කැළනි ගඟ පිටාර ගලන කාලේට මිනිස් වෙසින් පැමිණෙන රන්වල දෙවියෝ (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

රන්වල දෙවියන් ගැන බොහෝ අය අසා නැතුව ඇති.මොකද විශ්ණු, කතරගම, සුමන් සමන් වගේ බොහෝ ප්‍රසිද්ධ දෙවි කෙනෙක් නෙවෙයි මේ රන්වල දෙවියෝ. මේ රන්වල දෙවියන්ව සලකනු ලබන්නේ ප්‍රාදේශීය දෙවි කෙනෙක් විදියට. මේ දෙවියන්ගේ විශේෂතා බොහෝමයක් අසන්නට ලැබෙනවා. ඉතින් මේ දෙවියන් වෙනුවෙන් ඉදිවුණු ප්‍රධානම දේවාලය ගැන තමයි  මේ කියන්න යන්නේ. ඒ කොළඹ අවිස්සාවේල්ල මහා මාර්ගයේ පුවක්පිටිය හිඟුරල තියෙන රන්දෙව් දෙවොල. බොහෝ ජනතාවගේ පුද සත්කාර ලබන බොහෝ හාස්කම් තියෙන දේවාලයක් තමයි මේ  රන්වල දේවාලය .

රන්වල මුත්තා, රන්වල හාමුදුරුවන් යන නමින් හඳුන්වන රන්වල දෙවියන් පිළිබඳව ජනතාව තුළ පවතින්නේ අසීමිත ගෞරවයක් වගේම විශ්වාසයක්. කැළණි ගංගා මිටියාවත බල ප්‍රදේශය කරගත් රන්වල දෙවියන් මිනිස් ස්වරූපයෙන්ම පෙනී සිටීම විශේෂත්වයක්. හිසේ ජටාවක් බැඳගත් , අතේ සැරයටියක් ගත් උපාසක ස්වරූපයක් රන්වල දේව ප්‍රතිමාවලින් පෙන්වා තියෙනවා .ඉතින් මේ රන්වල දෙවියන් එකල ජන ප්‍රධානියෙක් වශයෙන් ජනතාවට මහත් සේ ඇප උපකාර කළ නිසා ඔහුගේ මරණයෙන් පසුව දෙවියෙකුව ජනතාවට පිහිටව ආරක්ෂාව සලසන බව ජනතාව විශ්වස කරනු ලබනවා.

ඉතින් මේ රන්වල දෙවියන් ගැන ජනවහරේ එන කතා පුවත් බොහෝමයක් තියෙනවා. ඒ අතරින් ඉපැරණිම සහ ප්‍රචලිතම කතාව වෙන්නේ සීතාවක රාජසිංහ සමයේ ජීවත් වූ අයෙක් පසුව රන්වල දෙවියන් වූ බව. රන්වල කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගමක්. එකල එහි වාසය කරපු පුද්ගලයෙක් රාජ උදහසට ලක්වෙලා සීතාවකට පැමිණ තොටියෙක් විදියට සේවය කරනවා. තනිකඩ ජීවිතයක් ගත කරපු මෙතුමා ඉතාමත් සිල්වන්තව ජීවත්වුණු කෙනෙක්. සෑම පෝයකටම පහුරක නැගිලා කැළණි විහාරය වන්දනා කරන්නටත් යනවා. ඉතින් ඔහු ප්‍රසිද්ධ වෙන්නේ රන්වල මුත්තා විදියට.

ඉතින් ඒ කාලයේ කැළණි ගඟ දිගේ තමයි ජනතාව බොහෝ කටයුතු සඳහා ගමන් කළේ. ඉතින් ඒ නිසා රාත්‍රියේදී අනාරක්ෂිත ස්ථාන නොපෙනීමෙන් බොහෝ අවස්ථාවල අනතුරු සිදුවුණා . ඉතින් මේ නිසා බෝට්ටු පෙරලිලා සිද්ධ වෙන ජීවිත හානි වළක්වා ගන්නට මේ පුද්ගලයා ඒ අනාරක්ෂිත තැන්වල ස්වේච්ඡාවෙන් පහන් විශේෂයක් දල්වන්නට කටයුතු කරනවා. ඒ පහන් සුළඟින් ආවරණය කරන්නට ගොක්කොළ ආවරණය නිර්මාණය කර තියෙන්නේ පුහුල් ගෙඩියේ හැඩයට . ඉතින් මේ පහන් දැල්වීම නිසා සිදුවුණු අනතුරු බොහෝදුරට අඩුවෙලා ජීවිත බොහෝ ප්‍රමාණයක් බේරිලා තියෙනවා. ඉතින් මේ කටයුතු නිසා ජනතාව මේ රන්වල මුත්තාට බොහෝ ගෞරවනීය විදියටයි සැලකුවේ.

