කිරි දොවන යුවතිය (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගුරු පාර දිගේ හෙමි හෙමිහිට ගාටගෙන ආපු බරබාගෙන් ,ගෙමිදුල ඉදිරිපිටදී දීපාල් බහිනකොට සුසිලාගේ හිණාව මූණට වැඩි තරම්.
“ආවද පුතේ..බස්සෙක වෙලාවට තිබුනැයි?ටවුං එකේ සෑහෙන වෙලා බලං හිටියද?”
සෑහෙන කාලෙකින් දුටුව තරුණයාගේ ඝණව වැඩුණු දළ රැවුලින් වැසුනු කම්මුල අතගාන සුසිලාගේ ඇස් වල කඳුලු පටලයක් බැඳිල.
“අනේ ඔව් ලොකු අම්මේ, හරි වෙලාවට පාන්දරින් බස් එක තිබ්බා..”
සුසිලාගේ දුව ,අනෝමා දීපාල් වෙත දුවගෙන එනවා. කරත්තය ආපහු හරවලා අතේ බර බිමින් තියලා තවමත් දස හැවිරිදි වියේ පසුවෙන නැගැණිය වඩා ගන්න ගමන් දීපාල් කථා කරනව.
“කෝ ලොකු අම්මේ ලොකු අප්පච්චි ?”
“පන්සලට ගියා පුතේ..දැන් එනව ඇති..මූණ කට හෝදගෙන කන්න එමු ..දවල් කෑම වෙලාව හොඳටම පහු වෙලානෙ.”
කෑම මේසට වාඩි වුණ දීපාල්ට අඩු පාඩු බෙදමින් තොරතෝංචියක් නැතිව කියවන ලොකු අම්මා දිහා අනෝමාටත් බත් කවමින් දීපාල් සිණා මුසුව බලන් ඉන්නවා.
දීපාල්ට කිරි කොස් හැදි කිපයක්ම බෙදලා සුසිලා කඳුලකුත් පිහිනව.
“උඹලගේ කර දඬු මහත් වුණ ඉක්මන රත්තරනේ..!”
ඇගේ ඒ වචනත් එක්ක දීපාල්ගේ උගුර හිරවෙනව.
ඉන්න ගමේ විතරක් නෙවෙය් ,අහළ පහළ ගම් කීපයකම නම් දරාපු සිත්තරෙක් වුණ දීපාල්ගේ ලොකු අප්පච්චි ගමේ ඉහළම තැනක් තිබ්බ බොහොම යහපත් මනුස්සයෙක් .
“මට අත් උදව්වට හිටි කොල්ලා ගහකින් වැටිල එක් තැන් වුණා.පන්සලේ චිත්ර ටික අඳින්න මට වෙන උදව් කාරයෙක් ඕන නෑ..කොල්ලාව එවපන්.ඌ දස්සයා.”
මීට දවස් ගණනකට පෙර ,ලොකු අප්පච්චි එවලා තිබ්බ ලියුම ගෙදර හැමෝටම ඇහෙන්න අප්පච්චි කියවපු හැටි දීපාල්ට මතක් වෙනව.
විබාගේ ඉවර වෙලා අප්පච්චි ට උදව් වෙවී කොහොමත් ගෙදර නිකම් හිටි දීපාල්ට නම් ලොකු අප්පච්චි ගේ ඒ ලියුම මී පැනි වගෙ.
“දැන් දවස් කීයකටද ඔය යන්නෙ අයියණ්ඩී?”
තමා හැරෙන්නට තම අනාගත බිරින්ඳෑ විදියට අනික් හැමෝම නම් කරපු,ඇවැස්ස නෑනා- සේපාලිකා දීපාල් මේ ගමන එන්නට කළින් ප්රශ්න කළා.
“හරියටම කොහොමේ කියන්නෙ..ලොකුඅප්පච්චි චිත්ර ටික ඇඳල ඉවර වුණාම මං එනව.”
“මේ චිත්ර වගයක් අඳින්න ඔයත් යන්නෙ සුළුපටු දුර!”
“ලොකු අප්පච්චි ට මං බෑ කියන්නද ඔයා කියන්නේ?”
