කනප්පුවේ ප්‍රමාදය.. (හොල්මන් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සත්ය සිදුවීමක් ඇසුරෙනි…
(ඇසින් දුටුවන්ගේ හෘද සාක්ෂියයි)
හීන් එතනා සුපුරුදු පරිදි සිය හේනෙ පැල් රකින සැමියාට බත් මුල බැඳ එය තල් කොළ පෙට්ටියට දමා ගත්තාය ..
“ඔන්න නගා මට හෙට නම් කරවල තෙල් දාල කොස් මාලුවක් එක්ක ගෙනෙන්ට ඕන..උඹ අතින් උයන කොස් මාලුවයි කරවල බැඳුමටයි මං පුදුම තරම් ආසයි කෙල්ලේ..”
සිය සැමියා වන පියදාසගේ වදන් සිහියට පැමිණ ඈ තනිවම සිනාසුණේ ඔහුට ඇති මහත් ස්නේහයෙනි..හනි හනිකට බත් පෙට්ටිය ලෑස්ති කොට හිසේ තබා ගත් ඈ මිදුලට බැස හේන බලා පිටත් වූවාය..
පියදාස පැලට වී නිදාගෙන උන්නේ මඳක් අසනීප ගතියෙනි..පෙරදා රැයෙහි ඇඟ ටිකක් කකියෙව්වද ඔහු එය ගණනකට නොගත්තේය.. ඒත් දැන් ඔහුට හොඳටම උණ ගැනී ඇත..
“බලන් ඉඳල හරියන්නෑ..හනිකට ගෙදර යන්න ඕනෑ…සහලෝල උණ…හම්මේහ්..”
පියදාස පැදුරත් අකුලා මුල්ලේ තබා ඇඳුම් කීපය මල්ලේ දමාගෙන හේනේ නියරවල් උඩින් සෙමෙන් පියවර මැන නිවස දෙසට ඇදෙන්නට විය…
හීන් එතනා අද කෑම අරන් ගියේ වෙනදා පාරෙන් නොව,කෙටි පාරකිනි..ඒ නිසා පියදාසට ඈ මඟ හැරිණි.. ගොම්මන් වෙලාවේම පියදාස නිවසට ගොස් හීන් එතනා සෙවීය…
“හ්ම්….එතන නගා හේනට කෑම අරන් ගිහින් ඇති…පණිවිඩයක් වත් දෙන්න වුණේ නෑනේ… කමක් නෑ..ඉක්මනින්ම එයි මං නෑ කියල දැන ගත්තාම..”
සිතූ පියදාස සිය බූරු ඇඳේ ඇල විය…
හීන් එතනා සෙමෙන් නියර දිගේ පියවර මනින්නට වූවේ ඈතින් ඇති පැල දෙස බලා සිනාසෙමිනි..
එක්වරම ඇගේ නාසයට පුලුටු ගඳක් දැනී නැතිවී ගියාය..එහෙත් එය එතරම් ගණනකට නොගත් හීන් එතනා සෙමෙන් පැල දෙස බලාගෙනම ඇදෙන්නට විය..
ඈ පැල ළඟට ළංව හිසේ වූ තල් කොළ පෙට්ටිය බිමට බෑවේ පැල තුල තමාට පිටුපා නිදා සිටින පියදාස දැක මඳ සිනාවකින්මය…….
“අනේ…මෙන්න මෙයා මහ දවල් නිදි කවදාවත්
නැතුව…පියදාස අයියෙ…පියදාස අයියෙ…”
හීන් එතනා මඳක් උස් හඬින් තම සැමියාට කතා කළද ඔහු නිසොල්මන්ය.දෙගෙඩියාවෙන්ම මඳක් ඔහු ළඟට කිට්ටු කළ ඈ ඔහුගේ පිට මත සිය අත තැබීය.
“අම්මෝ..සීතල….පියදාස අයියෙ..පියදාස අයියෙ.. හිටින්නකො හොඳ වැඩක් කරන්න..”
හීන් එතනා සිනාසී ආපහු හැරී අසල තිබූ ලබු කැටයෙන් වතුර ස්වල්පයක් ගෙන හැරුණේ පියදාසගේ මුහුණට ඉසින්නට හිතාගෙනය…
එහෙත් එක්වරම දුටු දෙයින් ඈ ගැස්සිණි.
