කැරලිකාර දකුණු අප්‍රිකානු සංචාරය (ක්‍රීඩා හා විනෝද)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කාලයක් ලෝකේ ක්රිකට් ගහන රටවල් හැම එකක්ම හොල්ලගෙන හිටපු අපේ ටීම් එක මේ වෙද්දි තියෙන තැන ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ගොඩාක් අය කියන විදිහට අපේ ටීම් එකට මේ තත්ත්වය උදාවෙන්න බලපාපු ප්රධානම හේතුව තමයි විනය පිරිහීම. ඇත්ත විනයක් නැති තැන සාර්ථකත්වය කියන්නේ ගොඩාක් ඈත තියෙන දෙයක්.
එංගලන්තේ ගිහින් මහ රෑ හන්දි ගානේ රස්තියාදු ගහපු කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ට බයෝ බබල් එක බිඳීම කියන චෝදනාව යටතේ මේ වෙන කොටත් අවුරුද්දක තරග තහනමක් සහ ඊට අමතරව දඩයක් නියම කරලා තියෙනවා. ඒක කාලෙකට පස්සේ ශ්රී ලංකා ක්රිකට් ආයතනය ගත්තු හොඳ තීරණයක්. අඩුම තරමේ කණ්ඩායමට එන්න ඉන්න නවක ක්රීඩකයෝ හරි මේකෙනේ පාඩමක් ඉගෙන ගනියි.
මීට කලිනුත් ක්රිකට් බලධාරීන් විවිධ අවස්ථාවල විනය කඩ කරපු ක්රීඩකයන්ට දඬුවම් දීලා තියෙනවා. ඒත් අපේ ක්රිකට් ඉතිහාසයේ විනය සම්බන්ධයෙන් ක්රීඩකයන් පිරිසකට ලොකුවට දඬුවම් දුන්නේ 1983 දී. ඒ දකුණු අප්රිකාවේ සංචාරය කරපු කැරලිකාර ක්රිකට් කණ්ඩායමට.
දකුණු අප්රිකාව
1948 අවුරුද්දේ ඉඳලා 1994 වෙනකම් දකුණු අප්රිකාවේ තිබ්බේ වර්ණබේදවාදී ආණ්ඩුවක්. රට පාලනය කළේ සුළුතර සුදු මිනිස්සු. කළු මිනිස්සුන්ට ඒ කාලේ කිසිම වටිනාකමක් තිබ්බේ නැහැ. පාසල්, ගෙවල් දොරවල් විතරක් නෙමෙයි, පාර අයිනේ තියෙන බස් හෝල්ට් හිටන් කළු සහ සුදු විදිහට බෙදලා තිබ්බේ. ඒ විතරක් නෙමෙයි දකුණු අප්රිකාව නියෝජනය කරමින් ක්රීඩා තරගවලට සහභාගි වෙන්න ලැබුණේත් හම සුදු මිනිස්සුන්ට විතරයි. මෙන්න මේ හේතුව නිසා ඔලිම්පික්, ෆිෆා ලෝක කුසලානය වගේම අයි.සී.සී. යත් දකුණු අප්රිකාවට ජාත්යන්තර තරග තහනමක් පනවලා තිබ්බා.
ජාත්යන්තර තරඟ නැති නිසා දකුණු අප්රිකානු ක්රිකට් ක්රීඩාවේ ජනප්රියත්ව දිගින් දිගටම පහළ වැටුණා. පාසල් දරුවන් ක්රිකට් ක්රීඩාවට එන එක ඇණ හිටියා. මෙන්න මේ තත්ත්වයට විසඳුමක් විදිහට ලෝකේ ක්රිකට් ක්රීඩා කරන කණ්ඩායම්වලට ඒ කාලේ හැටියට අධික ගෙවීමක් කරලා තමන්ගේ රටට ගෙන්වා ගෙන ක්රීඩා කරන්න දකුණු අප්රිකාව කටයුතු කළා. මෙන්න මේ ක්රිකට් සංචාර ඒ දවස්වල හැඳින්වුණේ “South African rebel tours” නැතිනම් ‘‘දකුණු අප්රිකානු කැරලිකාර සංචාර’’ කියලා.
1982-1990 අතර කාලයේ මේ විදිහට සංචාර 7 ක් පැවැත්වුණා. ඒ අතරට එංගලන්තය සමග සංචාර දෙකක් (1981-1982 සහ 1989-1990), ශ්රී ලංකාව සමග එක සංචාරයක් (1982-1983), බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග සංචාර දෙකක් (1982-1983 සහ 1983-1984) සහ ඕස්ට්රේලියාව සමග සංචාර දෙකක් (1985-1986 සහ 1986-1987) ඇතුළත් වුණා. මේවා ඔක්කොම තහනම් සංචාර.