ඈ තම ගමනට කොහෙත්ම එතරම් මනාපයක් නොතිබූ බව දීපාල්ට මෙවෙලේ සිහිවෙනවා.
“තව බත් බෙදන්නද පුතේ..” සුසිලාගේ හඬින් දීපාල් නැවත කල්පනාවෙන් මිදෙනව.
“අනේ ඇති ලොකු අම්මේ..” ඒත් එක්කම විමලසිරි ගෙට ගොඩවෙනවා.
“ලොකු අප්පච්චි !”
“පුතේ”
************
ගමේ අලුතෙන් ඉදිකළ පන්සලේ සිතුවම් සියල්ල නිම කරන්න බාර වුණේ විමලසිරිට.ලොකු හාමුදුරුවන්ගේ ආරාධනය නිහතමානීව පිලිගත්තත්,හිතේ ලොකු ආඩම්බරයකින් ලොකු අප්පච්චි ඉන්න බවට දීපාල්ට සැක නෑ.
“පරිස්සමින් ඉඳගන්න ඕනෙ පුතේ..”
ලොකුඅප්පච්චි ගේ දයාබරිත හඬ දීපාල් ට ඇහෙනව. තමාට ඉහළින් පලංචිය උඩ හිඳගෙන ඉන්නා ලොකු අප්පච්චි ,ගේ තරඟාකාරව චලනය වෙන පින්සල් පහරවල් දෙස බලමින් දීපාල් තවත් සිතුවමක දළ සටහනක් හරි පරිස්සමින් සිත්තම් කරනවා.කුඩා කල ඉඳන් සැවොම අගය කළ තමාගේ සිතුවම් හැකියාව පරම්පරාවෙන් ලැබුණ බවට දීපාල්ට සැක නැහැ.
*************
පාන්දරින් නැගිට්ට දීපාල් ඉස්තෝප්පුවට වෙලා ගුරු පාරට එහා පසින් දිවෙන වෙල් යාය දිහා බලාගෙන ඉන්නවා.තම ගමේ නැති අමුතුම සුන්දරත්වයක්, හුදෙකලාව පිහිටි ලොකු අප්පච්චි ලාගේ මේ ගම්මානෙන් තරුණයාට පිළිඹිබු වෙනව.
නැවුම් උදෑසනක මිහිරියාව සන්සුන්ව විඳින දීපාල්ට ඒත් එක්කම කිරි බෝතලයකුත් අතේ එල්ලාගෙන ගුරු පාර දිගේ මෙදෙසට එන යුවතියක් හරි හදිසියෙන් ඇස් ගැටුණා.
චීත්ත ගවුමකින් සැරසී විමසිලි බැල්මකින් දීපාල් දිහා බලාගෙනම එන යුවතියගේ පිලිවෙලට ගෙතූ කොණ්ඩ කරලෙන් ඈත් වුණ කෙහෙරැළි කීපයක් ඇගේ මුව පොඩිත්තේ වැඩි කරපු අලංකාරය දීපාල්ගේ කලා ඇහැ උදුරලා ගන්නව.
“එරන්දතී..,”
තමාට පිටුපසින් ආව ලොකුඅම්මා ඇයගේ අතින් කිරි බෝතලය ගනිද්දී දීපාල් හැරිල ගෙට එනව.
“අපිට හැමදාම කිරි ගේන ලමයනෙ පුතේ..” සුසිලා විස්තර කරගෙනම ටිකකින් ගෙට ආවා.
“ඒ ලමය බඳින්න හිටි කොල්ලා නෙව ඔය ගහකින් වැටිල එක්තැන් උණේ..ඔයාලගෙ ලොකු අප්පච්චි ට කොච්චරවත් උදව් කලේ ඒ කොලුවා තමයි..අනිච්චේ ඉතින්.කිව්වට මොකද මේ කෙල්ල ඌව අත් ඇරියෙ නෑ නෙව! බෙහෙත් අඹරනවද,ගානවද සේරම කොරන්නේ මේකි පුතෙ .උන් දෙන්නත් නෑනයි මස්සිනායි.වෙදා නම් කිව්වේ කොල්ලාව ගොඩ ගන්න බෑ කියලමයි.අතක් පයක් හොල්ලන්නෑ එක තැන ඇඳේ…”
“නෑනයි මස්සිනායි,,නෑනයි මස්සිනායි !! කොච්චරවත් නෑනලගෙ මස්සිනාලගේ කතා…ඇයි මස්සිනා නෑනාවම බඳින්න ඕනෙ?”