නිදන් උන් පියදාස පැල මත හිඳගෙන උන්නේ සීරුවෙනි.. ඔහුගේ දෑස් එල්ල වී ඇත්තේ ඇය දෙසට නොව,වෙනත් පැත්තකට ය.. මේ අරුම පුදුම වෙනස දුටු හීන් එතනාට පියදාසගේ මේ දසුන නුහුරු වුවත් ඈ යලිත් කතා කළාය..
“මොකද මේ…මාව බය කරනවද…ආ…අද මං ඔයා ආසම කරවල හොඳියි කොස් මැල්ලුමයි ගෙනාවා…”
ඇය තාලයට පවසද්දී පියදාස ඉක්මනින්ම ඇය ගෙනා තල් පෙට්ටිය ලෙහුවේ කලබලයෙනි.. හීන් එතනා ඔහුගේ හැසිරීමෙන් අන්දුන්කුන්දුන් විය..ඈ හිතන්නටවත් පෙර පියදාස බත් එක දිගහැර කරවල හා බත් කන්නට වූවේ ඉතාමත් ගිජු ලෙසය..ඒ හැසිරීම ඉතා අශෝබනය..පිලිකුල් ය.. ඊටත් වඩා හීන් එතනට මෙය මහත් ප්රහේලිකාවකි.. ඇය දෑත මුවට තබාගෙන දෑස් විශාල කරගෙන බලා උන්නාය..
කෑදර ලෙස කෑම ටික ගිල දැමූ පියදාස මුහුණ පුරා ගෑවුණු ඉඳුල් ඇතිව ඈ දෙස බැලුවේ ය..
#########%%%%
නිවසට පැමිණ උන් පියදාස හෝරාවක් ගතවුණද තම බිරිඳ නිවසට නොපැමිණි හෙයින් උණ අමාරුවෙන්ම යලිත් හේන වෙත පිය මනින්නට වූවේය..
හීන් එතනා සෙමෙන් යලිත් තල් පෙට්ටිය අසුරා ඉණේ තබාගෙන නිවස බලා යන්නට වූවේ හිතේ වූ චකිතයෙනි ..පියදාසගේ අසාමාන්ය හැසිරීම ඊට හේතුවයි..වෙනදට වඩා මුහුණ ද වෙනස් වී ඇති බව ඇයට තේරිණි.ඇස් දෙකද මඳක් රතු වී හිබුණා මතකය..සියල්ල හිතේ තබාගෙන ඈ සෙමෙන් සෙමෙන් නියර දිගේ පියවර මනින්නට වූවත් ඇගේ ගතටද දැනුණේ විඩාවකි..
මහා බරකින් ගතම වෙලී යද්දී ඇය පය ඉක්මන් කළාය..ඒත් සමඟම ඇයට මඳක් ඈතින් පැමිණෙන පියදාස දුටු ඈ එහෙමම නතර වූවාය..
“පැලේ හිටපු මනුස්සය මේ කොහෙන්ද මේ එන්නෙ..”
සිතමින්ම ඈ තුෂ්නිම්භූතව ඔහු දෙස බලා සිටින්නට වූවාය..පියදාස සෙමෙන් ඇයට ළංවිය..
“මොකද නගා සුනංගු වුණේ..මං වේලාසනින් ගෙදර ගියා උණ හැදිල.. මං හිතන්නෙ නගා කෑම අරන් වෙලට යන්න ඇත්තෙත් ඒ වෙලාවේ තමා.. පණිවිඩයක් එවන්න විදියක් තිබ්බෙත් නෑ.. ඉතිං ඇයි නගා මං නැති බව දැන ගත්තාම ඉක්මනින් ගෙදර නාවේ..”
පියදාසගේ කතාවෙන් හීන් එතන වෙව්ලීය..
“පැලේ හිටියෙ නෑ…?? එතකොට පැලේ හිටිය කෙනා කවුද ..ඒ ඔයානෙ..මං අරන් ගියපු කෑම ටිකත් කෑවනෙ..මං මේ ඒව දීලා අස් කරගෙන එන ගමන්..”
හීන් එතනා හිස් තල් පෙට්ටියත් පෙන්නමින් පැවසීය..පියදාස එය අසා උන්නේ මහත් බියෙනි..