Arosa Sri Lanka, 1982–83
ශ්රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබුණේ 1981 ජූලි 21 වැනිදා. 1982 පෙබරවාරි 17 වැනිදා වනාතමුල්ල පී. සරවණමුත්තු ක්රීඩාංගණයේදී අපි අපේ මංගල ටෙස්ට් තරගය එංගලන්තය එක්ක සෙල්ලම් කළා. ඒ තරගයේදී බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් ක්රීඩා කරපු ශ්රී ලංකා කණ්ඩායම අත්දැකීම් බහුල එංගලන්ත කණ්ඩායම හමුවේ කඩුළු 7 කින් පරාජය වෙනවා. ඊට පස්සේ අපි සෙල්ලම් කරපු ටෙස්ට් මැච් 3 ත් ඒ විදිහටම පරාද වෙනවා.
දැන් වගේ නෙමෙයි, මේ කාලේ වෙද්දි අපේ ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයන්ට ගෙවුවේ ඉතාමත් සොච්චම ගණනක්. දැන් වගේ නිතර නිතර තරග තිබ්බෙත් නැහැ. මැච් එකක් තියෙද්දි ක්රීඩකයන්ට හරි හමන් නවාතැන් පහසුකම්වත් ලැබුණේ නැහැ. ඔය අතරවාරේ කණ්ඩායමේ කට්ටියකට සුපිරි පහසුකම් දෙනකොට තවත් පිරිසක් තරඟවලට සහභාගි වෙන්න ආවේ බස් එකේ. ඉතින් මේ වෙද්දි කණ්ඩායමේ සමහර ක්රීඩකයන් ගොඩාක් කළකිරීමෙන් හිටියේ.
තත්ත්වය මේ විදිහට තියෙද්දි තමයි ලංකාවේ ක්රීඩකයන් කිහිප දෙනෙකුට දකුණු අප්රිකාවේ සංචාරයකට ආරාධනාවක් ලැබුණේ. මේ සංචාරය තනිකරම සැළසුම් කළේ ඇන්තනි රැල්ප් ඕපාත, නැතිනම් ටෝනි ඕපාත. ඒත් බන්ධුල වර්ණපුර පස්සේ කාලෙක කිව්වේ මේ සංචාරය සැළසුම් කළේ ටෝනි ඕපාත, දුලිප් මෙන්ඩිස් සහ රෝයි ඩයස් කියලා.
මේ කැරලිකාර සංචාරයට එකතු වෙන එක් ක්රීඩකයෙකුට පවුම් 25,000 ක් දක්වා ගෙවීමක් ලැබුණා. ගෙවන මුදල ක්රීඩකයාගේ දක්ෂතා සහ අත්දැකීම් අනුව එහාට මෙහාට වුණා. ඒ අනුව ඒ කාලේ වටිනාකම අනුව එක් ක්රීඩකයෙක්ට ලක්ෂ 7 ඉඳලා 10 දක්වා මුදලක් ලැබුණා. ඒ කාලේ හැටියට ඒක ගොඩාක් ලොකු ගානක්.
බන්ධුල වර්ණපුර ඇතුළු 14 දෙනෙක් දකුණු අප්රිකාවේ සංචාරය කරනවා කියලා වාර්තා පළවුණේ 1982 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී. මේ තහනම් සංචාරයට ශ්රී ලංකා කණ්ඩායම කියලා නම දාන්න බැහැනේ. ඒ අනුව ඔවුන් දකුණු අප්රිකාවට ගියේ Arosa Sri Lanka කියන නමින්. Arosa Sri Lanka කියන්නේ කණ්ඩායමේ ක්රීඩකයෙකු මෙන්ම කළමනාකරුද වන Anthony Ralph Opatha ගේ නමේ මුල් අකුරු තුන සහ සත්කාර South Africa කියන වචන දෙකේ මුල් එකුරු දෙක එකට එකතු කරලා හදාගත්තු නමක්.
ඒ අනුව බන්ධුල වර්ණපුර (නායක), ෆ්ලේවියන් අපොන්සු, හේමන්ත දේවප්රිය, ලාන්ත්රා ප්රනාන්දු, මහේෂ් ගුණතිලක, නිර්මාල් හෙට්ටිආරච්චි, ලලිත් කළුපෙරුම, සුසන්ත කරුණාරත්න, බර්නාඩ් පෙරේරා, අනුර රණසිංහ, අජිත් ද සිල්වා, බන්ධුල ද සිල්වා, ජෙරිල් වවුටර්ස්, ටෝනි ඕපාත (ක්රීඩක/කළමනාකරු) යන අයගෙන් කැරලිකාර කණ්ඩායම සමන්විත වුණා.
මේ අය අතරින් නායක බන්ධුල වර්ණපුර, අනුර රණසිංහ, ලලිත් කළුපෙරුම, අජිත් ද සිල්වා සහ මහේෂ් ගුණතිලක ඒ වෙද්දි ශ5ී ලංකා ජාතික කණ්ඩායමේ නිත්ය සාමාජිකයෝ.