සුසිලාගේ කතාවට දුක සෝකය ප්රකාශ කරපු දීපාල් ඒ සිතිවිල්ලෙන් ම, ඈත් වෙලා යන එරන්දතීගේ නිතඹේ වදින දිගු කොණ්ඩ කරල දිහා කාමරේ ජනෙල් පියන් අතරින් බලාගෙන සුසුමක් හෙළනව.
***********
“මං ගිහින් අද කිරි ගේන්නද..ලොකු අම්මෙ?”
මුහුණ කට හෝදගෙන ආපු දීපාල් එක ඉරිදාවක සුසිලාගෙන් අහනව.
තරුණයාගේ මුහුණ දිහා විමසිල්ලෙන් බලන ගමන් සුසිලා මදහසක් නගනව.
“පුතාට ඕන්නැං යන්න.”
සරමට උඩින් කමිසයේ බොත්තම් පියවමින් ඈත් වෙලා යන දීපාල් දිහා කුස්සියට ආපු විමලසිරිත් බලන් ඉන්නවා.ඊයේ හවස පන්සලේ රාජකාරි අහවර වෙලා එන ගමන් දීපාල් එක්කම එරන්දතීගේ මස්සිනා බලන්න ගිය හැටි විමලසිරිට ඔය වෙලේ මතක් වුණා.
උඩුබැලි අතට ඇඳේ වැතිරීගෙන ඉන්නා දාවිත් දිහා දීපාල් මෙන්ම විමලසිරිත් බලන් හිටියේ විස්සෝපෙන්.දාවිත්ගේ අම්මාත් තාත්තා ත් හූල්ල හූල්ල ඒ දිහා බලන් ඉන්නවා..දාවිත් අසලම හිටගෙන ඉන්න එරන්දතීගේ මුහුණ විතරක් සියුම් සිනාවකින් ඔපවත් වෙලා.
“පේනවා නේද.ඒකිගේ හිත හයියයි..කොල්ලාට පේන්න අඬා වැලපිලා උගේ හිත තවත් දුරුවල කරන්නෑ..ඕකි නැත්තම් මෙලහකට දාවිත් මැරුණ තැන් වල ගහ කොලං වැවිල “
තමන් නැවත එන ගමන් කියවමින් එද්දී,දීපාල් නිහඬව අසා සිටියා නේදැයි විමලසිරි මෙවෙලේ මතක් කරනවා.
හිතේ කැකෑරෙන සොව පිටට නොපෙන්වා නිතර සිනහාවෙන් ඉන්නා ඒ සොඳුරු යුවතිය කෙරේ තම ඥාතී පුත්රයා බැඳී ඇත්දෝයි විමලසිරි තිගැස්සෙන හැඟීමක් විටෙක ඉලිප්පුණා.
‘නෑ..දීපාල් එහෙම කරන්නෑ..ඌ වෙනුවෙං එකියක් ඉන්නව ..එරන්දතීටත් දාවිත් ඉන්නව’ එවන් විටෙක විමලසිරි තනිවම එහෙම සිත සනහා ගත්තත්,තමා එලෙස සන්තානය සනසගන්නේ අවන්කවමදැයි ඔහුටවත් සිතාගත නොහැකි වුණා.
රන්දතීලගේ ගෙවල් ලඟට ලන් වෙනකොට ඇයගේ පියා දීපාල් ඉස්සරහටම එනව.සරම් කැසපට කඩමින් තනිකඩ පියා ඔහු හා හිනැහෙනව.
“මහත්තය ,කෙල්ල තාම කිරි දොවිනව.”
“හා ,කමන් නැහැ.මන් ඉන්නම්.” කපිල සෙමින් සෙමින් ගවගාල පැත්තට ඇවිදගෙන යනවා.