සෑම පොහෝ දිනයකටම පාරුවේ නැගී කැළණි විහාරය වදින්නට යන රන්වල මුත්තා ඒ කාර්යයට ගඟ බඩ දෙපස උදවියත් එක්කාසු කරගත්තා. වන්දනාවට සහභාගී වෙන්නට නොහැකි ඇත්තන් ගඟ දෙපස සිට කැළණි  විහාරය වැඳ පිං රැස් කරගෙන එන රන්වල මුත්තාට වැඳ ආශීර්වාද ලබාගන්නට පුරුදුව සිටියා. ඒ විතරක් නොවෙයි, ගමේ ඕනෑම කටයුත්තකට ගුරුහරුකම් ගන්නට, අවවාද අනුශාසනා ලබාගන්නට ජනතාව පැමිණියේත් රන්වල මුත්තා ළඟට.

ගම්පහ දිසාවේ ඓතිහාසික ජනකතා: August 2014

ලෙඩකට දුකටකට, බෙහෙතක හේතක් කරගන්නට නැතුවම බැරි කෙනෙක් බවට මේ රන්වල මුත්තා පත්ව සිටියා. රන්වල මුත්තාගෙන් උදව්වක් උපකාරයක් අවැසි බව ගැමියෝ ඔහුට සංකේතවත් කළේ නිවස අසල ගඟ අද්දර පුහුල් පහනක් දල්වමින්. ඉතින් ඒ සංකේතයෙන් උදව් උපකාර ඕන කරන උදවියට පිහිට වෙන්නට රන්වල මුත්තා කිසිදිනෙක පසුබටවෙලා නැහැ.

වයස්ගත වෙන මේ රන්වල මුත්තාට ආහාර සැපයීම ගමේ උදවිය භාර ගන්නවා. ඉතින් සෑම දිනකම ගමේ උදවිය රන්වල මුත්තාට ආහාර සැපයීම නොකඩවා කරගෙන ගියා.

නමුත් දවසක් ඒ කාර්යය සිදු කරන්නට ගම්මුන්ට නොහැකි වුණා. ඒ දින කිහිපයක් එකදිගට තිබුණු ධාරාණිපාත වර්ෂාව නිසා. මේ වැස්සත් එක්ක ගඟ උතුරා ගියා. ඒ නිසා රන්වල මුත්තාට ආහාර රැගෙන යන එක ජීවිතයට අවධානමක් වුණු නිසා කිසිවෙක්ට එදින රන්වල මුත්තාට ආහාර ගෙන යන්නට නොහැකි වුණා. පසුදින ගම්මුන්ට දකින්නට ලැබුණේ අවාසනාවන්ත විදියට මියැදී සිටි රන්වල මුත්තා.

රන්වල මුත්තාගේ මරණයෙන් මුළු ගමම කැළඹීමට පත්වුණා.නමුත් රන්වල මුත්තා මියගියාට පසුවත් පහන් ආලෝකය ගැමියන්ට රාත්‍රියේදී දකින්නට ලැබුණා. ඉන්පසුව ජනතාව රන්වල දෙවියන්ගේ ආශීර්වාදය තවමත් පවතින බවත්, රන්වල මුත්තා දෙවියෙකුව ආලෝකය විහිදවන බවත් ගැමියන් විශ්වාස කළා. ඉතින් රන්වල මුත්තා රන්වල දෙවියන් බවට පත්වුණේ ඒ විදියට.

ඉතින් අදටත් කැළනි ගඟ පිටර ගැලීමත් සමඟ රන්වල දෙවියන් වඩින බව ගම්මුන් දැඩිව විශ්වාස කරන කාරණයක්. කොහොම වුණත් මේ රන්වල දෙවියන් අනික් දෙවිවරුන්ට වඩා විශේෂ කෙනෙක්.  මේ රන්වල දේව ඇදහීම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළේ ප්‍රදේශ කිහිපයකටත්, කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයට අයත් ප්‍රදේශ කිහිපයකටත්, සීමා වුණු දේව ඇදහිල්ලක්. අද වෙද්දී වඩාත් ප්‍රසිද්ධ දේව ඇදහිල්ලක් බවටත් පත්වෙලා තියෙනවා. අනික් කාරණය මේ දේවත්වයට පත්ව තියෙන්නේ එකල ජීවත්වුණු සාමාන්‍ය වැසියෙක්. ඒ වගේම රන්වල දෙවියන් මිනිස් වෙසින් පෙනී සිටින දෙවියෙක් ලෙසයි සලකනු ලබන්නේ.