“මං හිටියෙ නෑ නගා.. උඹ සුනංගු නිසා මං මේ ගෙදර ඉඳල එන ගමන්..”
හීන් එතනාට එය අසා එහෙමම ක්ලාන්තය සැදී වැටෙත්ම පියදාස ඇයව අල්ලා ගත්තේ ය..
“දෙයියනේ..ගොම්මන් වෙලාවේ පුලුටු අර ගිහින් මහසෝන් දිෂ්ටිය ඇවිත් වගේ…නගා…නගා..”
පියදාස ඇයව දෝතට වඩාගෙන නිවසට ගෙන ගියේ විශාල භීතියකිනි…
#########%%%
හීන් එත්නා දැන් කෙස් කඩාගෙන මායම් වෙයි.. ඇයව සනීප කිරීමට නොයෙක් කට්ටඩියන් ගෙන්නුවද පලක් නොවීය..
“මෙහෙම ගියොත් නම් මේකිව යකා අරන් යයි.. ඉක්මනට අර උඩහ වෙලේ කනප්පු රාලටවත් එන්න කියාපල්ලා..”
ගමේ වැඩිහිටියෙක් දැනමුතුකමක් දෙමින් පැවසීය ..ඒ අනුව වෙදා සොයාගිය පියදාස හා නෑයින් ඉක්මනින්ම ඔහු එතැනට රැගෙන ආහ.. කන්ප්පු රාල හීන් එතනව පරීක්ෂා කර තමන්ගේ දිගු රැවුල අතින් පිරිමැද්දේ බැරෑරුම්වය..
“හ්ම්ම්ම්ම්….මහසෝන් දිෂ්ටිය.. අද රෑම මේ කෙල්ලගෙ ඇඟෙන් මේක පන්නන්න ඕන.. නැත්තම් මේකි කම්මුතුයි..”
සියල්ලෝම බියෙන් තැති ගත් හ…
මහ රෑ උදාවත්ම තොවිලය සඳහා සියලු දේ සූදානම් විය.. කනප්පු රාල ජප කිරීම ආරම්භ කළේය.. හෝරා කීපයක්ම ගත වන්නට ඇත..කට්ටඩියා එතැන හුන් එවුන් දෙස බලා තමාගේ කනප්පුව ඉල්ලවීය..
කට්ටියට දෙලොව රත් වූවේ එවිටය..
“හරි වැඩේනෙ උන්නැහේ..කනප්පුව නෑනේ.. ගෙදර දාල ඇවිත් වගේ “
කට්ටඩියා හිසේ අත ගහගත්තේය..
“ඇත්තනෙ බොල..ඒක මට අමතක වුණානෙ.. වීරෝ…ගිහින් ඒක ඉක්මනට ඇන්න වර.. තනියම යන්න එපා..කවුරු හරු එක්ක පල..හැබැයි ඉක්මන් කොරන්න ඕන..පාන්දර දෙකට කලින් ඒක අරන් එන්න ඕන..”
“හොඳමයි.වීරා එක්ක මං යන්නම් ගුරුන්නාන්සෙ ..”
පියදාස ඉදිරිපත් වී ඔහුට පැවසීය..
“හොඳයි පලයං..හැබැයි දෙන්නම හොඳට මතක තියාගන්න ඕන..කනප්පුව එකෙක් අර ගත්තට පස්සෙ ඒකම තමයි ගෙනැත් මට බාර දෙන්න ඕන..අතින් අතට මාරු කර කර ගේන්න බෑ..ඒ වගේම තමා පාන්දර දෙකට කලින් ඒක අරගෙන එන්ට ඕන..නැත්තම් කෙල්ල කම්මුතුයි..”
කට්ටඩියාගේ උපදෙස් ඒ ලෙසම පිලිගත් පියදාස හා වීරා කනප්පුව ගෙන ඒම සඳහා පාරට බැස්සහ.. කෙතරම් හිතට ශක්තිය ගෙන පැමිණියත් වීරා නම් මඳ දුරක් පැමිණෙත්ම සිටියේ මඳක් බියෙනි..එහෙත් ඒ බව නොපෙන්වා පියදාස සමඟින් මඳ දුරක් ඇදෙත්ම ඔහුගේ හිතේ වූ බිය නිසාම විවිධ අද්භූත දෑ දෑස් ඉදිරියේ පෙනෙන්නට විය..බැරිම තැන ඔහු පියදාස ඇමතීය..