“කිරි දොවිනවා බලන් ඉන්න හොඳ නෑ” කුඩා කල ඉඳන් අම්මා කියන කථාවක් තරුණයාට මතක් වෙනව.ස්වරය වැඩි වුණ ළය අතකින් තද කරගෙන තරුණයා මඳ දුරකින් හිඳගෙන ඇය දිහා බලාගෙන ඉන්නවා.
නිහඬවම බලා හිඳිනා තරුණ ආධුනික සිත්තරාගේ නෙතේ චීත්ත ගවුමට උඩින් චීත්තයක් හැඳගත් යුවතිය,කිරි දොවින අයුරු මනරම් සිත්තමක් මෙන් ඇඳුණේ කිසිදා නොමැකෙන ලෙස අකුණකට වඩා වේගයෙන්.ඒත් සමගම ඇය කිරි බඳුනද ඔසවා ගෙන මෙදෙසට එන්නේ සිණාවකින් මුහුණ සරසගෙන.
“මහත්තයා,ඇවිත් ගොඩක් වෙලාද? “
“මොන මහත්තුරුද?” එපමණක් පමණක් පැවසූ දීපාල් දෙස සියුම් හතියක්ද සමඟ එරන්දතී බලන් ඉන්නවා.උදෑසන පවා දහදියෙන් පෙඟි ඇයගේ ගෙල වටා ඇලුණ කෙහෙරැලි දෙස නොබලා ඉන්නට අසාර්ථක උත්සාහයක් දරමින් දීපාල් හිටගෙන ඉන්නව.
“යං මහත්තය,මං ඉක්මනින් බෝතලයක් හදල දෙන්නම් “
දීපාල් ඈ පිටුපසින් ගේ දිහාට එනව.ඇයගේ කොණ්ඩා කරල අල්ලා බැලීමේ දැඩි උවමනාවකින් අසරණයා පෙළෙනවා.
“අද පන්සල් ගියේ නැතෙයි මහත්තය.”
“නෑ..අද දහම් පාසල් නේ…ලොකු අප්පච්චි ඉතින් ඉරිදාට යන්නෑ…”
නැවත ගුරු පාර දිගේ ගෙදර ට එන දීපාල් මොකක්දෝ වේදනාවකින් තැවෙන්න ගත්තා.’කිරි දොවින යුවතිය ‘තමා ඉක්මනින් සිතුවම් කළ යුතු යැයි ඔහුට හිතෙනවා.
*******************
” රෑට මොනාද පුතේ කන්න ආස ?”
සුසිලා දොරකඩම ඇවිත් අහද්දී ලා අඳුරෙන් හැඩ වුණ මිදුල දිහා දීපාල් බලාගෙන හිටිය.ලා මල් සුවඳක් හමාගෙන එනව.
“ලොකු අම්මට කැමති දෙයක් ලොකු අම්මේ..ලොකු අම්මගෙ ඕන කෑමක් රසයිනේ..”
සුසිලා බොහෝම අහන්කාර හිනාවකින් ආපහු හැරිලා ගියාට පස්සේ දීපාල් දකුණු බාහුව පිරිමදිමින් මදනලෙන් හමා එන සියුම් මල් සුවඳ විඳිනව.එරන්දති ලඟිනුත් එන්නේ මේ වගේම සුවඳක්..හරියට රෑ මනමාලි මල් වල සුවඳ වගේ…
“රෑ මනමාළී” දීපාල් තනිවම කොඳුරමින් කල්පනා කරනවා.තමා කොතරම් ඇයට බැඳී ඇත්දෝයී ඔහුට තවම හිතාගන්නට බැහැ.සම්මතය මොකක් වුවත්,එරන්දතී වුව තමා ගැන නොසිතනවා යැයි ඔහුට හිතන්නටත් බැහැ..තමා අසළදී ඇයගේ නෙත් වල ඇඳෙන හැගුම් ඔහුට දැනෙනවා,ඔහු විඳිනවා.ඉන් එහා සිතීමට ඔවුන් දෙදෙනාටම අවැසි නොවූ හැඩයි.
“මං මගෙ අත් වලට පණ තියෙන තාක් කල් එයැයිව බලාගන්නවා..මං මැරෙනකල් මං මැරෙනකල්!” ඇය පවසන අයුරු ඔහුට මතක් වුණා.