මේ කැරලිකාර කණ්ඩායම දකුණු අප්රිකාවේ සංචාරය කරද්දි ශ්රී ලංකාවේ නිල ජාතික ක්රිකට් කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයකට එක් වෙලා හිටියේ. දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස් සහ ඩී. එස්. ද සිල්වා සංචාරය අතරතුරේදී කණ්ඩායම එක්ක එකතු වෙන්න තමයි මුල් සැලැස්ම තිබ්බේ. ඒ මේ බව කලින්ම ආරංචි වුණු එවකට කණ්ඩායම් කළමනාකරු කේ. එම්. ටී. පෙරේරා ඒ අයගේ පාස්පෝර්ට් රඳවා ගෙන හිටපු නිසා ඒක කරන්න බැරි වුණා.
“ඔවුන් තිදෙනාම දකුණු අප්රිකා යන්න අදාළ ගිවිසුමට අස්සන් කළා. මා ගාව තාමත් ඔවුන්ගේ ඒ ගිවිසුම් තියෙනවා” බන්ධුල වර්ණපුර පස්සේ කාලෙක කිව්වා.
දකුණු අප්රිකාවට ගිය කණ්ඩායම සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. ඒ වෙන කොටත් ඕස්ට්රේලියාව සහ එංගලන්තය වගේ රටවල් සමග ක්රීඩා කරලා දකුණු අප්රිකාව දක්ෂතා අතින් උපරිම තලයේ හිටියේ. අනෙක් අතට ශ්රී ලංකාව නියෝජනය කරපු ක්රීඩකයන්ගෙන් කීප දෙනෙක් විතරයි ටෙස්ට් මැච් 4 ක් හරි සෙල්ලම් කරලා තිබ්බේ. සංචාරයට එක්දින තරග 4 යි ටෙස්ට් තරග 2 යි ඇතුළත් වුණා. කණ්ඩායම ඒ තරග සියල්ම පරාද වුණා. දෙවැනි ටෙස්ට් තරගයේදී දකුණු අප්රිකාව වෙනුවෙන් ලෝරන්ස් සීෆ් සහ ග්රේම් පොලොක් පිළිවෙළින් ලකුණු 188 ක් සහ 197 ක් ලබාගත්තා.
එතකොට ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන. ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී දිසානායක. ඔවුන් එකතු වෙලා කැරලිකාර කණ්ඩායමේ ක්රීඩකයන්ට අවුරුදු 25 ක කාලයක් සඳහා සියලුම ආකාරයේ ක්රිකට් තරග තහනමක් පැනෙව්වා. ගොඩාක් අය කිව්වා ඒක අසාධාරණයි කියලා. ඒත් ජේ.ආර්. එයාගේ තීරණය වෙනස් කළේ නැහැ.
අවුරුදු 9 කට විතර පස්සේ ආපු ආණ්ඩුව මේ තහනම ඉවත් කළා. ඒත් ඒ වෙනකොට දකුණු අප්රිකාවේ සංචාරය කරපු කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයන්ගේ හොඳ කාලය ගෙවිලා ගිහින්. ටීම් එකේ කිසිම කෙනෙක් එදායින් පස්සේ ශ්රී ලංකාව වෙනුවෙන් ජාත්යන්තර තරගයකට සහභාගි වුණේ නැහැ. ඒත් ෆ්ලේවින් අපොන්සු විතරක් නෙදර්ලන්තය නියෝජනය කරමින් 1996 ලෝක කුසලානයට සෙල්ලම් කළා. ඒ වෙද්දි එයාගේ වයස අවුරුදු 43 ක්.
කැරලිකාර දකුණු අප්රිකානු සංචාරය නිසා එදා ශ්රී ලංකා කණ්ඩායමට අති දක්ෂ ක්රීඩකයෝ කීප දෙනෙක්ම අහිමි වුණා. ඒත් විචාරකයෝ කියන විදිහට ලංකාවේ ක්රිකට් ක්රීඩාවට වුණු ලොකුම පාඩුව තමයි අනුර රණසිංහව අහිමි වීම. කොළඹ නාලන්දාව බිහිකළ අනුර රණසිංහ අත් දක්ෂ පිතිකරුවෙක් වගේම පන්දු යවන්නෙක්. තහනම නිසා ඇති වුණු හිතේ අමාරුවෙන් තදින්ම මත්පැන් පානයට යොමු වුණු අනුර රණසිංහ 1998 නොවැම්බර් 9 වැනිදා හෘද්යාබාධයක් හේතුවෙන් ජීවිතයෙන් සමුගත්තා. ඒ වෙද්දි එයාගේ වයස අවුරුදු 42 යි.
May be an image of 1 person
May be a closeup of 1 person, standing and outdoors
May be an image of 1 person and standing
May be an image of 1 person and standing
May be an image of 1 person
May be an image of 1 person
– අනිල් කරුණාරත්න –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!