“පියදාස .මට නිකං අමුතු බයක් දැනෙනව..නිකං මං පස්සෙ මොකෙක් හරි එනව කියල දැනෙනව… මං කියන්නද..උඹ ගිහින් කනප්පුව ඇන්න වරෙං..මං ආපහු තොවිල්පලට යනව.. “
වීරා ආපසු ගියත් පියදාස සැලුණේ නැත..තම බිරිඳගේ ජීවිතය වෙනුවෙන් ඔහු තනියම වෙද රාලගේ නිවසට ගොස් කනප්පුව සොයාගෙන ආපසු පිටත් විණි…ආරක්ෂාව සඳහා නිතරම ඔහු ඉණේ ගසාගෙන යන පිහියද ඔහු ළඟ විය.
“පාන්දර දෙකට කලින් ගෙනෙන්න ඕන..”
කට්ටඩියාගෙ උපදෙස් මේ වෙලාවෙත් මතක් කර කර ඔහු ඉක්මන් ගමනින් වෙලේ නියරට බැස ටික දුරක් පැමිණෙත්ම ඈතින් එන වීරා පෙණිනි..
“වීර…?? හ්..මේක මේ ලැජ්ජාවට මඟ නතර වෙලා ඉඳල මෙතන ඉඳන් මගෙත් එක්ක යන්න වෙන්ටැ කල්පනාව..”
සිතමින්ම ඉදිරියට ගිය පියදාසගේ ඉදිරියට පැන්න වීරා ඔහුව ඇමතීය..
“පියදාස අයිය..මං ගියෙ නෑ බං..දීපං ඔය කනප්පුව මං අරන් යන්නම්..”
පියදාස එය පසෙකට කළේය..
“ඕනෙ නෑ.ඕනෙ නෑ..මං ඒක අරන් යන්නම්..උඹ අහකට පල..මතක නැද්ද ගුරුන්නාන්සෙ කීව මේක අතින් අතට මාරු කරන්න එපාය කියල “
“ඒවුණාට මේක මට ඕන..මමයි මේක අරන් අරං යන්නෙ..”
දෙදනාම කනප්පුවට පොර බැඳීය..වීරා සමඟ පරණ තරහක්ද ඇති බැවින් ඔහු මේ හදන්නේ තමන්ගේ බිරිඳගෙන් පලිගැනීමට බව පියදාස සිතීය.. හැඩි දැඩි සිරුරක් තිබූ පියදාස වීරා සමඟ ඔට්ටු වී කනප්පුව රැක ගත්තේ ය..
පොරය පැය භාගයක් පමණ ඇති විය..
“දෙයියනේ.හීන් එතන නගා..දැන් වෙලාවත් ළංවෙලා ඇති.වීරා මං අය උඹට කියන්නෑ… අතෑරපං කනප්පුව..මට මගෙ ගෑණිව බේරගන්න ඕන.උඹේ පෞද්ගලික තරහ මරහ වෙන වෙලාවක පියව ගනිං..අතෑරපං කනප්පුව..මං ආය කියන්නෑ…හරිනෙ..”
පියදාස කෑ ගැසුවේ කෝපයෙනි ..එහෙත් විරා කනප්පුව අත් නොහැරම ඔහු සමඟ යලිත් පොර බදන්නට ගිය..ඉතාමත් ආවේගයෙන් සිටි පියදාස එහෙමම තමාගේ ඉණේ තිබු පිහිය ඇද වීරාව නියරේ දමාගෙන දිගට හරහට අනින්නට විය..
රාත්රියේ හඳ එලියට සියලු දේ අපැහැදිලි වුණත් වීරාට පිහියෙන් ඇන්න පියදාස කනප්පුවත් බේරගෙන ඉක්මනින් තොවිල් පළට ඇදුණේය..
එහෙත් ඔහුට ඈතින්ම ඇසුණේ විලාපයකි..
හිතේ නොසන්සුන්කමින්ම ළඟටම ගිය පියදාස තම බිරිඳ වට කරගෙන උන් ගමේ උන් දැක බියට පත්විය..