ඇය වැවට යන මඟ තමා රැඳී ඉන්නේ මන්දැයි නොදැන වුවත් ඈ යන එන මග ,ලද ඇසිල්ලක රැඳෙන්න ඔහු පෙළඹුණා..
“මං .මං…ඔයාව ඇන්ඳා”
දීපාල් දිගහැර පෙන්වූ සුදු කඩදාසියේ ඇඳුනු පැන්සල් පහරින් නිමැවුණ කිරි දොවින යුවතියගේ සිතුවම දෙස එරන්දතී පුදුමයෙන් බලා සිටියා.
ඇය එය අතට ගත්තේ උදුරා හා සමානව.
ඊලඟට ඇයගේ දෑස් කඳුලින් තෙමී ගියා.
“ඇයි?”
“දාවිත් අයියණ්ඩී මාව අඳින්න හිටියා..හැමදාම එයාට ඒක මග හැරුණා….එයා ,,එයා කිව්වේ එයාට හොඳටම අඳින්න පුලුවන් වුණ දාක මගෙ රූපයක් සම්පූර්ණයෙන් අඳිනව කියලා …අපේ ගෙදර බිත්තියේ එල්ලන්ඩ!”
දීපාල් නැවතත් අත දික් කලා..
“ආපහු දෙන්න.මං ඕක ඇඳගත්තේ මට ..තියාගන්න”
ඇය එවෙලේ තමා දෙස පුදුමයෙන් බැලූ අයුරු දීපාල්ට මතක් වෙනව.
“ම…මහත්තයට ඇයි?”
“මට තියාගන්න..”අනතුරුව ඔහුගේ හඬ බාල වුණා.
“මට එරන්දතීව හැමදාම බල බල ඉන්න…!”
එ වදනින් කැලැබුන යුවතිය අතින් රෙදි බාල්දිය ගිලිහුණ.
“ම..හත්තය? මොනවද මේ? අපි දෙන්නටම …ඉන්..ඉන්නව….අපි දෙන්නටම ,,–“
ඇයගේ වදන් සම්පූර්ණ කිරීමඩ ඉඩ නොදී දීපාල් වැව් කණ්ඩියෙන් නැගිට්ට.
“ඔව් අපි දෙන්නටම බැඳුන තැනක් තියෙනවා එරන්දතී ..එහෙමයි කියලා මට ඇයි බැරි එරන්දතී ව බල බල ඉන්න..?”
“බලන්න පුලුවන් ..ඒත් මං බඳින්නේ දාවිත්ව..ඔව් !!..ඒකා මගේ මිනිහ.අම්ම නැති වුණ දා ඉඳන් මාව දුවෙක් වගෙ බලාගත්තේ දාවිත්ගේ අම්ම..මාව පරිස්සම් කලේ දාවිත් ..මට බෑ ඒකාගේ පණ තියෙන්නේ ඇස් ගෙඩි දෙකට විතරක් වුණත් ඒකාව අත් හරින්ඩ! මං මැරෙනකම් බලා ගන්නේ ඒකාව !”
වේගයෙන් උස් පහත් වුණ ඇයගේ ලමැදේ සුසුම් හඬ දීපාල් පුදුමයට පත් කලේ නෑ..ඇය එවන් උවතියක් වග මේ ටික කාලයට ඔහු දැනගෙන හමාරයි.
“ඔව් ඔයා බඳින්නේ දාවිත්ව..මං බඳින්නේ සේපාලිකාව.ඒකේ වෙනසක් කොයියම්ම දාකවත් වෙන්නෑ තමයි එරන්දතී…!”
නිරුත්තර වූ ඇය දීපාල් නැවත හැරී එන දෙස හැඟීමකින් තොර ව බලාගෙන හිටිය..
***********************
“මං ඊලඟ සතියේ ගෙදර යන්න කියලා ලොකු අප්පච්චි “
දවසේ කාරිය හමාර කරලා,,සිහිල් වැව් වතුරේ ගිලෙන ගමන් දීපාල් කියද්දී,විමලසිරි ඇඟ අතුල්ල අතුල්ල හිටි එකත් නැවතුණ.
