ඉස්කෝලෙන් පනින හැටි ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔන්න මම කියන්නම් අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලෙන් පැන්න හැටි.
මුලින්ම කියන්න ඕනේ, අපි පනිනවා කියල හැමදාම යන්නේ නැහැ. ඔය ඉතින් විබාගේ ඉවර වෙලා ලකුණු දෙනකන් නිවාඩු කාලේ එනකන් තියන පොඩි සතියක් දෙකක් තියෙන්නේ, ඒ කාලේ එහෙම, තව ඉතින් ඔය වැඩ කරන්නේ නැති දවස් එහෙම වැටෙන්නේ (ක්රීඩා උත්සවේ ලං වෙන කාලේ එහෙම). අන්න ඒ දවස් වල ඉතින් අපි කලින් ගෙදර ගියා.
ගොඩක් අය මම අහල තියන විදියට තාප්පෙන් පනින්නේ, එහෙම නැත්නම් වැටෙන් පනිනවා (ඉස්කෝලේ වටේ තියන එක අනුව තමා). අපේ තිබ්බේ තාප්පයක්. මම ඉතින් කවදාවත් ඕකෙන් පැනල නැහැ. හේතු ගොඩකට. ප්රධාන එක තමයි මම ඒ දවස් වල ටිකක් මහතයි, ඕවා උඩින් පනින්න මට බැහැ. තව සමහරු අපේ ඉස්කෝලේ තිබ්බ පිටිපස්සේ ගේට්ටු (සමහර දවසට ඒවගේ සෙකියුරිටි ඒකෙ එය නැහැ), ඒවගෙන් පැනල යන අයත් හිටිය. හැබැයි ඉතින් ඔය හැංගිලා ඉන්න විනය බාර ගුරුවරු සෙට් එකෙන්, ප්රින්සිපල් ගෙන් බේරෙන්නත් අමාරුයි. ඔය පැත්තට හැමෝම ඇහැ ගහගන ඉන්න හන්ද.
අපි ඉතින් ඔයිට වඩා රිස්ක් එක අඩු ක්රමයක් හොයා ගත්ත ඉස්කෝලෙන් පනින්න.
ඒක කියන්න කලින් තව පොඩි විස්තර ටිකක් කියන්නම්. ඒ කාලේ (අපි දිග කලිසම් අදින්න පටන් ගත්ත කාලේ කියමුකෝ), අපේ ඉස්කෝලේ ප්රින්සිපල් හිටිය, තව නියෝජ්ය විදුහල්පති කිහිප දෙනෙක් හිටිය. ඔතනින් එක නියෝජ්ය කෙනෙක් හිටිය, එයා ප්රින්සිපල් එක්ක වැඩිය හොද නැහැ. නමුත් ප්රින්සිපල් උනත් එයාට මුකුත් කියන්නේ නැහැ, මොකද එයාට තිබ්බ බලය (ආදී ශිෂ්ය එකෙන්, වටේ පිටේ දේශපාලඥයන්ගෙන් වගේ) හින්ද. අපිනම් කිවේ “පිනාගේ” හොර වැඩක් කරන ෆොටෝ වගයක් නියෝජ්ය පිනා ගාව තියන හන්ද මුකුත් කියන්නේ නැත්තේ පිනා කියල. අපි ඉතින් ඕව දන්නේ නැහැ. අපි ඒ නියෝජ්ය පොරට කියමුකෝ නිමල් කියල. නිමල් සර් තමයි විෂය පරිබාහිර වැඩ වල ලොක්ක. අපේ ඉස්කෝලේ ක්රීඩා, වෙනත් එක එක සමාගම් තියෙන්නේ ඒවා බාර ගුරුවරු ඉන්නවා, ඊට උඩින් නිමල් සර් තමයි ඒවා බලන්නේ.
කොහොම හරි අපේ ඉස්කෝලෙන් පනින ක්රමේ උනේ ප්රධාන ගේට්ටුවෙන් (ප්රින්සිපල් ගේ ඔෆිස් එක ලගම කිවත් වැරදි නැහැ) පනින එක. එතන තමයි සේකියුරිට්ය් එහෙම ඉන්නේ වැඩිපුර. ඉතින් කවුරුත් එතනින් පනින්න යන්නේ නැහැනේ. අපි කරේ ෆුල් සීරියස් විදියට බග් එකත් දාගන ඇවිදගන යන එක ගේට්ටුවෙන් එලියට.
වැඩේ මේකයි, ළමයි එක එක අමතර වැඩ වලට ඉස්කෝලෙන් එලියට යනවා. උදාහරණ විදියට ගත්තොත්, අපි කියමු බාලදක්ෂ කියල, සමහර වෙලාවට බාලදක්ෂ මුලස්ථානයට, එහෙම නැත්නම් ලග තියන ඉස්කෝල වල එක එක වෙන බාලදක්ෂ උත්සව වලට එහෙම යනවා. චෙස් කරන අය, චෙස් තරග වලට වෙන ඉස්කෝල වලට යනවා, ඒ වගේ දේවල් තමයි. ඔය වගේ හේතු හන්ද ළමයි යනවා ඉස්කෝල වෙලාවේ එලියට. සාමාන්යෙන් අවසර ලියුම් අරගන යන්න ඕනේ. නමුත් ගොඩක් වෙලාවට ඔය ලියුම් බැලෙන්නේ නැහැ. අනික හැම වෙලාවේම ළමයි එක්ක ගුරුවරු එන්නෙත් නැහැ. ඉතින් ෆුල් කන්ෆිඩන්ට් පිට එලියට යද්දී ඕනේ කෙනෙක් හිතන්නේ සිරා වැඩකට යනවා කියල.