“හීන් එතන අපිව දාල ගියා පුතේ..”
පියදාස මහ හඬින් විලාප තැබුවේය..පියදාසගේ අත් දෙකේ තැවරී තිබූ ලේ දුටු සියල්ලෝම භීතියෙන් ඒ දෙස බැලූහ..
“ඇයි බං ඉක්මනට කනප්පුව නොගෙනාවේ..මං කීවනෙ උඹට ඒක පාන්දර දෙකට කළින් ගේන්නයි කියල..මොකද මේ අත් දෙකේ ලේ.. “
ගුරුන්නාන්සෙ පැවසීය..
“මං අරන් ආව ගුරුන්නාන්සෙ .. අර වීරා ආපහු ඇවිත් ඒක මගෙන් උදුරගන්න හැදුව..බේරෙන්න බැරිම තැන මං ඒකට නියරෙ දාගෙනම පිහියෙන් ඇනල ඇනල මැරුවා.ඒ ලේ තමා මේ..ඒක හින්දා තමයි මේ ඔක්කොම වුණේ..”
ඔහු පවසද්දීම එතැනට පැමිණියේ වීරාය..වීරා නිරුපද්රිතව සිටිනු දුටු පියදාසට ඉහළට ගත් හුස්ම ආපහු හෙලීමට අමතක විය..
“උඹ…උඹ කොහින්ද මෙතන..මං උඹට පිහියෙන් ඇන්නනෙ..අර කනප්පුව උදුරගන්න ආපු වෙලේ..??”
“මොන කනප්පුවක්ද පියදාස අයියෙ..මං බෑ කියල ආපහු හැරිල ආවනෙ..ආය මං ගියෙ නෑ..”
වීරාගෙ කතාවෙන් හොල්මන් වූ පියදාස විශාල වූ දෑසින්ම එතැන හිඳ ගනිද්දී ගුරුන්නාන්සෙට කරුණු කාරණා අවබෝධ විය..
“නෑ නෑ..මේ අත් දෙකේ ලේ…මං වීරට ඇන්නනෙ..”
පියදාස දෑත් පෙන්වමින් මර හඬ තලන්නට විය..
######%&&
පසුදා උදෑසනම ගුරුන්නාන්සෙ ඇතුලු පිරිස පියදාස පෙන්වූ මඟ ඔස්සේ එතැනට පිවිසියහ..
“මේ තියෙන්නෙ…මේ තියෙන්නෙ ගුරුන්නාන්සෙ ..මෙතන තමා මං වීරාව නියරෙ දාගෙන ඇන්නෙ..”
“ඉතිං කොයි දැන්..කවුරුත් නෑනේ..”
ඇත්ත ය..පියදාස එය හොඳහැටි දැක්කේය..
“උඹ වීරට කියල ඇනල තියෙන්නෙ නියරට.. පේනවනෙ නියරට වෙලා තියෙන දේ.. “
පියදාස තම දෑත් දෙස බැලුවේය.. නියරට තමා ඇන්න පිහි පාරවල් වලට ගල් මුල් නටු විසිවී ඇවිත් අතේ වැදී තුවාල වී ඇත..
“ඒ වගේම තමා ඊයේ මෙතනට ආවේ වීර නෙවේ. ඒ වැහිච්ච යකා.. අවසානෙ උඹල ඔක්කොටම වඩා යකා ඉස්සර වුණා..”
සියල්ලන්නට සියලු දේ අවබෝධ විය..
“ඒ වගේම පියදාස උඹේ වෙලාව හොඳයි ඒ වෙලාවේ..නැත්තම් උඹත් කම්මුතුයි..”
සියල්ල එසේ නිමාවිය.. කනප්පුව ගෙන ඒමට ගොස් ඇතුවූ ප්රමාදය නිසා හීන් එතනා යක්ෂයාට බිලි විය..
මෙම සිදුවීම සිදුවී අවුරුදු ගාණක් ගත වුණද අදටත් ඒ බියකරු සිදුවීම ගැන ගම්මුන් පවසන්නේ අද ඊයක සිදුවූ සිදුවීමක් මෙන් මතකයෙනි..
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
#####සමාප්තයි#######
උපුටා ගැනීම: සමුදුනී දිසානායක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!