“ඇ…ඇයි පුතේ උඹට අපෙන් මුකුත් වරදක්…?”
“අනේ නෑ ලොකු අප්පච්චි …ලොකු අප්පච්චි මං කිව්වෙ දැන් ඉතුරු වැඩ කාරිය තනියෙන් කරගන්න වුණත් පුලුවන් කියලා …!”
විමලසිරි යන්තම් හිනාවෙනව
.”කිව්ව තමයි…ඔව් පුතා කිව්වත් වගේ,උඹ ඉතින් ආයේ ගෙදර යන්න ඕනේ නේන්නං පුතේ…”
“ඒකනේ ලොකු අප්පච්චි “මං ඊලග සඳුඳා හේනම් යන්නද?”
“හොඳා හොඳා පුතාගෙ කැමත්තක්…පුතා තව ඕන තරම් කල් ඉන්නවනං අපි කැමතියි !”
එක් හවසක පියා විසින් සුද්ධ පවිත්ර කල ගව ගාලට ආ එරන්දතී කපාගෙන ආව වල් මිටිය ගව ගාලේ කොණකට අත් හරිනව.
“දෙයියනේ,කොච්චර වෙලාද මහත්තය මෙතන.?” දීපාල් දුටු ඇය ගවුමට උඩින් හැඳ සිටි චීත්තය වල් මිටි හා අනෙකුත් කොල අතු උඩට අත හැර ඔහු වෙතට එනව..
“මහත්තය ඇවිල්ල සෑහෙන්න වෙලාද..දාවිත් අයියට බෙහෙත් ඇඹරන්න වෙලා ගියා අද…ඉතින් වල් කපං එන්න පරක්කු වුණා..!”
දීපාල් ඇයගේ උඩු තොලට උඩින් මතුවී දිලිසෙන ඩා බිඳු දෙස බලා ඉන්නව.ඒ හා සමානව තමා දුටු ඇයගේ දෑස් දිලිසෙන්න පටන් ගත් බවට ඔහුට සැක නැහැ.
“මහත්තය ආය යනවලු නේද..?” නිරුත්තර ඔහු දෙස බලාගෙන හිඳිනා ඇයගේ හඬ බාල වුණා..
“මට ආරංචියි.යං ගෙට තේ ටිකක් වත් බීලා යන්න මහත්තය……”
“මටත් ආරංචියි එරන්දතී කසාද බඳිනව කියලා “
දීපාල් කියද්දී එරන්දතී දෙතොලට සිනාවක් නගාගත්තා.
“ඔව්,මහත්තය.අනිද්දට නැකැත් තියෙන්නෙ.කොලෙ අස්සං කරනව විතරයි..මං එහෙ යනව.එයාට ඇඳෙං නැගිටින්නවත් බෑ තමයි”ඇය මෝදු වූ කඳුළක් පිසදා හරිනව.” ඒත් මං එයාව කසාඳ බදිනව මහත්තය…!”
ඇයගේ මුහුණ දෙස දීපාල් තව මොහොතක් බලා හිටිය.ඉණේ රඳවාගෙන හිටි නැවූ කඩදාසියක් ඈ ඉදිපිට දිග හරිමින් ඔහු කතා කලා….
“මෙන්න,ඔයාට “
“ඇයි මට දෙන්නෙ? මහත්තයට ඕනෙ කිව්වෙ පින්තූරෙ?”
“මං 2ක් ඇන්දා..එකක් මට අනික එරන්දතීට…”
අලුත් වූ කඳුලින් යුතුව එරන්දතී කඩදාසියේ හිනැහෙන කිරි දොවන යුවතිය දෙස බලාගෙන ඉන්නව.
“මං කැමති නෑ ඔයා චිත්ර අඳිනවට !හෙලුවෙං ඉන්න ගෑනු අඳින්ඩ මෙතන!”
තම සිතුවමක් දැක එක් දිනක් පැවසූ සේපාලිකාගේ නොරිස්සුම් රුව දීපාල් ඉදිරියේ මැවී,නොපෙනී ගිහින් එතන දැන් තම සිතුවම දෙස කදුලු සලමින් බලා හිඳිනා එරන්දතී විතරක් ඉතුරු වී ගියා…
“කෝ අප්පච්චි ?”