ඉතින් කැළණි ගඟ දෙපස පුහුල් පහන් දැල්වීම අදටත් රන්වල දෙවියන් උදෙසා කරන ප්‍රධානම පූජාව . එදා රන්වල මුත්තා මියගියත් ගඟේ පහන් දැල්වීම  විවිධ පුද්ගලයන් විසින් සිදු කරගෙන ගිහිල්ලා තියෙනවා. කොහොමවුණත් රන්වල දෙවියන් වෙනුවෙන් සිදුකරන පහන් පූජාව නිර්මාංශිකව කළ යුත්තක් වන අතර එයට කාන්තාවන් සම්බන්ධ කරගන්නේ නැති බවට ද අදහසක් පවතිනවා.

ඉතින් රන්වල දෙවියන්ගේ අණසක ආශීර්වාදය සීතාවක සිට කැලණිය දක්වාම පැතිර තියෙන බව විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි මේ රන්වල දෙවියන්ගෙන් පිහිට ලබා ගන්නට ,පුද පූජා කරන්නට මේ ප්‍රදේශවල දේවාල කිහිපයක්ම ඉදිව තිබෙණු දකින්නට පුළුවන්. පූගොඩ , නිකවෙල, කළු අග්ගල දේවාල හැරුණම රන්වල දෙවියන් වෙනුවෙන් ඉදිව ඇති ප්‍රධානම දේවාලය වෙන්නේ පුවක්පිටිය හිඟුරල දේවාලය.

ඉතින් රන්වල දෙවියන්ගේ හාස්කම් නිසා ජනතාව අතර වඩාත් ජනප්‍රිය දෙවි කෙනෙක් ලෙස රන්වල දෙවියන් අදටත් වන්දනීයත්වයට පත්වෙනවා.ගොවිතැන් කටයුතු සාර්ථක කර ගන්නට, රැකී රක්ෂා කටයුතු දියුණු කර ගන්නට, ලෙඩ දුක් කරදරවලින් මිදෙන්නට, ආරක්ෂා වෙන්නට, රන්වල දෙවියන්ගේ පිහිට පැතීම රන්වල ඇදහීම සිදුවෙන පළාත්වල සුලබ දෙයක්.

මේ පුවක්පිටිය රන්වල දේවාලය ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටුකර දෙන, රන්වල දෙවියන්ගේ ආශීර්වාදය නිබඳව ලැබෙන ස්ථානයක් ලෙසට .ඒ නිසාවෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ජනතාව මේ ස්ථානයට පැමිණ තම දුක් කරදරවලට පිහිට ආරක්ෂාව ඉල්ලා බාරහාර, කන්නලව් සිදු කරනු ලබනවා .ඒ වගේම ජනතාවගේ සියලු පැතුම් රන්වල දෙවියන් විසින් ඉටු කරන බවට දැඩි විශ්වාසයක් ජනතාව අතර පැතිර පවතිනවා.

ඉතින් මේ දේවාලය පසුකර යන සෑම රියදුරෙක්ම පාහේ මේ ස්ථානයේ නැවතී රන්වල දේවාලයට පඬුරක් පූජා කර රන්වල දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්නට අමතක කරන්නේ නැහැ. ඉතින් මේ දේවාලය මෙතරම් ජනතාවගේ ආකර්ෂණයට ලක්ව ඇත්තේ ඒ දේව ප්‍රතිමාවට පඬුරක් දමා ගරු සැලකිලි දක්වා යාමෙන් කිසිම කරදරයකින් උපද්‍රවයකින් තොරව ගමන නිරුපද්‍රිතව ගොස් එන්නට දේව බලය රැකවණය ලැබෙන බවයි. ඉතින් ඒ නිසාවෙන් අදටත් ජනතාවගේ මහත් බුහුමනට ලක්වෙන දේවාලයක් ලෙස මේ පුවක්පිටිය රන්වල දේවාලය දක්වන්න  පුළුවන්.

 

උපුටා ගැනීම:  The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!