ලොකු නැන්දාගේ හිනා හඬ නිසා අම්මා කෙළින්ම ගේ ඇතුළට ගියද මා මාමා අසළින් සිට ගත්තෙමි.
නිමල් මාමා එක්වරම මගෙන් ඇසුවේ,” චූටි දූ දන්නවාද අම්මාට ඇයි හුරුල්ලෝ හත කියන්නේ කියලා?”. සිනා වී ගෙනම මා ඔලුව වැනුවේ “නෑ”, කියමිනි. “ඒනම් අදවත් දැනගමු”, කියමින් මාමා අසළ පුටුවක වාඩි වූ අතර මා එනු දැක ගෙයින් එළියට පැමිණි මගේ අතිජාත මිත්ර ලොකු අක්කා,පොඩි අක්කා හා සුපිපි අක්කාද මා සමගින් ඒ අසළින්ම හිද ගතිමු.ලොකු මාමා හා චූටි මාමාද, සාකච්ඡාවට එකතු වූ අතර නිමල් මාමා කතාවට මුල පිරුවේය.” ඔයාලගෙ අම්මා චූටි කාලෙ හරිම දඟයි,හරි සැරයි,ඉක්මනටම කේන්ති යනවා,එපා කියන දේමයි කරන්නේ.අම්මට අවුරුදු 8දි විතර දවසක් තනියම ඉස්කෝලේ යන්න උනා.ලොකු මාමා සීයා එක්ක ගමනක් ගිහින් හිටි නිසාත්, අපි තුන් දෙනාම ගියේ ටවුමේ ඉස්කෝලෙට නිසාත් ඔයාගෙ අම්මට එදා තනියම ඉස්කෝලෙට යන්න වුනා. ගමේ ඉස්කෝලෙටම යන නිසාත් ඒ පාර හොඳට හුරු නිසාත් ආච්චි අම්මාත් තනියම යන්න දුන්නා.චූටි ඒ කියන්නේ ඔයාලගෙ අම්මත් වෙනදාට නැති සතුටකින් තනියම යන්න ලෑස්ති වුනා.තනියම කිව්වට ඒ කාලේ එහා ගෙදර හිටපු චූටිගෙ යාලුවා,අමිතා නැන්දාත් එක්ක . දෙන්නා එකතු වුනාම එපාකරපු වැඩ කරන නිසා අමිතා නැන්දාගේ අම්මා වගේම ඔයාලගෙ ආච්චි අම්මත් දෙන්න දිහා ඇහැ ගහගෙනමයි හිටියේ. ඒත් එදා ගමේ කාන්තා සමිතියේ රැස්වීම අපේ ගෙදර තිබ්බ නිසා මේ දෙන්නව ආච්චි අම්මට අමතක වෙලා. උදේ ඉස්කෝලෙ ගියපු ළමයි දෙන්න අපි තුන් දෙනාම ටවුන් එකේ ඉදන් එනකන්වත් ඇවිත් හිටියේ නැති නිසා හවස 4ට විතර ආච්චි අම්මා ඉස්කෝලෙට ගියා. ඉතුරු ටික අක්කේ ඔයා කියන්නකෝ”, යැයි මාමා පැවසුවේ පොඩි නැන්දාටය. “ඉස්කෝලෙට ගියපු ආච්චි අම්මා අඩා ගෙන ගෙදරට ආවේ චූටි උදේ ඉස්කෝලේ ගිහින් නැතිලු කියාගෙන”, යැයි කතාවට අවතීර්ණ වෙමින් පොඩි නැන්දාද මිදුලට ආවාය. ” පස්සේ ඉතින් අපි හැමෝම ගම පුරාම හොයද්දී සීයයි, ලොකු මාමයිත් ඇවිත්, ලොකු මාමා ආපහු හන්දියේ කඩේ ගාවට ගියේ ළමයි දෙන්නව දැක්ක කෙනෙක් හොයා ගන්න, හන්දියේ කඩේ ගාව හිටපු මාළු විකුණන කෙනෙක් ලොකු මාමාට එහා ගමේ වැව ගාව ඉස්කෝලේ ඇදුමින් ගෑණු ළමයි දෙන්නෙක් දැක්කා කියලා කිව්ව නිසා එහෙමම වැව ගාවට යද්දී අම්මටයි,අමිතා නැන්දාටයි වැව අයිනේ තිබ්බ සියඹලා ගහ යට නින්ද ගිහින්,මාමා දෙන්නගෙම කනෙන් ඇදන් ගෙදරටම එනකන් ගගහා ඇවිත් “, කියමින් පොඩි නැන්දා සිනාසෙන්නට වූවාය.