“අප්පච්චි හරක් නාවන්න එක්ක ගියා..”
” අප්පච්චි ට කියන්න හෙට හවස මං ඇවිත් යන්නම්.මං යන්නද…එහෙනම්…?”
යන්නට හැරුණ තරුණයා එක් වරම නැවතුණා.අනේක විද රාජකාරි වලින් ගොරෝසු නොවූ ඇයගේ සියුමැලි දෑතේ ඒ ස්පර්ශයෙන් නැවතුණ දීපාල් ඇයගේ එක් කම්මුලක නටන, රාස්සිගේ අව්ව දිලිහෙන ලස්සන ළඟ ලඟටම දැක ගත්තා……
මීට මද වෙලාවකට පෙර වල් ගොඩ උඩට දැමූ චීත්තයට යටින් පොඩි වී ගිය, ඉහිරී ගිය වල් කොල මැද්දෑවෙන් අරුන්දතී දීපාල් ගේ ළයේ හිස තියාගෙන ඉන්නව.වල් කොළ වල සියුම් බූවට තැනින් තැන සීරුණු ඔහුගේ ළයේ සීරුම්,ඇය ඇගිලි තුඩින් පිරිමැද්දා..
“එරන්දතී….” දීපාල් ඇයගේ ලෙහී ගිය කෙස් වැටියේ රැඳුණ කොල කෑලි සෙමින් ඉවත් කළා.ඈ වෙතින් හමන රෑ මනමාලි මල් සුවඳේ තවමත් ඔහු ගිලී සිටියා.
“මට…මට පව් නෑ…මට පව් නෑ මහත්තයා..මමත් ගෑනියෙක්..කවදාවත් මට විඳගන්න බැරි වෙන හැඟීමකින් අසරණ වුණ මට ,,දීපාල් මහත්තයා පිහිට වුණා..එච්චරයි …ඔව් එච්චරයි මහත්තය…….”
“එරන්දතී මොනවද මේ කිය….”
දීපාල්ගේ මුව හරහා ඇඟිල්ලක් තබමින් එරන්දතී ඔහු දෙසම බලා ඉන්නවා..
“මගෙ මැරුණ අම්මා පල්…මහත්තය විතරයි….ආයෙත්…..”ඇයගේ හඩ ඉකිබිදුමකට හැරුණ..
“ආයෙත් කව…දාකවත් කවදාකවත් මෙහෙම නෑ මහත්තය….!!
මුවේ රැඳුන සිනහව හදවතින් නොවිඳින , එහෙත් තවමත් ඔහු හා කිසිවක් නොවුණා මෙන් හිනැහෙන කිරි දොවින යුවතිය කෙරේ උපන් බලවත් හැගුමෙන් මොහොතකට සලිත වූ තරුණයා ,,තවත් කඳුළක් ඈ වෙනුවෙන් සිතුවම මතට හෙළුව….
******************
කාලය ගත වී ගොස් ඇත්තේ පුදුමකාර විලසටය.අද මාගේ සිතුවම් දැක්මේ අවසන් දිනයයි.
ඔව්,දීපාල් සේරසිංහ නම් වූ ඒ ප්රසිද්ධ සිත්තරාගේ සිතුවම් නරඹන්නා වූ කොතෙකුත් ,ආලේපන ,විලවුන් ගැල්වූ කෘතීම ගැහැනු මුහුණු අතරේ මම කිසිවකින් හැඩ නොගැන්වූ ,නොයිඳුල් දේදුණු ඇහි බැමින් යුක්ත ඒ රුව තවම සොයමි.විවිධ වර්ණයන්ගෙන් හැඩ ගැන්වූ කෙස් කලඹක ,,තවමත් මම ගෙල මත දහදියෙන් ඇලුණු කලු පැහැ කෙහෙ රැල්ලක් සොයන්නට වෙර දරමි.
විවාහයටත් පෙර මා හැර ගියා වූ,සේපාලිකාගෙන් පසුව තවත් ගැහැනියකට ආසක්ත නොවූ මම,,තවමත් “ඈ “සොයමි.