එතකොට ලග ගුරුවරයෙක්, හිටියත්, සේකියුරිට්ය් හිටියත් ගණන් ගන්නේ නැහැ. ඉතින් මුකුත් කියන්නේ නැහැ.
සාමාන්යෙන් අතේ මොකක් හරි ෆයිල් එකකුත් තියාගන යනවා “ඔෆීෂියල් ගතිය වැඩි වෙන්න”.
කොහොමත් අපේ සෙට් ඒකෙ හිටිය කිහිප දෙනා සාමාන්යෙන් ඉස්කෝලේ හොද නම තියාගන හිටිය අය. හොදට කොන්ඩේ කපල, නිවැරදි විදියට ඇදුම් අදින අය, අනික ගොඩක් ගුරුවරු ඔය කාලේ වෙද්දී අපිව දැනගෙන හිටියේ “හොද ළමයි” කියල. ඉතින් යනවා දැකල අපිට කතා කරත් අපි හේතුව (බොරු හේතුවක් උනත්) කිවම “හා පුතාල ගිහිල්ල එන්න” කියනවා ඉතින්.
දවසක් තමයි වැඩේ උනේ. ඔන්න දවසක් අපි සෙට් එකක් ඇවිදගන යනවා පනින්න ගේට්ටුවෙන්. ඒ වාර විභාග ඉවර වෙලා, නිවාඩුවට කලින් දවස් මට මතක විදියට. ඔන්න ලගටම යද්දී දැක්කේ ආදරණිය පිනා ඉන්නවා ඒ ලගම. අපි ඉතින් පපුව ඩබ් ඩබ් ගාද්දී වෙනද වගේම එයා දිහා බලල හිනාවෙලා ගේට්ටුව ලගට යන්න ගියා.
“ඔය ළමයි මෙහෙ එනවා” එකපාරම අපිට ඇහුන. අපි හිතුව, “හරි, අද කන්න වෙන්නේ අවුරුදු ගානටම හරි යන්න” කියල.
කකුල් විබ්රටෙට් වෙනවා. එහෙම වෙද්දී අපි ඇවිදගන ගියා පිනා පැත්තට. හැබැයි බය උනා වගේ පෙන්නුවේ නැහැ.
ලගට ගියාම ඇහුව “තමුසෙලා කොහෙද යන්නේ මේ ඉස්කෝලේ වෙලාවේ” කියල. මට එකපාරම මතක් උනා ඊට දවස් කීපයකට කලින් එක විශ්ව විද්යාල ශිෂයෝ වගයක් ඇවිල්ල ලග ඉස්කෝලෙක කරපු “තාරකා” දිනය. මම තාරක විද්යා සංගමයේ හිටියට විභාගේ හන්ද යන්න බැරි උනා. ඉතින් කිව්වා “සර් ඇස්ට්රෝ ඒකෙ ලෙක්චර් වගයක් තියනවා විශ්ව විද්යාලේ අය්යල වගයක් ඇවිල්ල කරන (අනිත් ඉස්කෝලේ නම කියල) ප්රධාන ශාලාවේ. එකට යනවා.” කියල.
“තමුසෙලා අවසර ගත්තද?” පිනා ඇහුව. “ඔව් සර්, නිමල් සර්ගෙන් ගත්ත.” මම කිව්වා. (තිබ්බ වතාවරණේ එක්ක, පිනා නියෝජ්ය පිනාගෙන් අහයි කියල හිතන්න බැහැ මේ වගේ දෙයක්, එක හන්ද කිවේ)
“එහෙමද?, එහෙනම් යනවා. පරිස්සමට යනවා. මේ දවස් වල ළමයි හොරෙන් පනින හන්ද පාරේ නිල ඇදුමෙන් ඉන්නවා දැක්කොත් පොලිසියෙන් එහෙම කතා කරලා අහයි.” පිනා කිව.
ඉතින් අපි තැනක් යු සර් කියල හොද ළමයි ටික වගේ ප්රධාන ගේට්ටුවෙන් පිටවෙලා, අපේ ගෙවල් වලට ගියා.
දැන් ඉතින් හිතයිනේ කට්ටිය “ඇති යන්තම්, දැන් වත් මේ යක්කු ටික හැදෙන්න ඇති” කියල.අනේ නෑ පින්වතුනි, අපි හැදුනේ නැහැ. ඊට පස්සෙත් අපි පැන්න.
හැබැයි අපි එක්ක ආව කව්රුවත් නීති විරෝධී වැඩ, එහෙම නැත්නම් විනය විරෝධී දේවල් කරේ නැහැ එහෙම පැනල ඇවිල්ල. අපේ අය කරේ එක්කෝ ගෙදර ගිහිල්ල කාල නිදාගන්න එක, නැත්නම් අර ඒ දවස් වල දවල්ට ටීවී ඒකෙ ගිය හින්දි ෆිල්ම් බලපු එක.
තව දෙයක්, අපේ ගෙවල් වල අයත් කිසි ප්රශ්නයක් කරේ නැහැ කලින් පැන්නට. දන්නවා අපේ අය පැන්නත් එන්නේ ගෙදර කියල.
ඔන්න ඔහොමයි අපි ඉස්කෝලෙන් පැන්නේ. ඕව අහල දැන් ඉන්න ළමයි එහෙම පනින්න යන්න එපා. හරිද?
උපුටා ගැනීම: Tilina Herath

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!