” හොඳම වැඩේ වුනේ ඊට පස්සෙනේ”, කියමින් චූටි මාමාද සිනාසෙන්නට විය. ” ලොකු මාමාගෙන් පාර දිගට ගුටි කකා ඇවිත් ගෙදර ආපු ගමන් ආච්චි අම්මත් හොඳ ගුටි පූජාවක් දුන්න නිසා දවල්ටත් නොකාම අඬ අඬාම ඉද්දී චූටිට නින්ද ගිහින් හිටියේ”,කියලා නිමල් මාමා ආපහු කතාව කීමට පටන් ගත්තේය. “හවස සීයා එද්දී හන්දියේ කඩෙන් මාළු ගත්තේ රෑ කෑමට වුනාට මේ කලබල නිසා ආච්චි අම්මා ඒක උයා ගන්න බැරි වුනා. ඒ නිසා උදේට කන්න රෑම මාළු හට්ටියක් ආච්චි අම්මා ලිපේ තිබ්බේ උදේට චූටි එක්ක ඉස්කෝලෙට යන්න වෙන නිසා. අපි හත් දෙනාටම කන්න හුරුල්ලෝ හත් දෙනෙක් ආච්චි අම්මා ලිපේ තියලා. රෑටත් අපි හැමෝම තිබ්බ දෙයක් රත් කරලා කෑවට චූටි මොකුත්ම කන්න නැගිට්ටේ නෑ. ඉතින් අපි ඔක්කොම උදේට ඉස්කෝලේ අරන් යන්න ඕනි දේවල් ඔක්කොම ලෑස්ති කරල ආච්චි අම්මා කුස්සිය අස් කරලා ආවට පස්සේ නිදා ගත්තා. රෑ12 ට විතර කුස්සියේ හට්ටි පෙරළෙන සද්දයක් ඇහුණ නිසා මන් හොරෙන් නැගිටලා ගියේ පූස් තඩියෙක් මාළු ටික පෙරළනවා කියල හිතාගෙන, ලොකු පොල්ලකුත් අරගෙන, යද්දී අපේ චූටි හත්වෙනි හුරුල්ලත් කටේ දාගෙන”‘, මාමා එදා සිද්ධිය මතක් කරමින් හිනා වුන අතර සුපිපි අක්කා ඇස් ලොකු කරගෙන මාමාගෙන් ඇසුවේ ” හතම තනියම කාලාද?”, කියායි. “ඔව්, හට්ටියම කාලා ,අන්තිම එක මාව දැක්ක ගමන් බය වෙලා කටෙන් බිමට වැටුණා”,කියමින් නිමල් මාමා හයියෙන් සිනා වන්නට වූ අතර මෙතෙක් වෙලා කතාව අසා සිටි අම්මා රතු වූ මුහුණෙන් එළියට පැමිණියේ ලැජ්ජාවෙන් සිනාසෙමිණි.
අවසානයේදී ලොකු මාමා පැවසුවේ අම්මාට දින 2ක් පමණ පාසල් යාමට නොහැකි වන තරමේ බඩේ අමාරුවක් සෑදුන බවත්, දවස් ගානක් වමනෙ දමමින් බෙහෙත් බීමට සිදු වූ බවත්, ඉන්පසු නැවත අද වනතුරුම මාළු නොකෑමට හේතුව එය බවත් ය.
පින්තූරය අන්තර්ජාලයෙනි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!