දශක 6කට ආසන්න ජීවිතයේ ,මා දැවැන්ත මිනිසෙකු කරන්නට හැරවුම් ලක්ෂය වූ ,,ඒ සිතුවම මා එදා ගමෙන් එන දවසේ ලොකු අප්පච්චි ගත් අයුරු මට මතක් වේ..
“මේක දීපන් මට..දෙයියනේ මේකේ අපූරුව බලපන් පුතේ..මං දන්න සුදු මහත්තයෙක් ඉන්නව .මට මේක පෙන්නන්න ම ඕනෙ ඒ මහත්තයට..මේක මට තියලා පලයන්!”
මහා පෙරළියක් වූ බොහෝ කලකට පසු නැවත ලංකාවට පැමිණි මම,’,,ඈ ” අලුතෙන්ම සම්පූර්ණ කර “ඈ” ට වර්ණ දුනිමි..
ඔව් -මාගේ සිතුවම් දැක්මේ අවසන් දින වූ අද දිනත්,එක් සුවිශේශී සිතුවමක් ඉදිරිපිට නරඹන පිරිස බොහෝය.
“අයියේ…!”..මම හැරී බලමි..
“අනෝමා නන්ගී..”
කඳුලු පිරුණු දෑසින් ඈ මා වෙත එන්නීය.
“අනේ අයියේ..මට පරක්කු වුනා අයියගේ ප්රදර්ශනේ බලන්න එන්න.අයියා ලන්කාවට ආවා වුනත් මට එන්න බැරි වුනානෙ අයියෙ…”
“ඒකට කමන් නෑ නංගී…කෝ දරුවෝ ,එක්ක ආවෙ නැද්ද..මහත්තයා කෝ?.කා එක්කද ආවෙ??..”
අනෝමා කතාවකින් තොරව තවමත් මා දෙස බලා හිඳිනා විට මම පුදුමෙන් බැලුවෙමි..
“ඇ..ඇයි නන්ගී..?”
“අප්පච්චි මට අයියගෙ කතාව කියන්න ගොඩක් කල් ගත්තා අයියේ…එයා මට කලින් මේ කතාව කිව්වා නම් කොච්චර දේවල් වෙනස් වෙනවද…?”
අනෝමා නන්ගී පවසන දෙයෙහි අග මුල වටහා ගත නොහැකිව මම බලා සිටිමි.
“මොක..ක්ද නන්ගී?”‘
“දාවිත් වැඩි කල් ජීවත් වුනේ නෑ..ඒත් අයියා එතකොට ලංකාවෙන් යන්න ගිහින්…..!”
අනෝමා පිටුපස බැලුවාය.ඔව්….දශක තුන හමාරකටත් ආසන්න කලකට පසුව “ඈ “මගේ කලාගාරයේ දොරකඩ අසල සිටගෙන් සිටියාය.
ඒ සුන්දරත්වය කාලයෙන් පවා වෙනස් නොකළ සෙයකි.
“එ…එරන්දතී?”
“ඔව්…මං එරන්දතීව එක්ක ආවා අයියෙ….” අනෝමා කීයනු මට ඇසුණේ සිහිනෙන් මෙනි.
මගේ ප්රසිද්ධ ම සිතුවම වූ ඇයගේ සිතුවම දෙස මහත් පුදුමයෙන් බලා හිඳිනා ජනකාය දෙස මම එක් වරක් ඈ කෙරෙන් නෙත් මුදා හැරී බැලුවෙමි..
මා මෙතරම් දුරක් ජීවිතයේ ඔසවා දැවැන්තයෙක් කරන්නට හේතු වූ, පැන්සල් පහරකින් පවා පමණක් නිමවී ලොකු අප්පච්චි අතට පත් වූ ඒ සිත්තමේ නියම හිමිකාරිය , “කිරි දොවන යුවතිය” දැන් සජීවීව තවමත් මා දෙස බලා හිනැහෙමින් සිටියා….ය.
මා එදා දුටුවාටත් වඩා ,,ඒ දෑස් අලංකාර වීය…….
*********(නිමි)
උපුටා ගැනීම:  Manik Singhawansha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!